Saturday, October 31, 2009

හෙළ ඉතිහාසය සහ බුදුන් වහන්සේගේ ලංකාගමනය

මේ බ්ලොග් ලිපියෙනුත් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සැඟවුණු හෙළ ඉතිහාසය පිළිබඳවයි. ඒ වාගේම බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව තිබෙන ගැටළු සහගත තැන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි දන්නා පරිදි බුදුන් වහන්සේ මෙරටට තුන් වරක් වැඩම කර ඇති අතර ඉන්පසුව මහාවංශය පවසන පරිදි දෙවනපෑතිස් රජු කල මිහින්දු මහ රහතන් වහන්සේ විසින් මෙරටට බුදු දහම ගෙනැවිත් ඇත. අප දන්නා ඉතිහාස කතාව මේ ආකාර වුවත් ඓතිහාසික සාධක වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් කතාවක්.

බුදුන් ගේ කාලයේදීත් හෙළ අසුර අධිරාජ්‍යය ඉතා දියුණු මට්ටමක පැවතිලා තිබෙනවා. 'සාතගිර' සහ 'හේමවත' වැනි යක්ෂ සෙන්පතිවරුන් ගැනත් ඔවුන් ගුවනින් පැමිණ බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ බවත් බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඒ අනුව පුරාණ ඉන්දියාව තුළ තිබුණු හෙළ අසුර අධිරාජ්‍යයේ බලපෑම ගැනත් ඔවුන් විසින් භාවිතා කළ ගුවන් යානා ( දඬුමොණර යන්ත්‍ර ) ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්. මීට කලින් මම ලියපු බ්ලොග් ලිපියක කියලා තිබුණා බුදුන් වහන්සේට සමකාලීනව ලක්දිව රජකම් කල රජතුමා 'පනිත' නම් වන බව. කිසියම් හේතුවක් නිසා මේ රජතුමා අපේ රාජාවලියෙන් ඉවත් වී තිබෙනවා. ගැටළුව පැන නගින්නේ මෙතැන් සිටයි.

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත්තේ නැවකින් වන අතර, උන් වහන්සේ ජල යාත්‍රාවක සිට දහම් දෙසමින් වැඩම කරන ආකාරය දැක්වෙන සිතුවමක් පොලොන්නරුවේ තිවංක පිළිම ගෙයින් ද හමු වී තිබෙනවා. මෙම කරුණ සනාථ කළ හැකි හොඳම උදාහරණය නම් මහියංගනයේ ඇති 'ගෝතම ඇල' යි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර ඇත්තේ මේ ඇල මාර්ගය හරහායි. පසුකාලීනව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මේ ඇල 'ගෝමතී ඇල' ලෙස නම් කර තිබෙනවා. දැනට හමු වී ඇති සෙල්ලිපි වලට අනුව, අද සුමන සමන් දෙවියන් ලෙස හඳුවන තැනැත්තා පනිත රජුගේ අයකැමි ලෙස සහ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා. දඬුමොණර යන්ත්‍රයකින් බුදුන් වහන්සේව මහියංගනයේ සිට සමනල කන්ද වෙත වැඩමවාගෙන ගොස් තිබෙන්නේ මේ සුමන විසින්. පනිත රජුගෙන් පසුව සුමනගේ වැඩිමහල් පුතු වූ 'දමරජ' නමැත්තා රජ වී ඇති අතර ඉන්පසුව රජ වී තිබෙන්නේ දමරජගේ පුත් 'මහතිස' නමැත්තායි. මහතිස ගේ දියණිය 'අබිසවෙර' හෙවත් 'විහාර මහා දේවිය' වන අතර ඇය 'ගෝඨාභය' ගේ පුත් 'තිස්ස' හෙවත් 'කාවන්තිස්ස' සමග විවාහ වී තිබෙනවා. මේ හා සම්බන්ධ පැහැදිලි විස්තරයක් කොටාදැමුහෙල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි තිබෙන්නේ "......දමරජ පුත් මහතිසගේ දියණි අබිසවෙර එමෙන්ම ගෝඨාභයගේ පුත් තිස යන අයගේ බිරිඳ අබිසවෙර විසින් මේ ලෙණ සංඝයාට දුනි......" යන්නයි. මේ අනුව මෙහි කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ පෙළපත පැහැදිළිව සඳහන් වෙනවා.

එසේ නම් විහාර මහා දේවියගේ පුත් දුටුගැමුණු කුමරු උපත ලබන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා වැඩි කාලයක් ගත වීමට මත්තෙන් විය යුතුය. දැන් ගැටළුව තවත් සංකීර්ණ වෙනවා. මහාවංශයට අනුව මහින්දාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සැලකිය යුතු කාලයකට පසුව වන අතර දුටුගැමුණු කුමරු රජ වන්නේ ඊටත් සෑහෙන කලකට පසුවය. නමුත් සෙල්ලිපි වලින් කියැවෙන්නේ මීට වඩා වෙනස් ඉතිහාසයක්. ඒ අනුව දෙවනපෑතිස් රජු බලයට පත් වන්නේ දුටුගැමුණු රජුට පසුව විය යුතුය. එසේත් නැතිනම් දෙවනපෑතිස් යනු හුදු ඓතිහාසික නිර්මාණයක් විය යුතුය.

කොහොම වුනත් එක් එක් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන් නිර්ණය කිරීමේ කාර්යයේදී නම් මහාවංශ කතුවරයා බොහෝ වැරදි සිදු කර තිබෙනවා. එම කතුවරයාට අනුව මුටසීව රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වන අසේල රජ වන්නේ තම පියා රජ වී වසර 152 කට පසුවයි. නමුත් අසේලගේ සිට දුටුගැමුණු දක්වා රාජ පරම්පරා 5 ක් ඉතාමත් කෙටි කාලයක් තුල රජ වී තියෙනවා. මේ අනුව බලන කල දෙවනපෑතිස් රජු සම්බන්ධයෙනුත් මෙවැනිම අවුලක් සිදු වී ඇති බව සැලකිය හැකියි.

දෙවනපෑතිස් රජු පිළිබඳව සැක පහල වන තවත් කරුණක් නම් ඔහු සම්බන්ධව මහාවංශයේ සඳහන් කරුණු හැරුනු විට වෙනත් කිසිම ඓතිහාසික සෙල්ලිපියක් හේ සටහනක් නොමැති වීමයි. විජය රජුගේ සිට දෙවනපෑතිස් රජු දක්වා කිසිම සෙල්ලිපියක් මෙතෙක් හමු වී නැත. නමුත් ඊට කලින් සිටි රාවණ ආදී රජුන්ගේ සෙල්ලිපි හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් මිහිඳු හිමි ප්‍රමුඛ සංඝයාට ලෙන් පූජා කළ බව මහාවංශයේ සඳහන් වුවත් ඒ එක් ලෙණකවත් ඒ බව සඳහන් කර නැත. නමුත් රාවණ රජුගේ කාලයේ සිටම ලෙන් පූජා කිරීමේදී ඒ බව ලෙනෙහි සඳහන් කිරීම අනිවාර්යයෙන්ම කර ඇති කටයුත්තකි.

මේ සියලුම කාරණා සලකා බැලීමේදී ලංකා ඉතිහාසයේ නිවැරදි විය යුතු තැන් බොහොමයක් තියෙන බව නම් අපට පැහැදිලි වෙනවා. මේවා නිවැරදි කිරීම වහාම සිදුවිය යුතු අතර එය ජාතික වගකීමක් ද වෙනවා. එහෙනම් මීලඟ ලිපියෙන් අපි රාවණ රජුගේ යුගයේ තිබූ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ගැන කතා කරමු.

16 comments:

  1. නියම ලිපියක් . . කොහොමත් උඹේ ලිපි ටික මම නම් ආසාවෙන් කියවනවා . . . අපි නොදන්නා ඉතිහාසගත කරුනු උඹ බොහෝම පැහැදිලිව දක්වනවා . . . ජයවේවා සහෝ . . .

    ReplyDelete
  2. බොහොම ස්තූතියි දුකා....

    හැබැයි දැන්නම් කට්ටිය comments දාන එක ටිකක් අඩු වෙලා.

    ReplyDelete
  3. එහෙම උනාම හිතට පොඩි අමාරුවක් දැනෙනවා නම් තමයි . . එත් හිත අධෛරමත් කර ගන්න එපා . . . "ඔබට සැමට සෙවන දෙන මහා වෘක්ශයක් වීමට නොහැකි නම් එක් අයෙකුගේ හෝ පා සනහාලන තණපතක් වන්න . . ජීවිතය සුන්දර වේවී . ." කියලා ඩෙයක් මම අහලා දැකලා තියෙනවා . . . ඒක නිසා කමෙන්ට් අඩු වුනාට බලන අය අඩු වුනා කියලා නිගමනය නොකර දිගටම ලියන්න . . . . .

    ම් ම් ම් තව දෙයක් . . ඉන්න මම මගේ මූනු පොතෙන් ඔයාගේ බ්ලොග් එක ගැන පොඩි ඇඩ් එකක් දාන්නම් . . හික් හික්

    ReplyDelete
  4. දුකා අය්යගේ ඇඩ් එකෙන් පස්සෙ තමයි මම ඔයගෙ බ්ලොග් එක දැක්කේ.මුලින්ම ස්තුතියි කරනවා දුකා අය්යට.

    මීට කලින් මම දැනගෙන හිටියේ නැහැ.බුදුහාමුදුරුවෝ නැවකින් ලංකාවට වැඩම කලා කියලා.

    ඇත්තටම හුගාක් ලස්සන වැදගත් බ්ලොග් එකක්.දිගටම ලියන්න සුබපතනවා.

    ReplyDelete
  5. @ දුකා : ආයෙත් පාරක් බොහොම ස්තූතියි.. ඔයාගේ මූණුපොතෙන් පොඩි පබ්ලිසිටියක් දුන්නට

    @ පබළු : දිරිමත් කළාට බොහොම පිං

    ReplyDelete
  6. (දුකා...බොහොම ස්තුතියි මේ බ්ලොග් එක ගැන දැනුම් දුන්න එකට..)
    උදිත, බොහොම අපූරු ලිපි ටික....අපිට ඔය විචාරාක්ෂිය තමා අද ඕන කරන්නෙ....කවුරුවත් කියපු පළියට ඇස් දෙක පියාගෙන හැම දේම අන්ධ විදිහට විශ්වාස කරන පුරුද්දෙන් මිදෙන්න ඔයාගේ මේ ලිපි ටික උදව් වේවා කියල පතනවා.....සුබ පැතුම්......!!!

    ReplyDelete
  7. බොහොම අපූරු ආසවෙන් කියෙව්ව ලිපි පෙලක්.මට තියෙනව පොඩි ගොන් ප්‍රශ්නයක් අහන්න. රූප, අරූප බ්‍රහ්ම ලෝක, සදෙව් ලොවට ඍද්ධියෙන් වඩින්න පුලුවන් වෙච්ච බුදු හාමුදුරුවො නැවක නැගල ඇවිත් තමන්ගේ කාලෙ කෑවෙ මොකද දන්නෙ නෑ නේද ? අනික ඒ තර්කයම මම සමනල කන්දට දඞු මොණරෙන් යෑම ගැනත් ඉස්මතු කරන්න කැමතියි. රථ වල ගමන් කරන්න එපා කියල බුදු හාමුදුරුවො නීතියකුත් පනවල තියෙනව ශ්‍රාවකයන්ට. එතකොට උන්වහන්සේ ඒ නීතිය තමන් විසින්ම කඩා දැම්මද ?

    ReplyDelete
  8. උදිත,

    1. දෙවනපෑතිස් රජුගෙ සෙල්ලිපි නම් නැහැ තමයි. ඒත් අර අම්පාරෙ රජගලින් හම්බවෙච්ච උත්තිය රජතුමාගෙ ලිපියෙ පැහැදිළිව තියෙනව නේද එතුම දෙවනපෑතිස් රජුගෙ සහෝදරය කියල.

    2. ලෙන් පූජා කිරීමේදී ඒ බව ලෙනේ සඳහන් කිරීම අනිවාර්යයෙන්ම කළ දෙයක් බව පිළිගන්න අමාරුයි. මං දන්න තරමින් කටාරම් කොටපු එහෙත් වෙනත් සඳහන්ක් නැති ලෙන් නම් තියෙනව.

    3. ඔය රාවණ රජුගෙය කියන සෙල්ලිපිය මොකක්ද. පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
  9. welldone...KeepInTouch...

    ReplyDelete
  10. ඉතිහාසයේ නියම තතු සොයාගැනීමට උත්සාහ කිරීම හොඳයි. නමුත් මේ ගැන යම් නිගමනයක් ඉදිරිපත් කිරීමේදී කල්ළ යුතු දේවල් දෙකක් තිබෙනවා: 1) තම නිගමනයට සාධක, මූලාශ්‍ර ඉදිරිපත් කිරීම; 2)මතුවන ගැටලු, වෙනත් මතවාද, වලට පිලිතුරු දීම.

    විශේෂයෙන් බුදුන් වහන්සේ ලංකාවට පැමිණියාය යන නිගමනය ගනිමු. මෙහිදී දෙපාර්ශ්වයකින් මේ ගැන සඳහන් කිරීම් බලාපොරොත්තු විය හැකියි: 1)එවකට ලංකාවේ හිටි අයගෙන්, සහ 2)තථාගතයන් වහන්සේ සමඟ සිටි පිරිසෙන්. ලංකාගමනය ගැන බුදුන් වහන්සේගේ පැත්තෙන් සඳහන් කිරීමක් නැත්නම් ඒ ඇයිද යන්නටත් පිලිතුරක් දීමට සිදුවෙනවා.

    තරිඳු නඟා ඇති ප්‍රශ්නය තවත් එකක්.

    ඔබේ ප්‍රකාශ හිතලු වලට වඩා වැඩි යමක් වීමට නම් මේවාට පිලිතුරු දීමත්, කලින් කී පරිදි මූලශ්‍ර ඉදිරිපත් කිරීමත් කළ යුතු වෙනවා.

    ReplyDelete
  11. @ TVS

    'හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය' සෙල්ලිපි සටහනේ මම මේ ලිපි ලියන්න පාදක කරගත්තු මූලාශ්‍ර මොනවද කියල ලියලා තියෙනවා. හෙළ ඉතිහාසය සම්බන්ධ ලිපි පෙළම ලියන්න මම යොදා ගත්තේ ඒ මූලාශ්‍ර තමයි.

    නගා ඇති ප්‍රශ්න වලට පිලිතුරු ලබා නොදීම නම් මගෙන් සිදු වූ වැරැද්දක් කියලා මම පිළිගන්නවා. ඒ වෙනුවෙන් මම සමාව අයදිනවා.

    'ලංකාගමනය ගැන බුදුන් වහන්සේගේ පැත්තෙන් සඳහන් කිරීමක්' යනුවෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද කියලා මට හරියටම පැහැදිලි නැහැ. ඔබ අහන්නේ බුදුන් වහන්සේ ගේ ලංකාගමනය සම්බන්ධව ඉන්දියාවෙන් ලැබුණු සාධක තියෙනවද කියල ද...?

    @ තරිඳු

    වරක් බුදුන් වහන්සේ ඇතුළු පිරිස ගඟකින් එතෙර වීම සඳහා ඔරුව මෙගොඩට පැමිණෙන තුරු ගං ඉවුරේ බලා සිටි අයුරුත් සෘද්ධි බලයෙන් එගොඩට වැඩීමට ආනන්ද හිමියන් බුදුන් වහන්සේට කල යෝජනාව උන් වහන්සේ විසින් පිළිකෙව් කළ අයුරුත් සම්බන්ධ කතා පුවත ඔබ දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ බුදුන් වහන්සේ ලංකාවට නැවකින් වැඩියෙත් සෘද්ධි බලය හැමවිටෙකම භාවිතා කිරීම උන් වහන්සේ අනුමත නොකල නිසා වන්නට පුළුවන්. දෙව් ලෝක, බඹ ලෝක ආදියට සෘද්ධියෙන් වැඩියේ ඒ ලෝක වලට යන්න ප්‍රවාහන පහසුකම් නොතිබුණ නිසා වන්නට පුළුවන්.

    බෞද්ධ විනය නීති සංග්‍රහය ගැන නම් මට එච්චරම අවබෝධයක් නැහැ. ඒත් මම හිතන්නේ පයින් ගමන් කරන්න අපහසු නම් ගැලපෙන වාහනයක් භාවිතා කරන එකෙන් භික්ෂූන්ට වරදක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සමහරවිට ඒ කාලයේ සමනල කන්ද මුදුනට පා ගමනින් වඩින්නට අපහසු නිසා දඬුමොණරයක් යොදා ගත්තා වන්නට පුළුවන්. මගේ මතය වැරදි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
  12. ආටානාටිය සූත්‍රයේ තියෙන්නෙ සතරවරම් දෙවිවරු පුරුෂ, ස්ත්‍රී, අශ්ව...ආදීන් මතින් ආව කියලනෙ. ඒ කියන්නෙ සතුන්ට ආවේශ වෙලා වගෙ නේද..? යක්ෂයො කියන්නෙ බූතාත්ම වගේ මිනිසුන්ට, සතුන්ට ආවෙශ වෙන කොට්ටාශයක් කියල මන් හිතන්නෙ. එයාල වාහනවලින් අව කියල කියන්ඩ අමාරුයි. රාමායනේ දඩුමොනර කතාව වාල්මිකීගෙ හිතේ මෑවුන අදහසක් විතරයි. දෑනුත් ඕනතරම් සුරන්ගනා කතා තියෙන්නෙ ඔය වගේ. අනික කිසිම සෙල් ලිපියකින් ඔය දඩුමොනර කතා තහවුරුවෙලා නෑනෙ...

    ReplyDelete
  13. හොඳ ලිපියක් ... මීට අමතරව මම දන්නා කරුණු ස්වල්පයක් ඉදිරිපත්කරන්නම් .. ඔබ කියූ පරිද්දෙන්ම දේවානම්පියතිස්ස රජ වෙන්නේ දුටුගැමුණු රජුට පසුවයි .. සෙල්ලිපි වල සඳහන් වෙන ආකාරයට දුටුගැමුණු රජුගේ නම සිංහලෙන් නොව හෙළ බසෙන් කිවහොත් (දේවානම ගාමිණී අබඃ ) යනුවෙන් සඳහන්වේ .. දේවානම යනු රජ පෙළපත් නාමයද, ගාමිණී අබඃ යනු පුද්ගල නාමය යයිද විස්වාස කෙරේ .. තවත් කරුණක් නම් දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි කෙනෙකු වන මහාසේන යනු , බුදුරජාණන් වහන්සේ දමනය කල ආලවක නම් යක්ෂයාගේ (මොහුද යක්ෂයෙක් නොව හෙළ යක්ෂ ගෝත්‍රයට අයත් මනුෂ්‍යයෙකි ) බාලම පුතු යැයි සෙල්ලිපි වල සඳහන් කරුණු වලින් සනාථ වේ .. වැඩිමහල් සොහොයුරන් තිදෙනෙකු සහ සිවුවැන්නා සොයුරියකු ගේ ද බාල සොහොයුරු පස්වැන්නා මහාසේන නම් වේ..(සමාවෙන්න සහෝදරයින්ගේ නම් මට මතක නැත ) මෙම කරුණු සංසන්දනාත්මකව සිතු කල දුටුගැමුණු රජුගේ ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ සමකාලීන හෝ බුද්ධ පරිනිර්වාණයෙන් සුළු කාලයකට පසුව හෝ වියයුතුයැයි සිතිය හැකි නොවේද ??? හෙළ ඉතිහාසය සුක්ෂම ලෙස වෙනස් කරමින් පුහු ඉන්දියානු සම්භවයක් හෙළයට ඈඳීමට තැත් කල මහාවංශ කතෘ ආඩියාගේ නිරර්ථක වෑයම දැන් දැන් අසාර්ථක වෙමින් පවතී .. තව නොබෝ කලකින් සැබෑ හෙළ ඉතිහාසය හෙළි වනු ඇත .. නමුත් සැකයට හා දුකට කරුණ නම් හෙළයේ සැබෑ ඉතිහාසය හෙළි වුනු කල එහි ප්‍රීතිය හෝ ආඩම්බරය බුක්තිවිදීමට සිංහලයන් සිටීද යන්නයි ....

    ReplyDelete
  14. niyamai.aththatama lankawe ithihasaya aluthen liyanna onimai.apita ape niyama ithihasya hoyala denna.............

    ReplyDelete
  15. ඇත්තෙන්ම මේ කියන පොත්පත් වල ගොඩක් අවුල් තියෙනවා ඒකට හේතුව මම ටිකක් මේකේ විස්තර කලා..
    http://sulakkhana.blogspot.com/2012/10/blog-post_13.html

    මම හිතන්නේ මෙහෙම නිසා තමයි ඔය අවුල..

    ReplyDelete
  16. කුණ්ඩලීනි ශක්තිය ගැන විස්තර දැනගන්න පුලුවන්ද

    ReplyDelete