Saturday, February 27, 2010

ඊලඟට මොනවද ලියන්නේ.....?????

මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහන තමයි හෙළ අසුර අධිරාජ්‍යය ගැන ලියපු අවසාන සටහන. එතනින් ඒ ලිපි පෙළ ඉවරයි. අසුර අධිරාජ්‍යය බිඳ වැටුණට පස්සෙ බිහි වෙන්නේ සිංහල රාජ වංශය නේ. ඔයාලා ඒ ගැන හොඳට දන්න නිසා සිංහල රාජවංශය ගැන ලියන්න නම් මගේ අදහසක් නැහැ.
ඉතින් දැන් ඊලඟට මොනවා ගැනද ලියන්නේ කියලා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. තාක්ෂණික දේවල් ගැන නම් ලියන්න පුළුවන්. ඒත් ගොඩක් අය දැනටමත් තාක්ෂණික දේවල් ගැන ලියන නිසා මමත් ලියන ඒකේ තේරුමක් නැති වෙයි කියලා හිතෙනවා. කොහොමත් කට්ටියට කියවන්න ආසා හිතෙන වැඩිය කවුරුත් දන්නේ නැති දෙයක් ගැන ලියන්න තමයි හිතේ තියෙන්නේ.
අදහසක් ආපු ගමන් ආයෙත් ලියන්න පටන් ගන්නවා. ඔයාලත් පුළුවන් නම් අදහසක් දෙන්න.


පහුගිය ලිපි පෙළේ මූලාශ්‍ර ගැන කීපදෙනෙක්ම අහලා තිබුණා. මම ඒවායේ මූලාශ්‍ර ගැන මීට කලින් දෙපාරක්ම කියලා තියෙනවා. ඒත් ආයෙත් කියන්නම්කෝ.
ආචාර්ය සූරිය ගුණසේකර, ජයරත්න පතිරආරච්චි යන විද්වතුන් විසින් ලියා තියෙන පොත් සහ රාමායනය තමයි මගේ මූලාශ්‍ර.

Saturday, February 13, 2010

හෙළ අසුර අධිරාජ්‍යයේ රාවණ යුගය

කලින් සෙල්ලිපියෙන් අපි කතා කළේ හෙළ අසුර අධිරාජ්‍යය යුදමය වශයෙන් ව්‍යාප්ත වූ ආකාරය බව ඔයාලට මතක ඇති. එසේනම් ඊට පසුව සිදු වූ දේවල් පිළිබඳව අද සෙල්ලිපියෙන් සාකච්ඡා කරමු.

මම කලින් ලිපියේ අන්තිමට සඳහන් කරලා තිබුණානේ තාරක, සුරපද්ම සහ සිංහමුඛ යන කුමාරවරු තුන්දෙනා රාජධානි තුනක් ගොඩනගාගෙන තම පාලන කටයුතු කරගෙන ගිය බව. මෙම කුමරුවන් අතරින් සුරපද්ම කුමරු යුද්ධයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට පත් වූ අතර ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නට පටන් ගෙන තිබේ. මෙහිදී නැවතත් ඉන්දියාව තුලින් විරුද්ධවාදියෙකු බිහිවන අතර ඉන්දු දේශයේ රජකම් කළ සිව රජුගේ පුත් කදිර කුමරු මෙම විරුද්ධවාදියා වේ. කදිර කුමරු ලක්දිවට පැමිණ සුරපද්ම කුමරු ව මරා දැමීය. මෙසේ සුරපද්ම ව පරාජය කර මරාදැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔහු විසින් සිව රජුගේ තවත් පුත්‍රයෙකු වන ජයන්ත කුමරු ව බලෙන් පැහැරගෙන ඒමයි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන අන්දමට සිව රජු යනු ඉන්දියානු රජෙක් නොව ඉන්දු දේශයේ රජකම් කළ තවත් හෙළ රජෙක්.
සුරපද්ම කුමරුන් ව මරා දැමීමෙන් පසු කදිර කුමරු ලංකාවේ නතර වී "කදිරගම රාජධානිය" ඇරඹීය. වත්මන් කතරගම යනු මෙම රාජධානිය යි. මේ අතර කදිර කුමරු විසින් තමාටත් පහර දේ යයි සක සිතූ සිංහමුඛ කුමරු ලංකාපුරය හැරදමා පලාගියේය. මේ අනුව ලංකාපුරය අරාජික විය.
අරාජික වූ ලංකාපුරය නැවතත් අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රාවාස් මුනිවරයාගේ පුත්‍රයා වූ කුවේර විසිනි. කුවේර සතුව විශේෂ දඬුමොණර යන්ත්‍රයක් ද වූ අතර එය 'පුෂ්පක රථය' ලෙස හැඳින්විණි. මේ කාලය වන විට හෙළ අධිරජ්‍යයේ පාලන තන්ත්‍රය විවිධ හැලහැප්පීම් වලට බඳුන් වූ බව දක්නට ලැබේ. විවිධාකාරයේ විදේශ ආක්‍රමණ, අරාජික වීම් ආදිය බහුලව දක්නට ලැබිණි. මේ සියල්ලම සිදු වීමට මූලික හේතුව වූයේ ඉවක් බවක් නැතිව යුද්ධ කිරීම සඳහා හෙළ රජවරු පෙළඹීමයි. රාජ්‍යතවය සඳහා රාජකීයයන් අතර ද ගටුම් ඇති විය. ඒ අනුව කුවේර ගේ සහෝදරයෙකු වන රාවණ විසින් කුවේර ව පලවා හැර ලංකාපුරය අත්පත් කරගන්නා ලදී. රාවණ රජුගේ ආගමනයත් සමඟ හෙළ අධිරාජ්‍යය නැවතත් යම් ස්ථාවරත්වයකට පත් විය. මෙහිදී රාවණ රජු විසින් කුවේර හට නැවතත් තනතුරු ප්‍රදානය කරන ලදී. ඒ අනුව කාශ්මීර ප්‍රදේශයේ පාලකයා වශයෙන් කුවේර පත්විය. කෛලාසකූටය යනු කුවේර ගේ මාලිගය වූ අතර අලකාපුරය අගනුවර විණි.

රාවණ රජු නැවතත් ප්‍රබල හෙළ අසුර අධිරාජ්‍යයක් ගොඩනැංවූ අතර එහි කේන්ද්‍රස්ථානය බවට ලංකාපුරය පත්විය. මේ අනුව රාවණ රජු නිතැතින්ම මහා අධිරාජ්‍යයකු බවට පත් විය. හෙතෙම රණකාමියෙකු වුවත් දහැමි රජෙක් වූ අතර සත්ව ඝාතනයට දැඩි ලෙස විරුද්ධ විය. මේ නිසා ඉන්දියානු ඍෂිවරුන්ගේ බිලි පූජා සහිත යාගහෝම කඩාකප්පල් කිරීමට හේ උනන්දු විය. මේ නිසා ඍෂිවරුන් හා රාවණ රජු අතර ප්‍රබල මතගැටුමක් තිබූ බව පෙනේ. 'දණ්ඩකාරණ්‍යය' යනු ඍෂිවරුන් වාසය කළ වනාන්තරයක් වූ අතර එහි සිදුකල යාග හෝම කඩාකප්පල් කිරීම 'ශුර්පනඛා' නම් රාක්ෂස කුමරිය යටතේ සිදුවිය. ශුර්පනඛා යනු රාවණ රජුගේ නැගණිය යි.

කෙසේ වුවත් මෙම යාගහෝම කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය නිසා හෙළ අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්භ විය. මෙම ක්‍රියාව නිසා ඍෂිවරුන්ගේ උපදෙස් අනුව පාලන කටයුතු කළ ඉන්දියානු රජවරු රාවණ රජුට එරෙහිව අවි එසවීය. දශරථ රජු විසින් තම පුත්‍ර රාමචන්ද්‍ර ව දණ්ඩකාරණ්‍යයට එවන්නේත් රාවණ රජුගේ බලය බිඳලීම සඳහායි. මෙහිදී රාමචන්ද්‍ර විසින් ශුර්පනඛා ප්‍රමුඛ රාක්ෂස සේනාවට ප්‍රහාර එල්ල කල අතර ඊට ප්‍රතිඋත්තර සැපයීමක් ලෙස රාවණ රජු විසින් රාමචන්ද්‍රගේ බිරිඳ වන සීතාව පැහැරගෙන එනු ලැබීය. ඉන්පසු රාමචන්ද්‍ර විසින් ලංකාපුරයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර අනපේක්ෂිත ලෙස රාවණ රජු එම යුද්ධය පරාජය විය.
රාම විසින් ලංකාපුරය ආක්‍රමණය කිරීමට පෙර රාවණ රජු තවත් එක යුදමය පරාජයක් ලබා තිබුණේ ය. ඒ දකුණු ඇමෙරිකාව ප්‍රදේශයේ පිහිටි පාතාල දේශය ආක්‍රමණය කිරීමට ගොස් ලැබූ පරාජයයි. පාතාල දේශය ද කලක් හෙළ අධිරාජ්‍යයේ කොටසක් ව තිබූ නමුත් පාලන තන්ත්‍රයේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා එය හෙළ පාලනයෙන් මිදී ස්වාධීනව කටයුතු කරන තත්වයකට පත්ව තිබිණි. පාතාලය යලිත් හෙළයට ඈඳා ගැනීම සඳහා රාවණ රජු විසින් සටනක් දියත් කලද එය පරාජය වී ඇත. මෙහිදී රාවණ රජු වෙනුවෙන් සටන් මෙහෙයවා ඇත්තේ ශුර්පනඛා කුමරිය ගේ සැමියා වන විද්‍යුත් කුමරු විසිනි. 
කෙසේ වුවත් පාතාල දේශය සමඟ කළ සටනින් ලැබූ පරාජය හෙළ අසුර අධිරාජ්‍යයේ පැවැත්මට බලපෑමක් එල්ල නොකලත් රාමචන්ද්‍ර සමඟ තිබූ සටනින් ලැබූ පරාජය හෙළ අධිරාජ්‍යය බිඳවැටීමටත් හෙළ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු විය. මෙම සටනින් රාවණ රජු පරාජය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විභීෂණ කුමරු විසින් රාජ්‍යලෝභයෙන් යුතුව සිදු කළ මහා පාවාදීමයි. එම පාවාදීම නොවන්නට රාම ට කිසිදිනෙක ජයගන්නට නොහැකි වන අතර ලංකා ඉතිහාසය ද මීට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගනු ඇත.

රාවණ රජුගෙන් පසුව ද හෙළ රජවරුන් රාජ්‍යත්වයට පත් වුවත් එම රජවරු ප්‍රබල තත්වයකට පත් වී නැති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. මෙයට හේතුව වශයෙන් මට පෙනී යන්නේ විභීෂණ ගේ පාවාදීමෙන් පසුව ඉන්දියානු පාලකයින් ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කර එහි ප්‍රබල රාජ්‍ය පාලනයක් ගොඩනැගීමට තිබූ ඉඩකඩ අවුරා තිබීමයි. රාවණ රජුගේ මරණින් පසුව ලංකාපුරය මුහුදේ ගිලී ගිය බව ද ඉතිහාසයේ සඳහන් වේ. මහා පාවාදීමකින් පසුව මේ ආකාරයෙන් හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානියට පත් විය.

Sunday, February 7, 2010

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 2

ඇති යන්තම්.. විභාගේ ඉවරයි. දැන් ඉතින් ටික කාලයක් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කාලෙකින් අලුත් සෙල්ලිපි සටහනක් ලියන්නත් බැරි වුණානේ. ඉතින් ඒ අඩුව පුරවන්නත් එක්කම මම අන්තිමට ලියල තිබුණු 'හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය' සටහනේ ඉතුරු කොටස ලියන්න තමයි මේ හදන්නේ. එහෙනම් ඉතින් කෙලින්ම මාතෘකාවට බහිමුකෝ.

කලින් ලිපියෙන් මම විස්තර කරල තිබුණේ 'විරචන' රජතුමාගේ කාලයට එනකම් විතරයි නේ. එහෙනම් දැන් ඊට පසුව එන ඉතිහාසය ගන ටිකක් කරුණු හොයල බලමු. විරචන රජතුමාගෙන් පස්සෙ ඓතිහාසික සාධක වැඩිපුරම හම්බ වෙන්නේ 'බලි' රජතුමා පිලිබඳවයි. අපේ රටේ පැවති පාලන ක්‍රමයේ තිබුණු අඩුපාඩු සකසා එය වඩාත් පරිපූර්ණ පාලන ක්‍රමයක් බවට පත් කිරීම බලි රජු විසින් කරන ලද ප්‍රධානතම කාර්යයක්. 'වාමන පුරාණ'නමැති ග්‍රන්ථයේ සඳහන් වන්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දීමට මූලික වූයේත් බලි රජතුමා බවයි (නමුත් මහාවංශය කියා සිටින්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දුන්නේ පණ්ඩුකාභය රජතුමා බවයි). ප්‍රකට බලි ඇඳුරෙකු වූ අභාවප්‍රාප්ත ජේ. ඊ. සේදරමන් මහතා ප්‍රකාශ කරන අන්දමට 'බලි යාගය' නමැති ශාන්තිකර්මය හඳුන්වා දී තිබෙන්නේ මෙම රජතුමා විසින්. මීට අමතරව අරිසෙන් අහුබුදු ශූරින් පවසන්නේ 'මහා බලි' සහ 'කනිටු බලි' යනුවෙන් රජවරු දෙදෙනෙක් සිට ඇති බවයි. බලි රජුගේ ප්‍රබලත්වය ක්‍රමයෙන් වැඩිවන විට එතුමාටත් සිදුවන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට සිදුවූ ඉරණමට ම මුහුණ දීමටයි. මෙතුමාටත් ඉන්දියාව තුලින් සතුරෙකු බිහි වෙනවා. 'වාමන' නමැති මෙම සතුරා හින්දු ධර්මය තුළ විෂ්ණු ගේ දසාවතාර වලින් එකක් ලෙස සැලකෙනවා. කෙසේ වුවත් හෙළ අසුර ඉතිහාසය දෙස බලන විට අපට පෙනී යන වැදගත් කරුණක් වන්නේ හෙළ අධිරාජ්‍යයේ බලය බිඳ දැමීමට සෑමවිටම ඉන්දියාව ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම එම සෑම අවස්ථාවකදීම පාහේ ඉන්දියාවට ජය ලැබීමටද හැකි වී තිබෙනවා. ඉතිහාසඥයින් කියාසිටින පරිදි මෙයට හේතුව වී ඇත්තේ හෙළ රජවරු යුදමය ශක්තිය වර්ධනය කිරීමට නොව සාමකාමීව තම අධිරාජ්‍යය වර්ධනය කරගනීම සඳහා වැඩි අවධානය යොමු කිරීමයි. කෙසේ වුවත් බලි රජුගෙන් පසුව මෙම තත්වය තරමක් වෙනස් වී ඇති අතර ඊට පසුව සිටි රජවරු තම යුදමය ශක්තිය වර්ධනය කරගැනීම කෙරෙහි ද තම අවධානය යොමු කර තිබෙනවා. ආචාර්ය සූරිය ගුණසේකරයන් ප්‍රකාශ කරන අන්දමට බලි රජුට පසුව හෙළ රාජවංශය තුල යුදමය ශක්තිය වර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ශක්‍ර ගේ දියණිය වන දේවයානි ය. 'ශක්‍ර' යනු හෙළ අසුර අධිරාජ්‍යයේ පැවති අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානියා හැඳින්වීමට භාවිතා කල තනතුරු නාමයයි.
දේවයානි ට තාරක, සුරපද්ම, සිංහමුඛ නම් පුතුන් තිදෙනෙක් සහ අජමුඛි නම් දියණියක් සිට ඇති අතර කුඩාකල සිටම ඔවුන්ට යුද පුහුණුව ලබා දීමට දේවයානි කටයුතු කර තිබෙනවා. මෙම දරුවන් වැඩිවියට පැමිණීමත් සමග අවට රාජ්‍යයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය, තුර්කිය හරහා ග්‍රීසිය තෙක්ම යුදමය වශයෙන් තම අණසක පැතිරවීමට මෙම දරුවන්ට හැකි වී තිබෙනවා. මෙම ක්‍රියාවලියත් සමගම එතෙක් සංස්කෘතික අධිරාජ්‍යයක් වශයෙන් පැවති හෙළ අසුර අධිරාජ්‍යය දේශපාලනික අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා.
මේ ආකාරයෙන් හෙළ අධිරාජ්‍යය ප්‍රබලත්වයට පත් වූ පසු ඉහත කී කුමාරවරු තිදෙනා හෙළදිව කොටස් තුනකට බෙදාගෙන පාලනය කර තිබෙනවා. තාරක කළුතර ආසන්නයේ පිහිටා ඇති වෙලාපුරයේත් සුරපද්ම මහේන්ද්‍රගිරි ප්‍රදේශයේත් පාලනය බාර ගන්නා අතර සිංහමුඛ විසින් ලංකාපුරය අගනුවර බවට පත් කරගෙන තිබෙනවා. 

මෙම දේශපාලනික ව්‍යාප්තවාදය නිසාම පසුකාලීනව හෙළ අසුර අධිරාජ්‍යය බිඳවැටීමට ලක් වෙනවා. ඒ පිළිබඳ කරණු ඊළඟ සෙල්ලිපි සටහනෙන් සාකච්ඡා කරමු.