Tuesday, September 20, 2011

පොත් සැණකෙළියෙන් ගත්තු පොත්

හරිනම් මේ සෙල්ලිපිය කොටන්න තිබුණෙ මීට දවස් දෙකකට විතර කලින්. දැන්නම් ටිකක් පරක්කු වැඩිදෝ කියලත් හිතෙනව. ඒත් මොනව කරන්නද.. වෙලාවක් සෙට් වුණේ දැන් නේ.


මම පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල ගත්තු පොත් ගැන කෙටි විස්තරයක් දැම්මොත් හොඳයි කියල හිතුනා. අපේ මාධව සහෝදරයත් ඒ වැඩේ කරල තිබුනනේ. බොහොම අගය කළ යුතු වැඩක්. ඉතින් තාමත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල නැති, ගිහින් පොත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් වශයෙන් මං ගත්තු පොත් ගැන විස්තරත් ඔන්න පහළින් කොටන්න පටන් ගන්නයි හදන්නේ.


මුලින්ම පොත් වල 'group photo' එක බලලා ඉමුකෝ....






ෆොටෝ එක කාරිය බලල ඉවර නම් ඉතින් පොත් ගැන විස්තර කියවන්න පටන් ගමු..


නම: අවසන් දින කුමන්ත්‍රණයප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.590/-
සිඩ්නි ෂෙල්ඩන් විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. කුතුහලය පිරි ඇමරිකානු නව කතාවක් වන අතර කතුවරයා විසින් පොත් රචනා කර තිබෙන්නේ බුද්ධි අංශ නිලධාරින්, අජටාකාශගාමීන් සහ හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් සමග පවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කියැවෙනවා.


නම: නිම්තෙර සොයා
ප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.350/-
ඇගතා ක්‍රිස්ටි විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. මිනීමැරුමක් සම්බන්ධ රහස් පරීක්ෂක නවකතාවක් වන මෙය අනෙකුත් බොහෝ රහස් පරීක්ෂක කතා වලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. හර්කියුල් පයිරට් නම් රහස් පරීක්ෂක චරිතයක් වටා තමයි කතාව ගොඩනැගෙන්නේ.


නම: හිරු නොදු‍ටුවෙමු
ප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.490/-
ඉන්ද්‍රාණි කරුණාරත්න විසින් පරිවර්තිත මේ කෘතියේ කතුවරයා ඇල්ෆ්‍රඩ් ලැන්සින්. 1915 දී ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර හිරවී විනාශ වූ නැවේ සිටි තම කණ්ඩායම ගලවා ගැනීම සඳහා ෂෙකල්ටන් නම් පුද්ගලයෙකු දැරූ අප්‍රතිහත උත්සාහය පිළිබඳ සත්‍ය කතාවක් තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.


නම: කවි කඳුර
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
කුටි අංකය: G 379
මිල: රු.550/-
සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත මේ කෘතිය තමයි මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ. මහනුවර යුගයේ ඉඳන් වර්තමාන කාලය තෙක් විහිදී එන ඒ වගේම යුග දෙකේම දේශපාලන තත්වයන් ද අලංකාර ලෙස විදහාපාන සිත් ඇදගන්නා නවකතාවක්.


නම: සක්කාරං
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
කුටි අංකය:
මිල: රු.300/-
චම්මින්ද වෙලගෙදර විසින් රචිත මේ පොතත් මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වුණා. වැඩවසම් ක්‍රමය තුල ලිංගික සූරාකෑම් වලටද ලක්වෙන සමාජයක තම රාජකාරිය ඉතාම කැපවීමෙන් ඉ‍ටු කරන ජන කොට්ඨාශයක් වටා ගෙතුණු කතාවක්. මම මේ පොත ගත්තේ සරසවි එකෙන්ම තමයි.


නම: මිනිත්තු එකොළහේ කතාව
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.420/-
පාවුලෝ කොයියෝ ගේ Eleven Minutes නවකතාවේ සිංහල පරිවර්තනයයි. මරියා නම් ගණිකාවකගේ චරිතයක් වටා ගෙතෙන ආදරය, ලිංගිකත්වය සහ ආත්මීය අර්බුද විෂය කරගත් කතාවක් සහිත අලංකාර භාෂා රීතියක් සහිත නවකතාවක්.


නම: පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.300/-
පාවුලෝ කොයියෝ ගේ තවත් ප්‍රසිද්ධ නවකතාවක්. පිලාර් නම් කාන්තාවක් ආධ්‍යාත්මික වශයෙන් යන්නා වූ සංචාරයක් අළලා ලියැවුනකි.


නම: ‍රැල්ල
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.250/-
උමංගා වෙබර් විසින් පරිවර්තිත මොර්ටන් රේ විසින් රචිත කෘතියක්. ජර්මනිය තුල යුදෙව්වන් විශාල වශයෙන් ඝාතනය වෙත්දී ඊට ජර්මානුවන් විරුද්ධ නොවූයේ මන්ද යන්න තම සිසුවෙකුට අවබෝධ කරදීමට උත්සහ ගන්නා ගුරුවරයකුගේ චරිතය වටා කතාව ගොඩනැගී තිබෙනවා.


නම: ෂැංහයි සොඳුරිය
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.480/-
'වෙයි වෙයි' නම් චීන ජාතික කතුවරියක විසින් රචිත කෘතියක සිංහල පරිවර්තනයයි. තුරුණු ආදරය සහ අධ්‍යතන ලිංගිකත්වය පිළිබඳව සෘජුව කතා කරනා මෙය කතුවරියගේ අර්ධ ස්වයංචරිතාපදානයක් ලෙසද හැඳින්වෙනවා.


නම: ආකාස පර්වත
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.280/-
නදී වාසලමුදලිආරච්චි ගේ පළමු නවකතාවයි. සීගිරි රාජධානිය වටා ගොඩනැගුණු කාමය සහ බලකාමය පිළිබඳව කියැවෙන කතා පුවතක් අඩංගු වෙනවා.


නම: ඇත්දළ දරුවා
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත වික්‍රමාන්විත නවකතාවක්. ඇත්දළ දරුවකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් සහ ප්‍රචණ්ඩ හස්තියෙකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් අතර ඇතිවන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී තිබෙනවා.


නම: ඇලන් සහ පූජනීය පුෂ්පය
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත තවත් වික්‍රමාන්විත නවකතාවක සිංහල පරිවර්තනයක්. ඔහු විසින් නිර්මිත ප්‍රකට චරිතයක් වන ඇලන් ක්වාටර්මේන් ගේ කතා පෙලට අයත් තවත් කතාවක්.


නම: අමතක වූ දේශය
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.450/-
එඩ්ගර් රයිස් බරෝස් විසින් රචිත තුන් ඈඳුතු වික්‍රමාන්විත නවකතා පෙළක් කොටස් වශයෙන් නොව එක දිගට ගලායන කතාවක් ලෙස සකසා කුමාර සිරිවර්ධන විසින් කරන ලද පරිවර්තනයකි. බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වූ දේශයකට ගොඩබසින ටයිලර් නම් තරුණයකු ගේ වීර චාරිකාව ගැන මෙහි සඳහන් වෙනවා.


නම: හෙන්ට්සෝවේ රූපට්
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.350/-
ශ්‍රීමත් ඇන්තනී හෝප් හෝකින්ස් විසින් රචිත චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත කෘතියකි. රුඩොල්ෆ් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ වික්‍රමාන්විත ක්‍රියා ඇතුළත් කරමින් කියා ඇති මේ නවකතාව සියවසක පමණ කාලයක සිට ඉංග්‍රීසි පාඨක සමාජයේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා.


නම: සිංහලයේ රණහඬ
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
කොලින් ද සිල්වා විසින් 1982 වසරේදි ලියා පළ කරන ලද Winds of Sinhala නවකතාවේ සිංහල පරිවර්තනයයි. නිමල් අභයවර්ධන විසින් පරිවර්තනය කර ඇත. දු‍ටුගැමණු මහරජතුමන් ගේ ජීවන පුවත පදනම් කරගෙන ලියැවුණු නවකතාවකි.


නම: Wastewater Treatment Concepts and Design Approach
ප්‍රකාශනය: Expographics
කුටි අංකය: L 238-249
මිල: රු.966/-
මේ පොත නම් බොහෝ දෙනෙකුට වැදගත් වෙන එකක් නැහැ. ඒත් සෙල්ලිපි සටහන සම්පූර්ණ කරන්න ඕනෙ නිසා මේ පොත ගැනත් කොටන්නම්. මං මේක ගත්තෙ මගෙ ‍රැකියාවට වැදගත් වන නිසා. ජෛවවිද්‍යාත්මක වශයෙන් අපජලය පිරිසිදු කරන ආකාරය ගැන තමයි පොතේ සඳහන් වෙන්නේ.


ඔන්න ඕවා තමයි මේ පාර මම අරගත්තු පොත්. පොත් ගැන සඳහන් කරල තියෙන කෙටි විස්තරයේ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ, මොකද පොත් වල පෙරවදන කියවලයි ඒ කෙටි විස්තරේ ලිව්වේ. 'ෂැංහයි සොඳුරිය' තමයි මුලින්ම කියවන්න පටන් ගත්තෙ. ඒක කියවන්න පටන් ගත්තෙත් අද උදේ. තාම කියවන්න පුළුවන් වුණේ පි‍ටු එකොලහයි. එහෙනම් සෙල්ලිපිය කොටන එක මෙතනින් නවත්තල ආයෙත් පොත කියවන්න පටන් ගන්නයි හදන්නේ.


උඩ කොටල තියෙන විස්තරේ කාට හරි ප්‍රයෝජනවත් වුණානම් ඒ අය පොඩි comment එකක් දාලම යන්න....

17 comments:

  1. අවසන් දින කුමන්ත්‍රණය පොත නම් මගේ පොත් සමූහයටත් ගැලපෙයි වගේ. හැබැයි ඉතින් BMICH ප්‍රදර්ශනෙන් නම් ගන්න වෙන්නේ නැහැ. මොකද මම නුවර ඉන්න නිසා. බලමු පස්සේ වෙන ප්‍රදර්ශනේකින්වත් ගන්න...

    ReplyDelete
  2. ම්ම්. විස්තරේ හොඳයි. කුටියත් එක්කම කියල තියෙන එක තවත් හොඳයි.
    පවුලෝගෙ පොත් දෙක මමත් ගත්තනෙ.
    ඇලන් ක්වාටමෙන් කතා වල මම ගත්ත "ඈ හෙවත් අයේෂා" පොත. ඉතිරි පොත් ටිකත් ගන්න ඕනෙ, සල්ලි තිබ්බෙ නෑ නෙ. :(
    ඇගතාගෙ පොතක් ගන්න හිතල ගත්තෙ නෑ. :(

    ReplyDelete
  3. පොත් ප්‍රදර්ශනේට පොත් වලට ඩිස්කවුන්ට් දුන්නට ඒ ගාන වැඩි කරලා දෙන්නේ කියලා කතාවක් අහලා තිබ්බා මෙච්චර කල් හිතුවේ බොරු කියලා. කවි කඳුර 550/= ඕක තිබ්බේ 490ට 550ට 20% ඩිස්කවුන්ට් එක දුන්නත් පොත 500ක් වෙනවා. කලින් පොතේ පිට කවරේ නම් වෙනස් ඔයිට වඩා.

    ReplyDelete
  4. ගොඩක් කට්ටිය ඔය කවි කඳුර අරගෙන තියෙනවා. ඒක ගොඩක් ලස්සන පොතක් වෙන්ටෑ.

    ReplyDelete
  5. KAvi kadura 490 ekath thibba. Aluth mudranaya ganan wadee. pita kawarenam wenas. mama nam gaththe 490 eka.

    ReplyDelete
  6. @Madhawa Habarakada
    අයේෂා ගෙ සීරීස් එකේ පොත් දෙකක් මා ලඟ තියෙනවා.තවපොත් තුනක් ගන්න තියෙනවා. ඒ තුන නම් මේ පාර ගන්න බැරි වුණා.

    @ම
    මම මේ දාල තියෙන්නෙ ඩිස්කවුන්ට් නැතුව මිල ගණන්. ඩිස්කවුන්ට් හම්බ වුණහම මීට වඩා මිල අඩු වෙනවා. හැම පොතකටම වගේ 20% ඩිස්කවුන්ට් හම්බ වෙනවා.

    ReplyDelete
  7. කවිකඳුරට ඔය පිට කොලේ දාලා තියෙන්නෙ ස්වර්ණ පුස්තක සම්මානෙ හම්බ වුනාට පස්සෙ.ඒකෙ ලොකුවට බැජ් එකක් වගේ ගහලා තියෙනවා ඒක.

    ඔයා ගිය පාර ගෙනිච්ච පොත් කියවලා ඉවරද?

    ReplyDelete
  8. හ්ම්ම්. අනේ මමත් ගිය පාර ගත්තු පොත් 2ක් කියවල නෑ තාම. ඔයාලට කියන්න, මම 2004 ප්‍රදර්ශනෙන් ගත්තු පොතකුත් තියේ තාම කියවල ඉවර කළ නැති. :(

    ReplyDelete
  9. මමත් පොත් ප්‍රදර්ශනෙන් කවි කඳුර පොත ගත්තා. කියවලත් ඉවරයි. ඒකනම් තාම මගේ හිතේ දෝංකාර දේනවා..

    ReplyDelete
  10. @නිසුපා
    ගිය පාර ගත්තු පොත් වලින් පන්සිය පනස් ජාතක කථා පොත ඇරෙන්න අනිත් සේරම පොත් කියවල ඉවරයි.

    ReplyDelete
  11. මොන එකද මන්ද මට හිතෙන්නෙම නෑනේ එක තැනකට වෙලා පොතක් කියවන්න... :(

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. @ ම - ඔයා කියපු කතාව ඇත්ත තමයි. තාමත් සරසවි වෙබ් සයිට් එකේ කවිකදුරෙ ගාණ විදිහට තියෙන්නෙ රුපියල් 450ක් විදිහට. අලුත් මුද්‍රණයේ ගාණ වැඩි කරල ඇත්තෙ වැඩියෙන් විකිණෙන නිසා වෙන්න ඕන. අනිත් එක ඒ එක්කම කතෘ භාගෙත් වැඩි වෙන නිසා සුනේත්‍රත් ඔය වැඩේට උඩින්ම කැමති වෙන්න ඇති.

    මේ තියෙන්නෙ සරසවි වෙබ් සයිට් එකේ කවිකදුර පොත ගැන තියෙන විස්තරේ.

    http://www.sarasavi.lk/kavi-kadura.html

    ReplyDelete
  14. කොහෙද අප්පේ මේ පොත් ටික තියාගෙන හිටියේ....? මල්ලිගේ බෑග් එකේ වත්ද?

    අඳුන ගන්න ලැබීම ගැන හෙන සතුටුයි....

    ReplyDelete
  15. මිනිත්තු එකොළහේ කතාව වාජිත මල්ලිට අහුවෙන්න නම් තියන්න එපා අයියෙ.... :ඩී :ඩී

    ReplyDelete
  16. @Prasanna86k
    සාදරයෙන් පිළිගන්නවා සෙල්ලිපියට. පොත් ටික ඔක්කොම තිබුණෙ මගෙ බෑග් එකේ. මල්ලිගේ බෑග් එකේ තිබුණා එයා ගත්තු පොත්.

    @අසිත
    මිනිත්තු එකොළහේ කතාව විතරක් නෙවෙයි, ෂැංහයි සොඳුරිය පොතත් ඒ වගේ තමයි.

    ReplyDelete
  17. අයියෝ.... මම ඒකත් ගන්න හදල වෙන එකක් ගත්තනෙ....ෂහ්... :ඩී :පී

    ReplyDelete