Monday, March 29, 2010

සඳ පිළිබඳ නව මතවාද

සඳ මත තැනූ ගොඩනැගිලි සම්බන්ධව ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපිය තමයි මේ ලියන්නේ. මේක ලියන්න ටිකක් ප්‍රමාද වුනේ පහුගිය දවස් වල මම ටිකක් විතර කාර්යබහුලව හිටපු නිසයි. ඇත්තටම අද මම ලියන්න යන්නේ සඳ මත හදපු ගොඩනැගිලි ගැන නෙවෙයි. සඳ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන දැනට පවතින මතවාද ගැනයි. මේ ලිපිය දිගටම කියවගෙන ගියොත් දැනට තියෙන ඉතාම විවාදාත්මක මත ගැන ඔයාලට දැනගන්න පුළුවන්.

මේ වන විට සඳ මතට සය වරක්ම මිනිසුන් පය තබා තිබෙන අතර කිලෝග්‍රෑම් හාරසීයකටත් වැඩිය චන්ද්‍ර පස් සහ පාෂාණ විද්‍යාඥයින් දහස් ගණනක් විසින් පරීක්ෂාවන්ට ලක් කරලා තියෙනවා. ඒත් 1969 ඉඳන් අද වෙනකල්ම සඳ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන ඒකමතික තීරණයකට එන්න ඒ අයට බැරි වෙලා තියෙනවා.
බොහෝ විද්‍යාඥයින් කලින් හිතාගෙන හිටියේ චන්ද්‍රයා පෘථිවියට සහ සූර්යයාට පසුව නිර්මාණය වුනු ග්‍රහවස්තුවක් හැටියටනේ. අද උනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි. ඒත් අළුත්ම සොයාගැනීම් වලට අනුව සඳ නිර්මාණය වෙලා තියෙන්නේ සූර්යයාටත් කලින් ලු. 1973 දී හාවඩ් විශ්ව විද්‍යාලය මගින් කරපු පරීක්ෂණයකදි හොයාගෙන තියෙනවා සමහර චන්ද්‍ර පාෂාණ වසර බිලියන 5.3 ක් විතර පැරණි බව. ඒ වගේම ඒ පාෂාණ මත තිබුණු දූවිලි තට්ටුව ඊටත් වඩා වසර බිලියනයක් විතර පැරණියිලු. නමුත් පෘථිවියෙන් දැනට හම්බවෙලා තියෙන පැරණිම පාෂාණයේ වයස වසර බිලියන 3.5 යි. ඒ අනුව දැනට නිර්ණය කරලා තියෙන විදිහට පෘථිවියේ වයස වසර බිලියන 4.6 ක් විතර වෙනවා. මීට අමතරව චන්ද්‍රයා මතුපිට ටයිටේනියම් ලෝහය බහුලව පවතින බව තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය දොන් විල්සන් පවසනවා. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ලෝහය කිසියම් නොදන්නා ආකාරයකින් චන්ද්‍ර පෘෂ්ඨය මතට ගෙන එන්නට ඇති කියලයි.
අනිත් පුදුම සහගත කාරණය තමයි පෘථිවිය මත බහුල ලෝහයක් වන යකඩ, සඳ මත ඉතා අඩුවෙන් තිබීම. මේ හේතුව හින්දත් සඳ සහ පෘථිවිය එකම කාලයකදී නිර්මාණය වී නැති බව කියන්න පුළුවන්.
දැන් මම ලියන්න යන කාරණය තමයි සඳ පිළිබඳව තියෙන වඩාත්ම ආන්දෝලනාත්මක මතය. ඒ තමයි සඳේ අභ්‍යන්තරය කුහරයක් වන බව. 1969 දී මුලින්ම මිනිසා සඳ මතට පා තැබූ මොහොතේදී එම ගගනගාමීන් ගමන් ගත් චන්ද්‍ර මොඩියුලය සඳ මත පතිත වූ විට එහිදී සිදු වූ ගට්ඨනය නිසා පුදුම සහගත සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ එම ගැටුම නිසා සඳේ අභ්‍යන්තරය පැයක් පමණ නාද වෙමින් දෝංකාර දීමයි. එම ස්පන්ද තරංග උපරිම අගයට පත් වීමට විනාඩි අටක් පමණ ගතවෙලා තියෙන අතර ඉන්පසුව එය ක්‍රමයෙන් හීන වී ගොස් තිබෙනවා. පසුකාලීනව නාසා ආයතනය මගින් මෙවැනි ගැටුම් කීපයක්ම සඳ මතදී කර තිබෙන අතර සමහර කම්පනයන් පැය ක් පමණ දිගට සිදු වී තිබෙන බව පැවසෙනවා. මීට අමතරව චන්ද්‍ර පස් තුල මල නොබැදෙන යකඩ අඩංගු බව රුසියානු පර්යේෂකයින් හොයාගෙන තියෙනවා. ඒ අනුව ඒ අය කියා සිටින්නේ ඉතාමත් ඈත අතීතයේදී පවා සඳ කිසියම් දියුණු තාක්ෂණයකට අයත්ව තිබී ඇති බවයි.
සඳ සම්බන්ධයෙන් තියෙන විශාලම අබිරහස තමයි එය දැන් තියෙන ස්ථානයට කොහොම ලඟා වුණාද කියන එක. ඒ ගැන තියෙන අළුත්ම අදහස තමයි සඳ වෙන තැනක නිර්මාණය වෙලා පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුළු වුන බව. තව මතයක් තමයි අතීතයේ තිබුණු තවත් ග්‍රහලොවක් පෘථිවිය සමග ගැටී ඉතුරු වූ කොටස් වලින් සඳ නිර්මාණය වුන බව. ඒත් මේ අදහස පිළිගන්න තරම් සාධක නැහැ කියලයි විද්‍යාඥයෝ කියන්නේ. මීට අමතරව අනෙක් විශෙෂ කාරණය තමයි සඳේ ගමන් පථය වෘත්තාකාර වීම. ඒත් අනෙක් බොහෝ ග්‍රහලෝක වල චන්ද්‍රයින් ගමන් කරන්නේ ඉලිප්සාකාර පථ වල. මේ වගේ වෘත්තාකාර පථයක් පිහිටන එක පුදුමයක් වෙන්නේ සඳේ ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍යයෙන් කිලෝමීටර 1.6 ක් විතර පෘථිවිය දිහාවට නෙරා තියෙන නිසයි. එවැනි නෙරීමක් තියෙනකොට අනිවාර්යයෙන්ම පථය ඉලිප්සාකාර හෝ වෙන හැඩයක් ගන්න ඕනෑ උනත් සඳ ක්‍රියාකරන්නේ ඊට පටහැනි විදිහට. ඒ වගේම තම මව් ග්‍රහයා දෙසට සදාකාලිකවම එකම පාර්ශවයක් මුහුණ ලා භ්‍රමණය වන එකම උපග්‍රහයාත් සඳයි.
මේ කරුණු සලකා බලා නව මතයක් ඉදිරිපත් කිරීමට රුසියානු විද්‍යාඥයින් දෙදෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඒ දෙදෙනා තමයි ඇලෙක්සැන්ඩර් ෂෙර්බාකොව් සහ මිෂායෙල් වෙයිසින්. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම ආන්දෝලනාත්මක මතයක්. ඒ සඳ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් කියලයි. ඔවුන්ට අනුව චන්ද්‍රයා කියන්නේ මීට වසර බිලියන ගණනකට කලින් නිර්මාණය කරපු අති විශාල අභ්‍යවකාශ යානයක් හෝ අභ්‍යවකාශ නැවතුම්පළක්. තාමත් අපිට මේ තරම් විශාල යානා නිර්මාණය කරන්න බැරිවුනත් ඉතාමත් ඉහළ සුපිරි තාක්ෂණයකින් සමන්විත පිරිසකට මේ වගේ වැඩ ඒ තරම් දේවල් නෙවෙයි වෙන්න පුළුවන්. සමහරවිට සඳ වෙනත් ග්‍රහලෝක වලට වඩා වෙනස් ආකාරයකට හැසිරෙන්නේ එය ස්වභාවිකව නිමාණය නොවුණු එකක් නිසා වෙන්න පුළුවන්. චන්ද්‍රයා කියන්නේ කෘත්‍රිම නිර්මාණයක් කියලා ඔප්පු කරන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි මල නොබැඳෙන යකඩ, ටයිටේනියම්, ක්‍රෝමියම්, සර්කෝනියම්, යුරේනියම්236, නෙප්චූනියම්237 වැනි ලෝහ සඳ මතුපිට බහුලව දකින්නට ලැබීම. ඒ වගේම චන්ද්‍රයා කාලයෙන් කාලයට තමන්ගේ කක්ෂය වෙනස් කරගෙන තියෙන බවටත් සාධක හම්බ වෙලා තියෙනවා. ඒ අනුවත් එය කිසියම් දියුණු තාක්ෂණයක් මගින් පාලනය කර තිබෙන බව කියන්න පුළුවන්. සඳේ අභ්‍යන්තරය කුහරයක් බවට පත් කරලා තියෙන්නේත් එය අභ්‍යවකාශය හරහා පහසුවෙන් ගමන් කරවීමට කියලයි කියන්නේ. වසර බිලියන ගණනකට කලින් සඳේ අභ්‍යන්තරය රත් කිරීම මගින් ද්‍රව තත්වයට පත් කර පිටතට පොම්ප කරන්නට ඇති කියලත් විද්‍යාඥයින් සැක පහළ කරනවා. එහෙම කියන්නේ සඳේ උෂ්ණත්වය ඉතා ඈත අතීතයේදී සැලකිය යුතු ලෙසට වෙනස්වීම් වලට ලක් වී තියෙන බවට සාක්ෂි හම්බ වෙලා තියෙන නිසයි.

මේ ලිපියේ තියෙන සමහර දේවල් ඔයාලට පිළිගන්න අමාරුත් ඇති. ඔයාලට විතරක් නෙවෙයි මටත් මේ සමහර කරුණු පිළිගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තාම හරියටම හරි මොකද්ද කියල කියන්න දන්නේ නැහැනෙ. මට සමහර වෙලාවට මෙන්න මෙහෙම හිතෙනවා. සඳ කියන්නේ ඇත්තටම අභ්‍යවකාශ යානයක් නම්, එහෙනම් ඒක හදපු කට්ටියට ලඟදි දවසකදි ආපහු යන්න හිතිල සඳත් අරගෙන ගියොත් එහෙම අපිට මොනව වෙයි ද.... 
ඔයාලත් ඔයාලට හිතෙන දේවල් ලියල යන්න අමතක කරන්න එපා.

Saturday, March 13, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි - 2

     කලින් සෙල්ලිපි සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. කට්ටියටම ඒකට බොහොම ස්තූතියි. ඇත්තටම ඒ ලැබුණු ප්‍රතිචාර නිසා තමයි ඉඩක් ලැබුණු ගමන්ම මේ සෙල්ලිපි සටහන ලියන්න පටන් ගත්තේ. ප්‍රතිචාර වැඩිවෙන තරමට අලුත් ලිපියක් ලියන්න තියෙන ආසාව වැඩිවෙන බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එහෙනම් ඉතින් දැන් මාතෘකාවට බහිමු.
     කලින් සෙල්ලිපි සටහනේ මම ලියලා තිබුණා නේද ආචාර්ය පර්සි විල්කින්ස් විසින් නිරීක්ෂණය කරලා තිබුණු සඳේ ආවාටයක බිත්ති අතර තනා තිබූ පාලම ගැන. ඒ පාලම ගැන තවත් විස්තර කියනවානම් ඒක කිලෝමීටර් 30ක් පමණ දිග බවයි ආචාර්යතුමා කියන්නේ. ඒ වාගේම ඒ පාලම ආවාටය පතුලේ සිට මීටර් 1700ක් පමණ ඉහලින් තනා තිබූ බවත් පැවසෙනවා. වර්ණාවලි දර්ශකයකින් නිරීක්ෂණය කිරීමෙන් පසුව සොයාගෙන තියෙන්නේ එය ලෝහ වලින් නිර්මාණය කර ඇති බවයි. ආචාර්ය විල්කින්ස් විසින් මේ කරුණු සියල්ලම බී.බී.සී ගුවන්විදුලි සේවයේ වැඩසටහනකදී තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, 1974 දී ඇපලෝ 16 යානයේ ගමන් ගත් ගගනගාමීන් විසිනුත් මේ පාලමේ ඡායාරූප අරගෙන තියෙනවා.
     ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධානතම යානය වූ ඇපලෝ 11 යානයේ සිටි නීල් අම්ස්ට්‍රෝන්ග් ඇතුළු ගගනගාමීන් ද චන්ද්‍රයා ආසන්නයේදී හඳුනා නොගත් යානා නිරීක්ෂණය කර තියෙනවා. වරින් වර මෙම යානා ඇපලෝ 11 යානය ආසන්නයෙන් ද ගමන් කර තියෙනවා. මේ හේතුව නිසාම හූස්ටන් හි පිහිටි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් නීල් අම්ස්ට්‍රෝන්ග් ට දන්වා ඇත්තේ සඳ මතට ගොඩනොබසින ලෙසයි. ඒත් අන්තිමේ දී ඔහුට සඳ මතට බැසීමට අවසර ලැබී ඇත්තේ මෙම යානා වලින් කරදරයක් නොවන බව පෙනී ගිය නිසයි.
     මෙම හඳුනා නොගත් යානා සහ ගොඩනැගිලි නිසා මේ වනවිට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කිසියම් දියුණු ජීවීන් කොට්ඨාශයක් තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා යොදා ගන්නා බවයි. ඔවුන් සඳ මතුපිට වගා කටයුතු කරන බවත් පැවසෙනවා. සඳ මතුපිට තියෙන අතිවිශාල වගා බිමක චන්ද්‍රිකා ඡායාරූපයක් ආචාර්ය අභය කුමාර කොල්ලුරේ මහතා විසින් ලියා තිබෙන "විශ්වයෙහි ප්‍රවර්තනය සහ එහි සුපිරි සභ්‍යත්ව" කියන පොතේ පළ වෙලා තියෙනවා. මේ සෙල්ලිපි සටහන ලියන්න මම යොදා ගන්න ප්‍රධාන මූලාශ්‍රය තමයි ඒ පොත.
     පෘථිවිය ට කවදාවත් පේන්නේ නැති අඳුරු ප්‍රදේශයක් සඳේ පිහිටලා තියෙන බව සමහර විට ඔයාලා දන්නවා ඇති. පිටසක්වල ජීවීන් තමන්ගේ කටයුතු බොහොමයක් කරන්නේ මේ අඳුරු කළාපයේ ඉඳගෙනයි. පහළින් තියෙන්නේ ඒ අඳුරු කළාපයේ එක ප්‍රදේශයක චන්ද්‍රිකා ඡායාරූපයක්. ඒ රූපයේ තියෙන ජ්‍යාමිතික හැඩ සහිත නිර්මාණ ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්.
    
     1967 දී ගුවන්ගත කරපු ලුනාර් ඔ'බිටර් යානය මගින් ගත් සඳේ ඡායාරූපයක සටහන් වෙලා තියෙනවා කිසියම් විශාල වාහනයක් ගමන් කිරීමෙන් පසු සෑදෙන රෝද සලකුණු ආකාරයේ සටහනක්. පහළින් තියෙන්නේ ඒ ඡායාරූපයයි.


     මෙම ඡායාරූප වලට අමතරව තවත් අතිවිශාල ඡායාරූප ප්‍රමාණයක් නාසා ආයතනය සතුව තියෙන බව පැවසුනත් ඒවා කිසිවිටෙකත් සාමාන්‍ය ජනතාව වෙත නිකුත් නොකරන්නට ඔවුන් වග බලාගෙන තියෙනවා. එසේ කරන්නට පැහැදිලි හේතුවක් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන් සිටින්නේ කිසිවක් නොදන්නා ආකාරයටයි. මම ඔයාලට කියන විස්තර වලිනුත් බොහොමයක් ම අපි අතරට ඇවිල්ලා තියෙන්නේ විශ්‍රාම ගිය විද්‍යාඥයින් විසින් සමහර කරුණු හෙලි කරලා තියෙන නිසයි.
     සමහරවිට පිටසක්වල ජීවීන් සඳේ ඉඳගෙන මොනවහරි විශාල පරීක්ෂණයක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපිත් නොදැනුවත්වම ඒ අයගේ පර්යේෂණ වලට ලක් වෙලා තියෙන්න පුළුවන්. අපි නොදන්නවා වුනාට මේ පෘථිවියේ ජීවීන් බිහි කලෙත් ඔවුන් වෙන්න පුලුවන්. ඒ නිසා සමහරවිට මේ දවස් වල ඔවුන් කරන්නේ තමන්ගේ ඒ නිර්මාණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන එක වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපි සටහන ඉවර කරන්න කලින් තවත් එක ඡායාරූපයක් ඔයාලට පෙන්වන්නම්. මේ රූපයේ සටහන් වෙලා තියෙන්නේ චන්ද්‍ර නගරයක්. හොඳට බැලුවොත් ඔයාලට ගොඩනගිලි වල ඡායාවන් බලාගන්න පුළුවන් වෙයි.

     සඳ ගැන තව එක සෙල්ලිපි සටහනක් කොටන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් ඉක්මනටම ඒකත් කොටන්නම්. එහෙනම් මේ සෙල්ලිපි සටහන ගැනත් ඔයාලගේ අදහස් සටහන් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ comments හරි වටිනවා.

Sunday, March 7, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි

     අලුතෙන් සෙල්ලිපියක් කොටන්න අදහසක් නැතුව ඉන්නකොට තමයි මේ ඉරිදා රිවිර පත්තරේ "සඳ මත තැනූ මාළිගා හමු වෙයි" යන මාතෘකාව යටතේ පළ වුණු ලිපියක් දැක්කේ. ඒ ලිපිය කියෙව්වහම ඒ සම්බන්ධව තවත් මොනවා හරි ලියන්න ඕනෑ කියලා හිතුනා, මොකද මම මීට ටික කාලෙකට කලින් සඳ මත තනා ඇති ගොඩනැගිලි ගැන ලිපි සහ පොත් කීපයක් කියවලා තිබුණ නිසා. ඇත්තටම එකපාරටම පිළිගන්න අපහසු සහ තරමක් අද්භූතජනක කරුණු කාරණා ගණනාවක්ම ඒ පොත්පත් වල සඳහන් වෙලා තිබුණා. ඉතින් මම මේ හදන්නේ ඒ කරුණු කීපයක් මට මතක තියෙන විදිහට ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි.
     මීට වසර ගණනාවකට කලින් ඉඳන්ම, චන්ද්‍ර පෘෂ්ඨය මත ඉදි කරලා තියෙන ගොඩනැගිලි ගැන ඇමෙරිකානු සහ රුසියානු විද්‍යාඥයින් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ මොකද පිටසක්වල ජීවීන් ඉන්නවා යයි තහවුරු කරන්න පුළුවන් ප්‍රබලම සාක්ෂියක් බවට මේ ගොඩනැගිලි පත්වෙන නිසා. මුලින්ම මේ ගොඩනැගිලි ගැන ලෝකයාට හෙළි වෙලා තියෙන්නේ රුසියානු විද්‍යාඥයින් හරහායි. ඊට පසුව ඇමෙරිකානු විද්‍යාඥයිනුත් යම් යම් අදහස් දක්වලා තියෙනවා. ඒ කොහොම වුනත් තාමත් මේ බොහෝ කරුණු පවතින්නේ රහසිගතවයි. ඒත් ඉන්දියාවත් ජපානයත් චන්ද්‍ර ගවේෂණය සඳහා යොමු වීමත් සමගම මේ කරුණු ඉදිරියේදී හෙලිදරව් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.
     චන්ද්‍රයා පිළිබඳව මුලින්ම පර්යේෂණ කරන්නට පටන් අරගෙන තියෙන්නේ 1928 දීයි. ඒ සඳ වෙතින් වෙනස් ආකාරයක රේඩියෝ සංඥා නිකුත් වීමත් සමගයි. මේ රේඩියෝ සංඥා ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා නෙදර්ලන්තය යන රට වලින් ද ග්‍රහණය කරගෙන තියෙනවා. මේ සිද්ධිය ගැන ලොවට හෙලිකරලා තියෙන්නේ මොරිස් ශතලේන් කියන විද්‍යාඥයා යි. ඔහු ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධාන නිලධාරියෙක්ව සිට ඇති අතර එම යානා වල සන්නිවේදන උපකරන පිළිබඳව වගකිවයුතු නිලධාරියා වෙලා තියෙන්නෙත් ඔහුයි. ඔහු ප්‍රකාශ කරන අන්දමට සියලුම ජෙමිණි සහ ඇපලෝ යානා වෙනත් යානා මගින් පිරිවරාගෙන ගමන් කර ඇති අතර එම වෙනත් යානා පෘථිවි යානා නොවේ. (ජෙමිණි ව්‍යාපෘතිය යනු ඇපලෝ ව්‍යාපෘතියට පෙර ගගනගාමීන්ට අජටාකාශය හරහා සඳ වෙත යාමට හැකිදැයි අත්හදා බැලීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලයි. ජෙමිණි යානා සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණ ඇත.) ජෙමිනි සහ ඇපලෝ යානා වල ගමන් කරපු ගගනගාමීන් මේ පිටසක්වල යානා වල ඡායාරූපත් අරගෙන තියෙනවා. ඒත් ඒවා බොහොමයක් රහසිගතව තබාගැනීමට නාසා හි බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඒ ඡායාරූප රහසිගතව තබාගත්තත් නාසා ප්‍රචාරක සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ඩොනල්ඩ් සිස්ට්‍රා මහතා කියාසිටින්නේ ඇපලෝ යානා හි ගගනගාමීන් තමන්ට විස්තර කළ නොහැකි අන්දමේ දර්ශනයන් අත්දැක තිබූ බවයි.


     චන්ද්‍රයා හා සම්බන්ධ පිටසක්වල ජීවීන් පිළිබඳව ගොඩක් පර්යේෂණ කරපු පුද්ගලයෙක් තමයි ජොර්ජ් ඇඩම්ස්කි. ඔහු 1948 ඉඳන් 1955 වෙනකල් බොහෝ පරීක්ෂණ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ සඳ මත ජලය සහ වෘක්ෂලතාදිය ද පවතින බවයි. එමෙන්ම  පිටසක්වල ජීවීන් විසින් සඳ තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බවයි. ඒ කාලයේදී ජනතාව මේ කාරණා දෙස තරමක් උපහාසයෙන් යුතුව බැලුවත් අද වනවිට ඒ කාරණා සනාථ කිරීමට අවශ්‍ය වන සාක්ෂි ඕනෑතරම් හම්බ වෙලා තියෙනවා.
1953 දී ජෝන් ඔ'නිල් නම් තාරකා විද්‍යාඥයා ප්‍රකාශ කරලා තියෙනවා චන්ද්‍රයාගේ 'මරේ ක්‍රිසියුම්' නම් ආවාටයේ බිත්ති අතර ගොඩනගා තිබූ සුවිශාල පාලමක් තමන්ට තමන්ට දුරේක්ෂය හරහා දකින්නට ලැබුණු බව. ඊට මාස කීපයකට පසුව තවත් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙක් වන ආචාර්ය පර්සි විල්කින්ස් සහ ආචාර්ය පැට්‍රික් මුවර් විසිනුත් මේ පාලම දැකපු බවට ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා.




මේ තියෙන්නේ සඳ මත ඉදිකර තියෙන විශාල මාලිගයක් වැනි ගොඩනැගිල්ලක්. මේ ගැන තමයි මේ සතියේ රිවිර පත්තරෙත් සඳහන් වෙලා තියෙන්නේ. මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇපලෝ-10 යානය මගින්. මෙය දිගින් සැතපුමක් විතර වෙන බව සඳහන් වෙනවා. එය චන්ද්‍ර පෘෂ්ඨයෙන් කිලෝමීටර් 14 විතර උස තැනක පිහිටුවා තිබෙන බවයි කියැවෙන්නේ. එකිනෙකට සම්බන්ධ සිලින්ඩරාකාර කොටස් වලින් තමයි මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ. මෙහි සමහර තැන් විනිවිද පේන බවත් විශේෂඥයෝ ප්‍රකාශ කරනවා. මේකේ හැඩය ටිකක් විතර ප්‍රංශයේ අයිෆල් කුළුණට සමානයි.


මේ පහළින් තියෙන්නේ සඳේ ආවාටයක පතුලේ හදලා තියෙන තවත් ගොඩනැගිල්ලක ඡයාරූපයක්.


  
     සඳ මත තියෙන ගොඩනැගිලි සම්බන්ධව තවත් කරුණු ටිකක් මා ළඟ තියෙනවා. ඉතින් මේ කරුණු ගැන තවදුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් comment එකක් විදිහට ඒ බව ලියන්න. මොකද comments මදි වුනහම දිගටම ලියන්න හිතෙන්නේ නැහැ කියලා ඔයාලත් දන්නවනේ. කට්ටියගේ කැමැත්තක් තියෙන බව පෙනුනොත් ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්නම්. එහෙනම් පස්සේ සෙට් වෙමු.