Saturday, June 12, 2010

හෙළයේ සටන් හරඹ - 2

අංගම්පොර ගැන මීට කලින් කොටපු සෙල්ලිපියට හොඳ ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධයෙන් දෙවෙනි සෙල්ලිපියකුත් කොටන්න ඕනෑ කියලා. අංගම්පොර ගැන හොයාගෙන යනකොට පැහැදිලි වෙන ප්‍රධානම කාරණයක් තමයි බොහෝදෙනා චීනඩි හෝ වෙනත් ඉන්දියානු සටන් ක්‍රම සමග අංගම්පොර පටලවාගෙන සිටින බව. එමෙන්ම සමහර ගුරුවරු අංගම්පොර ලෙස හඳුන්වා දෙමින් චීනඩි උගන්වන අවස්ථාත් තියෙනවා. මීට කලකට පෙර අංගම් ගුරුවරයකු ලෙස තමුන්ව හඳුන්වා ගත් එක් පුද්ගලයෙක් වරක් මුද්‍රිත මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තිබුණා චීනඩි කියල කියන්නේ අංගම්පොර වලටමයි කියලා. මේ වගේ ප්‍රකාශ නිසා ජනතාව නොමග යනවා වගේම නියම අංගම්පොර කලාව අභාවයට යාමත් සිදු වෙනවා.


අංගම් සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්‍රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්‍රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්‍ර මන්ත්‍ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්‍රතිවාදියා වෙතට එල්ල කරන ප්‍රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්‍රතිවාදියා ග්‍රහණයට ගෙන සිර කර ගැනීමේ ක්‍රමවේදය යි.


නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්‍රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්‍රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්‍රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්‍රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ පුද්ගලයෙකුට,

*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම


ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්‍රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.



නිල ශාස්ත්‍රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්‍යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්‍ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්‍රබල නිල යි.


z_jur-p-10-11-Taming-2.jpg

Thursday, June 10, 2010

හෙළයේ සටන් හරඹ

3819669235_bcf52eb141.jpg

මේ දවස් වල කැම්පස් එකත් වහල නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ මට හිතුණා ලංකාවේ පුරාණ සටන් ශිල්ප ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න. ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්‍යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්‍යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්‍යා', 'අන්තස්සරයෝ' සහ 'චක්‍රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්‍රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.


ශ්‍රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,


හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ



මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්‍රම ආශ්‍රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්‍රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.


පුරාණ රජ කාලයේ දී, රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්‍රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්‍රමවේදයන් සඳහා අනන්‍ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.


අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්‍රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්‍රම 8 ට අමතරව තවත් ශිල්ප ක්‍රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.

අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්‍රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්.
දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්‍රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර


( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )


අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්‍රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්‍රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්‍රදේශ යි.


එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.