Sunday, September 20, 2009

දඬුමොණරය ගැන ( පස් වන කොටස )

මම ඔයාලට කලින් කිව්වේ මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ විමානයක සැකැස්ම ගැන කතා කරන්න කියලානේ. ඒත් මට හිතුනා ඒක ගැන කතා කරන එක ඊළඟ සෙල්ලිපි සටහන දක්වා කල් දාන්න. මොකද දන්නවද... විමානාචාර්යවරු ගැන තව කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ විස්තර සටහන් කලේ නැත්නම් මේ ලිපි පෙළ අසම්පූර්ණයි කියලා මට හිතුණා. කොහොමත් විමාන තාක්ෂණය සම්බන්ධ කටයුතු වලදී පුරාණ නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවන් වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන්නේ විමානාචාර්යවරයා වෙතටයි. විමානාචාර්යවරයා ආරක්ෂා සහිතව ඉන්න තාක් කල් විමානයත් ආරක්ෂා වන බව ඒ අය හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසා අපේ සෙල්ලිපි සටහන් පෙළේත් වැඩි ඉඩක් විමානාචාර්යවරුන් වෙනුවෙන් වෙන්කරන්න අපිට සිද්ධවෙනවා. ඉතින් දැන් අපි අපේ සුපුරුදු මාතෘකාවට බහිමු.

අපි කලින් සෙල්ලිපි සටහන් වලින් කතා කලානේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රම ශිල්ප පිළිබඳව. ඒවා ඉගෙන ගත්තට විතරක්ම මදි. තවත් දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒවා අතරින් වැදගත්ම දෙයක් තමයි ඉහළ අහසේ තියෙන ස්වභාවික අනතුරු පිළිබඳව ඉගෙනගැනීම. විමානයක් වෙත එල්ල වුනු ස්වභාවික තර්ජන අතරින් දරුණුතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ අහසේ එක් එක් ප්‍රදේශ වල තිබුණු විවිධ වර්ගයේ සුළි කුණාටු වලින්. අපි දැන් ඒ එක් එක් සුළි කුණාටු වර්ග පිළිබඳව විස්තර හොයලා බලමු. අහසේ තියෙන 'රේඛාපත්ථ' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ ශක්ති සුළි කුණාටු. 'මණ්ඩල' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ වාත සුළි කුණාටු. 'කක්ෂ' නම් ප්‍රදේශයේ හටගන්නේ සූර්ය කිරණ නිසා ඇතිවන සුළි කුණාටු. 'ශක්ති' නම් ප්‍රදේශයේ හටගන්නේ ශීත වායු ධාරා නිසා ඇතිවන සුළි කුණාටු. අවසාන වශයෙන් 'කේන්ද්‍ර' නම් ප්‍රදේශයේ ඇතිවෙන්නේ විවිධ අංශු ගැටීම නිසා හටගන්නා සුළි කුණාටු. මේ විවිධාකාර වූ සුළි කුණාටු ගැන හොඳ අවබෝධයක් විමානාචාර්යවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්‍රව්‍යයන් ක්‍රියාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්‍ය වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හෝ වෛශ්‍ය යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා.
මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්. ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්‍රියේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි (යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්‍රී කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්‍රී කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්‍රමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.

එහෙනම් අදට ඇති. විමානයක සැකැස්ම ගැන ඊලඟ සෙල්ලිපි සටහනෙන් කතා කරමු. මේ ලිපි පෙළ සම්බන්ධව වැඩිපුර තොරතුරු ඔයාලා දන්නවනම් ඒවත් සටහන් කරන්න. කැමතිනම් ඔයාලාට සංවාදයක් පවා ගොඩනඟන්න පුළුවන්

4 comments:

  1. අගේයි අලුත් දෙයක් දැනගත්තා

    _________________________
    www.sriweb.info

    ReplyDelete
  2. මේක දැක්කම මට හිතුනේ දැන් ඉන්න pilotලාගේ ආහාර වට්ටෝරුව සහ කෑම රටාව කොහොමද කියලයි. දන්න කවුරුත් නැද්ද?

    ReplyDelete
  3. රයිට් සහොදරයෝ කැලේ..........

    ReplyDelete