Thursday, September 30, 2010

හෙළයේ සටන් හරඹ - 4

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයෙත් හෙළයේ සටන් හරඹ ගැන ලියවෙන සෙල්ලිපි සටහන් පෙල පටන් ගන්න තමයි හදන්නේ. මේ වෙනකොට අංගම්පොර ගැන සෑහෙන විස්තරයක් මීට කලින් ලියපු සෙල්ලිපි සටහන් වල ලියලා තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ වර්තමානයේදීත් අප්‍රසිද්ධව එහෙත් සක්‍රීයව තියෙන අංගම්පොර ගුරුකුලයක් ගැන යි. ඒ තමයි රිටිගල සුදලිය අංගම් සටන් පරපුර. මේ පරපුර ගැන බොහොම ලොකු විස්තරයක් පහුගිය දවස් වල රිවිර පුවත්පතේ පළ වෙලා තිබුණා. සමහරවිට ඔයාලා කියවලා තියෙනව වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපියට මූලාශ්‍රය වෙන්නේත් ඒ පුවත්පතේ පළවුණු ලිපි පෙල තමයි. ඉතින් ඒ ලිපි පෙල කියවලා නැති අයට දැනගන්නත් එක්ක එහි සාරාංශයක් අද මම ඉදිරිපත් කරන්නම්.


අතීතයේ දී අංගම් හරඹ මහෞෂධ, ජනනී, විශුද්ධි ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. එක් එක් ගුරුකුලයන්ට ආවේනික වූ අංගම් හරඹ ශිල්පක්‍රම තමයිමේ වගේ විවිධ නම් වලින් එදා හඳුන්වලා තියෙන්නේ. මේ අතරින් විශුද්ධි හරඹ කියලා කියන්නේ රිටිගල අංගම් හරඹයට යි. අදටත් රිටිගල වන අරණ තුල මේ ශිල්පය උගන්වනු ලබනවා. වර්තමානයේ රිටිගල විශුද්ධි අංගම් හරඹයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ රිටිගල සුමේධ ඇඳුරාණන්.එතුමානන් පවසන ආකාරයට ඔහුගේ පරපුරට මේ වටිනා ශාස්ත්‍රය ලබා දී තියෙන්නේ රිටිගල ජයසේන නම් වූ යක්ෂ සේනාධිපතියා යි. 'අංගම්පොර' යන නාමය නිර්මාණය වීම සම්බන්ධයෙන් එතුමා දරන්නේ තරමක් වෙනස් අදහසක්. ඒ මතය මෙසේයි. වරක් පාණ්ඩ්‍ය දේශයේ රජු වූ ශ්‍රී වල්ලභ විශාල හමුදාවක් ගෙනැවිත් ලංකාව ආක්‍රමණය කර තියෙනවා. මෙහිදී මෙම සේනාවේ අඟම්පඬි නමින් හැඳින්වූ අති දක්ෂ හේවායින් පිරිසක් සිට ඇති අතර ඔවුන් පරාජය කිරීම සිංහල හමුදාවට අසීරු වී තිබෙනවා. පසුව මෙහි රජ බවට පත් වූ දෙවන සේන රජු මෙම අඟම්පඬි වරුන් සමග සටන් කල හැකි බලකායක් පුහුණු කර ඇති අතර මෙම බලකාය පසුව පාණ්ඩ්‍ය දේශයට යවා ශ්‍රී වල්ලභ රජු ව මරා දමා ආපසු පැමිණ තිබෙනවා. ඉතින් මේ අඟම්පඬි වරුන් සමග සටන් කිරීමට යොදාගත් ශිල්පය පසුව අංගම්පොර ලෙස නම් වූ බවයි රිටිගල සුමේධ ඇඳුරුතුමා කියන්නේ.


රිටිගල විශුද්ධි හරඹය ප්‍රධාන කොටස් හයකින් සමන්විතයි. ඒවා නම් ගැට, පොර, නිල, නක්ෂත්‍රය, වෙදකම සහ මන්ත්‍ර යි. රිටිගල අංගම් ශිල්පයේ ගුරුවරයෙකු බවට පත් වීමට නම් මේ ව්ෂය කොටස් හයම සපුරා දැනගැනීම අනිවාර්ය වෙනවා. ඒ වාගේම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ සටන් කලාව මුතුන් මිත්තන් විසින් කවියෙන් පසු පරපුර වෙත දායාද කර තිබීමයි. මෙම ශිල්පයේ මූලික ව්‍යායාම ක්‍රම 18 ක් තියෙනවා. මේ ව්‍යායාම හඳුන්වන්නේ 'මංඩි' කියලා. එක් මංඩියකට අඩුම ගණනේ ව්‍යායාම කොටස් 4 ක් වත් අඩංගු වෙනවා. ව්‍යායාම වලට පසුව මෙම ශිල්පයේ දක්නට ලැබෙන තවත් දෙයක් නම් දේව වන්දනාවයි. දෙවියන් නමස්කාරයට යොදාගන්නා සහස්‍ර, විසති සහ ශක්ති කියලා ක්‍රම 3 ක් රිටිගල අංගම් හි දකින්නට පුළුවන්. මෙම නමස්කාර ක්‍රම සිදු කිරීමට අතීතයේ පටන් ‍තෝරා ගත් ස්ථාන රිටිගල කන්දේ තියෙනවා. එම ස්ථාන වලට දෙවියන්ගේ ආකර්ෂණය හොඳින් ලැබෙන බවයි සැලකෙන්නේ. ඉතින් මේ මංඩි සහ නමස්කාර ක්‍රම සම්පූර්ණ කරන ආධුනිකයෙකු ඊට පසුව අනෙක් ශිල්ප ක්‍රම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. රිටිගල අංගම් ඉගෙනගන්නා ශිල්පියාට කන්දේ, ලන්දේ, ගොඩැල්ලේ, දිය, ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනකට මුහුණ දිය හැකි පරිදි පුහුණුව ලබා දෙනවා. මෙම පුහුණුවට අඩි තැබීමේ ක්‍රම, පැනීමේ ක්‍රම, පොලා පැනීම, කරනම් ආදිය මෙන්ම මාරාන්තික ගැට වර්ග ද අයත් වෙනවා. මහතැන්නේ ගැටය, ගිජිඳා ගැටය, වියමන් ගැටය, කුඹලා ගැටය, තුත්තිරි ගැටය කියලා කියන්නේ මේ ගැට වර්ග වලින් කීපයක්.


සටන වාගේම වෙදකමත් අංගම් ශිල්පයේ තියෙන වැදගත්ම අංගයක්. හදිසියේ ආයුධයකින් වන කැපුම් තුවාලයකදී සිදුවන ලේ වහනය වීම ක්ෂණයකින් නවතාලීමට හැකියාවක් අංගම් වෙද ශිල්පය තුල තිබෙන බව සුමේධ ඇඳුරාණන් ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම රිටිගල අංගම් තුල දක්නට ලැබෙන භාවනා ක්‍රම මගින් සමහර අවස්ථා වලදී ඖෂධ නොමැතිවම රෝග සුව කිරීමට හැකි බව පැවසෙනවා. මානසික ශක්තිය දියුණු කිරීමත් විශුද්ධි හරඹය තුළ දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. රිටිගල අංගම් පුහුණුව අවසන් කරන සිසුවා නිවැරදිව ශිල්පය ලබාගෙන තියෙනවද කියා පරීක්ෂා කර බැලීමටත් ඔහුගේ හෝ ඇයගේ මානසික ශක්තියේ හැකියාව පරීක්ෂාවට ලක් කරනවා. එය සිදු කරන්නේ මෙහෙමයි. පුහුණුව අවසන් වූ සටන්කරුවාගේ දෑස් බැඳ මහ වනය මැදට ගෙන ගොස් දමනවා. එහිදී දෑස් බැඳගෙනම ශිල්පියා විසින් 'විෂ්ණු මණ්ඩල සටන' නම් වූ සටන් ශිල්පක්‍රමය නිවැරදිව සිදුකල යුතුයි. ඉන්පසු ගුරුතුමා විසින් සිතින් තීරනය කරන ස්ථානය වෙත දෑස් බැඳගෙනම ගමන් කල යුතුයි. දෑස් බැඳගෙනම වනයේ තියෙන ගිරි හෙල්, උමං, ලඳු කැලෑ, ජල පහරවල් තරණය කිරීමත් ගුරුවරයා සිතින් සිතූ ස්ථානය මනසින් ග්‍රහණය කරගෙන නිවැරදිව එම ස්ථානයට ලඟා වීමත් සැබැවින්ම විශ්මයජනකයි.


මේ සියලුම ශිල්පක්‍රමයන් එලෙසින්ම ‍රැක ගනිමින් ඉදිරි පරපුරට ඒවා දායාද කිරීමට රිටිගල සුමේධ ඇඳුරාණන් ගන්නා උත්සාහය සැබැවින්ම ප්‍රසංශනීයයි. ඒ වාගේම අතීතයේ දී මේ මව්බිම ‍රැක ගැනීමට මහත් සේ උපකාරී වූ මේ මහා සටන් කලාව දැන් යලිත් එම උතුම් කාර්යය සඳහා යොදාගනිමින් පවතිනවා. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගේ මැදිහත්වීම මත සිවිල් ආරක්ෂක බලකායට අයත් නන්දිමිත්‍ර බලකායේ සෙබළුන් මේ වනවිට රිටිගල විශුද්ධි අංගම් ශිල්පය හදාරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. රාවණ යුගයටත් එපිට සිට පැවතගෙන එන්නා වූ මේ මහා සටන් ශිල්පයට තවමත් උරුමකම් කීමට හැකිවීම ශ්‍රීලාංකික අප සතු මහත් භාග්‍යයක් කියලයි මගේ අදහස.

Wednesday, September 8, 2010

ExMO 2010

කාලෙකට පස්සේ අද තමයි සෙල්ලිපියක් කොටන්න වෙලාව හම්බ වුණේ. පහුගිය දවස් වල campus එකේ final year exam තිබුන නේ. ඉතින් ටිකක් විතර කාර්යබහුල වෙලා හිටියා. දැන් ඉතින් කොහොම හරි විශ්ව විද්‍යාල ජීවිතෙත් ඉවර වෙන්න බොහොම ළඟයි. (ඉවරම වගේ තමයි). පහුගිය දවස් වල ලියාගෙන ආපු සෙල්ලිපි සටහන් පෙළ ආයෙත් ලියන්න පටන් ගන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ.

මුලින්ම කියන්න ඕනේ මේ මාසේ
9,10,11 යන දවස් වල අපේ මොර‍ටුව සරසවියේ පවත්වන්න සූදානම් කරලා තියෙන ExMO 2010 ප්‍රදර්ශනය ගැන. මේ ප්‍රදර්ශනය පවත්වන්න සූදානම් කරලා තිබුණේ මීට කාලෙකට කලින් වුනත් යම් යම් හේතු නිසා කල් දාන්න සිද්ධ වුණා. දැන් ඒ සියලුම බාධක ජය අරගෙන ඉතාමත්ම ඉහලින් පවත්වන්න සූදානම් කරලයි තියෙන්නේ. මෙහිදී ඔයාලට පුලුවන් ඉංජිනේරුවන් විදිහට අපට කරන්න පුළුවන් දේවල් මොනවද සහ අපි මේ වෙනකොට කරලා තියෙන්නේ මොනවද කියලා බලා ගන්න. ඒ වගේම ඉංජිනේරුවන්ගෙන් මේ රටට කොච්චර සේවයක් වෙනවද කියලත් දැනගන්න පුලුවන්. අපට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය. මම ඔයාල හැම කෙනෙකුටම ආරාධනා කරනවා ප්‍රදර්ශනය නරඹන්න එන්න කියලා.

ප්‍රදර්ශනය බලන්න ආවහම අනිවාර්යයෙන්ම
රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයටත් එන්න. එතනත් පෙන්නන්න ගොඩක් දේවල් සූදානම් කරලයි තියෙන්නේ. සීනි නිෂ්පාදනය ක්‍රියාවලිය, ජීව ඉන්ධන නිපැයුම් ක්‍රියාවලිය, ආහාර තාක්ෂණය ආදිය වගේම පරිගණක ආශ්‍රයෙන් නිෂ්පාදන ක්‍රියාවලීන් මෙහෙයවීම සහ පාලන කිරීම වැනි දේවලුත් ඔයාලට බලන්න පුලුවන්. උදේ 9.00 ඉඳන් රෑ 7.00 විතර වෙනකල් ප්‍රදර්ශනය විවෘත යි.