Thursday, June 10, 2010
හෙළයේ සටන් හරඹ
මේ දවස් වල කැම්පස් එකත් වහල නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ මට හිතුණා ලංකාවේ පුරාණ සටන් ශිල්ප ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න. ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්‍යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්‍යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්‍යා', 'අන්තස්සරයෝ' සහ 'චක්‍රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්‍රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.
ශ්‍රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,
හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ
මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්‍රම ආශ්‍රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්‍රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.
පුරාණ රජ කාලයේ දී, රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්‍රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්‍රමවේදයන් සඳහා අනන්‍ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.
අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්‍රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්‍රම 8 ට අමතරව තවත් ශිල්ප ක්‍රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.
අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්‍රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්. දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්‍රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර
( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )
අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්‍රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්‍රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්‍රදේශ යි.
එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.
Labels:
angam,
angampora,
අංගම්පොර,
හෙළයේ සටන් හරඹ
Subscribe to:
Post Comments (Atom)
හැමදාම වගේ බොහොම හරවත් ලිපියක්. දිගටම ලියන්න.
ReplyDeleteමම බොහොම අසාවෙන් කියෙව්වා මං හිතන්නේ අංගම්පොර ඔයිට වැඩිය බොහොම දියුණු ශිල්ප ක්‍රමයක් දිගටම ලියන්න
ReplyDeleteවැදගත් ලිපියක් ආසාවෙන් කියෙව්ව. තවත් කරුණු දැන ගන්නත් ආසාවක් පහල උනා.
ReplyDeleteඔය අංගම් උගන්වපු අංගම් මඩු ගිනිතියාලා ලොකු සංහාරයක් ඉංග්‍රීසීන්ගේ කාලයේ වෙලා තියෙනවා නේද ?
ReplyDeleteඒ වගේම මේ වෙනකොට කඩුවෙල කොරතොට අංගම් උගන්වන තැනක් තියෙනවා නේද ?
සහෝදරයා ආපහුවැඩ පටන්ගෙන වගෙයි, හැමදාම වගේ තවත් හොඳ මාතෘකාවත් තෝරාගෙන තියෙනවා. කාලෙන් කාලෙට ලියවෙන හරවත් ලිපි තමනොබේ බ්ලොග් අඩවියේ තියෙන්නෙ. මේකත් ඉතාම ජනප්‍රිය මාතෘකාවක් වේවි.
ReplyDeleteබොහොම ස්තූතියි කට්ටියගෙම අදහස් වලට.
ReplyDelete@ Hasitha
මාත් අහල තියෙනවා ඉංග්‍රීසීන්ගේ කාලේ අංගම් මඩු ගිනි තියලා විනාශ කරලා දැම්මා කියලා. මේ වෙනකොට අංගම්පොර යම් තරමකට හෝ අභාවයට යන්නත් ඒ සිදුවීම හේතු වෙලා තියෙනවා. සුද්දෝ එහෙම කරලා තියෙන්නේ අනගතයේ දී එයාලට මූණ දෙන්න වෙන අභියෝග අඩු කර ගන්නයි.
කඩුවෙල කොරතොට අංගම් මඩුවක් තියෙනවා.අජන්ත පෙරේරා කියලා කෙනෙක් තමයි උගන්වන්නේ. හැබැයි මම අහලා තියෙනවා එයා උගන්වන්නේ නියම අංගම්පොර නෙවෙයි කියලා (මට මතක විදිහට පත්තරේක හරි වෙබ් සයිට් එකක හරි එහෙම තියෙනවා දැක්කා). මම හිතන විදිහට ගුරු කරුණාපාල කියන්නේ නම් නියම අංගම්පොර ගුරුවරයෙක්. 'අබා' චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයාත් ඔහු යි. ඔහු වසර ගණනාවක සිටම අංගම් ශිල්පය උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම රිටිගල සුමේධ කියලා ගුරුවරයෙක් උගන්වන අංගම් ශිල්පය ගැන ලිපි පෙළකුත් මේ දවස් වල රිවිර පත්තරේ පල වෙනවා.
වෙනද වගේම තවත් හොඳ ලිපියක්. දිගටම ලියන්න.
ReplyDeleteසිංහ අඩි කියල තවත් සටන් කලාවක් ගැන කාලෙකට කලින් අහන්න ලැබුනා. පොල්ගස් ඕවිට පැත්තේ කෙනක් . ඒගැන යමක් දන්නවද?
ඔයාගේ ලිපිය ඉතා හොදයි..ගොඩක් වටිනවා...මේ ගැන ලියැවිච්චි ශාස්ත්‍රිය ලිපි එහම තියෙනවද? ඔයා ද්න්න ඒ වගේ ලිපි මොනවා හරි තියෙනවන්ම් ඒක ගොඩක් වටිනවා,,
ReplyDelete@ කුමාර
ReplyDeleteමමත් බොහොම කාලෙකට කලින් ඔය සිංහ අඩි කියන සටන් කලාව ගැන අහල තියෙනවා. වැඩිය විස්තර මුකුත් දන්නේ නැහැ. හැබැයි ඒ දවස් වල ඔය සටන් කලාව අහම්බෙන් වගේ මගේ යාලුවෙකුට දකින්න ලැබිලා තියෙනවා. එයා කිව්වා ඒ ක්‍රමය චීන සටන් ක්‍රම වලට සමානයි වගේ කියලා.
අංගම්පොර සම්බන්ධව පහත ලිපිය කියවන්න. එහි අර්ථවත් යමත් ඇතැයි සිතනවා...
ReplyDeletehttp://realangampora.blogspot.com/
mata mail ekak ewanna. Obagen wadagath karunu rasak danaganeemata awashyay. Loku Udawwak. ckumara32@gmail.com
ReplyDeletehttp://ritigalasumedha.blogspot.com/
ReplyDeletemekath balanna
ReplyDeletehttp://angamhoru.blogspot.com/