Friday, September 18, 2009

දඬුමොණරය ගැන ( සිව්වන කොටස )

අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප පිළිබඳව නේ. මේ වෙනකොට අපි ඒවායින් ක්‍රම 22ක්ම දැනගෙන ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ 10යි. අද ඒ 10 ගැනත් දැන ගනිමු. 

23. චාපල - මෙයත් ආරක්ෂිත උපක්‍රමයක්. සතුරු විමානයක් දුටු විටදී, අවට වාතය වේගයෙන් කලඹවා එම විමානය කම්පනය කරවීම මේ නමින් හැඳින්වෙනවා. මෙහිදී කැලඹුණු වායු තරංග වල වේගය පැයට වට 4087ක් පමණ වුණාලු.
24. සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්‍රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්‍රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.
25. පාරශබ්ද ග්‍රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්‍රය ක්‍රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.
26. රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.
27. ක්‍රියාග්‍රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්‍යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ්‍ර කර 'ත්‍රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.
28. දික්ප්‍රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්‍ර' නම් යන්ත්‍රය ක්‍රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්‍රමය මෙසේ හැඳින්වේ.
29. ආකාශාකාර - මේක තවත් වෙස් වලාගැනීමේ ක්‍රමයක්. කළු පැහැති මයිකා ද්‍රාවණයක් තවත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර යානයේ පිටත බඳේ ආලේප කර හිරුඑලිය ඒ හරහා පරාවර්තනය කිරීමෙන් යානය සහ ආකාශය වෙන් කර හඳුනාගැනීමට අපහසු තත්වයට පත් කිරීම මෙහිදී සිදු වේ.
30. ජලදරූප - මේකත් කලින් ක්‍රමය වගේම ක්‍රමයක්. මෙහිදී කරන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් විමානයේ ආලේප කර එය වලාකුලක් සේ දිස්වන්නට සැලැස්වීමයි. මෙම රසායනික ද්‍රව්‍ය වලට දෙළුම් යුෂ, අබ කුඩු, මාළු කොරපොතු වලින් සෑදූ කසායක්, තඹ ලවණ, සිප්පි කටු වැනි දේත් යොදාගෙන තියෙනවා.
31. ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්‍රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්‍රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්‍ර' නම් යන්ත්‍රයක් මගින්.
32. කර්ෂන - මේක තමයි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු අන්තිම ක්‍රමවේදය. තම විමානය දෙසට සතුරු විමානයකින් ප්‍රහාරයක් එල්ල වන විටදී එම යානය වෙත අධික උෂ්ණත්වයකින් යුතු තාප ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කර දැමීම මෙසේ හැඳින්වෙනවා.

දැන් අපි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු ක්‍රමවේද 32 ම දැනගෙන ඉවරයි. මීට අමතරව අහසේ පිහිටි ප්‍රදේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි. ඒ ප්‍රදේශ 5 මෙසේ හැඳින්වෙනවා.
  1. රේඛාපත්ථ
  2. මණ්ඩල
  3. කක්ෂ
  4. ශක්ති
  5. කේන්ද්‍ර
'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්‍රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්‍රදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්‍රදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද්‍ර ප්‍රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා. 
'වෛමාණික ශාස්ත්‍ර' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.
  1. භූලෝක
  2. භූවර්ලෝක
  3. සූවර්ලෝක
  4. මහෝලෝක
  5. ජනෝලෝක
  6. තපෝලෝක
  7. සත්‍යලෝක
මම නම් මීට කලින් මෙහෙම ලෝක ගැන අහලා නැහැ. සමහරවිට වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්‍රහලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.

මම හිතාගෙන ඉන්නේ ඊළඟ සෙල්ලිපි සටහනනෙන් විමානයක සැකැස්ම ගැන සාකච්ඡා කරන්නයි. ඒත් මම මේ ලිපි පෙළ ලියන්න යොදාගත්තු මූලාශ්‍ර ගැන ඔයාලට කියලනේ තියෙන්නේ. ඉතින් සමහරවිට මේ ලිපිපෙළ තව දුරටත් ලියාගෙන යන එක එච්චර ප්‍රයෝජනවත් නොවෙන්නත් පුළුවන්. මොකද ඔයාලා මූලාශ්‍ර වලින් සෑහීමකට පත් වෙනවානම් මම ආයෙත් ඒවා ගැනම ලියන එකේ තේරුමක් නැති නිසා. ඉතින් මම තව දුරටත් මේ මාතෘකාව යටතේ සෙල්ලිපි සටහන් පෙළ කරගෙන යන්න අවශ්‍යද.. නැද්ද කියලා ඔයාලම මට කියන්න. ඒ නිසා ඔයාලගේ comments හුඟක් වැදගත් වෙනවා.

11 comments:

  1. අනිවා ලියන්න මම නම් මුල ඉදන්ම කියෙව්වා. සියලුම තොරතුරු හැකිතාක් ලියන්න මේක උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය කියනවට වඩා දඬුමොණරය කියලම ලිව්වනම්මීට වඩා හොඳයි.

    ReplyDelete
  2. දිගටම ලියන්න...අපිට ඉතින් ඔබේ පිහිට තමයි..

    ReplyDelete
  3. අයිය අනිවාර්යයෙන්ම ලියන්න.

    ReplyDelete
  4. දිග‍ටම ලියන්ඩ අපි මුල ඉදලම බලනවා
    ගොඩක් ස්තූතියි මේවැනි දේයක් අපිත් ‍‍එක්ක බේදා ගත්තට

    ReplyDelete
  5. ලියනවා.. ලියනවා...
    ඊළඟ සෙල්ලිපි සටහන අද රෑ 11.30 ට බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
  6. එදා අදටත් වඩා දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනව කියල හිතෙනවා.

    මූලාශ්‍ර, වෙනත් ලිපි තිබුනත් මේ සම්බන්ධව සිංහලෙන් ලියවුනු සටහන් අඩු නිසා ඔබේ ලිපි පෙළ වදගත්. සරළව තියෙන නිසා පැහැදිලියි. දිගටම ලියන්න.

    ReplyDelete
  7. බැලුවම මේව දැන් තියෙන දියුණුම තාක්ෂණික වාහන වලට වඩා දියුණුයිනෙ. විස්තර හරිම වටිනව.

    ReplyDelete
  8. මේ පුරාවෘත්ත තාක්ෂණ කථා දිගටම ලියන්න. සිංහලෙන් මේ ගැන වැඩි දෙයක් ලියවිලා නැති එකේ උදිත මේ ගැන ලියන එක කොයි තරම් වටිනවද..

    ReplyDelete
  9. danata vunath api vayu golaye thiyena sthara gena igena gannava ne. man hithanna me e gena thama "අහසේ පිහිටි ප්‍රදේශ" adi vashayan kiyanne

    ReplyDelete