Saturday, September 15, 2012

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ විහිලුවක්


ඔන්න දූවිලි එහෙම පිහදාල ආයෙත් සෙල්ලිපිය කොටන්න පටන් ගන්නයි හදන්නෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙන් පස්සෙ අද තමයි වෙලාවක් හම්බ වුණේ මේ වැඩේට. කොටනව කොටනව කියල හිතාගෙන හිටියට රස්සාවෙ තියෙන කාර්යබහුලත්වයත් එක්ක බ්ලොගේ පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නැතුව තමයි හිටියෙ. කමක් නැහැ එහෙනම් ආයෙත් ජනකතාවකින්ම සෙල්ලිපිය කොටන වැඩේ පටන් ගම්මුකෝ. මේ කතාවත් කුංකුණාවෙ හාමුදුරුවන්ගෙම කතාවක් තමයි.

ඔන්න ඉස්සර සත්කෝරලේ තිබුණු පිටිසර ගම්බද පන්සලක වැඩවාසය කරපු භික්ෂූන් වහන්සේ නමකට මහානායක හිමියන්ව බැහැදකින්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ හාමුදුරුවෝ වයසින් වැඩිමහලු වුණත් ඒ වෙනකොටත් උපසම්පදා වෙලා ඉඳල නැහැ, ඒ කියන්නෙ තාමත් සාමණේර නමක්. ඒ වගේම ටිකක් විතර මෝඩ පහේ හාමුදුරු නමක් ලු. කුංකුණාවෙ හාමුදුරුවොත් සත්කෝරලේ හාමුදුරු කෙනෙක් වෙච්චි නිසා අර සාමණේර නම හිතුවලු කුංකුණාවෙ හාමුදුරුවන්ට කිව්වොත් මහානායක හිමියන්ව බැහැ දකින කාරණේ ඉෂ්ට සිද්ධ කරගන්න පුලුවන් වේ කියලා. ඉතින් මෙහෙම හිතලා මේ සාමණේර නම තෑගිභෝහ එහෙමත් අරගෙන කුංකුණාවෙ හාමුදුරුවො ලඟට ඇවිත් කාරණේ කිව්වලු. කුංකුණාවෙ හාමුදුරුවන්ටත් තේරිලා තියෙනවා මේ සාමණේර නම ටිකක් විතර මෝඩ පහේ කෙනෙක් කියලා. ඉතින් කුංකුණාවෙ හාමුදුරුවො හිතුවලු පොඩි ව්කවට කමක් කරන්න. ඊට පස්සෙ මේ දෙනම අතරෙ කතන්දරේ යන්නෙ මෙන්න මේ විදිහට...

කුංකුණාවෙ හාමුදුරුවෝ: සාමණේර තැන මීට කලින් මහානායක උන්නාන්සෙව බැහැදැකල නැහැ නොවෙද? 

සාමණේර නම: එහෙමයි හාමුදුරුවනේ... 


කුංකුණාවෙ හාමුදුරුවෝ: එහෙනම් තැනේ, මහානායක උන්නාන්සෙව බැහැදකින්න කලින් පිළිපදින්න ඕනෙ කාරණා කටයුතු ගොඩක් තියෙනවා. අවශ්‍ය කරන උපකරණ එහෙමත් හොයගන්න වෙයි. 


සාමණේර නම: අනේ හාමුදුරුවනේ! අවශ්‍ය කරන උපකරණ මං හොයගන්නම්. කියන විදිහකට පිළිපදින්නම්. මට කොහොමහරි මහානායක උන්නාන්සෙව බැහැදකින්න සලස්වල දෙන්න... 


කුංකුණාවෙ හාමුදුරුවෝ: හොඳයි එහෙනම් සාමණේර තැන අඳනකඩ හතකුයි වටාපත් තුනකුයි පට ලේන්සු තුනකුයි තව ලොකු දැහැත් වට්ටි දෙකකුයි සපයගෙන මගේ ආවස ගේ පැත්තට පැමිණෙනව හොඳයි... 


සාමණේර නම: එහෙමයි අපේ හාමුදුරුවනේ..!


ඉතින් මහානායක හාමුදුරුවන්ව බැහැදකින්න ආසාවෙන් හිටපු සාමණේර හාමුදුරුවොත් අර කියපු කළමණා සේරමත් තමුන්ගෙ දායකයොන්ට කියල සපයගෙන කුංකුණාවෙ හාමුදුරුවෝ වැඩ හිටපු ආවස ගෙට පැමිණුනා.

කුංකුණාවෙ හාමුදුරුවෝ: හොඳට මතක තියාගෙන මා කියන විදිහටම කටයුතු කරනව හොඳයි! නැත්නම් මහානායක උන්නාන්සෙටත් කාරක මහා සංඝසභාවටත් අගෞරව වෙයි. සාමණේර තැනට පැහැදිලිද? 

සාමණේර නම: එහෙමයි අපේ හාමදුරුවනේ....!


දැන් තමයි හොඳම හරිය වෙන්නෙ.

මුලින්ම අඳනකඩ හත අතට ගත්තු කුංකුණාවෙ හාමුදුරුවෝ ඒවා තට්‍ටු හතකට හිටින විදිහට අර සාමණේර නමට අන්දවනවා. සිවුර අරගෙන උරහිස් දෙක අතරින් යවලා පපුව මැද කතිරයක් හිටින විදිහටත් සිවුරු කොන් දෙක ඉන දෙපැත්තෙන් විහිදෙන විදිහටත් බඳිනවා. ඊටපස්සෙ අර වටාපත් තුනෙන් දෙකක් හිස දෙපැත්තෙනුත් අනිත් එක හිස ඉස්සරහිනුත් තියෙන විදිහට පට ලේන්සුවකින් හොඳට බඳිනවා. ඊලඟට කරල තියෙන්නෙ ගෙනත් තියෙන දැහැත් වට්ටි දෙක ඉතුරු පට ලේන්සු දෙකෙන් වහල සාමණේර නමගේ අතට දෙන එක.

මේ ඔක්කොම කරල ඉවර වුණාට පස්සෙ කුංකුණාවෙ හාමුදුරුවෝ අර සාමණේර නමත් එක්ක පොහොයගෙයි දොර‍ටුව ළඟට ගිහින් මෙන්න මෙහෙම කියල තියෙනවා.
"තැනේ! අර දකුණු පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ මහානායක හාමුදුරුවො. වම් පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ අනුනායක හාමුදුරුවෝ. ඊට පස්සෙ දෙපැත්තෙ පිළිවෙලින් වැඩ හිඳින්නෙ කාරක සංඝ සභාව. තැනේ දැන් මේ දැහැත් වට්ටි දෙක දෑතට අරගෙන කරකැවි කරකැවි ගිහින් දකුණු අතේ තියෙන දැහැත් වට්ටිය මහානායක හාමුදුරුවො දිහාවටත් වම් අතේ තියෙන දැහැත් වට්ටිය අනුනායක හාමුදුරුවො දිහාවටත් අල්ලගෙන කකුල් දෙක දෙපැත්තට විහිදුවල ඉස්සරහින් තියෙන බුදු පිළිමෙ දිහාව බලාගෙන කෙලින් ඉන්න ඕනෑ..."


මහානායක හිමියන් ප්‍රථම වරට බැහැදකින චිරාගත සම්ප්‍රදාය මේක තමයි කියල හිතපු සාමණේර හාමුදුරුවොත් නැට්‍ටුවෙක් වගේ කරකැවි කරකැවි ගිහින් දැහැත් වට්ටි දෙක දෙපැත්තට කරල අල්ලගෙන කකුල් දෙකත් දෙපැත්තට විහිදුවාගෙන හිටගත්තලු. එකපාරටම සිද්ද වෙච්ච මේ රංගනය දැකපු නායක හාමුදුරුවරු දෙපළටත් අනෙක් හාමුදුරුවරුන්ටත් පහල වෙච්චි සිනහව නතර කරගන්න සෑහෙන වෙලාවක් ගිහින් තියෙනවා..

කොහොමහරි අන්තිමේදි මේ වැඩේ කළේ කවුද කියල එළි වුණාට පස්සෙ කුංකුණාවෙ හාමුදුරුවන්ට සංඝ සභාවෙන් සමාව ඉල්ලන්නත් සිද්ධ වුණා කියලයි කියන්නෙ.