Wednesday, September 14, 2011

මාස නවයකට පස්සේ... ආයෙමත් ආවා

2011 අවුරුද්දේ මම කොටන්න හදන මුල්ම සෙල්ලිපි සටහන තමයි මේ. හැබැයි දැන් 2011 අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි නේද.. ඇත්තටම මාස නවයකට පස්සේ තමයි ආයෙමත් මේ පැත්තේ එන්න ඉඩ ප්‍රස්ථාවක් හම්බ වුණේ. කාලයක් තිස්සෙම සෙල්ලිපියක් කොටන්න බැරි වුණ නිසාද කොහෙද මට දැනෙන්නේ නිකන් අළුතෙන්ම බ්ලොග්කරණයට පිවිසුනා වගේ... hiks.


ඇත්තම කියනවනම් කාලෙකින් සෙල්ලිපියක් කොටන්න බැරි වුණේ හිතපු නැති විදිහට එක පාරටම කාර්යබහුල තත්වෙකට පත් වුණු නිසයි. හේතුව ඉතින් වෙන මුකුත් නෙවෙයි, විශ්ව විද්‍යාලේ හිටපු කාලේ ඉවර වෙලා රස්සාවකට යන්න සිද්ධ වෙච්ච එක. ඉතින් මගෙ කුළුඳුල් ‍රැකියා ජීවිතේ ගැනත් විස්තර ටිකක් කියන්නම්කෝ. මං හා හාපුරා කියල මුලින්ම ගියේ ලංකාවෙ තියෙන ප්‍රධානම පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක Design Engineer තනතුරට. Design Engineer වුණාට පස්සේ මට තිබුණු ප්‍රධානම රාජකාරිය වුණේ ගැණුම්කරුවන් ගේ අවශ්‍යතාවන්ට අනුව අලුත් ඇඳුම් නිර්මාණය කරන එක. අපි ඇඳුමක් නිර්මාණය කරලා ඒකේ අඩුපාඩු හරිගස්සලා measurements පවා අන්තිම දශමෙටම නිවැරදිව තීරණය කලාට පස්සේ තමයි ඒ ඇඳුම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා යොමු කරන්නේ. බොරු කියන්නෙ මොකටද... කාන්තා පාර්ශවේට ඕනැකරන ඇඳුම් කැඩුම් තමයි වැඩිපුරම design කරන්න සිද්ධ වුණේ. ඉතින් ඔය විදිහට ඇඳුම් හද හදා ටික කාලයක් ඉන්නකොට තමයි මට හිතෙන්න ගත්තේ Chemical Engineering කරලා අන්තිමේදි මොකටද මේ textile field ඒකේ ජොබ් එකක් කරන්නෙ කියලා. ඉගෙන ගත්තු දේවල් වලට වැඩිපුර සම්බන්ධ රස්සාවක් හොයාගන්න පුලුවන් වුණොත් කාලයත් එක්ක ඉංජිනේරු අංශෙන් මීට වඩා ඉස්සරහට යන්න පුලුවන් කියලා මට හිතෙන්න ගත්තා. ඔය කාලෙ ගොඩක් කට්ටිය මට කිව්වෙ "මේ කාලෙ තමුන් ඉගෙන ගත්තු field එකට සම්බන්ධ රස්සාවක් හොයාගන්න ලැබෙන්නෙ එහෙමත් එකෙකුට විතරයි. හුඟක් උන්ට හම්බ වෙන්නෙ ඉගෙන ගත්තු field එකේ ජොබ් නෙවෙයි. ඉතින් ලැබිච්ච රස්සාව කරගෙන ඉන්නවනම් හොඳයි" කියන එක තමයි. ඒ කතාවත් එක අතකට ඇත්ත. ඒක නිසා මං ඒ කාලේ හිටියෙ නිකන් වැටක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ.


ඒත් ඉතින් අතාරින්නෙම නැතුව හොයපු නිසා අන්තිමේදි මට පුලුවන් වුණා මං කැමති විදිහෙ ජොබක් හොයාගන්න. ඒ හින්දා පළමුවෙනි ජොබ් එක කරන්න පටන් අරගෙන මාස 6 කට පස්සෙ දෙවෙනි ජොබ් එකට මාරු වුණා. දැන් මං water and wastewater treatment කරන සමාගමක Process Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මෙතනදී අපි කරන්නේ එක එක ආයතන වලින් මුදාහරින අපවිත්‍ර ජලය පරිසරයට එකතු වෙන්න කලින් පරිසරහිතකාමි වන මට්ටමට පිරිසිදු කරලා ඊට පස්සෙ පරිසරයට මුදා හරින්න කටයුතු කරන එකයි. ඕනෙනම් වතුර හොඳටම පිරිසිදු කරලා ආයෙමත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට වුනත් අරගන්න පුළුවන්. ඊට අමතරව පානීය ජලය පිරිසිදු කරන වැඩත් කරනවා. මේ ක්ෂේත්‍රය අනාගතේදි තවත් ගොඩක් දියුණු වෙනවා කියල සහතිකවම කියන්න පුළුවන්. මොකද.. මේ සිද්ධ වෙන පරිසර දූෂණයත් එක්ක බොහොම කෙටි කාලෙකින්ම වතුර පරිභෝජනය සහ පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් නම් කට්ටියට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන එක බොහොම පැහැදිලි නිසා.ඇත්තටම මේ ජොබ් එකේදි නම් දවස ගානෙම මොනව හරි අළුත් දෙයක් ඉගෙන් ගන්න ලැබෙනවා. ඒ වගේම බොහොම අභියෝගාත්මක රස්සාවක්. මොකද මේකෙදි අපිට එක එක රසායන ජාති එක වගේම ක්ෂුද්‍ර ජීවීන් එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපජලය පිරිසිදු කරන කාර්යයේදි ක්ෂුද්‍ර ජීවීන් උපයෝගි කරගෙන සිදුකරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය බොහොම කල්පනාවෙන් කරන්න ඕනෙ. මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන කෙටියෙන් නම් විස්තර කරන්න අමාරුයි. ඒක ගැන වෙනමම සෙල්ලිපි සටහන් පෙළක් වුනත් කොටන්න පුළුවන්.


කොහොමින් කොහොම හරි අද මම මේ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව ගමන් කොටන්න මුකුත්ම නැති හින්දම තමයි මගෙ ‍රැකියා ජීවිතේ ගැනවත් මොනව හරි කොටනව කියල හිතුවෙ. මුකුත්ම කෙ‍ටුවෙ නැත්නම් ඉතින් තව ටික කාලයක් යනකොට කට්ටියටම අමතක වෙලා මේ සෙල්ලිපියත් නිකන්ම නිකන් පුරාවස්තුවක් වෙයි. මේක දැන්ම පුරාවස්තුවක් කරන්න නම් මගෙ අදහසක් නැහැ. එහෙනම් ඉතින් ලඟදිම තවත් සටහනක් කොටල යන්න එන්නම්කො. එතකල් එහෙනම් ඉතින් ආයුබෝවන්....!!!

7 comments:

  1. මාස නමයකට වත් පස්සේ මේ පැත්තට එන්න මතක් උන එකත් ලොකු දෙයක්. නුවරත් මම දකලා තියෙනවා ඔය වගේ ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් තියෙනවා.

    ReplyDelete
  2. අනේ අම්මෝ...මෙන්න මේකට සෙල්ලිපිය තියෙන බව මතක් වෙලා. ඇති යන්තම්.
    ඔය කියලා තියෙන ටිකනම් ඉතිං මං දන්නවානෙ.ඔය ඇඳුම් කියලා තියෙන්නෙ මොන වගේ ඒවටද කියලත් කිව්වානම් හොදයි නේ...හික්ස්.....:D

    ReplyDelete
  3. එහෙනම් ගල් ක‍ටුව මුවහත් තියලා අහපවු කොටන්න දිගටම

    ReplyDelete
  4. uba biyagama paththe jangi mahuwa kyla aranchi..

    ReplyDelete
  5. නියමයිනේ ආයෙත් ආව එක කොච්චර දෙයක්ද ?

    ReplyDelete
  6. නව රැකියාවට සුභ පැතුම් සමග ආයෙත් ලියන්න ආපු එකට වෙල්කම් කියලා පිළිගන්නවා...

    ReplyDelete
  7. අඩේ බං මේක සිංඩියෙන් පන්නලත් ඇති. :(
    මේ මේ සෙල්ලිපියක් නම් සෙල්ලිපියක් විදිහට තියෙන්න ඕනෙ. මේකෙ මේ ඒව මේව ලියන්න බෑ. සෙල්ලිපි වල තියෙන්නෙ මොනවද කියල දන්නවනෙ. :D අර ඉස්සෙල්ල ලිව්ව වගේ නියම ලිපි සීරීස් එකක් ලියපන්. :)
    ආපු එක ගැන සතුටුයි. :)

    ReplyDelete