Saturday, November 7, 2009

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය

අද බ්ලොග් ලිපියෙන් මම කතා කරන්න යන්නේ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පිළිබඳවයි. ඒ නිසා මුලින්ම අපි හෙළ අධිරාජ්‍යයේ සිටි රජවරු ගැන ටිකක් දැනගනිමු.
ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හෙළයන් විසින් මුලින්ම තමන්ගේ රජු හැටියට පත් කරගෙන තියෙන්නේ 'මහා සම්මත මනු' රජතුමායි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+නා+අරම). හැබැයි ඒ බව සනාථ කරන්නට පුළුවන් ශක්තිමත් සාධක නම් තාමත් හම්බ වෙලා නැතිලු. ඒත් වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ නිසා මන්නාරම කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' පිහිටලා තියෙන්නෙත් මන්නාරමට ආසන්නවයි.
රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. ඒ රාජවංශය මෙසේයි.
  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ 
  6. උපෝසථ
  7. මහා මන්දාතු 
  8. වරමන්දාතු
  9. චේතිය 
  10. චේතියගේ පලමු පුත්‍රයා 
  11. චේතියගේ දෙවන පුත්‍රයා 
  12. චේතියගේ තෙවන පුත්‍රයා 
  13. චේතියගේ සිව්වන පුත්‍රයා 
  14. චේතියගේ පස්වන පුත්‍රයා 
  15. මහා මුචලින්ද 
  16. මුචලින්ද 
  17. පළමුවන සාගර 
  18. දෙවන සාගර 
  19. භරත 
  20. රුචි 
  21. සුරුචි 
  22. පතාප 
  23. මහා පතාප 
  24. පහද 
  25. සුදස්සි 
  26. නෙරුප 
  27. මහා නෙරුප 
  28. අසිරිමත්
මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වශයෙන් බෞද්ධ සාහිත්‍ය තුළද දකින්නට පුළුවන්. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබිලා තියෙනවා. ඒ වාගේම පුරාණ ඉන්දියාවත් තිබිලා තියෙන්නේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් විදිහට. මෙම රජවරුන්ට පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. සමහර ඉතිහාසඥයන් කියන විදිහට හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු කියලා කියන්නේ එකම රජ කෙනෙකුට ලු. ඒත් ඒ සම්බන්ධයෙන් නම් තරමක ගැටළුවක් පවතිනවා. රාජාවලියේ සඳහන් වෙන විදිහට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමා. ඒත් සමහර ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවයි. ප්‍රාලද කියලා කියන්නේ වරමන්දාතු රජුටම නම් මේ ගැටළුව විසඳෙනවා. එය විසඳීම ඉතිහාසඥයින්ට බාරයි.

කොහොම වුනත් හිරණ්‍ය කාශ්‍යප කියලා කියන්නෙත් මුළු ලෝකයම පාලනය කල අති ප්‍රබල රජෙක්. යුරෝපයේ පිහිටි මහා අයිස් තට්ටුව දියවෙලා ගිහින් භූමිය පෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ රජුගේ කාලයේදියි. හිරණ්‍ය කාශ්‍යප රජුගේ තේජස කොතරම්ද කියනවා නම් එකල විසූ සාමාන්‍ය ජනයා විශ්වාස කරලා තියෙන්නේ තම රජුගේ ඇස් වලින් පිටවූ තේජස් රශ්මිය නිසා මේ හිම දිය වීම සිද්ධ වුනා කියලයි. ඉන්දියානු ග්‍රන්ථයක් වන 'විෂ්ණු පුරාණය' මේ හිම දියවීම සම්බන්ධයෙන් හිරණ්‍ය කාශ්‍යප රජුට දොස් පවරන්නේත් ඉහත සඳහන් කල වැරදි විශ්වාසය නිසායි.
හිරණ්‍ය කාශ්‍යප රජු විසින් කරන ලද විශිෂ්ට නිර්මාණයක් වන්නේ 'කැස්පියන් මුහුද' යි. මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි. මෙය නිර්මාණය කර ඇති ප්‍රදේශයට භූමි මාර්ගයකින් ගමන් කිරීම එකල ඉතා අපහසු වන්නට ඇති අතර ඒ නිසා බොහෝදුරට රජතුමා මේ ප්‍රදේශයට යන්නට ඇත්තේ ගුවන් මාර්ගයෙනුයි. මේ මහා ජලාශය ඉදිකිරීමෙන් පසුව කොකේසස් කඳු වැටිය ජනාවාස කිරීමද මේ රජතුමා විසින් සිදුකර තිබෙනවා. අධිරාජ්‍යයෙකු ලෙස ප්‍රබල තත්වයකට පත් වෙනවිට ඊට විරුද්ධව ප්‍රබල සතුරන් ද ඇතිවීම සාමාන්‍ය දෙයක්.ඒ අනුව හිරණ්‍ය කාශ්‍යප රජුටත් සතුරන් ඇතිවෙනවා. අවසානයේදී නරසිංහ නම් ඉන්දියානුවෙකුගේ ප්‍රහාරයකින් හිරණ්‍ය කාශ්‍යප රජු මරුමුවට පත් වෙනවා. හින්දු සාහිත්‍ය තළ මේ නරසිංහ නමැත්තා සඳහන් වෙන්නේ විෂ්ණුගේ නරසිංහාවතාරය ලෙසින්. කෙසේ වුවත් හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරනයෙන් පසුව හෙළ අධිරාජ්‍යය බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නේ ඔහුගේ පුත් 'ප්‍රාලද' විසින්. හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ප්‍රාලද කියන්නේ විෂ්ණු භක්තිකයෙක් කියලා. සමහරවිට ප්‍රාලද කුමාරයා නරසිංහ සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සමගි සන්ධානයකට එලඹෙන්නට ඇති. ඒ නිසා හින්දු පුරාණය ඔහුව විෂ්ණු භක්තිකයෙක් ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්.

ප්‍රාලදගෙන් පසුව රජවන්නේ ඔහුගේ පුත්‍රයා වන 'විරචන' කුමරුයි. මොහුත් අති ප්‍රබල සහ දක්ෂ පාලකයෙක්. දකුණු අමෙරිකානු කලාපය ජනාවාස කරවන්නේ මේ රජතුමා විසින්. මෙම කලාපය ලෝක ගෝලයේ අනෙක් පසින් හෙවත් හෙළ අධිරාජ්‍යයේ ජනයාගේ පාද වලට යටින් පිහිටා තිබුණු හෙයින් පාද තල යට ලෝකය හෙවත් පාතාල ලෝකය ලෙස හඳුන්වලා තිබෙනවා. අද 'ඉන්කා අධිරාජ්‍යය' කියලා හඳුන්වන්නේ විරචන රජු විසින් ජනාවාස කරපු ප්‍රදේශයයි. හෙළයින්ගේ වැව් සංස්කෘතිය ආශ්‍රිත ශිෂ්ටාචාරයේ ලක්ෂණ මේ ජනාවාස වලත් දකින්න පුළුවන්. හිරණ්‍ය කාශ්‍යප රජු කැස්පියන් මුහුද ඉදිකර ඒ ආසන්නයේ පිහිටි කොකේසස් කඳුවැටිය ජනාවාස කළා. විරචන රජු ටිටිකාකා විල අසල පිහිටි ඇන්ඩීස් කඳුවැටිය ජනාවාස කළා. ඉන්කා අධිරාජ්‍යය තුල පිහිටි ඉන්කා දෙවොල හෙවත් විරචන දෙවොල ඉතා විශිෂ්ට නිර්මාණයක වන අතර ඒ තුළ නිර්මාණය කර තිබෙන විරචන රජුගේ ශෛලමය පිළිරුවක් අදත් අපට බලා ගන්න පුළුවන්. ඉන්කා අධිරාජ්‍යය තුල විරචන රජුව හඳුන්වා තියෙන්නේ වීරකෝච නමින්. ඉන්කා අධිරාජ්‍යය සතුව ඉතා දක්ෂ ඉංජිනේරුවන් සිට ඇති අතර 'විශ්වකර්ම' ලෙස හැඳින්වෙන අති දක්ෂ ඉංජිනේරුවා ද සිට ඇත්තේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් වූ ඉන්කා අධිරාජ්‍යයේ යි.

එහෙනම් අදට මේ ඇති. හෙළ අධිරාජ්‍යයේ ඉතුරු තොරතුරු ඊළඟ ලිපි වලින් කතා කරමු.

Saturday, October 31, 2009

හෙළ ඉතිහාසය සහ බුදුන් වහන්සේගේ ලංකාගමනය

මේ බ්ලොග් ලිපියෙනුත් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සැඟවුණු හෙළ ඉතිහාසය පිළිබඳවයි. ඒ වාගේම බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව තිබෙන ගැටළු සහගත තැන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි දන්නා පරිදි බුදුන් වහන්සේ මෙරටට තුන් වරක් වැඩම කර ඇති අතර ඉන්පසුව මහාවංශය පවසන පරිදි දෙවනපෑතිස් රජු කල මිහින්දු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදු දහම ගෙනැවිත් ඇත. අප දන්නා ඉතිහාස කතාව මේ ආකාර වුවත් ඓතිහාසික සාධක වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් කතාවක්.

බුදුන් ගේ කාලයේදීත් හෙළ අසුර අධිරාජ්‍යය ඉතා දියුණු මට්ටමක පැවතිලා තිබෙනවා. 'සාතගිර' සහ 'හේමවත' වැනි යක්ෂ සෙන්පතිවරුන් ගැනත් ඔවුන් ගුවනින් පැමිණ බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ බවත් බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ අනුව පුරාණ ඉන්දියාව තුළ තිබුණු හෙළ අසුර අධිරාජ්‍යයේ බලපෑම ගැනත් ඔවුන් විසින් භාවිතා කළ ගුවන් යානා ( දඬුමොණර යන්ත්‍ර ) ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. මීට කලින් මම ලියපු බ්ලොග් ලිපියක කියලා තිබුණා බුදුන් වහන්සේට සමකාලීනව ලක්දිව රජකම් කල රජතුමා 'පනිත' නම් වන බව. කිසියම් හේතුවක් නිසා මේ රජතුමා අපේ රාජාවලියෙන් ඉවත් වී තිබෙනවා. ගැටළුව පැන නගින්නේ මෙතැන් සිටයි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත්තේ නැවකින් වන අතර, උන් වහන්සේ ජල යාත්‍රාවක සිට දහම් දෙසමින් වැඩම කරන ආකාරය දැක්වෙන සිතුවමක් පොලොන්නරුවේ තිවංක පිළිම ගෙයින් ද හමු වී තිබෙනවා. මෙම කරුණ සනාථ කළ හැකි හොඳම උදාහරණය නම් මහියංගනයේ ඇති 'ගෝතම ඇල' යි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර ඇත්තේ මේ ඇල මාර්ගය හරහායි. පසුකාලීනව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මේ ඇල 'ගෝමතී ඇල' ලෙස නම් කර තිබෙනවා. දැනට හමු වී ඇති සෙල්ලිපි වලට අනුව, අද සුමන සමන් දෙවියන් ලෙස හඳුවන තැනැත්තා පනිත රජුගේ අයකැමි ලෙස සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. දඬුමොණර යන්ත්‍රයකින් බුදුන් වහන්සේව මහියංගනයේ සිට සමනල කන්ද වෙත වැඩමවාගෙන ගොස් තිබෙන්නේ මේ සුමන විසින්. පනිත රජුගෙන් පසුව සුමනගේ වැඩිමහල් පුතු වූ 'දමරජ' නමැත්තා රජ වී ඇති අතර ඉන්පසුව රජ වී තිබෙන්නේ දමරජගේ පුත් 'මහතිස' නමැත්තායි. මහතිස ගේ දියණිය 'අබිසවෙර' හෙවත් 'විහාර මහා දේවිය' වන අතර ඇය 'ගෝඨාභය' ගේ පුත් 'තිස්ස' හෙවත් 'කාවන්තිස්ස' සමග විවාහ වී තිබෙනවා. මේ හා සම්බන්ධ පැහැදිලි විස්තරයක් කොටාදැමුහෙල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි තිබෙන්නේ "......දමරජ පුත් මහතිසගේ දියණි අබිසවෙර එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස යන අයගේ බිරිඳ අබිසවෙර විසින් මේ ලෙණ සංඝයාට දුනි......" යන්නයි. මේ අනුව මෙහි කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ පෙළපත පැහැදිළිව සඳහන් වෙනවා.

එසේ නම් විහාර මහා දේවියගේ පුත් දුටුගැමුණු කුමරු උපත ලබන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වැඩි කාලයක් ගත වීමට මත්තෙන් විය යුතුය. දැන් ගැටළුව තවත් සංකීර්ණ වෙනවා. මහාවංශයට අනුව මහින්දාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සැලකිය යුතු කාලයකට පසුව වන අතර දුටුගැමුණු කුමරු රජ වන්නේ ඊටත් සෑහෙන කලකට පසුවය. නමුත් සෙල්ලිපි වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් ඉතිහාසයක්. ඒ අනුව දෙවනපෑතිස් රජු බලයට පත් වන්නේ දුටුගැමුණු රජුට පසුව විය යුතුය. එසේත් නැතිනම් දෙවනපෑතිස් යනු හුදු ඓතිහාසික නිර්මාණයක් විය යුතුය.

කොහොම වුනත් එක් එක් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන් නිර්ණය කිරීමේ කාර්යයේදී නම් මහාවංශ කතුවරයා බොහෝ වැරදි සිදු කර තිබෙනවා. එම කතුවරයාට අනුව මුටසීව රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වන අසේල රජ වන්නේ තම පියා රජ වී වසර 152 කට පසුවයි. නමුත් අසේලගේ සිට දුටුගැමුණු දක්වා රාජ පරම්පරා 5 ක් ඉතාමත් කෙටි කාලයක් තුල රජ වී තියෙනවා. මේ අනුව බලන කල දෙවනපෑතිස් රජු සම්බන්ධයෙනුත් මෙවැනිම අවුලක් සිදු වී ඇති බව සැලකිය හැකියි.

දෙවනපෑතිස් රජු පිළිබඳව සැක පහල වන තවත් කරුණක් නම් ඔහු සම්බන්ධව මහාවංශයේ සඳහන් කරුණු හැරුනු විට වෙනත් කිසිම ඓතිහාසික සෙල්ලිපියක් හේ සටහනක් නොමැති වීමයි. විජය රජුගේ සිට දෙවනපෑතිස් රජු දක්වා කිසිම සෙල්ලිපියක් මෙතෙක් හමු වී නැත. නමුත් ඊට කලින් සිටි රාවණ ආදී රජුන්ගේ සෙල්ලිපි හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් මිහිඳු හිමි ප්‍රමුඛ සංඝයාට ලෙන් පූජා කළ බව මහාවංශයේ සඳහන් වුවත් ඒ එක් ලෙණකවත් ඒ බව සඳහන් කර නැත. නමුත් රාවණ රජුගේ කාලයේ සිටම ලෙන් පූජා කිරීමේදී ඒ බව ලෙනෙහි සඳහන් කිරීම අනිවාර්යයෙන්ම කර ඇති කටයුත්තකි.

මේ සියලුම කාරණා සලකා බැලීමේදී ලංකා ඉතිහාසයේ නිවැරදි විය යුතු තැන් බොහොමයක් තියෙන බව නම් අපට පැහැදිලි වෙනවා. මේවා නිවැරදි කිරීම වහාම සිදුවිය යුතු අතර එය ජාතික වගකීමක් ද වෙනවා. එහෙනම් මීලඟ ලිපියෙන් අපි රාවණ රජුගේ යුගයේ තිබූ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ගැන කතා කරමු.

Friday, October 23, 2009

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය - 2

මගේ කලින් බ්ලොග් පෝස්ට් එකෙන් අපි කතා කලේ තවමත් සැඟවිලා තියෙන සෙල්ලිපි ගැන කියලා ඔයාලට මතක ඇති. මේ සෙල්ලිපි වලින් කියැවෙන අතීතය යට යන්නට හේතු වන තවත් කාරණයක් නම් මේවා ලියා ඇති අක්ෂර අශෝකාක්ෂර වලට සමාන වීමයි. කොඩ්‍රින්ටන් පන්නයේ ඉතිහාසය තුල ශ්‍රී ලංකාවට අක්ෂර කලාව ලැබෙන්නේ මිහිඳු මාහිමියන් හරහා බව සඳහන් වෙනවා. මේ නිසා ඊට කලින් අපේ රටේ තියෙන ලිඛිත ඓතිහාසික සාධක පිලිගන්නට අපේ ඉතිහාසඥයින් කැමති නැහැ. ඔවුන් විසින් සිදු කරන මේ වරද නිසා වසර 10,000 ටත් වඩා එහාට දිව ගිය ඉපැරණි ඉතිහාසයක් හෙළිදරව් කරගැනීමට අපහසු වී තිබෙනවා.

මහාවංශයට අනුව ලක්දිව රාජ වංශය ආරම්භ වන්නේ විජය රජුගෙන් වුවත් ඊටත් පෙර සිටම මෙහි ප්‍රබල රජ පරපුරක් සිටි බව පිළිගත හැකි සාධක බොහොමයක් පවතිනවා. විජය රජුට හමු වූ කුවේණියත් රජ කුමරියක් බව සෙල්ලිපි වල සඳහන් වෙනවා. එම සෙල්ලිපි වලට අනුව කුවේණිය යනු 'බිම්බා' රජුගේ දියණියයි. මෙයත් විජය ට පෙර තිබූ රාජ වංශය සම්බන්ධ සාක්ෂියක්. ආචාර්ය සූරිය ගුණසේකරයන් පවසන පරිදි 'කුවේණි' යනු ආරූඪ නාමයක් ( කළුවන් සමක් ඇත්තී ). ඇගේ නියම නම 'ලීලාවතී'. නමුත් මේ නියම නම සඳහන් වන්නේ කොහේදැයි කියා එතුමා සඳහන් කර නැහැ. මෙකල මර්ගන නගරය ( මන්නාරම අසල පිහිටා තිබූ නගරයක් ) පාලනය කල 'අල්ලිරාණි' කුමරිය කුවේණියගේ ඥාති සහෝදරියයි. අල්ලිරාණි යනු 'කුම්බා' රජුගේ දියණියයි. කුරුණෑගල පිහිටි 'විල්බා ජනපදය' පාලනය කර ඇත්තේ විජය ට දාව කුවේණියට ලැබුණු පුත්‍රයා වන 'ජීවහත්ථ' විසිනි. බෝධිවංශයට අනුව විල්බා ජනපදය පාලනය කර ඇත්තේ 'වීරබාහු' රජු විසිනි. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ථ යනු ප්‍රාණවත් හස්තයයි. මේ නම් දෙකෙහිම සමානත්වයක් දකින්නට පුළුවන්. ඒ අනුව වීරබාහු සහ ජීවහත්ථ යනු එක් පුද්ගලයෙක්ම විය හැකියි.

මීලඟ ලිපියෙන් මහාවංශ ඉතිහාසය සහ බුද්ධ චරිතය ගැටෙන ආකාරය ගැන කතා කරමු.

Friday, October 16, 2009

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය

කාලෙකට පස්සෙ ආයෙත් සෙල්ලිපි සටහනක් තියන්න වෙලාවක් හම්බ වුනා... ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහනෙන් කිව්වා හෙළ ඉතිහාසය ගැන ලිපි පෙළක් ලියන්න අදහසක් තියෙනවා කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඒ ලිපි පෙළ ලියන්න පටන් ගන්නයි.

ඇත්තටම අපි අපේ රටේ ඉතිහාසය කියලා ඉගෙනගන්නේ නිවැරදිම ඉතිහාසය නෙවෙයි. 'මහාවංශය' නම්වන එතරම් නිරවද්‍යතාවයකින් යුක්ත නොවූ ඉතිහාස ග්‍රන්ථය පාදක කරගෙන 'එච්.ඩබ්ලිව්. කොඩ්‍රින්ටන්' නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් 1912 දී ලියපු ඉතිහාසය තමයි තාමත් අපේ රටේ නිවැරදි ඉතිහාසය විදිහට පිළිගන්නේ. ඒත් මේ පුද්ගලයා අපේ රටේ ඉතිහාසය ගැන ලියනකොට අතීත හෙළ රජ දරුවන් විසින් කරවපු සෙල්ලිපි ආදී බොහොමයක් ඓතිහාසික සාක්ෂි හිතාමතාම හෝ නොදැනුවත්වම හෝ මගහැරලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ඉතිහාසයත් මුලින්ම ලියලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ තමයි. ඒ රටේ ඉතිහාසයත් අපේ වගේම විකෘති කරලා තමයි මුලින්ම ලියලා තියෙන්නේ. ඒත් පසුකාලීනව ඉන්දියානුවන්, තමන් විසින්ම තමන්ගේ ඉතිහාසය ලියාගැනීමේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒ අනුව ඉන්දියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා සුද්දෝ හදපු වැරදි ඉතිහාසය අත්හැරලා නිවැරදි ඉතිහාසය යලිත් ගොඩනගන්නට. දැන් ඉන්දියාවේ උගන්වන්නේ ඒ නිවැරදි ඉතිහාසයයි. ඒත් අවාසනාවකට වගේ තාමත් අපේ රටේ උගන්වන්නේ අර කොඩ්‍රින්ටන් විසින් ලියනු ලැබූ වැරදි ඉතිහාසයමයි. ඉතිහාසය සම්බන්ධව කොච්චර මහාචාර්යවරු අපේ රටේ හිටියත් ඒ අයගෙන් හුඟදෙනෙකුට අපේ ඉතිහාසය නිවැරදි කරන්න අදහසක් පහළ වෙලා නැහැ. වෙන එකක් තියා මහාචාර්ය පරණවිතානයනුත් කරලා තියෙන්නේ කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසය තහවුරු කරන්න පුළුවන්තරම් උත්සාහ කරපු එකයි. ඒ නිසා එතුමා සමහර සෙල්ලිපි සිංහලයට පරිවර්තනය කරනකොට වැරදියට තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් එතුමාව ගුරු තනතුරේ තබාගනිමින් කටයුතු කරන අදකාලේ බොහෝ විද්වතුනුත් උත්සාහ ගන්නේ නිවැරදි දේ සොයා යන්නට නොව 'කොඩ්‍රින්ටන්-පරණවිතාන ගුරු කුලය' ආරක්ෂා කරන්නටයි.

හැබැයි නිවැරදි හෙළ ඉතිහාසය හෙළිදරවු කරන්න උත්සාහ ගන්න පරපුරකුත් දැන් දැන් ගොඩනැගෙමින් පවතිනවා. 'ආචාර්ය සූරිය ගුණසේකර' සහ 'ජයරත්න පතිරආරච්චි' කියන්නේ මේ පරපුර ගොඩනඟන්න පුරෝගාමී වූ විද්වතුන් දෙදෙනෙක්. මම මේ ලිපි පෙළ ලියන්න පාදක කර ගන්නෙත් එතුමන්ලා විසින් සම්පාදනය කරපු පතපොතයි. ඉතින් මේ ලිපි පෙළෙන් මං බලාපොරොත්තු වෙන්නේ එතුමන්ලා විසින් හෙලිදරවු කරගත් නිවැරදි හෙළ ඉතිහාසය පිළිබඳව ඔයාලවත් දැනුවත් කරන්නයි.

මහාවංශයට අනුව ලංකාව ජනාවාස වී ශිෂ්ටාචාරයක් බවට පත්වන්නේ විජයාගමනයෙන් පසුව බව කියැවුනත් ඊටත් බොහෝ කාලයකට පෙර සිට අප රටේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි හමු වී තියෙනවා. බුදු දහමේ පවා සඳහන් වෙනවා පෙර විසූ කකුසඳ, කෝණාගම ආදී බුදුවරුන්ගේ කාලයේදී ලංකාවේ රජකම් කල රජවරු ගැන. ඒ වාගේම ඒ බුදුවරුන්ගේ කාලයේදීත් ලංකාවට බුදුදහම ගෙන ආ බව කියැවෙනවා. කකුසඳ බුදුන් වහන්සේගේ ධර්මය ලංකාවේ තිබුණු බවට සහ ඒ කාලයේදී පවා ලංකාවේ අක්ෂර කලාව පැවති බවට සාක්ෂි 'පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි කකුසඳ බුදුන්ගේ නම සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති. බොහෝවිට මේ සෙල්ලිපිය ලියැවෙන්නට ඇත්තේ කකුසඳ බුදුන්ගේ කාලයේ වෙන්නට පුළුවන්. මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ තියෙන තවත් සෙල්ලිපියක '....පරුමක ශමුදහ ලෙණෙ කොනගම නම කරපිති අදකරකෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කොනගම' යනු කෝණාගම බුදුන්වහන්සේ යැයි විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම මාදුරුඔය ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපියක '....කශබ බුදහ මඩිමතයෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කශබ බුදහ' යනු කාශ්‍යප බුදුන් වහන්සේ ය. ඒ අනුව මෙතරම් ඈත අතීතයේදි පවා ලියැවුණු සෙල්ලිපි හමුවීමෙන් ලංකාවේ අක්ෂර කලාවට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙන බව සලකන්නට පුළුවන්. එසේනම් මහාවංශය කියන පරිදි අපේ රටට අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනයත් සමග ය යන කතාව වැරදි බව ඔප්පු වෙනවා. ඒ වගේම අතීතයේදිත් අපේ රටේ දියුණු අක්ෂර කලාවක් තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ යුගයේදීත් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවයි. ඒත් කොඩ්‍රින්ටන් විසින් ඉතිහාසය ලියද්දී මේ සාධක සියල්ලම අතහැර දමා තිබෙනවා.

ශිලා ලිපි වලට අනුව ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදී ලංකාවේ රජකම් කර ඇත්තේ 'පනිත' නම් රජ කෙනෙක්. කුමක් හෝ හේතුවක් නිසා මේ රජතුමා අපේ ඉතිහාස පොත් වලින් ඉවත් වී තිබෙනවා. බොහෝවිට විජය රජතුමාට රාජාවලිය තුල ඉඩක් දීම සඳහා මහාවංශය විසින් මෙසේ කලා වන්නට පුළුවන්. ඒ වාගේම 'සුමන (සමන්)' යනු පනිත රජුගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළ තැනැත්තා බවද සෙල්ලිපි වල සඳහන් වෙනවා. මේ 'සුමන' යන නාමය සඳහන් සෙල්ලිපි 30 කට වැඩි ප්‍රමාණයක් දැනට හම්බ වෙලා තියෙනවා. මේ අනුව ද විජයාගමනයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව ඔප්පු වෙනවා.

Sunday, October 4, 2009

ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය ( දඬුමොණරය ගැන - 9 ) - අවසන් ලිපිය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.

මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.

මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා කියන්නේ පක්ෂියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගත් විමාන වර්ගයක්.

සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ දඬුමොණර තාක්ෂණය ගැන වැඩිදුර කරුණු ඔයාලා දන්නවනම් ඒවා comments විදිහට සටහන් කරන්න.

මගේ අදහසක් තියෙනවා මීළඟට 'හෙළ ඉතිහාසය' ගැන ලිපි කීපයක් ලියන්න. ඒ කියන්නේ මහාවංශයේ සඳහන් වෙන බොරු ඉතිහාසය ගැන නෙවෙයි. පුරාණ සෙල්ලිපි වලින් කියැවෙන ඇත්තම ඉතිහාසය ගැන ලියන්න. වෙලාව තියෙන විදිහට ඒ ලිපි පෙළත් ලියන්න පටන් ගන්නම්.

Friday, October 2, 2009

සුන්දර විමානය ( දඬුමොණරය ගැන - 8 )

මීට කලින් මම ලියපු ලිපියෙන් අපි 'රුක්ම විමාන' ගැන කතා කලානේ. මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ 'සුන්දර විමාන' ගැනයි. එහෙනම් මුලින්ම අපි සුන්දර විමානයක රූපයක් අධ්‍යයනය කරලා ඉමු.

මේ යානයත් හැඩයෙන් රුක්ම විමානයකට ගොඩක් සමානයි කියලා බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න ඇති. බාහිර පෙනුම සමාන වුවත් සැකැස්ම අතින් නම් වෙනස්කම් දකින්න පුළුවන්. සුන්දර විමානයක පාදම හෙවත් 'පීත' ප්‍රදේශය කොටස් 8 කින් සමන්විත වෙනවා. ඒවා නම්;

  1. භූමි තැටිය හෙවත් පහලින්ම පිහිටි පීත කොටස
  2. ධූම කවුළුව
  3. වායු ඇන්ජින් පහ
  4. භූජ්‍ය නම් ලෝහ බටය
  5. සුළං පංකාව
  6. විදුලි උත්පාදක යන්ත්‍රය
  7. සිව්මුහුණු තාපකය
  8. බාහිර ආවරණය
මෙම සුන්දර විමාන වල පීත කොටස අනිවාර්යයෙන්ම රාජලෝහයෙන් සෑදිය යුතු අතර එය සතරැස් හෝ වෘත්තාකාර හැඩයක් විය යුතුව තිබුණා. පාදම වෘත්තාකාර වන්නේ නම් සාමාන්‍යයෙන් එහි පරිධිය අඩි 100ක් විතර වන ලෙස තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ගනකම නම් අඩි 8 ක් විතර වෙලා තියෙනවා.
මේ විමානය මධ්‍යයෙන් ඉහලට එසවුණු ප්‍රධාන කුඹගසක් පිහිටා තිබෙන බව රූප සටහනේ දැක්වෙනවා. මෙය හැඳින්වෙන්නේ 'නාලස්ථම්භ' නමින්. මෙය අඩි 56 ක් උසින් යුක්ත වන අතර විෂ්කම්භය අඩි 4 ක් විතර වෙනවා. යානය තුල විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන වායු වර්ග ගබඩා කර තබා ඇත්තේත් මේ කුඹගස පතුලේ පිහිටා ඇති ටැංකියකයි.

'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන්නේ මේ යානය ගුවන්ගත කරවීමට ඉන්ධනයක් ලෙස ජලය ද යොදාගත් බවයි. මෙහිදී අධික ලෙස රත් කළ ජල වාෂ්ප යොදාගෙන ඇති අතර ඊට අමතරව විද්‍යුත් කෝෂ මගින් විදුලි බලයද ලබාගෙන තියෙනවා. මේ විද්‍යුත් කෝෂ සවි කර ඇත්තේ යානයේ වම්පසට වන්නටයි.
යානය උඩට එසවීමේ කාර්යය සිදු කර තිබෙන්නේ 'වාතප්‍රසාරණ යන්ත්‍ර' නමැති යන්ත්‍රයක් මගින්. මෙම යන්ත්‍රය සෑදීමටත් විශේෂ ලෝහයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලෝහය 'වාතමිත්‍ර' කියලා තමයි හඳුන්වන්නේ. මෙයත් 'රාජලෝහය' වාගේම වෙනත් රසායනික ද්‍රව්‍ය රැසක් යොදාගෙන නිර්මාණය කරනු ලබන්නක්.

සුන්දර විමානයේ වේගය ගැන කතා කරනවානම්, මෙයට ඉතා කෙටි කාල පරාසයක් තුල සැතපුම් 3600 ක් දුර යාමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි සුළං පංකා වල භ්‍රමණ වේගය 'ලින්ක 2500 ක්' කියලා තමයි සඳහන් වෙන්නේ. 'ලින්ක' කියන ඒකකයේ ප්‍රමාණය නම් මට හොයාගන්න බැරිවුනා.

Saturday, September 26, 2009

රුක්ම විමානය ( දඬුමොණරය ගැන - 7 )

අපි මේ වෙනකොට විමානයක මූලික කොටස් සහ එහි මූලික ක්‍රියාකාරිත්වය මෙන්ම විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ක්‍රමවේද ගැනත් දැනගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට දැන් විමාන තාක්ෂණය ගැන සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා කියන එකයි. ඉතින් මේ සෙල්ලිපි සටහනේ ඉඳන් අපි එක් එක් වර්ගයේ විමාන ගැන වෙන වෙනම කතා කරමු. මේ ලිපි පෙළේ මුල්ම ලිපියේ මම විමාන වර්ග වල නම් කීපයක් සටහන් කරලා තිබුණා ඔයාලට මතක ඇති. ඒවා අතරින් අද අපි කතා කරන්න යන්නේ 'රුක්ම විමානය' ගැනයි.

මුලින්ම අපි රුක්ම විමානයක් කියන්නේ කොයිවගේ යානයක් ද කියලා බලමු. මේ පහළින් තියෙන්නේ රුක්ම විමානයක බාහිර පෙනුමේ දළ සටහනක්. ( රූපසටහන් සියල්ල උපුටාගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන් )



'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමානයක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්‍රාවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්‍රියාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා. විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙන්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාලා මේ වර්ණය පිළියෙල කලේ කොහොමද කියලයි මං දැන් ලියන්න යන්නේ. මෙන්න මේවා තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ අනුපාත....
ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස් 18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්‍රය (නැට්‍රොන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්‍ය වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්‍රමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්‍රණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්‍රව්‍ය ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති.
කොහොමහරි මේ රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙල්සියස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයකින් හදපු කෘත්‍රිම ලෝහයක්.

දැන් වර්ණ නිර්මාණය ගැන කතා කලා ඇති. ඉතුරු කොටස් ගැනත් කතා කරමු. රුක්ම විමානයේ යට කොටස හඳුන්වන්නේ 'පීත' කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 'කැස්බෑවෙකුගේ' හැඩයටලු. ඒ කොටස සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ අඩි 1000 ක් දිගට සහ අඩියක් ඝනකම වෙන ආකාරයටයි. ( ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද යානයේ ප්‍රමාණය ගැන ).  

මේ තියෙන්නේ යානයේ හරස්කඩක දළ සටහනක්...


මේ රූපය හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සුළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් (සිංහල පැයක්) වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

පහළින් තියෙන්නේ රුක්ම විමානයේ පාදම හෙවත් පීත කොටසේ රූප සටහනක්.....



දැන් රුක්ම විමානය ගැනත් ඔයාලට යම් තරමක අවබෝධයක් තියෙනවානේ. එහෙනම් ඊළඟ සෙල්ලිපි සටහනෙන් තවත් විමාන වර්ගයක් ගැන කතා කරමු.

Friday, September 25, 2009

විමානයක සැකැස්ම ( දඬුමොණරය ගැන - 6 )

අද ඉඳන් අපි කතා කරමු විමානයක සැකැස්ම ගැන. මං විමාන ගැන ලියපු මගේ මුල්ම සෙල්ලිපි සටහනේදී කියලා තිබුණ නේද විමාන වර්ග කීපයක් ගැන... ඒවා ගැන වෙන වෙනම ඊළඟ ලිපි වලින් කතා කරමු. අද ආරම්භයක් විදිහට, ඕනෑම විමානයක තිබිය යුතු මූලික යාන්ත්‍රන ගැන දැන ගනිමු. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ කියන විදිහට විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබිලා තියෙනවා. මේවයින් බොහොමයක නාමයන් මීට කලින් මම ලියපු ලිපි වලත් සඳහන් වෙලා ඇති. ඒත් ලිපි පෙළ සම්පූර්ණ වෙන්න ඕනේ නිසා මම යාන්ත්‍රණ 31 ම දැන් සඳහන් කරන්නම්.
  1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්‍රියා දර්පනය'.
  2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්‍යාකර්ශන දර්පනය'.
  3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්‍රණය.
  4. අංගෝපසම්භාර යාන්ත්‍රණය
  5. විස්තෘතක්‍රියා යාන්ත්‍රණය
  6. විරූප්‍ය දර්පනය
  7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්‍රමුඛ යාන්ත්‍රණය.
  8. යානයේ ඉදිරි ගෙල ප්‍රදේශයේ පිහිටා ඇති කුන්තිනි-ශක්ති යාන්ත්‍රණය.
  9. යානයේ දකුණු පස පිහිටා ඇති පුෂ්පිණී දර්පනය සහ පිංජුල දර්පනය.
  10. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති නාලපංචක හෙවත් නාල වර්ග පහ.
  11. ගුහාගර්භ දර්පනය.
  12. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්‍රය.
  13. පංච වාතස්කන්ධ නාල.
  14. රෞද්‍රී දර්පනය.
  15. වාතස්කන්ධ කීලක.
  16. යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්‍රණය.
  17. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්‍ර-මුඛ යාන්ත්‍රණය.
  18. විද්‍යුත්වාදශක යාන්ත්‍රණය.
  19. ප්‍රාණකුණ්ඩල යාන්ත්‍රණය.
  20. ශක්ත්‍යුද්ගම යාන්ත්‍රණය.
  21. යානය අයිනේ පිහිටා ඇති වක්‍රප්‍රසාරණ යාන්ත්‍රණය.
  22. යානය මධ්‍යයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්‍රණය.
  23. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්‍රණය.
  24. ශබ්දාකර්ෂක යාන්ත්‍රණය.
  25. පාට-ප්‍රසාරණ යාන්ත්‍රණය.
  26. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්‍රණය.
  27. යානයේ වහලය මධ්‍යයේ පිහිටා ඇති පටිකාභ්‍රක යාන්ත්‍රණය.
  28. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්‍රය.
  29. විෂ වායු නිකුත් කිරීමට යොදාගත් අපස්මාර යාන්ත්‍රණය.
  30. ස්තම්භන යාන්ත්‍රණය.
  31. ව්‍යශ්වානර නාල.
ඇත්තම කියනවානම් මටත් මේ යාන්ත්‍රණ වලින් බොහොමයකින් කෙරෙන්නේ මොකද්ද කියලා නම් තේරෙන්නේ නැහැ. ඒවා සම්බන්ධව වැඩි විස්තර හොයා ගන්නත් මට බැරි වුනා. ඒ උනත් මේවා මේ විදිහට හරි ලිව්වේ මේ ලිපි පෙළ සම්පූර්ණ කරන්න ඕනෑ නිසයි. සමහරවිට මේ ලිපි පෙළේ ඔයාලා කියවපු නීරසම ලිපිය මේක වෙන්න ඇති. කොහොම හරි ඊළඟ ලිපි නම් මීට වඩා ඔයාලගේ සිත් ඇද ගනියි කියලා මම හිතනවා. මොකද... ඒවායින් අපි කතා කරන්න යන්නේ විවිධ වර්ගයේ විමාන නිර්මානය කරපු හැටි ගැනයි. නිකම්ම නෙවෙයි රූප සටහන් ආදියත් එක්කම.

Sunday, September 20, 2009

දඬුමොණරය ගැන ( පස් වන කොටස )

මම ඔයාලට කලින් කිව්වේ මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ විමානයක සැකැස්ම ගැන කතා කරන්න කියලානේ. ඒත් මට හිතුනා ඒක ගැන කතා කරන එක ඊළඟ සෙල්ලිපි සටහන දක්වා කල් දාන්න. මොකද දන්නවද... විමානාචාර්යවරු ගැන තව කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ විස්තර සටහන් කලේ නැත්නම් මේ ලිපි පෙළ අසම්පූර්ණයි කියලා මට හිතුණා. කොහොමත් විමාන තාක්ෂණය සම්බන්ධ කටයුතු වලදී පුරාණ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ විමානාචාර්යවරයා වෙතටයි. විමානාචාර්යවරයා ආරක්ෂා සහිතව ඉන්න තාක් කල් විමානයත් ආරක්ෂා වන බව ඒ අය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසා අපේ සෙල්ලිපි සටහන් පෙළේත් වැඩි ඉඩක් විමානාචාර්යවරුන් වෙනුවෙන් වෙන්කරන්න අපිට සිද්ධවෙනවා. ඉතින් දැන් අපි අපේ සුපුරුදු මාතෘකාවට බහිමු.

අපි කලින් සෙල්ලිපි සටහන් වලින් කතා කලානේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පිළිබඳව. ඒවා ඉගෙන ගත්තට විතරක්ම මදි. තවත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා අතරින් වැදගත්ම දෙයක් තමයි ඉහළ අහසේ තියෙන ස්වභාවික අනතුරු පිළිබඳව ඉගෙනගැනීම. විමානයක් වෙත එල්ල වුනු ස්වභාවික තර්ජන අතරින් දරුණුතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ අහසේ එක් එක් ප්‍රදේශ වල තිබුණු විවිධ වර්ගයේ සුළි කුණාටු වලින්. අපි දැන් ඒ එක් එක් සුළි කුණාටු වර්ග පිළිබඳව විස්තර හොයලා බලමු. අහසේ තියෙන 'රේඛාපත්ථ' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ ශක්ති සුළි කුණාටු. 'මණ්ඩල' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ වාත සුළි කුණාටු. 'කක්ෂ' නම් ප්‍රදේශයේ හටගන්නේ සූර්ය කිරණ නිසා ඇතිවන සුළි කුණාටු. 'ශක්ති' නම් ප්‍රදේශයේ හටගන්නේ ශීත වායු ධාරා නිසා ඇතිවන සුළි කුණාටු. අවසාන වශයෙන් 'කේන්ද්‍ර' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ විවිධ අංශු ගැටීම නිසා හටගන්නා සුළි කුණාටු. මේ විවිධාකාර වූ සුළි කුණාටු ගැන හොඳ අවබෝධයක් විමානාචාර්යවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්‍රව්‍යයන් ක්‍රියාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්‍ය වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හෝ වෛශ්‍ය යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා.
මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්. ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්‍රියේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි (යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්‍රී කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්‍රී කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්‍රමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.

එහෙනම් අදට ඇති. විමානයක සැකැස්ම ගැන ඊලඟ සෙල්ලිපි සටහනෙන් කතා කරමු. මේ ලිපි පෙළ සම්බන්ධව වැඩිපුර තොරතුරු ඔයාලා දන්නවනම් ඒවත් සටහන් කරන්න. කැමතිනම් ඔයාලාට සංවාදයක් පවා ගොඩනඟන්න පුළුවන්

Friday, September 18, 2009

දඬුමොණරය ගැන ( සිව්වන කොටස )

අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප පිළිබඳව නේ. මේ වෙනකොට අපි ඒවායින් ක්‍රම 22ක්ම දැනගෙන ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ 10යි. අද ඒ 10 ගැනත් දැන ගනිමු. 

23. චාපල - මෙයත් ආරක්ෂිත උපක්‍රමයක්. සතුරු විමානයක් දුටු විටදී, අවට වාතය වේගයෙන් කලඹවා එම විමානය කම්පනය කරවීම මේ නමින් හැඳින්වෙනවා. මෙහිදී කැලඹුණු වායු තරංග වල වේගය පැයට වට 4087ක් පමණ වුණාලු.
24. සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්‍රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්‍රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.
25. පාරශබ්ද ග්‍රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්‍රය ක්‍රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.
26. රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.
27. ක්‍රියාග්‍රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්‍යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ්‍ර කර 'ත්‍රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.
28. දික්ප්‍රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්‍ර' නම් යන්ත්‍රය ක්‍රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්‍රමය මෙසේ හැඳින්වේ.
29. ආකාශාකාර - මේක තවත් වෙස් වලාගැනීමේ ක්‍රමයක්. කළු පැහැති මයිකා ද්‍රාවණයක් තවත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර යානයේ පිටත බඳේ ආලේප කර හිරුඑලිය ඒ හරහා පරාවර්තනය කිරීමෙන් යානය සහ ආකාශය වෙන් කර හඳුනාගැනීමට අපහසු තත්වයට පත් කිරීම මෙහිදී සිදු වේ.
30. ජලදරූප - මේකත් කලින් ක්‍රමය වගේම ක්‍රමයක්. මෙහිදී කරන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් විමානයේ ආලේප කර එය වලාකුලක් සේ දිස්වන්නට සැලැස්වීමයි. මෙම රසායනික ද්‍රව්‍ය වලට දෙළුම් යුෂ, අබ කුඩු, මාළු කොරපොතු වලින් සෑදූ කසායක්, තඹ ලවණ, සිප්පි කටු වැනි දේත් යොදාගෙන තියෙනවා.
31. ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්‍රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්‍රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්‍ර' නම් යන්ත්‍රයක් මගින්.
32. කර්ෂන - මේක තමයි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු අන්තිම ක්‍රමවේදය. තම විමානය දෙසට සතුරු විමානයකින් ප්‍රහාරයක් එල්ල වන විටදී එම යානය වෙත අධික උෂ්ණත්වයකින් යුතු තාප ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කර දැමීම මෙසේ හැඳින්වෙනවා.

දැන් අපි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු ක්‍රමවේද 32 ම දැනගෙන ඉවරයි. මීට අමතරව අහසේ පිහිටි ප්‍රදේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි. ඒ ප්‍රදේශ 5 මෙසේ හැඳින්වෙනවා.
  1. රේඛාපත්ථ
  2. මණ්ඩල
  3. කක්ෂ
  4. ශක්ති
  5. කේන්ද්‍ර
'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්‍රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්‍රදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද්‍ර ප්‍රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා. 
'වෛමාණික ශාස්ත්‍ර' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.
  1. භූලෝක
  2. භූවර්ලෝක
  3. සූවර්ලෝක
  4. මහෝලෝක
  5. ජනෝලෝක
  6. තපෝලෝක
  7. සත්‍යලෝක
මම නම් මීට කලින් මෙහෙම ලෝක ගැන අහලා නැහැ. සමහරවිට වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්‍රහලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.

මම හිතාගෙන ඉන්නේ ඊළඟ සෙල්ලිපි සටහනනෙන් විමානයක සැකැස්ම ගැන සාකච්ඡා කරන්නයි. ඒත් මම මේ ලිපි පෙළ ලියන්න යොදාගත්තු මූලාශ්‍ර ගැන ඔයාලට කියලනේ තියෙන්නේ. ඉතින් සමහරවිට මේ ලිපිපෙළ තව දුරටත් ලියාගෙන යන එක එච්චර ප්‍රයෝජනවත් නොවෙන්නත් පුළුවන්. මොකද ඔයාලා මූලාශ්‍ර වලින් සෑහීමකට පත් වෙනවානම් මම ආයෙත් ඒවා ගැනම ලියන එකේ තේරුමක් නැති නිසා. ඉතින් මම තව දුරටත් මේ මාතෘකාව යටතේ සෙල්ලිපි සටහන් පෙළ කරගෙන යන්න අවශ්‍යද.. නැද්ද කියලා ඔයාලම මට කියන්න. ඒ නිසා ඔයාලගේ comments හුඟක් වැදගත් වෙනවා.

Thursday, September 17, 2009

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...

දඬුමොණර ඉතිහාසය ගැන මම ලියන ලිපි පෙළ කට්ටිය අතරේ ටිකක් ජනප්‍රිය වෙලා කියලා හිතෙනවා, ඔයාලා දාලා තියෙන comments දිහා බැලුවහම. හුඟක් කට්ටිය අහලා තිබුනා මේ ලිපි පෙළට කරුණු හොයාගත්තු මූලාශ්‍ර පිළිබඳව. මගේ තුන්වෙනි සෙල්ලිපි සටහනත් එක්ක මූලාශ්‍ර ගැනත් ලියන්න හිතාගෙන හිටියට publish කලාට පස්සෙ තමයි දැක්කේ මූලාශ්‍ර ගැන ලියන්න අමතක  වෙලා බව. අද උදේ යාළුවෙකුත් මගෙන් ඇහුවා මූලාශ්‍ර ගැන ලියන්නේ නැත්තේ මොකද කියලා. ඇත්තටම වුනේ මට ඒක ලියන්න අමතක වුනු එක. ඉතින් දැන් ඒ ගැන පොඩි විස්තරයක් කරන්නම්. කොටින්ම කියනවානම් මම ඔක්කොම විස්තර හොයාගත්තේ අන්තර්ජාලය තුලින්මයි. (නැතුව වෙන කොහෙන් හොයන්නද...!!!?). ටිකක් හොයලා බැලුවොත් ඔයාලට හම්බ වෙයි 'වෛමානික ශාස්ත්‍ර' කියන පොත අනුසාරයෙන් ලියපු ඉංග්‍රීසි පොත්. ඒවායින් ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. තව පොතක් තියෙනවා 'Chariots of the Gods' කියලා. ඒකත් කියවලා බලන්න. www.scribd.com හරහා මේ පොත් බාගත කරගන්න පුලුවන්.

Wednesday, September 16, 2009

දඬුමොණරය ගැන ( තෙවන කොටස )






මම අද මේ ලියන්නේ දඬුමොණරය ගැන ලිපි පෙළේ තුන්වන ලිපියයි. අපේ කට්ටියට මේ මාතෘකාව සම්බන්ධව ලොකු උනන්දුවක් තියෙන බව දාලා තියෙන comments වලින්ම පේනවා. ඉතින් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප 32 ගැන නේ. දැනට අපි ක්‍රමශිල්ප 10ක් ගැන දැනගෙන ඉවරයි. අද අපි තවත් ක්‍රමශිල්ප කීපයක් ගැන දැනගනිමු.

11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්‍ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.
12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර' නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ' කියලා හඳුන්වන්නේ.
පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.
13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.
14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් 'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.
15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.
16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ 'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.
17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.
18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක්  ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.
19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.
20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.
21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.
22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්‍ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.

අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු ක්‍රම 10 ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ශිල්පක්‍රම 32 පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න පටන් ගනිමු.