Friday, May 28, 2010

මොරටුව සරසවියේ ExMO 2010 ප්‍රදර්ශනය

exmo.jpg


ExMO 2010 කියලා කියන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තියෙන අලුත්ම ප්‍රදර්ශනයයි. මේක සංවිධානය කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය විසින්. සෑම වසරකම පාහේ විශ්ව විද්‍යාලය තුල විවිධ ප්‍රදර්ශන පැවැත්වුණත්, ඉංජිනේරු පීඨයට අයිති සියලුම ඉංජිනේරු අංශ එකට එක්වී මෙවර මෙම ප්‍රදර්ශනය ඉතාමත්ම ඉහළින් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබෙන නිසා ExMO 2010 යනු කලකට පසුව මොරටුව විශ්ව විද්‍යාලය තුල පැවැත්වෙන දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය බවට පත් වී තිබෙනවා.


මොරටුව ඉංජිනේරු පීඨය ඉංජිනේරු අංශ 9 කින් සමන්විතයි. ඒවා නම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශය, පරිඝණක විද්‍යා සහ ඉංජිනේරු අංශය, විදුලි ඉංජිනේරු අංශය, යාන්ත්‍රික ඉංජිනේරු අංශය, සිවිල් ඉංජිනේරු අංශය, රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශය, ද්‍රව්‍ය ඉංජිනේරු අංශය, භූ සම්පත් ඉංජිනේරු අංශය සහ පේෂකර්ම ඉංජිනේරු අංශයයි. වර්තමානයේ ඉතා දියුණු තලයක පවතින මෙම ඉංජිනේරු අංශ මගින් රටට සිදු වන්නේ කෙබඳු සේවයක් ද යන්න දැන ගැනීමටත් ඉංජිනේරු සිසුන්ගේ කුසලතා සියැසින් දැක ගැනීමටත් මේ ප්‍රදර්ශනය හරහා ඔබට පුළුවන් වෙනවා. මීට අමතරව තොරතුරු තාක්ෂණ පීඨයත්, වාස්තු විද්‍යා පීඨයත් මේ ප්‍රදර්ශනයට තම සක්‍රීය දායකත්වය දක්වනවා. නිදහස් අධ්‍යාපනය හරහා ඉගෙනුම ලබන ඉංජිනේරු සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල්. එනිසා එම මුදල් වල වටිනාකමට සරිලන අයුරින් රටේ ජනතාවට ඉංජිනේරුවන්ගෙන් ලැබෙන සේවය කුමක්දැයි පෙන්වීමත් මෙම ප්‍රදර්ශනයේ එක් ප්‍රධාන අරමුණක්.


ප්‍රදර්ශනය මහ ජනතාව සඳහා විවෘත වන්නේ 2010 ජුනි මස 11,12 සහ 13 යන දිනයන් වල යි. ජුනි 10 වන දා ත් ප්‍රදර්ශනය පැවැත්වෙන නමුත් එදින ප්‍රදර්ශනය විවෘත වන්නේ පාසල් සිසුන් ට සහ කර්මාන්ත හා තාක්ෂණික අංශයේ නියෝජිතයින්ට පමණයි.


මෙම ExMO 2010 ප්‍රදර්ශනය පාසල් සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එකසේ වැදගත් වන අතර මෙහිදී වත්මන් ලෝකයේ ඇති දියුණු තාක්ෂණික නිර්මාණයන් සහ සංකල්පයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද ඔබට පුළුවන් වෙනවා. විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය තුල පැවැත්වෙන දැවැන්තම විද්‍යා සහ තාක්ෂණික ප්‍රදර්ශනයක් වන මෙය ඔබගේ දැනුම් නිම් වළලු පුළුල් කරන්නක් වනු නොඅනුමානයි.

6 comments:

  1. අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරනව
    අපි www.sriwow.info

    ReplyDelete
  2. ආ අපිත් එනවා :P

    ReplyDelete
  3. එල එල... කට්ටියම එන්න....

    ReplyDelete
  4. ජය වේවා මල්ලියා... මමත් එනවා බලන්න...

    ReplyDelete
  5. එල එල.. ඔහොම යං.
    මොරටුවෙ නම දිගටම අරගෙන යන්න තවත් මොරටුවෙන් බිහි වෙච්ච එකෙක්ගෙන් සුභ පැතුම්!

    ReplyDelete