Saturday, October 31, 2009

හෙළ ඉතිහාසය සහ බුදුන් වහන්සේගේ ලංකාගමනය

මේ බ්ලොග් ලිපියෙනුත් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සැඟවුණු හෙළ ඉතිහාසය පිළිබඳවයි. ඒ වාගේම බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව තිබෙන ගැටළු සහගත තැන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි දන්නා පරිදි බුදුන් වහන්සේ මෙරටට තුන් වරක් වැඩම කර ඇති අතර ඉන්පසුව මහාවංශය පවසන පරිදි දෙවනපෑතිස් රජු කල මිහින්දු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදු දහම ගෙනැවිත් ඇත. අප දන්නා ඉතිහාස කතාව මේ ආකාර වුවත් ඓතිහාසික සාධක වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් කතාවක්.

බුදුන් ගේ කාලයේදීත් හෙළ අසුර අධිරාජ්‍යය ඉතා දියුණු මට්ටමක පැවතිලා තිබෙනවා. 'සාතගිර' සහ 'හේමවත' වැනි යක්ෂ සෙන්පතිවරුන් ගැනත් ඔවුන් ගුවනින් පැමිණ බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ බවත් බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ අනුව පුරාණ ඉන්දියාව තුළ තිබුණු හෙළ අසුර අධිරාජ්‍යයේ බලපෑම ගැනත් ඔවුන් විසින් භාවිතා කළ ගුවන් යානා ( දඬුමොණර යන්ත්‍ර ) ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. මීට කලින් මම ලියපු බ්ලොග් ලිපියක කියලා තිබුණා බුදුන් වහන්සේට සමකාලීනව ලක්දිව රජකම් කල රජතුමා 'පනිත' නම් වන බව. කිසියම් හේතුවක් නිසා මේ රජතුමා අපේ රාජාවලියෙන් ඉවත් වී තිබෙනවා. ගැටළුව පැන නගින්නේ මෙතැන් සිටයි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත්තේ නැවකින් වන අතර, උන් වහන්සේ ජල යාත්‍රාවක සිට දහම් දෙසමින් වැඩම කරන ආකාරය දැක්වෙන සිතුවමක් පොලොන්නරුවේ තිවංක පිළිම ගෙයින් ද හමු වී තිබෙනවා. මෙම කරුණ සනාථ කළ හැකි හොඳම උදාහරණය නම් මහියංගනයේ ඇති 'ගෝතම ඇල' යි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර ඇත්තේ මේ ඇල මාර්ගය හරහායි. පසුකාලීනව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මේ ඇල 'ගෝමතී ඇල' ලෙස නම් කර තිබෙනවා. දැනට හමු වී ඇති සෙල්ලිපි වලට අනුව, අද සුමන සමන් දෙවියන් ලෙස හඳුවන තැනැත්තා පනිත රජුගේ අයකැමි ලෙස සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. දඬුමොණර යන්ත්‍රයකින් බුදුන් වහන්සේව මහියංගනයේ සිට සමනල කන්ද වෙත වැඩමවාගෙන ගොස් තිබෙන්නේ මේ සුමන විසින්. පනිත රජුගෙන් පසුව සුමනගේ වැඩිමහල් පුතු වූ 'දමරජ' නමැත්තා රජ වී ඇති අතර ඉන්පසුව රජ වී තිබෙන්නේ දමරජගේ පුත් 'මහතිස' නමැත්තායි. මහතිස ගේ දියණිය 'අබිසවෙර' හෙවත් 'විහාර මහා දේවිය' වන අතර ඇය 'ගෝඨාභය' ගේ පුත් 'තිස්ස' හෙවත් 'කාවන්තිස්ස' සමග විවාහ වී තිබෙනවා. මේ හා සම්බන්ධ පැහැදිලි විස්තරයක් කොටාදැමුහෙල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි තිබෙන්නේ "......දමරජ පුත් මහතිසගේ දියණි අබිසවෙර එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස යන අයගේ බිරිඳ අබිසවෙර විසින් මේ ලෙණ සංඝයාට දුනි......" යන්නයි. මේ අනුව මෙහි කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ පෙළපත පැහැදිළිව සඳහන් වෙනවා.

එසේ නම් විහාර මහා දේවියගේ පුත් දුටුගැමුණු කුමරු උපත ලබන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වැඩි කාලයක් ගත වීමට මත්තෙන් විය යුතුය. දැන් ගැටළුව තවත් සංකීර්ණ වෙනවා. මහාවංශයට අනුව මහින්දාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සැලකිය යුතු කාලයකට පසුව වන අතර දුටුගැමුණු කුමරු රජ වන්නේ ඊටත් සෑහෙන කලකට පසුවය. නමුත් සෙල්ලිපි වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් ඉතිහාසයක්. ඒ අනුව දෙවනපෑතිස් රජු බලයට පත් වන්නේ දුටුගැමුණු රජුට පසුව විය යුතුය. එසේත් නැතිනම් දෙවනපෑතිස් යනු හුදු ඓතිහාසික නිර්මාණයක් විය යුතුය.

කොහොම වුනත් එක් එක් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන් නිර්ණය කිරීමේ කාර්යයේදී නම් මහාවංශ කතුවරයා බොහෝ වැරදි සිදු කර තිබෙනවා. එම කතුවරයාට අනුව මුටසීව රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වන අසේල රජ වන්නේ තම පියා රජ වී වසර 152 කට පසුවයි. නමුත් අසේලගේ සිට දුටුගැමුණු දක්වා රාජ පරම්පරා 5 ක් ඉතාමත් කෙටි කාලයක් තුල රජ වී තියෙනවා. මේ අනුව බලන කල දෙවනපෑතිස් රජු සම්බන්ධයෙනුත් මෙවැනිම අවුලක් සිදු වී ඇති බව සැලකිය හැකියි.

දෙවනපෑතිස් රජු පිළිබඳව සැක පහල වන තවත් කරුණක් නම් ඔහු සම්බන්ධව මහාවංශයේ සඳහන් කරුණු හැරුනු විට වෙනත් කිසිම ඓතිහාසික සෙල්ලිපියක් හේ සටහනක් නොමැති වීමයි. විජය රජුගේ සිට දෙවනපෑතිස් රජු දක්වා කිසිම සෙල්ලිපියක් මෙතෙක් හමු වී නැත. නමුත් ඊට කලින් සිටි රාවණ ආදී රජුන්ගේ සෙල්ලිපි හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් මිහිඳු හිමි ප්‍රමුඛ සංඝයාට ලෙන් පූජා කළ බව මහාවංශයේ සඳහන් වුවත් ඒ එක් ලෙණකවත් ඒ බව සඳහන් කර නැත. නමුත් රාවණ රජුගේ කාලයේ සිටම ලෙන් පූජා කිරීමේදී ඒ බව ලෙනෙහි සඳහන් කිරීම අනිවාර්යයෙන්ම කර ඇති කටයුත්තකි.

මේ සියලුම කාරණා සලකා බැලීමේදී ලංකා ඉතිහාසයේ නිවැරදි විය යුතු තැන් බොහොමයක් තියෙන බව නම් අපට පැහැදිලි වෙනවා. මේවා නිවැරදි කිරීම වහාම සිදුවිය යුතු අතර එය ජාතික වගකීමක් ද වෙනවා. එහෙනම් මීලඟ ලිපියෙන් අපි රාවණ රජුගේ යුගයේ තිබූ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ගැන කතා කරමු.

Friday, October 23, 2009

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 2

මගේ කලින් බ්ලොග් පෝස්ට් එකෙන් අපි කතා කලේ තවමත් සැඟවිලා තියෙන සෙල්ලිපි ගැන කියලා ඔයාලට මතක ඇති. මේ සෙල්ලිපි වලින් කියැවෙන අතීතය යට යන්නට හේතු වන තවත් කාරණයක් නම් මේවා ලියා ඇති අක්ෂර අශෝකාක්ෂර වලට සමාන වීමයි. කොඩ්‍රින්ටන් පන්නයේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට අක්ෂර කලාව ලැබෙන්නේ මිහිඳු මාහිමියන් හරහා බව සඳහන් වෙනවා. මේ නිසා ඊට කලින් අපේ රටේ තියෙන ලිඛිත ඓතිහාසික සාධක පිලිගන්නට අපේ ඉතිහාසඥයින් කැමති නැහැ. ඔවුන් විසින් සිදු කරන මේ වරද නිසා වසර 10,000 ටත් වඩා එහාට දිව ගිය ඉපැරණි ඉතිහාසයක් හෙළිදරව් කරගැනීමට අපහසු වී තිබෙනවා.

මහාවංශයට අනුව ලක්දිව රාජ වංශය ආරම්භ වන්නේ විජය රජුගෙන් වුවත් ඊටත් පෙර සිටම මෙහි ප්‍රබල රජ පරපුරක් සිටි බව පිළිගත හැකි සාධක බොහොමයක් පවතිනවා. විජය රජුට හමු වූ කුවේණියත් රජ කුමරියක් බව සෙල්ලිපි වල සඳහන් වෙනවා. එම සෙල්ලිපි වලට අනුව කුවේණිය යනු 'බිම්බා' රජුගේ දියණියයි. මෙයත් විජය ට පෙර තිබූ රාජ වංශය සම්බන්ධ සාක්ෂියක්. ආචාර්ය සූරිය ගුණසේකරයන් පවසන පරිදි 'කුවේණි' යනු ආරූඪ නාමයක් ( කළුවන් සමක් ඇත්තී ). ඇගේ නියම නම 'ලීලාවතී'. නමුත් මේ නියම නම සඳහන් වන්නේ කොහේදැයි කියා එතුමා සඳහන් කර නැහැ. මෙකල මර්ගන නගරය ( මන්නාරම අසල පිහිටා තිබූ නගරයක් ) පාලනය කල 'අල්ලිරාණි' කුමරිය කුවේණියගේ ඥාති සහෝදරියයි. අල්ලිරාණි යනු 'කුම්බා' රජුගේ දියණියයි. කුරුණෑගල පිහිටි 'විල්බා ජනපදය' පාලනය කර ඇත්තේ විජය ට දාව කුවේණියට ලැබුණු පුත්‍රයා වන 'ජීවහත්ථ' විසිනි. බෝධිවංශයට අනුව විල්බා ජනපදය පාලනය කර ඇත්තේ 'වීරබාහු' රජු විසිනි. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ථ යනු ප්‍රාණවත් හස්තයයි. මේ නම් දෙකෙහිම සමානත්වයක් දකින්නට පුළුවන්. ඒ අනුව වීරබාහු සහ ජීවහත්ථ යනු එක් පුද්ගලයෙක්ම විය හැකියි.

මීලඟ ලිපියෙන් මහාවංශ ඉතිහාසය සහ බුද්ධ චරිතය ගැටෙන ආකාරය ගැන කතා කරමු.

Friday, October 16, 2009

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය

කාලෙකට පස්සෙ ආයෙත් සෙල්ලිපි සටහනක් තියන්න වෙලාවක් හම්බ වුනා... ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහනෙන් කිව්වා හෙළ ඉතිහාසය ගැන ලිපි පෙළක් ලියන්න අදහසක් තියෙනවා කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඒ ලිපි පෙළ ලියන්න පටන් ගන්නයි.

ඇත්තටම අපි අපේ රටේ ඉතිහාසය කියලා ඉගෙනගන්නේ නිවැරදිම ඉතිහාසය නෙවෙයි. 'මහාවංශය' නම්වන එතරම් නිරවද්‍යතාවයකින් යුක්ත නොවූ ඉතිහාස ග්‍රන්ථය පාදක කරගෙන 'එච්.ඩබ්ලිව්. කොඩ්‍රින්ටන්' නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් 1912 දී ලියපු ඉතිහාසය තමයි තාමත් අපේ රටේ නිවැරදි ඉතිහාසය විදිහට පිළිගන්නේ. ඒත් මේ පුද්ගලයා අපේ රටේ ඉතිහාසය ගැන ලියනකොට අතීත හෙළ රජ දරුවන් විසින් කරවපු සෙල්ලිපි ආදී බොහොමයක් ඓතිහාසික සාක්ෂි හිතාමතාම හෝ නොදැනුවත්වම හෝ මගහැරලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ඉතිහාසයත් මුලින්ම ලියලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ තමයි. ඒ රටේ ඉතිහාසයත් අපේ වගේම විකෘති කරලා තමයි මුලින්ම ලියලා තියෙන්නේ. ඒත් පසුකාලීනව ඉන්දියානුවන්, තමන් විසින්ම තමන්ගේ ඉතිහාසය ලියාගැනීමේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒ අනුව ඉන්දියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා සුද්දෝ හදපු වැරදි ඉතිහාසය අත්හැරලා නිවැරදි ඉතිහාසය යලිත් ගොඩනගන්නට. දැන් ඉන්දියාවේ උගන්වන්නේ ඒ නිවැරදි ඉතිහාසයයි. ඒත් අවාසනාවකට වගේ තාමත් අපේ රටේ උගන්වන්නේ අර කොඩ්‍රින්ටන් විසින් ලියනු ලැබූ වැරදි ඉතිහාසයමයි. ඉතිහාසය සම්බන්ධව කොච්චර මහාචාර්යවරු අපේ රටේ හිටියත් ඒ අයගෙන් හුඟදෙනෙකුට අපේ ඉතිහාසය නිවැරදි කරන්න අදහසක් පහළ වෙලා නැහැ. වෙන එකක් තියා මහාචාර්ය පරණවිතානයනුත් කරලා තියෙන්නේ කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසය තහවුරු කරන්න පුළුවන්තරම් උත්සාහ කරපු එකයි. ඒ නිසා එතුමා සමහර සෙල්ලිපි සිංහලයට පරිවර්තනය කරනකොට වැරදියට තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් එතුමාව ගුරු තනතුරේ තබාගනිමින් කටයුතු කරන අදකාලේ බොහෝ විද්වතුනුත් උත්සාහ ගන්නේ නිවැරදි දේ සොයා යන්නට නොව 'කොඩ්‍රින්ටන්-පරණවිතාන ගුරු කුලය' ආරක්ෂා කරන්නටයි.

හැබැයි නිවැරදි හෙළ ඉතිහාසය හෙළිදරවු කරන්න උත්සාහ ගන්න පරපුරකුත් දැන් දැන් ගොඩනැගෙමින් පවතිනවා. 'ආචාර්ය සූරිය ගුණසේකර' සහ 'ජයරත්න පතිරආරච්චි' කියන්නේ මේ පරපුර ගොඩනඟන්න පුරෝගාමී වූ විද්වතුන් දෙදෙනෙක්. මම මේ ලිපි පෙළ ලියන්න පාදක කර ගන්නෙත් එතුමන්ලා විසින් සම්පාදනය කරපු පතපොතයි. ඉතින් මේ ලිපි පෙළෙන් මං බලාපොරොත්තු වෙන්නේ එතුමන්ලා විසින් හෙලිදරවු කරගත් නිවැරදි හෙළ ඉතිහාසය පිළිබඳව ඔයාලවත් දැනුවත් කරන්නයි.

මහාවංශයට අනුව ලංකාව ජනාවාස වී ශිෂ්ටාචාරයක් බවට පත්වන්නේ විජයාගමනයෙන් පසුව බව කියැවුනත් ඊටත් බොහෝ කාලයකට පෙර සිට අප රටේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි හමු වී තියෙනවා. බුදු දහමේ පවා සඳහන් වෙනවා පෙර විසූ කකුසඳ, කෝණාගම ආදී බුදුවරුන්ගේ කාලයේදී ලංකාවේ රජකම් කල රජවරු ගැන. ඒ වාගේම ඒ බුදුවරුන්ගේ කාලයේදීත් ලංකාවට බුදුදහම ගෙන ආ බව කියැවෙනවා. කකුසඳ බුදුන් වහන්සේගේ ධර්මය ලංකාවේ තිබුණු බවට සහ ඒ කාලයේදී පවා ලංකාවේ අක්ෂර කලාව පැවති බවට සාක්ෂි 'පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි කකුසඳ බුදුන්ගේ නම සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති. බොහෝවිට මේ සෙල්ලිපිය ලියැවෙන්නට ඇත්තේ කකුසඳ බුදුන්ගේ කාලයේ වෙන්නට පුළුවන්. මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ තියෙන තවත් සෙල්ලිපියක '....පරුමක ශමුදහ ලෙණෙ කොනගම නම කරපිති අදකරකෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කොනගම' යනු කෝණාගම බුදුන්වහන්සේ යැයි විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම මාදුරුඔය ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපියක '....කශබ බුදහ මඩිමතයෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කශබ බුදහ' යනු කාශ්‍යප බුදුන් වහන්සේ ය. ඒ අනුව මෙතරම් ඈත අතීතයේදි පවා ලියැවුණු සෙල්ලිපි හමුවීමෙන් ලංකාවේ අක්ෂර කලාවට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙන බව සලකන්නට පුළුවන්. එසේනම් මහාවංශය කියන පරිදි අපේ රටට අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනයත් සමග ය යන කතාව වැරදි බව ඔප්පු වෙනවා. ඒ වගේම අතීතයේදිත් අපේ රටේ දියුණු අක්ෂර කලාවක් තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ යුගයේදීත් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවයි. ඒත් කොඩ්‍රින්ටන් විසින් ඉතිහාසය ලියද්දී මේ සාධක සියල්ලම අතහැර දමා තිබෙනවා.

ශිලා ලිපි වලට අනුව ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදී ලංකාවේ රජකම් කර ඇත්තේ 'පනිත' නම් රජ කෙනෙක්. කුමක් හෝ හේතුවක් නිසා මේ රජතුමා අපේ ඉතිහාස පොත් වලින් ඉවත් වී තිබෙනවා. බොහෝවිට විජය රජතුමාට රාජාවලිය තුල ඉඩක් දීම සඳහා මහාවංශය විසින් මෙසේ කලා වන්නට පුළුවන්. ඒ වාගේම 'සුමන (සමන්)' යනු පනිත රජුගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළ තැනැත්තා බවද සෙල්ලිපි වල සඳහන් වෙනවා. මේ 'සුමන' යන නාමය සඳහන් සෙල්ලිපි 30 කට වැඩි ප්‍රමාණයක් දැනට හම්බ වෙලා තියෙනවා. මේ අනුව ද විජයාගමනයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව ඔප්පු වෙනවා.

Sunday, October 4, 2009

ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය ( දඬුමොණරය ගැන - 9 ) - අවසන් ලිපිය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.

මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.

මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා කියන්නේ පක්ෂියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගත් විමාන වර්ගයක්.

සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ දඬුමොණර තාක්ෂණය ගැන වැඩිදුර කරුණු ඔයාලා දන්නවනම් ඒවා comments විදිහට සටහන් කරන්න.

මගේ අදහසක් තියෙනවා මීළඟට 'හෙළ ඉතිහාසය' ගැන ලිපි කීපයක් ලියන්න. ඒ කියන්නේ මහාවංශයේ සඳහන් වෙන බොරු ඉතිහාසය ගැන නෙවෙයි. පුරාණ සෙල්ලිපි වලින් කියැවෙන ඇත්තම ඉතිහාසය ගැන ලියන්න. වෙලාව තියෙන විදිහට ඒ ලිපි පෙළත් ලියන්න පටන් ගන්නම්.

Friday, October 2, 2009

සුන්දර විමානය ( දඬුමොණරය ගැන - 8 )

මීට කලින් මම ලියපු ලිපියෙන් අපි 'රුක්ම විමාන' ගැන කතා කලානේ. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ 'සුන්දර විමාන' ගැනයි. එහෙනම් මුලින්ම අපි සුන්දර විමානයක රූපයක් අධ්‍යයනය කරලා ඉමු.

මේ යානයත් හැඩයෙන් රුක්ම විමානයකට ගොඩක් සමානයි කියලා බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න ඇති. බාහිර පෙනුම සමාන වුවත් සැකැස්ම අතින් නම් වෙනස්කම් දකින්න පුළුවන්. සුන්දර විමානයක පාදම හෙවත් 'පීත' ප්‍රදේශය කොටස් 8 කින් සමන්විත වෙනවා. ඒවා නම්;

  1. භූමි තැටිය හෙවත් පහලින්ම පිහිටි පීත කොටස
  2. ධූම කවුළුව
  3. වායු ඇන්ජින් පහ
  4. භූජ්‍ය නම් ලෝහ බටය
  5. සුළං පංකාව
  6. විදුලි උත්පාදක යන්ත්‍රය
  7. සිව්මුහුණු තාපකය
  8. බාහිර ආවරණය
මෙම සුන්දර විමාන වල පීත කොටස අනිවාර්යයෙන්ම රාජලෝහයෙන් සෑදිය යුතු අතර එය සතරැස් හෝ වෘත්තාකාර හැඩයක් විය යුතුව තිබුණා. පාදම වෘත්තාකාර වන්නේ නම් සාමාන්‍යයෙන් එහි පරිධිය අඩි 100ක් විතර වන ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ගනකම නම් අඩි 8 ක් විතර වෙලා තියෙනවා.
මේ විමානය මධ්‍යයෙන් ඉහලට එසවුණු ප්‍රධාන කුඹගසක් පිහිටා තිබෙන බව රූප සටහනේ දැක්වෙනවා. මෙය හැඳින්වෙන්නේ 'නාලස්ථම්භ' නමින්. මෙය අඩි 56 ක් උසින් යුක්ත වන අතර විෂ්කම්භය අඩි 4 ක් විතර වෙනවා. යානය තුල විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන වායු වර්ග ගබඩා කර තබා ඇත්තේත් මේ කුඹගස පතුලේ පිහිටා ඇති ටැංකියකයි.

'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි.
යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්.

සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ. 'ලින්ක' කියන ඒකකයේ ප්‍රමාණය නම් මට හොයාගන්න බැරිවුනා.