Saturday, November 3, 2012

ලංකාවෙන් යැංකි රටට - ඉතුරු ටික


මගේ ඇමරිකන් ගමනෙ මුල් කොටස ඔයාල මේ වෙනකොට කියවල ඉවර ඇතිනේ. අද කොටන්නේ අබුඩාබි වල ඉඳන් ගමනේ ඉතුරු කොටසෙ විස්තර. කලින් සෙල්ලිපිය කියවන්න මෙතනින්.
ගියපාර මම කතාව ඉවර කලේ රෑ 10 ට අබුඩාබි වලින් ගොඩ බැහැපු තැනින් නේ. ප්ලේන් එකෙන් එලියට බහිනකොට එලියෙ බස් එකක් නතර කරලා තිබුණා අපිව හුවන් තො‍ටුපොළ ඇතුලට එක්කගෙන යන්න. ඔය බස් එකට නැගපු වෙලේ ඉඳන්ම මම කළේ බෙල්ලෙ එල්ලගෙන හිටපු කැමරාවෙන් වටේම පින්තූර ගහපු එක. කොච්චර ෆොටෝ ගැහුවත් මං ආපු ප්ලේන් එකෙ ෆොටෝ එකක් ගත්තෙ නැත්නම් ඉතින් වැඩක් නැහැනෙ. ඉතින් බස් එකත් තාම පිටත් වුණේ නැති නිසා ප්ලේන් එකේ ෆොටෝ එකකුත් ගැහුවා (ඒ පින්තූරෙ කලින් සෙල්ලිපි සටහනේ දාල තියෙනවා). මෙන්න යකෝ එක පාරටම කොහෙන්ද මන්දා ඉඳල ආපු එකෙක් මගෙ කැමරාව අල්ල ගත්තා. මාත් බැලුවා මොකාද මේ මගෙ කැමරාව අදින්නෙ කියලා. බලද්දි මෙහෙ ආරක්ෂක නිලධාරියෙක්. මිනිහ මගෙ කැමරාවත් අතින් අල්ලගෙන කියනවා ෆොටෝ ගන්න එක තහනම් කියලා. තවත් මොනවදෝ හෑල්ලක් කියෝගෙන ගියා. මම හිතුව ෂුවර් එකටම මේ යකා ෆොටෝ ටික මකන්න කියල කියයි කියල. ඒ වුණාට එයාපෝර්ට් එක ඇතුලට යනකල්ම කැමරාව switch off කරල තියාගන්න පොරොන්දුව පිට යන්තම් කැමරාවයි ෆොටෝ ටිකයි බේරගෙන එන්න පුළුවන් වුණා. ඔන්න ඔහොම තමයි අබුඩාබි එයාපෝර්ට් එක ඇතුලට ආවේ.
අබුඩාබි වලින් මම තවත් ප්ලේන් එකකට මාරු වෙන්න ඕනෑ. ඒ තමයි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් බලා යන KLM ගුවන් සේවයට අයිති KL455 අංකය දරණ යානය. ප්ලේන් එක පිටත් වෙන්නේ පාන්දර 1.00 ට. ඒ වෙනකල් පැය 3ක් තියෙනවා. ඒ අතරෙදි boarding pass එක අරගන්න transfer counter එකට යන්නත් ඕනෙ. මුලින්ම ඒ වැඩේ කරගන්න හිතාගෙන, මං එයාපෝර්ට් එකට ඇතුළු වුණ තැනම හිටපු නිලධාරියෙක්ගෙන් ඇහුවා transfer counter එක තියෙන තැන. බැලුවහම ඒක තියෙන්නෙ හෙන ඩොටේ. පස්සෙ ඒ නිලධාරියා කියපු මග සලකුණුත් බලාගෙනම ගියා එක කවුන්ටරයක් ළඟට. එතනට ගිහින් පාස්පෝර්ට් එකයි ටිකට් එකයි දුන්න ඒකෙ හිටිය ලස්සන ගෑනු ළමයට. එයා මගෙ ටිකට් එක බලල කියනවා මම ඇවිල්ල තියෙන්නෙ වැරදි කවුන්ටරේට. එහා පැත්තෙ එකට යන්න කියලා. මං ඉතින් එයාට පොඩි හිනාවකිනුත් සංග්‍රහ කරල එහෙම ගියා ඊලඟ කවුන්ටරේට. එතන හිටියෙ බොහොම මිත්‍රශීලී ඉන්දියන් ජාතිකයෙක්. එයා බොහොම සුහදව අවශ්‍ය කටයුතු ටික එහෙම කරලා මට කිව්වා තව පැයකින් ඇවිත් boarding pass එක අරගන්න කියලා.
අබුඩාබි ගුවන් තො‍ටුපළ ඇතුලෙ තියෙනවා බොහොම ලස්සන යෝධ බිම්මලක් වගේ නිර්මාණයක්. ඒකෙ ෆොටෝ එකක් ගන්න හිතුණත් එක පාරටම මතක් වුණේ අර ප්ලේන් එකේ ෆොටෝ එක ගන්න ගිහින් වෙච්ච කරදරේ. ඒක නිසා කෝකටත් කියල මං ළඟ හිටපු ආරක්ෂක නිලධාරියෙක්ගෙන් ඇහුවා ඇතුළේ ෆොටෝ ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියල. අපරාදෙ කියන්න බැහැ එයා කිව්වා කැමති තරමක් ගහගන්න කියලා. ඒ පාර ඉතින් මං කලේ වටේම ෆොටෝ ගහපු එක. ඔය අතරෙදි Facebook ගිහින් ගෙදර අයත් එක්ක චැට් එකකුත් දැම්මා. මේ එයාපෝර්ට් එකේ computers තියල තියෙනවා ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න . ඒක නම් හරිම පහසුවක්. ආ... කියන්න ඕනෙ, අපේ ලංකාවෙ එයාපෝර්ට් එකෙත් මේ පහසුකම තියෙනවා.
යෝධ බිම්මල

අන්තර්ජාල පහසුකම සහිත පරිගණක
ගුවන් තො‍ටුපල තුල

ඉතින් වටේ කැරකි කැරකි ෆොටෝ ගහල ඉවර වුණාට පස්සෙ ළඟ තිබුණ පු‍ටුවකින් වාඩි වුණා මහන්සිය අඩු වෙන්නත් එක්ක. පු‍ටුවෙ වාඩි වුණා විතරයි ආවනෙ පොඩි නිදිමතක්. මට ප්ලේන් එකේ එන අතරමගදි නිදාගන්න ලැබුනෙත් නැහැනෙ. ඒ පාර පැයකින් වදින විදිහට එලාම් එකත් තියාගෙන පොඩි නින්දක් දැම්මා.
ඔහොම නිදාගෙන ඉන්නකොට වටේ පිටේ සද්ද වලටම ද මන්දා පොඩ්ඩක් අතරමගදි ඇහැරුණා. නිදි මරගාතෙම බැලුවා වෙලාව, අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවෙන්. "අම්මට සිරි, මර සීන් එක. දැන් මොකද කරන්නෙ..???" ඕක තමයි වෙලාව දැක්කහම මට මුලින්ම හිතිච්ච දේ. වෙලාව 12.40 යි. ෆ්ලයි එක පාන්දර 1.00ට තාම boarding pass එක අරගෙනත් නැහැ. නිදිමත කොහෙන් ගියාද නෑ. දඩිබිඩි ගාල නැගිටල ගලවල පැත්තකින් තියල තිබුණු බෑග් එකත් කරේ එල්ල ගත්තා. ඉස්සරහ පැත්තෙ පු‍ටුවෙ හිටපු එකත් නිකන් පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නව, මූට මොකෝ එක පාරටම වුණේ කියලා. ටිකකින් තමයි මීටරේ වැඩ කරන්න ගත්තෙ. හපොයි, අත් ඔරලෝසුවෙ තියෙන්නෙ ලංකාවෙ වෙලාවනෙ. ෆෝන් එකේ වෙලාව බැලුවා. තාම 11.10 යි. අම්මේ... ඒ වෙලාවෙ හිතට දැනුණු සනීපෙ. ඉතින් ආයෙත් පාරක් බෑග් එක ගලවල පැත්තකින් තියල ෂේප් එකේ පු‍ටුවෙන් වාඩි වෙලා හිටියා 11.30 විතර වෙනකල්. ඉස්සරහ පු‍ටුවෙ ඉන්න එකාත් දැන් සැරෙන් සැරේ මගෙ දිහා පුදුමෙන් වගේ බලනවා. ඌට තේරෙන්නෙ නැති වෙන්න මං උගෙ ෆොටෝ එකකුත් ගත්තා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක.


 11.30ට විතර මං ගියා boarding pass එක අරගන්න. ඔන්න ඉතින් මට කලින් ගිය කවුන්ටරේ මතක නැහැ. කවුන්ටර වල ඉන්නෙත් අලුත් අය. ටිකක් වෙලා බලන් ඉඳල ගිය එක කවුන්ටරයක් ලඟට. ගිහින් දික් කලා පාස්පොර්ට් එකයි ටිකට් එකයි. කවුන්ටරේ හිටපු ගෑනු ලමයා ඒවා අරගෙන ටිකක් එහායින් හිටපු කෙනෙකුට දුන්නා. බලද්දි ඒ තමයි අර මට මුලින් 'කවුන්ටරේ වැරදියි' කියල කියපු ගෑනු ලමයා. අයියෝ, මං ආයෙත් ඇවිත් තියෙන්නෙ වැරදි කවුන්ටරේට නෙ. දැන් මොනව කරන්නද.., අර ගෑණු ළමය හෙන නෝණ්ඩි හිනාවක් එහෙම දාගෙන මගෙ ළඟට ඇවිල්ල කිව්වා "සර්, ඔයා ඉන්නෙ වැරදි කවුන්ටරේ, එහා එකට යන්න" කියලා. පැයක් ඇතුළත දෙපාරක්ම කවුන්ටරේ වරද්ද ගත්තු නිසා ඒ ළමය හිතන්න ඇති මට තදබල අමතක වීමේ ලෙඩක් තියෙනව ඇති කියල. මාත් ඉතින් ආයෙත් පාරක් ඒ ලමයට පොඩි හිනාවක් එහෙම දාල එහා පැත්තෙ කවුන්ටරේට ගිහින් boarding pass එක අරගත්තා.
ඊට පස්සෙ ප්ලේන් එකට නගිනකම් කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නැහැ. 12.30ට විතර ප්ලේන් එකට නැග්ගා. මට හම්බ වුණේ දකුණු පැත්තෙ ජනේලයක් අයිනෙ තිබුණු 31J අංකය දරණ සීට් එක. මේ ප්ලේන් එකේ හිටපු ගුවන් සේවිකාවො ගැනත් කියන්න ඕනෙ. කට්ටියව දැක්කහම මට හිතුනෙ KLM එකේ ගුවන් සේවිකාවක් වෙන්න තියෙන්න ඕනෙ අවම සුදුසුකම වයස අවුරුදු 45 ට වඩා වැඩි වෙන එක කියලා. ප්‍රධාන ගුවන් සේවිකාව විදිහට වැඩ කරපු නෝනට නම් 60ක් වත් වෙන්න ඇති.
ගුවන් සේවිකාවක් 
යානය තුල

ඔය වයසක නෝනලාගෙ පිළිගැනීම මැද්දෙන් මං මගේ සීට් එකට යනකොට මගෙ අසල්වැසියා ඒ වෙනකොටත් වාඩි වෙලා. මිනිහ හයේ හතරෙ හෙන සද්දන්ත පොරක්. මිනිහ වාඩි වෙලා ඉන්නකොට මට මගෙ සීට් එකට යන්න ඉඩ නැති නිසා, මං එනකොටම පොර නැගිටල මට වාඩි වෙන්න ඉඩ දුන්නා. මේ සද්දන්තය ගැනත් විස්තර ටිකක් කියන්න තියෙනවා. ඒ විස්තර ටිකත් එක්කම ගමනෙ ඉතුරු ටික ඊලඟ සෙල්ලිපියෙ කොටන්නම්. එහෙනම් ඉතින් එතකල් ආයුබෝවන්.... ගිහින් එන්නම්.

12 comments:

  1. අනේ අම්මෝ... අල්ලගෙන ගියානම් එහෙම ෆොටෝ ගත්තැයි කියලා. :O

    ඔන්න ඔන්න ඔය නම් අමතක වෙලා නෙවෙයි හිතලමයි යන්න ඇත්තෙ ඒ ගෑණු ලමයා ගවට. :P
    ඒ ගෑණු ලමයත් හිතන්න ඇත්තෙ "මූ නම් මාව බලන්නමද කොහෙද වැරදි කවුන්ටරේටම එන්නෙ කියලා."

    හ්ම්....තව දේවල් වෙලා වගේ....

    ReplyDelete
    Replies
    1. hiks. :D
      කොල්ල රිප්ලයි බටොං එක දාගෙන නේද.

      Delete
  2. ඉතුරු ටික ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්න... :-)

    ReplyDelete
  3. හැම වෙලාවෙම ජනේලයක් සෙට් වෙලානේ :D

    ReplyDelete
    Replies
    1. වටේ පිටේ සිරි නරඹන්න ඕනෙ හින්ද කල් තියාම ජනේල අයිනෙ සීට් බුක් කරගත්තා.

      Delete
    2. ඒකත් හොඳ වැඩේ. කිව්වම එහෙම සෙට් කරල දෙනවද? :)

      Delete
    3. කලින් කතා කරලා සීට් බුක් කරගන්න පුලුවන් මචං..

      Delete
  4. මරු ජනේලෙන් එලිය බලාගෙන යන්ඩ තියෙනවා නම් !

    ReplyDelete
    Replies
    1. ජනේලෙන් එලිය බලාගෙන යන එකත් හොඳ අත්දැකීමක්

      Delete