Saturday, December 31, 2016

ලුවීසියානාවේ සංචාරක සටහන්

කාර්යබහුල කමත් එක්කම පහුගිය කාලෙදි බ්ලොග් කෙරුවාව අතෑරිලාම වගේ ගිහින් තිබුණත්, යන්තම් පොඩි  නිදහස් කාලයක් ලැබුණු නිසාත් ලියන්න හොඳයි කියල හිතෙන නිමිත්තක් හම්බ වුණු නිසාත් ක‍ටුවයි මිටියයි අතට අරගෙන 2016 අවුරුද්දෙ මුල්ම සෙල්ලිපිය කොටන්නයි මේ ලෑස්ති වෙන්නෙ. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හරි සෙල්ලිපියක් කොටන එකම මදැයි නේද..?


මීට අවුරුදු හතරකට විතර කලින් ඇමරිකාවට ආපු හැටි වගේම මගේ මෙක්සිකෝ සංචාරය ගැනත් ඩෙලවෙයාර් ප්‍රාන්තයට ගිය ගමන ගැනත් මම මීට කලින් ලියල තියෙනවනේ. එදා ඉඳන් අද වෙනකල් කාලය තුලදි ඇමරිකාවෙ ප්‍රාන්ත අතරේ කිහිප වරක්ම සංචාරය කරන්න අවස්ථාව ලැබුණත් ඒවා සෙල්ලිපි වල කොටන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. ඉතින් දැන් පොඩි ඉසිඹුවක් ලැබුණු වෙලාවේ මම හිතුවා මම ලඟදි සංචාරය කරපු ලුවිසියානා ප්‍රාන්තය ගැන විස්තර ටිකක් කොටන්න.


මිසිසිපි, ආකැන්සා සහ ටෙක්සස් ප්‍රාන්ත වලින් වට වෙලා දකුණු පැත්තෙන් මෙක්සිකන් බොක්කට මුහුණ ලා පිහිටා තියෙන මේ ප්‍රාන්තයේ අගනුවර බැටන් රූජ් (Baton Rouge) වුණත් ජනාකීර්ණම සහ ජනප්‍රියම නගරය වෙන්නෙ නිව් ඔර්ලියන්ස් (New Orleans). අපේ ගෙවල් ලඟම තියෙන ‍ෆිලඩෙල්‍ෆියා අන්තර්ජාතික ගුවන් තො‍ටුපළේ ඉඳන් පැය තුනහමාරකට වඩා චුට්ටක් අඩු කාලෙකින් ගුවන් මගින් නිව් ඔර්ලියන්ස් වලට ලඟා වෙන්න පුළුවන්.


ඇත්තටම මට ලුවිසියානා යන්න සිද්ධ වුණේ රාජකාරි ගමනක් විදිහට. නිව් ඔර්ලියන්ස් වල ඉඳන් හැතැක්ම 30 ක් විතර නිරිත පැත්තට වෙන්න තියෙන රේස්ලන්ඩ් (Raceland) කියන පුංචි ටවුම ආශ්‍රිතව අලුතෙන් ගොඩනගපු කර්මාන්තශාලාවක අපජල පිරිපහදු පද්ධතිය හා හාපුරා කියලා ක්‍රියාත්මක කරලා එතන ඉන්න යන්ත්‍ර ක්‍රියාකරුවන්ව පුහුණු කරන එක තමයි මට පැවරිලා තිබුණු රාජකාරිය. ඒ කොහොම වුණත් වටේ පිටේ  තියෙන දේවල් පුළු පුළුවන් විදිහට බලා කියා ගත්තු නිසා සෙල්ලිපියෙ කොටන්න පුළුවන් වෙන තරමටම කරුණු එකතු කරගන්නත් පුළුවන් වුණා.


පැය තුනහමාරක ගුවන් ගමනකින් පස්සෙ නිව් ඔර්ලියන්ස් ගුවන් තො‍ටුපළට ගොඩ බැහැපු ගමන්ම කරන්න ඕනෙ මුල්ම කටයුත්ත තමයි ඔරලෝසුවේ වෙලාව පැයකින් අඩු කරගන්න එක. එහෙම කරන්න සිද්ධ වෙන්නේ ලුවිසියානා ප්‍රාන්තය අයිති වේලා කළාපය මං ජීවත් වෙන නිව් ජර්සි ප්‍රාන්තය අයිති වේලා කළාපයට වඩා වෙනස් නිසා. ඇමරිකාවේ නැගෙනහිර වෙරල මායිමේ ඉඳන් වඩාත්ම බටහිරට වෙන්න පිහිටල තියෙන හවායි ප්‍රාන්තය දක්වා වේලා කළාප හයක් මේ රටේ පාවිච්චි කරනවා. නිව් ජර්සි අයත් වෙන්නේ නැගෙනහිර සම්මත වේලා කළාපයට (Eastern Standard Time). ලුවිසියානා අයත් වෙන්නෙ මධ්‍යම සම්මත වේලා කළාපයට (Central Standard Time). මධ්‍යම සම්මත වේලාව නැගෙනහිර සම්මත වේලාවට වඩා පැයක් අඩු නිසා නිව් ජර්සි ඉඳන් ලුවිසියානා ගියහම එදා දවසට අමතර පැයක කාලයක් ලැබීම නම් තරමක වාසියක් විදිහට සලකන්නත් පුළුවන්.


නිව් ඔර්ලියන්ස් කියන්නේ ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වගේම ජනාකීර්ණ නගරයක් නිසා මම හිතාගෙන හිටියේ නිව් ඔර්ලියන්ස් ගුවන් තො‍ටුපළත් බොහොම විශාල ජනාකීර්ණ ගුවන් තො‍ටුපලක් වෙන්න ඇති කියලා. ඒත් ගුවන් යානයෙන් එළියට ආවට පස්සෙ මම දැක්කෙ එච්චරම සෙනග පිරිල නැති මධයම ප්‍රමාණයේ ගුවන් තො‍ටුපළක්. ප්‍රමාණයෙන් එතරම් විශාල නොවුණත් ගුවන් තො‍ටුපල ගොඩනැගිල්ල අභයන්තරය නම් සිත් ඇදගන්නසුළු විදිහට නිර්මාණය කරලා තියෙනවා. ගුවන් තො‍ටුපළ නම් කරලා තියෙන්නේ 'නිව් ඔර්ලියන්ස් ලුවී ආම්ස්ට්‍රෝන්ග් ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළ' කියලා. ලුවී ආම්ස්ට්‍රෝන්ග් කියන්නේ ලුවිසියානා වල හිටපු බොහොම ජනප්‍රිය ට්‍රම්පට් වාදකයෙක් වගේම ජෑස් සංගීතඥයෙක්. ඔහුව අනුස්මරණය කරන්න තමයි ඔහු නමින් ගුවන් තො‍ටුපළ නම් කරලා තියෙන්නේ. ජෑස් සංගීතයත් නිව් ඔර්ලියන්ස් නගරය තුළ බොහොම ජනප්‍රියයි. සජීවී ජෑස් සංගීතයට සවන් දෙන ගමන් ප්‍රනීත කෑම වේලක් රසවිඳින්න පුළුවන් ජෑස් අවන්හල් බොහොමයක් මේ නගරයේ පිහිටල තියෙනවා. ඇමරිකානුවන් සලකන්නේ ජෑස් සංගීතයේ උපන් බිම නිව් ඔර්ලියන්ස් නගරය කියලා යි.

මෙයා තමයි ලුවී ආම්ස්ට්‍රෝන්ග්


ගුවන් තො‍ටුපළ ඇතුළෙ දර්ශනයක්.
ඔය ට්‍රම්පට් එක ගහන්නේ ලුවී ආම්ස්ට්‍රෝන්ග් තමයි

කෑම රසවිඳින ගමන් ජෑස් රස විඳින්න


ලුවිසියානා වලදි අපට අත්දකින්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ ප්‍රාන්තය සතුව තිබෙන ප්‍රංශ උරුමය. 18 වන සියවස අවසන් වෙනකල්ම මේ ලුවීසියානා ජනපදය පිහිටි ප්‍රදේශය තිබිල තියෙන්නේ තියෙන්නෙ ප්‍රංශ පාලනය යටතේ. අද ලුවිසියානා කියල හඳුන්වන්නේ ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන එතරම් විශාල නැති මධ්‍යම ප්‍රමාණයේ ප්‍රාන්තයක් වුණත් ඒ කාලෙ  ප්‍රංශ පාලනය යටතේ 'ලුවිසියානා' නමින් හඳුන්වලා තියෙන්නේ ඇමරිකාවේ දකුණු කෙලවරේ ඉඳන් කැනඩාවේ උතුරු කෙළවර දක්වාම විහිදිලා තිබුණු අති විශාල භූමි ප්‍රදේශයක්. මේ අති විශාල ප්‍රංශ ජනපදයේ ජීවත් වූ මුතුන් මිත්තන්ගෙන් පැවත්ගෙන එන්නන් නිසා ප්‍රංශ භාෂාව වත්මන් කැනඩාවේ රාජ්‍ය භාෂාවක් ලෙස සලකන අතර කැනඩාවේ ක්විබෙක් ජනපදයේ වැසියන්ගෙන් 85% ක් පමණ මව්බස ලෙස කථා කරන්නේත් ප්‍රංශ භාෂාවයි. කැනඩාවේ තරම්ම නැති වුණත් අදටත් ඇමරිකාවේ ලුවිසියානා වල ජීවත් වෙන වැසියන්ගෙන් 8% ක් විතර කථා කරන්නේ ප්‍රංශ භාෂාව.

කොළ පාටින් තියෙන්නෙ ප්‍රංශෙට අයිති වෙලා තිබුණු ලුවිසියානා ජනපදය


දැන් කොහොමද ප්‍රංශ රජයට අයිති වෙලා තිබුණු මේ මහා භූමි භාගය ඇමරිකා එක්සත් ජනපදයට අයිති වුණේ..? වර්ෂ 1803 දී ඇමරිකානු ජනාධිපති ‍තෝමස් ජෙෆර්සන් විසින්  අර මහා ප්‍රංශ ජනපදයෙන් ඇමරිකා එක්සත් ජනපද සීමාව තුළ තිබූ භූමිය සල්ලි වලට අරගන්නවා. භූමියේ මුළු වටිනාකම ඩොලර් මිලියන 15 ක් විතර වුනා ලු. ඒ කාලෙ ප්‍රංශ පාලකයා වුණු නැපෝලියන් බොනපාට් එක්ක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමහරි පසුකාලීනව මේ නව ඇමරිකානු භූමිය ප්‍රාන්ත පහළොවකට වෙන් වෙලා අන්තිමට පහල දකුණු කෙළවරේ ඉතුරු වුණු භූමි ප්‍රදේශය විතරක් 'ලුවිසියානා' කියන මුල් කාලීන නමින්ම හඳුන්වන්න පටන් අරගෙන තියෙනවා. ඔන්න ඔහොම තමයි වර්තමාන ලුවිසියානා ප්‍රාන්තය හැදිලා තියෙන්නේ. මේ ගනුදෙනුව සිද්ධ වෙලා අවුරුදු 200 කටත් වඩා ගත වෙලා බහුතරයක් මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පටන් අරගෙන තිබුණත් අදටත් ඒ අයගේ ඉංග්‍රීසි උච්ඡාරණය සැලකිය යුතු තරමින් වෙනස්. ඒ වගේම ඒ අය පාවිච්චි කරන සමහර වචන ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට එහෙමත් නැත්නම් ලුවිසියානා වලටම  ආවේණික වුණු ඒවා. ඒවා ප්‍රංශ බසින් ඉංග්‍රීසි බසට මාරු වෙන කාලෙදි සිද්ධ වුණු විපර්යාස කියලයි මම හිතන්නේ. මේ භාෂාමය වෙනස්කම කොච්චරද කියල කියනවනම් ඇමරිකානුවෙක්ගෙ කථා විලාශය අහගෙන ඉඳල මිනිහ දකුණෙ ද එකෙක්ද නැද්ද කියල ටක්කෙටම කියන්න පුළුවන් කියල කියනවා. මේ කතාව අහුවහම මට මතක් වුණේ අපේ රටෙත් දකුණේ මිනිසුන්ට එයාලටම ආවේණික වචනයි කථා විලාශෙකුයි තියෙනව නේද කියන එක. බලාගෙන ගියහම ලංකාවෙ දකුණෙයි ඇමරිකාවෙ දකුණෙයි වැඩි වෙනසක් නෑ වගේ....මම ඉතින් ලංකාවෙ මිනිහ නිසා මට නම් ඇමරිකාවෙ දකුණෙ හරි උතුරෙ හරි කතා බගේ වෙනස්කම් අඳුරගන්න තරම් මහ ලොකු හැකියාවක් නැහැ. හැබැයි ලුවිසියානා වලදි මිනිස්සුත් එක්ක කතා කරද්දි සමහර වෙලාවට ඒ අය කියන දේවල් තේරුම් ගන්න අපහසු වුණ එක නම් ඇත්ත. ඊටත් වඩා අමාරු වුණු කාරණේ තමයි ඒ මිනිස්සුන්ට මගේ ඉංග්‍රීසි උච්ඡාරණය තේරුම් ගන්න අපහසු වුණ එක. රාජකාරි වෙලාවෙදි සමහර වෙලාවට මම එයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවහම හම්බ වෙන්නේ 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' ජාතියෙ උත්තර. මම ප්‍රශ්නෙ අහනකොට එයාලට තේරුම් ගන්න පුළුවන් වුණු වචන ටික එකතු කරලා, ඒ තේරුම් ගත්තු වචන වලින් ප්‍රශ්නෙ උපකල්පනය කරලා ඒකට උත්තරයක් දෙන එක තමයි එයාල කරන්නේ. මේ හේතුව නිසා එකම ප්‍රශ්නෙ නැවත නැවතත් අහන්න වුණා වගේම මට පුළුවන් තරම් එයාලගෙ උච්ඡාරණයට ආසන්න විදිහට වචන ශබ්ද කරන්න මහන්සි ගන්නත් සිද්ධ වුණා. යන්ත්‍ර ක්‍රියාකරුවන් පුහුණු කිරීමත් මගෙ රාජකාරියෙ කොටසක් වුණු නිසා එයාල මං කියන දේවල් හරියටම තේරුම් ගත්තද කියල කීපවරක්ම පරීක්ෂා කරල බලන්න සිද්ධ වුණා මේ වෙනස් කථා විලාශ ගැටළුව නිසා.


මම කලින් සඳහන් කරල තිබුණ නේද ලුවිසියානා වැසියන්ගෙන් 8% ක් විතර කතා කරන්නේ ප්‍රංශ භාෂාව කියලා. හැබැයි මේ ප්‍රංශ භාෂාව ප්‍රංශයේ භාවිතා වෙන භාෂාවම නෙවෙයි, එයින් බිඳිල ආපු උප භාෂාවක්. 'කේජන් ප්‍රංශ භාෂාව' (Cajun French) කියල තමයි මෙහෙ කට්ටිය ඒක හඳුන්වන්නේ. වැඩිහිටි පරම්පරාව තවමත් මේ 'කේජන් ප්‍රංශ' බස කතා කළත් තරුණ පරපුර නම් වැඩිපුර ඉංග්‍රීසි බසට නැඹුරු වෙන ප්‍රවණතාවයක් දැන් පේන්න තියෙනවා.


මේ කේජන් ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට එකතු වූ වචනයක් තමයි 'බයියූ' (Bayou) කියල කියන්නේ. මේ වචනය ලුවිසියානා වලයි ටෙක්සස් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වලයි කතා බහේ දි නිතරම පාවිච්චි වෙනවා. බොහොම හෙමින් වතුර ගලාගෙන යන ඇල මාර්ග වලට තමයි මේ ප්‍රදේශ වලදි 'බයියූ' කියල කියන්නේ. ලුවිසියානා ප්‍රාන්තය (විශේෂයෙන්ම ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශය) වගුරු බිම්, තෙත් බිම් වලින් පිරුණු භූමියක්. මේ හේතුව නිසාම ඔය කියන 'බයියූ' මහ විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ දකින්න පුළුවන්. බොහොමයක් 'බයියූ' එහෙමත් නැත්නම් ඇල මාර්ග වල වතුර ගලනවා පේන්නෙවත් නැති තරම්. බොහොම හෙමින් වතුර ගලන නිසාම මේ ජල මාර්ග හුඟක් වෙලාවට ජලජ ශාක වලින් වැහිල ගිහින් තියෙන්නේ. මේ වගේ ඇල මාර්ග සිය ගනණක් මේ ප්‍රදේශය පුරාම පැතිරිලා ගිහින් තියෙන නිසා නගර සභාවන් හරහා නලජලය ලෙස බෙදා හරින්නේත් මේ ඇල මාර්ග වලින් ලබාගෙන පිරිසිදු කරපු වතුර කියලා මට දැනගන්න ලැබුණා.


බයියූ කියල කියන්නෙ මෙන්න මේ වගේ ඇල පාරවල් වලට


මේ ඇල මාර්ග වලින් සමන්විත අතිවිශාල තෙත්බිම් කළාපය හින්දා ලුවිසියානා ප්‍රාන්තය මත්ස්‍ය ආහාර වලින් ස්වයංපෝෂිතයි කියල කිව්වොත් වැරදි නැහැ. ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වගේම තිලාපියා, ස්නැපර් වගේ මාලුත් බොහොම අඩු ගාණට ඕනැ තැනකින් මිලදී ගන්න පුළුවන්. Seafood Restaurants නම් වැහි වැහැලා වගේ හැම තැනම තියෙනවා. ලුවිසියානා පැත්තෙ සංචාරය කරනවානම් ඉතින් අනිවාර්යයෙන්ම මේ මුහුදු ආහාර නම් රස බලන්නම ඕනෙ.

seafood නම් ඇතිතරම් කන්න පුළුවන්


ලුවිසියානා වැසියන්ටම ආවේණික වුනු ආහාර පිසීමේ ක්‍රමයකුත් තියෙනවා 'කේජන් කැම පිසමන' (Cajun Cuisine) කියලා. මේ ක්‍රමයට පිළියෙල කරපු ඉස්සො (Cajun Shrimp) නම් බොහොම රසවත් කෑමක්. ඉස්සො වගේම තවත් කේජන් ක්‍රමයේ කෑම ජාති ගොඩක් ලුවිසියානා වලදි රස විඳින්න පුළුවන්.

මෙන්න කේජන් ඉස්සෝ


මේ ඉස්සො, පොකිරිස්සො සහ කකුළුවො අල්ලන්න පාවිච්චි කරන මධ්‍යම ප්‍රමාණයේ බෝට්‍ටු ජාතියක් තියෙනවා මේ පැත්තෙ. ඒවා හඳුන්වන්නේ 'ඉස්සන් බෝට්‍ටු' (Shrimp Boats) කියලා. පාර දිගේ ගමන් කරනකොට පාරත් එක්කම සමාන්තරව ගලාගෙන යන 'බයියූ' වල මේ ඉස්සන් බෝට්‍ටු යාත්‍රා කරන හැටි බලාගන්න පුළුවන්. ඒ වගේම ඉඳල හිටලා ඇල ඉවුරු අයිනේ අවුරුදු ගාණකට කලින් අතැරල දාපු ගරා වැ‍ටුණු ඉස්සන් බෝට්‍ටුත් දකින්න පුළුවන්. මලකඩ කාල දුර්වර්ණ වුණු මේ පරණ බෝට්‍ටු දැක්කහම හිතට දැනෙන්නේ මහා ගුප්ත හැඟීමක්.

ඉස්සන් බෝට්‍ටුවක්


Seafood ඇරුනහම ලුවිසියානා වල තියෙන තවත් බොහොම ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාරයක් තමයි 'පෝබෝයි' (Po'boy) කියල කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් මේක අඟල් 8ක් විතර දිග සැන්ඩ්විච් එකක්. ප්‍රංශ ක්‍රමයට අනුව පිළියෙල කරපු දිගටි පාන් පෙති දෙකක් මැද්දට මූලික වශයෙන්ම බැදපු මාළු, ඉස්සො, කකුළුවො, කුකුළු මස් හෝ හරක් මස් කියන මස් හෝ මාළු වර්ග වලින් එකක් එක් කරලා තමයි මේක හදා ගන්නේ. මස් හරි මාළු හරි වලට අමතරව සලාද කොළ, තක්කාලි පෙති, පිපිඤ්ඤා පෙති එක්ක සෝස් වර්ගයක් එකතු කරගන්නවා. සැන්ඩ්විච් එකට අමතරව French Fries දීසියකුත් මේ එක්කම ලබා ගන්න පුළුවන්. ලුවිසියානා වැසියන් අතරේ මේ සැන්ඩ්විච් එක බොහොම ජනප්‍රියයි දිවා ආහාරයක් විදිහට.

මෙන්න Po'boy


ලුවිසියානා ගැන කතා කරනකොට මෙහේ තියෙන උස්සන්න පාත් කරන්න පුළුවන් පාලම් ගැනත් වචනයක් කියන්න ඕනෙ.  ගමනාගමනය දියුණු වෙනවත් එක්කම මෙහේ හැමතැනම තියෙන පැතිරිලා තියෙන ඇල මාර්ග හරහා පාම් දාන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි එහෙම පාම් දානකොට ඒවා නිසා බෝට්‍ටු ගමනාගමනයට බාධා සිද්ධ වෙන එක වළක්වාගන්න, කැමති වෙලාවක පාම උඩට ඔසවන්නයි පාත් කරන්නයි පුළුවන් වෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නේ. දැති රෝද සහ ලීවර පද්ධතියක් මගින් පාම උස් පාත් කරන්න පාළම් ක්‍රියාකරවන්නෙකුත් සේවයේ යොදවලා තිබිල තියෙනවා. කාලයක් ගතවෙනකොට පාරවල් වල වාහන වැඩිවීම නිසා මේ විදිහට නිතරම පාම උස්සන එක කරදරයක් වෙලා තියෙන හින්දා පහු වෙනකොට හුඟක් පාම් ස්ථාවර පාළම් බවට පත් වෙලා. හැබැයි අවශ්‍යතාවයක් වුණොත් අදටත් මේ පාම් උඩට උස්සන්න පුළුවන් ඕනෙ වෙලාවක.

මෙන්න උස්සන්න පාත්කරන්න පුළුවන් පාලම්


ලුවීසියානා තෙත් බිම් කලාපය සතුන් විශාල ප්‍රමාණයක ගේ රජ දහනක් කියල කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. කොකුන්, රාජාලියන්, ගිජුලිහිණියන් වගේ කුරුල්ලන් වගේම නරි, දිය බල්ලො, කබල්ලෑවො (Armadillo) වගේ සත්තුත් නිතරම දකින්න පුළුවන්. මේ සත්තුන්ට අමතරව අපි විශේෂයෙන්ම පරිස්සම් වෙන්න සතුන් වර්ග කීපයකුත් මෙහෙ ජීවත් වෙනවා. ඒ තමයි නයින්, පොළඟුන් සහ ඇලිගේටරයන්.


Cottonmouth Viper කියන පොළොං වර්ගය තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන විසකුරුම සර්ප විශේෂය. ඒ වගේම ජලාශ්‍රිත පරිසරයක ජීවත් වෙන ලෝකයේ එකම පොළොං විශේෂයත් මුන් තමයි. මං මෙහේ වැඩකරපු කර්මාන්තශාලාවේ හිටපු කාලය ඇතුලතදි අපට ගනකම බූට් සපත්තු පැලඳීම අනිවාර්ය වුණා. ඒ හදිස්සියෙ සිද්ධ වෙන්න පුළුවන් පොළොං දෂ්ඨන වලින් බේරෙන්න. මම ඒ කර්මාන්තශාලාවට යන්න ටික දවසකට කලින්, ඒ ළඟ තිබුණු වගුරු බිම් ප්‍රදේශය ආශ්‍රිතව සවි කරලා තිබුණු මෝටර් පද්ධතියක් ක්‍රියාත්මක කරන්න ගිය කණ්ඩායමක් පස්සෙන් පොළඟුන් 40 ක් විතර පන්නගෙන ආවා කියලා ඒ කණ්ඩායමේ හිටපු ඉංජිනේරුවෙක් පස්සෙ දවසක මාත් එක්ක කිව්වා. මෝටර් ක්‍රියාත්මක වෙද්දි වගුරු බිමේ ජලය කැලතෙන්න පටන් අරගෙන පොළොංඟු කලබල වෙච්ච හින්දා ඒ අලකලංචිය වෙන්න ඇති කියල එයා හිතනව ලු.


පොළොංඟු ඇරුණහම මේ ප්‍රදේශයේ බහුලවම ඉන්න අනෙක් දරුණුම සතා තමයි ඇලිගේටරයා. අර මම කලින් කියපු 'බයියූ' හැම එකකම වගේ ඇලිගේටරයින් ජීවත් වෙනවා. කොච්චර ඇලිගේටරයින් හිටියත් ලුවිසියානා වලදි ඇලිගේටරයින් මිනිස්සුන්ට පහරදෙන අවස්ථා අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මිනිස්සු කියන්නේ මේ ප්‍රාන්තයේ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' බොහොම ශක්තිමත්ව හා සක්‍රීයව කටයුතු කරන නිසා ඒ වගේ ගැ‍ටුම් පාලනය වෙලා තියෙනවා කියලයි. මෙහේ ඇලිගේටරයින් බහුල වුණත් උන්ව දඩයම් කරන්න අවසර තියෙන්නේ විශේෂ බලපත්‍රයක් අරගත්තු දඩයක්කරුවන්ට විතරයි. බලපත්‍රය නිකුත් කරන්නෙ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' විසින්. කරදරකාරී ඇලිගේටරයන් දඩයම් කරන්න හරි අල්ලල වෙන ජලාශ වලට මුදාහරින්න හරි අවසර තියෙන්නේ මේ බලපත්‍රලාභී දඩයක්කරුවන්ට විතරයි. සාමාන්‍යයෙන් කරදරකාරී ඇලිගේටරයන් කියල හඳුන්වන්නේ අඩි 4 කට වඩා දිග, ගොඩබිම දී මිනිස්සුන්ට හරි සත්තුන්ට හරි පහර දෙන්න පෙළඹෙන ඇලිගේටරයින්.

කොහොමද ඇලිගේටරයගෙ size එක..


කොහොම වුණත් මේ ඇලිගේටර-මිනිස් ගැ‍ටුම් අවම කරන්න මේ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' විසින් නීති මාලාවක් පනවලා තියෙනවා. කුඩා දරුවන් ඇල ඉවුරු අසළ සෙල්ලම් කිරීමට නොයැවීම, එලිය වැටීමට පෙර හෝ අඳුර වැ‍ටුණු පසු ජලාශ වල පිහිනීමෙන් වැළකීම ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම ඇලිගේටරයන් ට කෑම දීම හෝ සුරතලයට ඇති කිරීමත් නීතියෙන් තහනම්.


ඇලිගේටරයන් ට කෑම දෙන එක තහනම් වුණත් සමහර අය නම් හොරෙන් උන්ට කෑම දෙන බව මිනිස්සුත් එක්ක කතා කරද්දි මට දැන ගන්න ලැබුණා. ලුවිසියානා වැසියන්ගේ ගෙවල් හුඟක් වෙලාවට පිහිටල තියෙන්නේ ඇල ඉවුරු වල. ඉතින් ඒ ඇල මාර්ග වල පීනන ඇලිගේටරයන් මේ මිනිස්සුන්ට හොඳට දැකල පුරුදුයි. ඒක නිසා තමුන්ගෙ ගෙවල්වල උයන්න අරගන්න මාලුන්ගෙ ඉතුරු වෙන කොටස් මේ ඇලිගේටරයන්ට කන්න දෙන්න ඒ අය පුරුදු වෙලා ඉන්නව ලු. පුරුද්දට එහෙම කරන එක යන්ත්‍ර ක්‍රියාකරුවෙකුත් එක්ක මට මේ කර්මාන්තශාලාවෙදි කතා කරන්න පුළුවන් උණා. මිනිහ කියන විදිහට දවස් දෙක තුනක් එකම වෙලාවට ඇලිගේටරයින්ට කෑම දුන්නට පස්සෙ උන් හැමදාම හරියටම ඒ වෙලාවට ගේ ළඟට ඇවිල්ල වතුරෙන් උඩට ඉස්සිල බලාගෙන ඉන්නවලු කෑම දෙනකල්.


බෝට්‍ටුවක නැගලා තෙත්බිමේ රවුමක් යන ගමන් ඇලිගේටරයින්ව නැරඹීම ලුවිසියානා වලට එන සංචාරකයින්  අතරේ බොහොම ජනප්‍රිය අංගයක්. එහෙම සංචාරක සේවා සපයන තැන් ඕනෙ තරම් මේ තෙත්බිම අවට දැකගන්න පුළුවන්. වගුරුබිම් බහුල මේ ප්‍රදේශයේ සාමාන්‍ය බෝට්‍ටුවකට යාත්‍රා කරන්න අමාරුයි. ඒක නිසා මේ සංචාර සඳහා යොදාගන්නේ ලොකු අවරපෙත්තක් මගින් ජව ගැන්වෙන Airboat යනුවෙන් හඳුන්වන බෝට්‍ටු වර්ගයක්. පැය බාගයේ ඉඳන් පැයක් දක්වා කාල පරාසයක් මේ බෝට්‍ටුවක නැගලා තෙත්බිමේ රවුම් ගහන්න පුළුවන්.

යමුද රවුමක්..?


ලුවිසියානා ගැන කථා කරද්දි තෙත්බිමට අමතරව සටහන් කරන්න ඕනෙ අනෙක් දේ තමයි අක්කර දහස් ගාණක් පුරා විසිරිලා තියෙන උක් වගාව. ධීවර කර්මාන්තයට අමතරව ලුවිසියානා ප්‍රාන්තයේ තියෙන අනෙක් ප්‍රධානම කර්මාන්තය තමයි සීනි නිෂ්පාදනය. ලුවිසියානාව තුළ අද වෙනකොට සීනි කර්මාන්තශාලා 11 ක් පිහිටලා තියෙනවා. මේ කර්මාන්තශාලා වලට අවශ්‍ය කරන උක් ගස් තමයි අර අක්කර දහස් ගණනාවක් පුරා වගා කරන්නේ. ටික කාලයක් උක් වගා කලාට පස්සෙ ඒ පසේ සාරවත්බව නැති වෙන නිසා කාලෙන් කාලෙට ඒ බිම් වල වෙනත් භෝග වගා කරන අයුරුත්  පස නැවත සාරවත් කිරීමට වගාබිම් වලට ගිනි තියන අයුරුත් දකින්න පුළුවන්.

මම නතර වෙලා හිටියෙ මේ සීනි කම්හල ළඟ තිබුණු හෝටලේක


ලුවිසියානා වල, විශේෂයෙන්ම 'නිව් ඔර්ලියන්ස්' නගරය අවට දකින්න ලැබෙන සොහොන් බිම් ගැනත් යමක් ලිව්වෙ නැත්තම් ඒක විශාල අඩුපාඩුවක්. මේ ප්‍රදේශයටම ආවේණික විශේෂ ක්‍රමයකට තමයි මේ සොහොන් බිම් වල තියෙන සොහොන් ගෙවල් නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් මොකද්ද මේ විශේෂත්වය?

මේ ලිපිය කියවගෙන යද්දි මේ වෙනකොට ඔයාලට පැහැදිලි වෙලා ඇති ලුවිසියානා කියන්නේ වගුරුබිම් වලින් වටවුණු ප්‍රදේශයක් බව. ඒ නිසා පොළව යටට අඩි දෙක තුනක් හාරනකොටම වතුර මතු වෙනවා. ඔන්න ඔය හේතුව නිසා මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ට මුහුණ දෙන්න වෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණයක් තමයි මළ සිරුරු භූමදානය කරන්න අපහසු වීම. මුල්ම යුගයේදි අඩියක් දෙකක් විතර යටට විතරක් වලක් හාරල මිනී පෙට්ටිය යට කරන්න මේ අය උත්සහ කරල තියෙනවා. තවත් සමහරු මිනී පෙට්ටියට උඩින් බරට ගල් තියල යට කරල තියෙනවා. ඒත් වැස්ස කාලෙ පටන් ගත්තහම පොළොවේ ජල මට්ටම තවත් ඉහලට නගින නිසා අර කරපු කිසිම වැඩක් හරිගිහින් නැනැ. මිනී පෙට්ටි වතුරෙ පාවෙන්න පටන් අරන් තියෙනවලු. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට සමහරු සිදුරු කරපු මිනී පෙට්ටි පාවිච්චි කරන්න උත්සහ අරගෙන තිබුණත් ඒ වැඩෙත් සාර්ථක වෙලා නැහැ. අන්තිමට මේ කට්ටිය පටන් අරගෙන තියෙනවා පොළව මතුපිටට වෙන්න හදපු සොහොන් ගෙවල් වල මළ සිරුරු තැන්පත් කරන්න. ඒ ක්‍රමය තමයි අදටත් සාර්ථක ක්‍රමයක් ලෙස පාවිච්චි වෙන්නේ. ලුවිසියානාවට යන සංචාරකයෝ වැඩි දෙනෙක් නිව් ඔර්ලියන්ස් නගරය අවට තියෙන මේ විශේෂිත සොහොන් බිම් නරඹන්න යන්න අමතක කරන්නේ නම් නැහැ.

මෙන්න මෙහෙමයි ලුවිසියානා වල සොහොන් ගෙවල් හදන්නේ


ඔන්න ඔය දේවල් තමයි මගේ ලුවිසියානා සංචාරෙදි මට බලා කියා ගන්න පුළුවන් වුණේ. හරි...එහෙනම් දැන් හදන්නේ සෙල්ලිපිය කොටන එක අදට ඉවර කරන්නයි. ආපහු ඉතින් තව සෙල්ලිපියක් කොටන්න තව කාලයක් යයි. අළුත් මොනවහරි හම්බ වුනොත් ඉක්මනට කොටන්නත් පුළුවන්. එහෙනම් තවත් සෙල්ලිපි සටහනකුත් එක්ක පස්සෙ දවසක ආයෙත් හම්බ වෙමු...!!!



ඡායරූප අන්තර්ජාලයෙනි

5 comments:

  1. හුඟ කාලෙකට පස්සෙ. හරියට ඩිස්කවරි එකේ Travel Documentary එකක් වගේ. සුපිරි.
    මගෙත් බ්ලොග් ලියවිල්ල සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා. ඒත් මේ සති අන්තෙ එක ලිපියක් ලියන්න තියෙනව අනිවාර්යයෙන්ම. ලිපියක් ලියන්න ආරාධනාවක් ඇවිල්ල තියෙනව.

    ReplyDelete
  2. උදිතට සුබ නව වසරක් වේවා.
    ආසාවෙන් කියපු බ්ලොග් එකක්. නතර කරන්නේ නැතිව ලියන්න.

    ReplyDelete
  3. ලිපිය ඉතා ආශාවෙන් රස වින්දෙමි.

    ඔබට බෙහෙවින්ම ස්තුතිය් !!

    ඉඩ ලැබෙන විදිහට මෙවන් ලිපි අප වෙනුවෙන් ඉදිරියේදීත්, ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  4. Happy new year. digtama liyanna

    ReplyDelete