Thursday, September 18, 2014

ඩෙලවෙයාර් ගියෙමු - දෙවන දවස

ඩෙලවෙයාර් සවාරියේ දෙවෙනි දවස අපි පලවෙනි දවසෙම ප්ලෑන් කර ගෙන හිටියේ.වෙරළට යන එක තමා ඉතිං ප්‍රධාන වැඩේ. ඔන්න ඉරිදා දවසේ උදේ අටට විතර වෙරළේ ගත කරන්න ඕනේ කරන බඩුත් අරගෙන අපි පිටත් වුනා. මොන වැඩේ කරන්නත් කලින් බඩ පුරවා ගන්න එපෑ. ඇමෙරිකාවේ කෑම ම තියෙන කඩේකින් තමා උදේට කෑවේ.

වෙරළට යන අතරමගදී ගහෙන් කඩාගෙනම අපිට ගෙනියන්න දෙන පීච් වත්තකට තමා මුලින්ම යන්න හිතුවේ. මේ වතු වල කාලෙන් කාලෙට හැදෙන එක එක පළතුරු ජාති ගෙනියන්න දෙනවලු. ස්ට්‍රොබරි,බ්ලුබෙරි, ඇපල්, පීච් වැවෙන කාලවල් අනුව ඔය වගේ පලතුරු ගෙදර ගෙනියන්න පුළුවන්.  ඒ දවස් වල පීච් වාරේ. පාරේ අයිනෙමයි පීච් වත්ත. තිබ්බ විදිහට මට හිතුනා මේක අත ඇරලා දාපු වත්තක්ද කියලා. තාප්පයක්වත්, වැටක්වත් මුකුත්ම නෑ. ඕනේ කෙනෙකුට වත්ත ඇතුලට ගිය හැකි.ඒත් ගස් වල ඕනෙ තරම් ගෙඩි.
අරුණි අක්කා කියපු විදිහට වතු අයිතිකාරයෝ විකුණන්න ඕනේ ප්‍රමාණය කඩලා විකුනුවට පස්සෙ මේ විදිහට ඕනේ කෙනෙක්ට ඇවිත්, තමුන්ම කඩාගෙන ඒ ගොල්ලන්ට නියමිත ගාන ගෙවලා අරන්  යන්න පුළුවන්.කවුරු වුනත් කැමතිනේ ඉතිං අතින්ම කඩාගෙන පලතුරු කන්න. ඉතිං සෙනඟ එනවා. වතු අයිතිකාරයින්ටත් ලේසියි වැඩේ. කඩන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් අතේ.

වත්ත ඇතුලට ගියාම පොඩි හට් එකක් ගහගෙන තුන් දෙනෙක් ඉන්නවා කාඩ්බෝඩ් පෙට්ටිත් තියාගෙන. කට්ටියට එක ගානේ කාඩ්බෝඩ් පෙට්ටි හම්බ වෙනවා.පෙට්ටිය අතේ තියාගෙන යන්න බැරිනම් පොඩි ඇදගෙන යන කරත්තත් එතැනින්ම ගන්න පුළුවන්. ගස් පේලි හයක් විතර තිබුනා අපිට ගෙඩි කඩන්න අවසර තියෙන. අනික් ගස් වල නම් තාම පළදාව කඩාගෙන ඉවර නෑ.

අපි පෙට්ටියෙන් බාගයක් විතර වෙන්න ගෙඩි කඩාගත්තා. අරුණි අක්කටත් ගෙඩි ටිකක් දීලා ඉතුරු වුන ගෙඩි ටික අපිට සති තුනක් විතර ගියා ඉවර කරගන්න.

ඊළග නැවතුම මුහුදු වෙරළ. කලින් ලිපිය කිව්ව “Ocean City” එකේ මුහුදු වෙරළේ මේ කාලෙට සෑහෙන්න සෙනඟ. ඒ නිසා ටිකක් නිදහස් වෙරළකට යන්න තමයි අරුණි අක්කගේ ප්ලෑන් එක වුනේ. සෑහෙන වෙලාවක් තිස්සේ ඇවිත් අන්තිමට අපි “Rehoboth” කියන වෙරළ කිට්ටුවට ආවා. ඒ වෙරළ කිට්ටුවම  “Cape Henlopen State Park”කියලා පාක් එකකුත් තියෙනවා . මුහුදට බහින්න කලින් පාක් එකේ ටිකක් දුර ඇවිදිමු කියලා අක්කා යෝජනා කරලා තිබ්බේ කලින් දවසේමයි. පාක් කිව්වට මල් වවපු ලස්සනට තියෙන එකක් නෙවෙයි. ස්වභාවික විදිහට තියෙන කැලයක් මැද්දෙන් පාරක් හදලා තිබුනා. සුද්දෝ එහෙම වැඩිහරියක් කරන්නේ මෙහෙ කුලියට බයිසිකල් ගන්න පුළුවන් තැනකින් බයිසිකල් අරගෙන ඒවා පැදගෙන යන එක. අපි ඉතිං ඒ වඩේ කලේ නෑ. පයින්ම පුළුවන් තරම් දුර ගිහින් ආපහු එන්න තමයි හදන්නේ. ඇතුලට යන තැනම බෝඩ් එකක්. ඇවිදින්න තියෙන  පාරේ මිසක් කැලේ ඇතුලට නම් එබෙන්න එපා කියලා. හේතුව තමා කැලේ ඇතුලේ “Poison Ivy “ කියන ගැවුනොත් පලු දාන  ගස් ජාතිය තිබීම සහ මුවන්ගේ ඇගේ ඉන්න රෝග වාහක මැක්කෙක් ඉදීම. ගහකටනම් ඉතිං පාරට එන්න බෑනේ. ඒත් බෝඩ් ගහලා තිබුන පලියට මැක්කෙක් පාරට එන්නේ නැතුව ඉදියි කියලා කියන්න බෑ නෙ. බැලින්නම් පාරේ දෙපැත්තට කෘමි නාශක ඉහිනවලු කාලෙන්  කාලෙට.



කුරුල්ලෝ සෑහෙන දෙනෙක්ගේ කූඩු තැනීමේ භූමියක් විදිහට මේ පාක් එක හදුන්වන නිසා ගොඩක් අය ඇවිත් තිබ්බේ කුරුල්ලෝ බලන්නමයි. දුරදක්න  එහෙම අරගෙන තමයි එහෙම අය ඇවිත් තිබුනේ. අපි නම් ඉතිං එහෙම ගොඩක් කුරුල්ලොනම් දැක්කේ නෑ. වගුරු බිමක් එහෙමත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට හම්බ වුනේ කුරුල්ලෝ බලන්නම හදපු පොඩි මණ්ඩපයක් වගේ එකක්. ලී වලින් තමා හදලා තිබුනේ. මණ්ඩපයේ තැන තැන පොඩි ලී පුවරු වල මේ පාක් එකේදී දකින්න පුළුවන්  කුරුල්ලෝ ගැන පොඩි විස්තර දාලා තිබුනා. මණ්ඩපයේ ඉදන් බලනකොට මුහුද පැත්තට වෙන්න ප්‍රදීපාගාරයක් වගේ ලොකු කුළුණු දෙකක් පේනවා. ඔය යට පින්තූරේ තියෙන්නේ එයින් එකක්.

ඒ තමා දෙවන ලෝකේ යුද්ධේ කාලේ ඔත්තු බලන්න හදලා තිබුන කණු. මේ වගේ කණු තව ඩෙලවෙයා වල මුහුදු වෙරළ අයිනේ තියෙනවා. ඒත් ඔතනට පෙනුනේ දෙකයි. ඒවා කිට්ටුවට ගිහින් බලන්නත් පුළුවන් වුනාට එදා දවසේ ඒක කරන්න වෙලාව තිබුනේ නෑ. පස්සෙ දවසක බැරියෑ ගිහින් බලන්න. මණ්ඩපේ ගාවට විටරක් ගිහින් අපි ආපහු හැරිලා ආවා.  තව ඇවිදින්නනම් ගොඩක් දුර තිබ්බා. මට නම් ඒ වෙනකොට ඇති වගේ. කොහොම හරි ආපහු පාක් එකට ඇතුල් වෙන තැනට එනකොට අපි විනාඩි 45ක් විතර තිස්සේ ඇවිදලා. මදෑ ඉතිං එච්චර ඇවිද්දා නේද?.
වාහන පාක් කරපු හරියෙම තමයි මුහුදු වෙරළ. වැල්ලේ පයින් ඇවිදගෙන යන්නයි තිබුනේ. වාහනේ දාගෙන ආපු වැල්ලේ තියාගන්න පුළුවන් අකුලන පුටු තුනයි, තුවා යි, බීමයි, නාන ඇදුමුයි ඔක්කොම අරන් අපි තුන්දෙනා කයියකුත් දාගෙන මුහුදු වෙරළට ගියා. හීනි වැල්ලේ අඩිය එරෙනවා මදිවට ඒ වෙනකොට දවල් වෙලා නිසා හිනි ගහන්න රත් වෙලා. ocean city එකේ තරම් නොවුනත් තරමක සෙනගක් එතනත් හිටියා. හුගක් අය කුඩ අටෝගෙන, සමහරු හිරු රැස් නානවා, සමහරු පුටු වලට වෙලා හුලන් වැදි වැදි පොත් කියෝනවා.
 ඒ හරියෙම කුඩ රෙන්ට් එකට දෙන තැනකුත් තිබුනා. ඉතිං අරුණි අක්කත් ගිහින් කුඩයක් අරගත්තා. රෙන්ට් කරන කෙනාම අපිට ඕනේ තැනට ඇවිත් කුඩේ හයි කරලා යනවා. ඊළගට ඉතිං පුටු ටිකත් දිග ඇරගෙන පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න තමා ලෑස්තිය. බීමත් බීලා ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා කතා වුනේ දැන් මුහුදට බැස්සානම් හොදයි කියලා. අරුණි අක්කානම් සැනසිල්ලේ පොතක් කියෝනව කිව්වා.
අපි ඉතින් ඔන්න මුහුදටත් බැස්සා කියමුකෝ. වතුරේ බැහැල ඉන්න ආස වුනාට  මුහුදටනම් මං බයයි. අම්මෝ ගහ ගෙනවත් ගියොත් එහෙම. වයසක ආච්චිලා, පොඩි එවුන් පවා හිටියා මට වඩා ගැඹුරට ගිහින්. ඒත් මං නෙවේ කැමති වුනේ. ඒත් ඉතිං උදිත එක්ක බෑනේ. අතින් ඇදගෙන ටිකක් ඈතට ගෙනිච්චා. එක පාරටම හොද  ලොකු රැල්ලක් ආවා. ඒ පාරේ සැරට අල්ලාගෙන හිටපු අතත් අතෑරිලා මාව ගහගෙන ගියා වෙරළට. නහයෙයි,කටෙයි වතුර විතරක් නෙවේ වැලිත් ගිහින්. වැලි වලට අත පයත් හීරුනා. අනේ එහෙම වුනා කියලා ගොඩ හරියට වෙලා නම් ඉන්න හම්බ වුනේ නෑ මට. ආයේ එක්කන් ගියා. දෙතුන් පාරක් ඔය වගේම වුනා. අන්තිමට මගේ කනටත් වතුර ගිහින් වැලිත් එක්කම. කොහොම හරි අන්තිමට දන්නෙම නැතුව  විනාඩි 45ක් වගේ මුහුදෙත් ඉදලා.
ගොඩට ඇවිත් අරුණි අක්කාව හොයාගෙන ගියාම මෙන්න බොලේ පොත කියවනවා කියපු කෙනා නිදි ඔලුවේ දාගෙන හිටපු කැප් ඒකෙන් මූණත් වහගෙන. අපි ලගටම ගිහින් ෆොටෝ එකක් ගන්න යනකොට තමා ඇහැරුනේ. ඇඟේ තියෙන වතුර ටික වේලෙන කල් අපි දෙන්නත් ටිකක් වාඩි වෙලා හිටියා. හම්මේ සනීපෙට මටනම් බාගෙට  නින්ද ගියා. කාර් එක ගාවට ඇවිත් තමා ඇදුම් මාරු කරගත්තේ ආයේ. වැලි බාල්දි බාගෙක විතර වැලි ඇඟේ  :D.
දැන් හොද ගානට බඩගිනියි. අක්කා යන ගමන් කියා කියා ගියේ අපිට අද නියමම ඉතාලි කඩේකින් කන්න දෙනවා කියල. කඩේ නම තමා “Touch of Italy”. ලෙවිස් කියන නගරේ තමා කඩේ තියෙන්නේ. මං කලින් ලිපියේ කිව්වනේ ඩෙලවෙයා තමයි ඇමෙරිකාවේ පළවෙනි ප්‍රාන්තය හැටියට සලකන්නේ කියලා. 'ලෙවිස්' කියන්නේ ප්‍රාන්තේ පලවෙනි නගරය හැටියට සලකන නගරය. ඒ කියන්නේ පලවෙනි ප්‍රාන්තයේ පලවෙනි නගරේ. වාහනේ නතර කරපු තැනම එහා පැත්තේ ඇලක ඔන්න ලස්සන බෝට්ටුවක් නවත්තලා. ඇලක් කීවට මෙහෙතියෙන්නේ පොඩි ඇල වල් නෙවේ හරිද. ආපහු එන ගමන්ම ෆොටෝ එකක් ගහමු කියලා හිතාගෙන කන්න ගියා.
හම්මේ කඩේ ඇතුලට ගියාම එක එක ජාතියේ චීස්. මගෙනම් කටට කෙලත් ඉනුවා ඒවා දැකලා. ඉතාලි කෑම වල‍ට සෑහෙන්න චීස් පාවිච්චි කරනවානෙ. සුදුළුනු පානුයි, බැදපු ඉස්සොයි, පිට්සා යි තමා අපේ දවල් කෑම. කාපු ගමන් යන්නත් බෑනේ. පලවෙනි නගරේ පොඩ්ඩක් බලා කර ගන්නත් එපැයි. නගරේ කිව්වට ලොකු සෙනඟක් එහෙම එහෙම නෑ. හරිම නිස්කලංකයි.වටේ තියෙන කඩවල් ටිකේ පොඩ්ඩක් රවුම් ගැහුවා. ඔන්න බොලේ එක කඩේක සේල්. කඩේ ඇතුලේ එහෙම නෙවේ. එලියේ තමා ඔක්කොම සේල් බඩු. කවුරුවත් ඇත්තෙත් නෑ ළඟ පාතක. එහෙමයි කියලා කවුරුවත් අරන් ගිහිනුත් නෑ.

දැන් ඉතිං ආපහු අරුණි අක්කගේ ගෙදර යන්නයි හදන්නේ. චාරිකාව නිමයි. ආපහු පැය හතරක් වගේ එලවාගෙන යන්නත් එපෑ අපේ ගෙදරට යන්න. අනේ කාර් එක තියෙන තැනට යනකොට අර ලස්සන බෝට්ටුව ගිහින්. වෙලාව තමා. මුහුදු වතුරෙන් නාපු නිසා  හොද වතුරෙන් නාලා එහෙම අපි අරුණි අක්කාගේ ගෙදරින් පිටත් වුනා. ඔන්න ඔහොමයි දවස් දෙකක ඩෙලවෙයා චාරිකාව අවසන් වුනේ. ගූගල් වලින් ගත්ත ෆොටෝ ඇරුනාම අනික් හැම ෆොටෝ එකකම අයිතිය අරුණි අක්කගේ. ඒ වගේම දවස් දෙකේම අපේ කෑම බීම ඇතුළු අනිකුත් වියදම් ඔක්කොමත් අරුණි අක්කා ගානේ. බොහොම ස්තුතියි අරුණි අක්කේ......

9 comments:

  1. මේ පැත්තෙ ආවෙ අදමයි!
    //අරුණි අක්ක//(ඇමරිකාවෙ ඉන්න අරුණි කවුද?)
    //ත් ඉතිං උදිත එක්ක බෑනේ. //(ඒ කියන්නෙ උදිතගෙ සෙල්ලිපිය ලියන්නෙ වෙන කෙනෙක්? එතකොට උදිත කවුද? ඇමරිකාවෙ ඉන්න, දන්න උදිත අර එලකිරි ධනවාදිය නෙව)
    (කොල්ලෙක් එක්ක ඉන්න දැකල පුරුදු බවලතී කවුද?)

    යකෝ මේ ගැටටික ලිහාගන්න කලින් පෝස්ටුව බලන්න උනා. එහෙනං දෙන්නටම සුභපැතුම්. අරුණිවත් මතක් කලා ඕං!

    ReplyDelete
    Replies
    1. තව කවුද අනේ ඇමෙරිකාවේ ඉන්න උදිත??

      කමක් නෑ කොහොම හරි ගැට ටික ලෙහා ගත්තානේ. :v

      Delete
    2. ඒ උදිත කවුද කියල දන්නෙ නැත්තං ඇමරිකාවෙ ඉඳල වැඩක් තියනවද? අරුණි අක්කගෙන් අහල බලන්න බොරුනං

      Delete
  2. Poison Ivy කහබිලියා වර්ගයක්ද

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙන්න ඇති අයියේ. නෙට් එකේ තියෙන පලු වල ෆොටෝ දැක්කාම බයත් හිතෙනවා.

      Delete
  3. දිග වැඩියි අප්පා. :(

    ReplyDelete
    Replies
    1. එච්චර දිග නෑ. කලින් එක තරම්.

      Delete
  4. මේ. බ්ලොග් එකට නිසුපා author කෙනෙක් විදිහට ඇඩ් කරන්න. එතකොට නිසුපගෙම නමින් ලියන්න පුළුවන්. කෙල්ලෙක් ලියන්නෙ කියල භාෂා විලාසයෙන්ම දැනෙනව, ඒත් අන්තිමට නම වැටෙන්නෙ උදිත කියලනෙ. එතකොට ටිකක් අවුල් වගේ. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක කරන්න ඕනේ තමා. :)

      Delete