Sunday, September 18, 2011

පොත් සැණකෙළියේ දවසක්

ඔන්න ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන් හිටපු දවස තමයි අද.. උදෙන්ම ලෑස්ති උනා පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න. අපේ මලයත් මේ දවස් වල ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න නිසා එයාවත් එකතු කරගත්තා. මාධව යි නිසුපා යි දෙන්නත් උදේ 7.30 වෙනකොට බස් එකට සෙට් වෙන්න එනව කියල කලින්ම කියල තිබුණා. නිසුපා ඇවිල්ල හිටියේ එයාගෙ නංගිත් එක්ක. මාධවත් ගමනට සෙට් උනේ නංගිත් එක්කමයි. ඉතින් 122 බස් එකකට සෙට් වෙලා කට්ටියම උදේ 9 විතර වෙනකොට කොලඹ කැම්පස් එක ලඟින් බැස්සා. එතන ඉඳන් ආයෙත් 154 බස් එකෙ යන්න එපැයි BMICH එක ළඟට යන්න.


අපි කැම්පස් එක ලඟින් බහිනකොටත් 154 බස් එකක් හෝල්ට් එකේ තියෙනවා. ඒත් කොහෙ නගින්නද... බස් එකේ foot board එකෙන් එලියෙනුත් සෙනඟ. අපේ නඩෙත් මේ වෙනකොට හය දෙනෙක්ම හිටියනේ. හය දෙනෙකුට නෙවෙයි ඒ වෙනකොට රිලව් වහේ එල්ලිලා හිටපු උන්ටවත් බස් එක ඇතුලට යාගන්න විදිහක් නැතුව හිටියේ. කමක් නෑ ඔය බස් එක ගියාවෙ, ඊළඟ එකේ යමු කියල කට්ටියම ඒකමතික තීරණේකට ආවා. ඉතින් විනාඩි පහක් විතර යනකොට අනිත් 154 බස් එකත් ආවා. තත්වෙ හරිම ශෝචනීයයි..... බස් එක නවත්තන්නත් කලින් රංචුවක්ම දුවගෙන ඇවිත් දොරේ එල්ලුනා නේ. ඉතින් ඒ බස් එකේ යන්න තිබුණු අදහසත් ලත් තැනම ලොප් වුණා. දැන් ඉතින් වෙන මොකක් කරන්නද.. කට්ටියම කතා වුණා කදයක් දාගෙන පයින්ම යමු කියල. ඉතින් ඔහොම තුම්මුල්ල හන්දිය ළඟට වෙනකල් පයින්ම ගියා කියමුකෝ. මෙන්න බොලේ එනව BMICH කියලම ගහගත්තු බස් එකක්. අපිත් ඉතින් අත දැම්මා. දෙය්යන්ගෙම පිහිටයි.. බස් එක නතර කළා. නැගගන්න ඉඩ තිබුණා විතරක් නෙවෙයි වාඩි වෙන්න සී‍ටුත් තිබුණා. ඒ බස් එකේ නැගලා කොහොමහරි ඉතින් 9.30ට විතර පොත් ප්‍රදර්ශනේ ට ආවා. අපි එතනට යනකොට ගෝල්ඩ් ‍ෆිෂුයි එයාගෙ යාලුවෙකුයිත් ඇවිල්ල හිටියා. කට්ටිය 10 වෙනකොට සෙට් වෙන්න කතා වෙලා හිටියත් 10ටම කට්ට්ය සෙට් වෙන්නෙ නැති පාටක් තිබුණ නිසා අපි පටන් ගත්ත පොත් වන්දනාව. එතන ඉඳන් හවස 1.30 විතර වෙනකල්ම මගේ එකම රාජකාරිය වුණේ පොත් ‍තෝරන එකයි පොත් ගන්න එකයි. මට පොතක් ගන්නවට වඩා වෙලා යනවනෙ පොතක් ‍තෝරන්න. ඒ කියන්නෙ මෙන්න මේකයි.... මම සාමාන්‍යයෙන් පොතක් ගන්න ගියහම ඒ පොතේ පිටපත් කීපයක් අතට අරගෙන පි‍ටුවෙන් පි‍ටුව පෙරලලා බලනවා. සමහර පොත් තියෙනවා එකම පි‍ටුව දෙතුන් පාරකම තියෙන. සමහර පොත් වල පි‍ටු අඩුයි. තවත් ඒවයෙ පි‍ටු තියෙන්නෙ උඩු යටිකුරු වෙලා. ඔන්න ඔය වගේ අඩුපාඩු මග ඇරලා හොඳම පොතක් අරගන්න පුලුවන් ටික වෙලාවක් වැයකරලා පොත් තේරුවහම. හැම පිටපතකටම ගෙවන්නෙ එකම ගාණ නම් අඩුපාඩු අඩුම පොතක් ගන්න එක හොඳයිනෙ.


මම මුලින්ම ගත්තෙ බණ පොත් දෙකක්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ කුටියෙන්. ඒ දෙකම අපේ ආච්චිට. පස්සෙ ධම්ම පදේකුත් ගත්තා පහන් පබ්ලිකේෂන්ස් එකෙන්. ඊළඟට ගියා සරසවි එකට. එතනින් ගත්තා සක්කාරං සහ කවි කඳුර. කවි කඳුර තමයි මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානෙ දිනා ගත්තෙ. ඊට පස්සෙ විදර්ශන ඒකේ කුටියෙන් ගත්තා පොත් පහක්. පව්ලෝ කොය්යෝ ගෙ 'පියෙද්‍රා ගඟ අසබඩ මම වැළපුනෙමි' සහ 'මිනිත්තු එකොළහේ කතාව' පොත් දෙක ගත්තෙත් එතනින්. '‍රැල්ල', 'ආකාස අර්වත' සහ'ෂැංහයි සොඳුරිය' කියන පොත් තුන තමයි ඉතුරු ඒවා. සුපුරුදු පරිදි දයාවංශ ජයකොඩි එකෙන් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගෙ පොත් තුන හතරක් ගත්තා. ඔය පොතුත් එක්කම Expographics එකෙන් wastewater treatment පොතකුත් අරගෙන Hall G එක පැත්තට එනකොට කට්ටියම එතනට සෙට් වෙලා.


ගෝල්ඩ් ‍ෆිෂ්, මදුරංග, චාපා වගේම තවත් අපේ බ්ලොග් අවකාශෙ සහෝදර සහෝදරියො කීප දෙනෙක්ම පඩියක් උඩ වාඩි වෙලා ෆොටෝ ගන්නවා. මාත් ඉතින් ඒ රාජකාරියට සම්බන්ධ වුණා. ඒ වැඩ ටික ඉවර වෙලා තමයි කට්ටියම කන්න සෙට් උණේ. මම නම් හිටියෙ යක්කු දෙන්නෙක් විතර කන්න පුළුවන් තරමෙ සුදහ ගින්දරකින්. ඉතින් කට්ටියගෙම රසකතා මැද්දෙ රුපියල් 70ට ගත්තු මැගි නූඩ්ල්ස් එකකිනුයි බඩ ඉරිඟු කරලකිනුයි බඩගින්න නම් නිවා ගන්න පුළුවන් වුණා.


ඔයින් මෙයින් දන්නෙම නැතුව වෙලාවත් ගෙවුණා. කටියම එක එකා විසිර යනකොට උදේ ආපු අපේ නඩේ හය දෙනත් ආපහු පිටත් වෙන්න සූදානම් වුණා. අපි එන්න කිට්‍ටුවම තමයි පුෂ්පා රම්ලානි ඇන්ටියි නීනු නංගියි හම්බ වුණේ. ඒගොල්ලො එක්කත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා...(නිනූ නම් පැයකදි කියවන ටික විනාඩි පහකින් විතර කියවල ඉවර කලා) කට්ටියම ගොඩ වුණා BMICH එකේ එලියේ නවත්තලා තිබුණු නොමිලේ ප්‍රවාහන සේවයට. ඒ බස් එක පිටත් වෙනකොට හවස 5යි. ඉතින් ඒ බස් එකේම බො‍රැල්ලට ඇවිත් එතනින් ගෙදර ආවා. ආපු ගමන්ම තමයි මේක කොටන්න පටන් ගත්තේ. හෙට උදේ වැඩට යන්නත් තියෙන්වනේ. ඒක නිසා දැන් නවතින්නම්......!!

5 comments:

  1. අපරාදේ මට නම් නිනූව මිස් උනා. මොනා කරන්නද අර චාප සානිකාලා එනකන් ඉන්න උනා නේ.

    නිසූපා අක්කා නම් සෑහෙන්න පොත් අරන් තිබුනා. කොටින්ම මම් බයේ හිටියේ අනිත් කට්ටියට ගන්න පොත් නැති වේය කියලා.

    කවදාවත් සෙල්ලිපිය ලියපු උදිත අයියා ඇතුලු උසස්පෙළ පාඩම් කරපු සෙට් එක දැකලා තිබුනේ නෑ.ඒ කට්ටියත් අදුන ගත්තා.

    ReplyDelete
  2. අයියෝ මට එන්න බැරි වුනා නේ. මම කලින් දැනන් හිටිය නම් කොහොම හරි එනවා.

    ReplyDelete
  3. හ්ම්..ඔය පොත් අපිටත් කියවන්න ගන්න පුලුවන් වෙයි නේද..?

    @මධුරංග - බය වෙන්න එපා අනේ තව පොත් කොච්චරනම් තිබුනද එතන.කොහොමහරි අපි දෙන්නා පොත් 30ක් අරන් තිබුනා..:)))
    උස්සගෙන ගිහිල්ලා පණ එපා වුනා. ඒත් කියවනකොටනම් ඕවා මතක් වෙන්නෙ නෑ..

    ReplyDelete
  4. අයියො අපිත් ආවනේ... පවුලෝගෙ පොත් නම් වෙනස් ..ඒත් අපූරුයි...

    ReplyDelete