Sunday, October 28, 2012

ලංකාවෙන් යැංකි රටට...

මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ සෙල්ලිපිය කොටන්නෙත් එහෙ ඉඳගෙනම තමයි. දැන් ඉතින් තව ටික කාලයක් යනකල් මගෙ නවාතැන වෙන්නෙත් ඇමරිකාවම තමා.

ඔක්තෝබර් මාසෙ විසි වෙනිදා හවස 6.45ට තමයි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඉතින් හවස 4.30 විතර වෙනකොට ක‍ටුනායක ගුවන් තො‍ටුපලට ආවා. අම්මයි තාත්තයි ආච්චියි මාමයි මාමගෙ පොඩි එකයි කට්ටියම ආවා මාව ඇරලවන්න. ඉතින් ඔය කට්ටියගෙන්ම සමු අරගෙන එහෙම ගුවන් තො‍ටුපොල ඇතුලට ගිහින් බෑග් වල බර කිරනකොට තමයි මුල්ම ඇබැද්දිය සිද්ධ වුණේ. මට එක බෑග් එකක කිලෝ 23 ගානෙ බෑග් දෙකක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ගෙදරදි බර කිරනකොටනම් කිලෝ 46කට වඩා පොඩ්ඩක් අඩුවෙනුත් වගේ තිබුණේ. ඒ වුනාට එතනදි බලනකොට එක බෑග් එකක කිලෝ 2ක් වැඩියි. ඒ පාර බර කිරපු අක්ක කිව්වා බර වැඩි එකේ තියෙන ඒවයින් ටිකක් අනිත් බෑග් එකට දාන්න කියලා. ඉතින් හොඳට ඉබ්බො දාල එහෙම තිබුණු තඩි බෑග් දෙකේ ඉබ්බො ගලෝල අර අක්ක කියපු විදිහට කරල ආයෙත් ඉබ්බො දාල එහෙම බර කිරුවහම  මෙන්න අර බර අඩුවෙන් තිබිච්ච බෑග් එකේ බර ඒ පාර ඕනෑවට වඩා වැඩි වෙලා. ඒ පාර අර අක්ක  ආයෙත් පාරක් හොඳ හිනාවක් හෙම දාල එහෙම කියනවා මේ බෑග් එකේ බර වැඩියි ටිකක් අඩු කරන්න කියලා. මොනව කරන්නද ඉතින්, ආයෙත් පාරක් ඉබ්බො ගලවලා ඒ බෑග් එකේ තිබුණු දේවල් ටිකක් දා ගත්ත කරේ එල්ලගෙන හිටපු බෑග් එකට. ඒ බෑග් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තිබුණෙ කිලෝ හතයි. අන්තිමට මං හිතන්නෙ ඒකෙ කිලෝ දහයක විතර බර තිබුණා. කරේ ගෙනියපු බෑග් එකෙත් බර කිරුවනම් එහෙම ෂුවර් එකටම මට මොනවහරි ලංකාවෙ දාල තමයි එන්න වෙන්නෙ. ඒත් හොඳ වෙලාවට ඒකෙ බර කිරුවෙ නැති නිසා ප්‍රශ්නයක් නැතුව ඔක්කොම බඩු අරගෙන එන්න පුලුවන් වුණා. ඇත්තම කියනවනම් ඔය බර ප්‍රශ්නෙ ආවෙත් මගෙ වැ‍රැද්දක් හින්දම තමයි. ගිය මාසෙ BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනෙන් මං ගත්තනෙ ලොරියක් පිරෙන්නම පොත්, රට යන්න තියෙන බව දැන දැනම. ඔන්න ඔය පොත් ටිකම අරගෙන තමයි මම මෙහේ ආවෙ. ඒ ටිකට විතරක් කිලෝ 11ක් වෙන් කරන්න වුණා.
දහ වෙනි ගේට්‍ටුව
කොහොමින් කොහොම හරි ඔය බර ප්‍රශ්නෙත් විසඳගෙන ප්ලේන් එකට නගින්න දහ වෙනි ගේට්‍ටුවට ආවා.
එතනදි ඉතින් අපේ අතේ පයේ තියෙන ඔක්කොම වගේ ගලවල කරල අර ස්කෑන් කරන යන්තරේ හරහ යවන්න ඕනැනේ. සපත්තු දෙකයි කලිසමේ බෙල්ට් එකයි ත් ගලවන්න ඕනෙ. ඔය අල්ල පනල්ලෙ ඔතන හිටපු පලවෙනිම පාරටද කොහෙද රට යන දෙමළ කොල්ලෙකුට බෙල්ට් එක ගලවන්න කියල කියපු එක හරියට තේරිලා නැතුව කලිසම ගලවන්න ගිහින් කට්ටියටම හොඳට හිනා වෙන්නත් අවස්ථාවක් හම්බ වුණා. ඊට පස්සෙ තමයි මට ඊළඟ ඇබැද්දිය සිද්ද වුණේ. ප්ලේන් එකට නගින්න කලින් පාස්පොට් එකයි බෝඩින් පාස් එකයි එතන හිටපු  නිලධාරියට පෙන්නුවට පස්සෙ එයා මට කිව්ව පොඩ්ඩක් අයිනකට වෙන්න කියලා. එහෙම කියල අනිත් අයව ප්ලේන් එකට යවන ගමන් මගෙ පාස්පොට් එක දුන්න තවත් නිලධාරියෙකුට. එය මගෙ වීසා එක පරීක්ෂා කරනවා දශමෙන් දශමෙට. මමත් ඉතින් දැන් ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න ගිහිල්ල මාට්‍ටු වෙච්ච එකෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ අස්සෙ අර මනුස්සයා magnifying glass එකක් ඇහැට හයි කරගෙන ඒකෙනුත් වීසා එක චෙක් කරනවා.ඒ අස්සෙ තවත් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න වැලයි. යන්නෙ කොහෙද? මොකටද යන්නෙ? මොන රටවල් හරහද යන්නෙ? ලංකාවෙ කරපු රස්සාව මොකද්ද?..... ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් අහලා අන්තිමට පාස්පෝට් එක අතට දීලා "හරි සර්, ප්‍රශ්නයක් නැහැ, ඇතුලට යන්න" කියල මාවත් යැව්වා. මතක විදිහට මම ද කොහෙද අන්තිමටම ප්ලේන් එකට නැග්ගෙ.

මෙන්න මං ආපු ප්ලේන් එක (අබුඩාබි වලදි ගත්තු photo එකක්)
ඉතින් හවස 6.30ට විතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති UL 207 යානයේ වම් පැත්තෙ ජනේලයක් අයිනෙම තිබුණු 24A අංකය දරණ සීට් එකේ වාඩි වෙන්න මට පුළුවන් වුණා. හරියටම වෙලාවට ප්ලේන් එක අබුඩාබි ගුවන් තො‍ටුපළ බලා ගුවන්ගත වුණා. රෑ වෙලා නිසා උඩට යනකොට ලංකාව හරිම ලස්සනට පෙනුණා. පැය හතරකුත් විනාඩි හතලිස්පහක ගමනක් නිසා රෑ කෑමට හොඳ රසට ෆ්‍රයිඩ් රයිස් එකකුත් හම්බ වුණා. ප්ලේන් එක ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය උඩින් වගේම ඕමාන් උඩින් යද්දිත් පල්ලෙහ විදුලි ආලෝකය බොහොම ලස්සනට පෙනුණා. ඉතින් රෑ කෑම එහෙම සප්පායම් වුනාට පස්සෙ ටිකක් නිදාගන්න තමයි හිතුවෙ. හැබැයි මට එහා පැත්තෙ සීට් එකේ හිටිය කළු මහත දෙමළ මහත්තයා කලින්ම නිදාගෙන. අපරාදෙ කියන්න බැහැ, වටේටම ඇහෙන්න ගොරවනවා. සැරෙන් සැරේ එයාගෙ සද්දන්ත අතකුත් මගෙ සීට් එක පැත්තට ඇල වෙනවා. කොහොමහරි එයාට පින් සිද්ද වෙන්න මං අබුඩාබි වලට එනකල්ම හොඳට ඇහැරගෙන ආවා.
අබුඩාබි නගරය අහසට පෙනුණු හැටි
අබුඩාබි වල වෙලාවෙන් රෑ 10 ට තමයි මං එහෙට ගොඩ බැස්සෙ. එතන ඉඳන් සිද්ද වෙච්ච දේවල් ටික ඊලඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්....