Wednesday, April 28, 2010

නව්‍යතා සිද්ධාන්තය හෙවත් Novelty Theory

කාලෙකට පස්සේ තමයි සෙල්ලිපියක් කොටන්න වෙලාව හම්බ වුණේ. සිංහල අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ කොටන මුල්ම සෙල්ලිපිය තමයි මේක. ටිකක් පරක්කු වෙලා වුනත් කමක් නැහැ, හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල සුබ පතලම වැඩේ පටන් ගන්නම්කෝ.


වෙලාව මදි වීම ඇරුණහම අලුත් සෙල්ලිපියක් කොටන්න පරක්කු වෙන්න හේතු වුණු එක කාරණයක් තමයි කොටන්න තරම් වටිනාකමක් තියෙන විස්තරයක් හොයා ගන්න ලැබුණේ නැති එක. ඉතින් අන්තිමට මට හිතුණා මේ දවස් වල කවුරුත් කතා කරන 2012 සංසිද්ධිය ගැන මොනවා හරි ලියන්න ඕනෑ කියලා.


අපි මුලින්ම බලමු 2012 සංසිද්ධිය කියන්නේ මොකද්ද කියලා. කෙටියෙන්ම කියනවනම් වසර 2012 දී ලෝකෙ විනාශ වෙනවා කියල කියන එකයි මේ සංසිද්ධියෙන් කියවෙන්නේ කියලා නොදන්න කෙනෙක් මේ දවස් වල හොයා ගන්නත් අමාරුයි නේ. ඒ වගේම මේ මතවාදය ගොඩ නැගෙන්න මූලික වශයෙන්ම හේතු පාදක වුණේ මායා ගෝත්‍රිකයන්ගේ දින දර්ශනය වසර 2012 න් අවසන් වීමේ කාරණයයි කියන එකත් ඔයාල මේ වෙනකොට දන්නවා ඇතිනේ.


වසර 2012 දෙසැම්බර් 21 වන දාට වසර 5125 දිගැති මායා කැලැන්ඩරය අවසන් වන නිසා එදාට කිසියම් ස්වභාවික ව්‍යසනයක් මගින් ලෝක විනාශයක් සිදු වන බව සමහරුන් කියා සිටිනවා. තවත් කණ්ඩායමක් කියා සිටින්නේ එදාට පෘථිවිය වෙනත් ග්‍රහලෝකයක් සමග ගැටීම හෝ කළු කුහරයකට හසු වීම නිසා විනාශ වී යන බවයි. පෘථිවිය සමග ගැටෙන ග්‍රහලෝකය 'නිබිරු' නමින් හැඳින්වෙන බවත් කියැවෙනවා. නමුත් මේ මතවාද කිසිවක් විද්‍යාත්මක නොවන අතරම විද්වතුන් විසින් ප්‍රතික්ෂේප කිරීම ද සිදු කර තිබෙනවා. නාසා ආයතනය කියන්නේ මේ 2012 සංසිද්ධිය හරියට වසර 2000 දී සිදු වූ Y2K Bug සංසිද්ධියට සමාන බවයි. වසර 2000 දී ලොව පුරා පරිඝනක අඩපණ වේ යයි බියක් පැතිරී තිබුණු බව ඔයාලට අමතක වෙලා නැතුව ඇති. කොහොම නමුත් මේ 2012 සංසිද්ධියට යම්තාක් දුරකට විද්‍යාත්මක පසුබිමක් එකතු කරපු කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි ටෙරන්ස් මැකේනා (TerenceMcKenna). නව්‍යතා සිද්ධාන්තය හෙවත් Novelty Theory යේ නිර්මාපකයා ඔහුයි. මේ සිද්ධාන්තය මුලින්ම එලි දක්වලා තියෙන්නේ 1970 ගණන් වලදී. ඒත් දැන් තමයි වැඩිපුරම ඒක ගැන කතා කරන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ සිද්ධාන්තයෙන් කියැවෙන්නේ මොකද්ද කියලා.


මේකෙදි සිද්ධ වෙන්නේ 'කාලයේ අනන්‍ය ගුණයක් ලෙස සලකමින් විශ්වයේ නව්‍යතාවයේ ගලා යාම' ගණනය කිරීමයි. මෙහි නව්‍යතාවය කියල කියන්නේ 'නව වෙනස් වීම්' කියලා සලකන්න පුළුවන්. මේ නව වෙනස් වීම් කාලයට ආවේණික වූ ගුණයක් ලෙස සලකලා යම් ගණනය කිරීමක් සිදු කිරීම තමයි ටෙරන්ස් මැකේනා විසින් සිදු කරලා තියෙන්නේ. මේ සිද්ධාන්තය ගොඩනැගීමට ඔහු විසින් රූපජනන විද්‍යවේ මූලධර්ම මෙන්ම ජීවීන් ගේ පැවැත්ම පිළිබඳ කල්පිතයන්ගේ මූලධර්ම ද උපයෝගී කරගෙන තියෙනවා. මැකේනා කියන විදිහට මේ ගණනය කිරීම් මගින් ලැබෙන ප්‍රතිපල අනුව ලෝක ඉතිහාසය වෙනස් කළ සිදුවීම් සිදු වූ කාල පරාසයන් ආසන්න වශයෙන් කියන්න පුලුවන්.


ඉතා ඈත අතීතයේ දී සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් මේ සිද්ධාන්තය හරහා ගණනය කිරීම් කරන විට නියම සිදුවීම සිදු වූ කාලය සහ ගණනය කිරීමෙන් ලැබෙන කාලය අතර තරමක් විශාල වෙනසක් දකින්නට ලැබුණත් වර්තමානය දක්වා පැමිණෙන විට මෑත ඉතිහාසය තුල සිදු වූ සිදුවීම් වල කාල පරාසය ගනණය කරද්දී ආසන්න වශයෙන් නිවැරදි උත්තර ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ ආකාරයට මැකේනා ගේ ගණනය කිරීම් අනුව වසර 2012 නොවැම්බර් මාසයේදීත් කිසියම් වෙනස්කමක් වෙන්නට නියමිතව තියෙනවා. මේ කාරණය නිසා බොහෝ පිරිස් මේ ප්‍රතිපලය මායා කැලැන්ඩරය සමග සමපාත කරන්නට උත්සහ දරනවා. මේ සිද්ධාන්තය පැහැදිලි කිරීම සඳහා පරිඝනක මෘදුකාංග පවා නිර්මාණය කරලා තියෙනවා. මේ මෘදුකාංග මගින් මෙම සිද්ධාන්තය ප්‍රස්ථාරිකව නිරූපණය කරලා පෙන්වනවා. මෙහිදී ගොඩනගනු ලබන ප්‍රස්තාරයේ වක්‍රය හඳුවන්නේ 'කාල තරංගය' කියලා. එවැනි කාල තරංගයක රූපයක් පහතින් දැක්වෙනවා.


220px-Timewave_9_11_2001.png


කොහොම වුණත් කිසිම කෙනෙකුට කියන්න බැහැ 2012 දී ලෝක විනාශයක් වෙනවා කියලා. මැකේනා ගේ නව්‍යතා සිද්ධාන්තයෙන් කියවෙන්නේත් මොකක් හරි වෙනසක් වෙනවා කියලා විතරයි. ඒ වෙනස්කම යහපත් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මායා ශිෂ්ටාචාරය ගැන හදාරන විද්වතුන් කියා සිටින්නේත් පෞරාණික මායා ඉතිහාසයේ කිසිම තැනක 2012 ලෝක විනාශයක් ගැන සඳහන් වෙලා නැහැ කියලයි. මගේ පෞද්ගලික මතයත් 2012 දී කිසිම දෙයක් වෙන එකක් නැහැ කියලයි. ඒත් මොනවහරි වෙනසක් වෙනවනම් ඒ වෙනස යහපත් ආකාරයේ වෙනසක් වෙයි කියලත් මම හිතනවා. ටෙරන්ස් මැකේනා වසර 2000 දී මිය ගියා. ඒක නිසා ඔහුට නම් 2012 දී තමන්ගේ සිද්ධාන්තයේ ඇත්ත නැත්ත බලාගන්න වෙන්නේ නැහැ.