Monday, November 12, 2012

ලංකාවෙන් යැංකි රටට - ඊලඟ ටික


ඇමරිකා ගමනෙ ඊලඟ ටික තමයි අද කොටන්න හදන්නෙ. ගිය පාර කතාව නතර කලේ අබුඩාබි ගුවන් තො‍ටුපලෙන් ප්ලේන් එකට නැගල හයේ හතරෙ සද්දන්ත මනුස්සයෙක් ලඟින් වාඩිවෙච්ච තැනින් නේ.
අද එතැන ඉඳන් කතන්දරේ....

අබුඩාබි වලින් පිටත් වෙන්න මොහොතකට කලින්...

මට වෙන් කරපු ආසනේ වාඩි වෙලා අසල්වැසි සද්දන්තයා එක්කත් සුහද වචනයක් දෙකක් හුවමාරු කරගත්තට පස්සෙ මම කලේ මගෙ අසල්වැසියා මොන වගේ එකෙක්ද කියල නිරීක්ෂණය කරපු එක. වයස අවුරුදු 50ක් විතර ඇති. පෙනුම නම් පරණ රෙස්ලින් කාරයෙක් ගේ වගේ. ඇඟ පුරාම පච්ච කොටලා. ඔන්න හිටපු ගමන් මේ යෝධයා එහා පැත්තට බෙල්ල හරෝගෙන මහා සද්දෙන් මොනවද කියවන්න ගත්තා. මිනිහ ප්ලේන් එකේ එහා කෙලවරේ ඉන්න තවත් කෙනෙක් එක්ක කතාව. මුලු ප්ලේන් එකටම ඇහෙනව සද්දෙ. වටේ පිටේ ඉන්න අනිත් මිනිස්සුත් බලනවා. ඒත් මූ නෙවේ ගානකටවත් ගත්තේ. බලද්දි මෙයත් එක්ක තව කට්ටිය කීප දෙනෙක්ම ඇවිල්ලා. මිනිහා ඒ හැම එකෙක් එක්කම මහා සද්දෙන් කතාව. හැබැයි මට නම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ. උන් කතා කළේ නිකන් ජර්මන් වගේ බාසාවකින්. මගේ සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියෙත් මගෙ අසල්වැසියගෙ යාලුවෙක්. ඒ යාලුවා ප්ලේන් ඒකෙ යන ගමන් කියවන්න පත්තරයක් අරගෙන ඇවිත්. මෙන්න ඒකා එකපාරටම ඒ පත්තර පි‍ටු වලින් අර සද්දන්තයට ගහන්න පටන් ගත්තා. සද්දන්තයත් තමන්ගෙ පැත්තට එන පත්තර පි‍ටු ටික එකතුකරගෙන අර යාලුවට ගහනවා. පොඩි උන් දෙන්නෙක් වගේ. වටේ ඉන්න අයත් බලාගෙන ඉන්නවා මුන්ගෙ කෝලම් දිහා. කොහොමහරි පත්තර පි‍ටු වලියත් ටිකකින් ඉවර වුණා. ඔය අතරෙදි අරාබි පෙනුමක් තියෙන තරුණ නෝන කෙනෙකුත් ආවා තරමක ලොකු බෑග් එකකුත් එල්ලගෙන. එයා මං හිටපු සීට් පේළිය පහු කලා විතරයි මට එහා පැත්තෙ හිටපු සද්දන්තයා එක පාරටම කැගැහුවා. මාත් බැලුවා ඒ පාර මොකෝ කියලා. බලද්දි අර නෝන එල්ලගෙන හිටපු බෑග් එක අර සද්දන්තයගේ අතේ තිබුණ පරණ තුවාලෙක වැදිලා ඒක පෑරිලා. මිනිහා තුවාලෙත් අල්ලගෙන පොඩි එකෙක් වගේ කෙඳිරි ගානවා. ඒ අස්සෙ අර නෝනා දිහාත් බලනවා. අනේ ඒ වුණාට ඒ නෝනා සිද්ද වෙච්ච කිසිම දෙයක් දන්නෙ නැහැ. එයා ගිහින් මට පිටිපස්සෙන් තිබුණු සීට් එකේ වාඩි වුණා. පව් අර අහිංසක සද්දන්තයත් ටික වෙලාවක් කෙඳිරි ගගා ඉඳලා හෙමින්ම සීට් එකේ ටිකක් ඇලවුණා.

ඔන්න ඔය සිද්ධි අතරේ හරියටම පාන්දර 1.00 ට මං හිටපු KL455 අංකය දරණ ප්ලේන් එක අබුඩාබි ගුවන් තො‍ටුපලෙන් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර බලා පිටත් වුණා. ප්ලේන් එක උඩට නග්ගල ටික වෙලාවක් යද්දි මට හිතුණා පොඩි නින්දක් දැම්මොත් හොඳයි කියලා. මොකද පැය හතක්ම යන්න තියෙනවනේ. ඉතින් මං සීට් එකත් පොඩ්ඩක් ඇල කරගෙන එහෙම චුට්ටක් නිදා ගන්න ලෑස්ති වුණා. මෙන්න එක පාරටම හීනියට ගඳක් එනවා.... මීයෙක් කුණු වුනහම එන ගඳ වගේ. එහා පැත්තෙ ඉන්න එකත් ෂුවර් නැති පොරක් නෙ. මං ෂේප් එකේ උගෙ දිහාත් බැලුවා. ඌටත් ගඳ ඇවිත් වගේ නහයත් පොඩි කරගෙන වටපිට බලනවා. කොහොමහරි අපි දෙන්නටම හිතගන්න බැහැ කොහෙන්ද ගඳ එන්නෙ කියලා. ඒ මදිවට ටික ටික ගඳ වැඩි වෙනවා. දැන්නම් නහය ඇරගෙන ඉන්න ටිකක් අමාරුයිත් වගේ. කොහොමහරි අමාරුවෙන් බෙල්ල හරෝල බැලුවා පිටිපස්සෙ සීට් එක දිහාත්. අහු වුණා වැඩේ..... අර අහිංසක සද්දන්තයගෙ අතේ බෑග් එකත් වද්දගෙන ගිහින් මට පිටිපස්සෙ සීට් එකේ වාඩි වුණු නෝන නෙ මේ මුලු ප්ලේන් එකම ගඳ ගස්සවන්නේ. ඒ ගෑනු මනුස්සයා සපත්තු දෙක ගලෝගෙන මේස් දෙක පිටින් හොඳට කකුල් දෙකත් දිගෑරගෙන සැපට නිදි. මං හිතන්නෙ එයා ඒ මේස් දෙක ගත්තු දවසෙ ඉඳන්ම හෝදල නැද්ද කොහෙද.. දැන් ඉතින් වටේ ඉන්න අනිත් කට්ටිය නිදාගෙන ඉවරයි. කට්ටිය නාස් අකුලගෙන එක එක්කෙනාගෙ මූනු දිහා බලාගන්නවා. ඔන්න ඔය අතරේ ප්ලේන් එකේ A/C එක පොඩ්ඩක් වැඩි වුණා. අර ගන්දස්සාරෙ අස්සෙම කට්ටිය තමන් ළඟ තිබිච්ච බ්ලැන්කට් පොරවගන්නත් පටන් ගත්තා. ඔන්න එක පාරටම අර ගඳ අඩු වේගන ගිහින් නැති වෙලාම ගියා. මං හැරිල බලද්දි හීතල වැඩිකමටද මන්දා අර නෝනා සපත්තු දෙක ආපහු දාගෙන.

'හම්මේ... ඇති යන්තම් දැන්වත් ටිකක් නිදාගන්න පුලුවන්' කියල හිතාගෙන මාත් හරි බරි ගැහිලා නිදාගන්න ලෑස්ති වුණා. ඔන්න එතකොටම ගුවන් සේවිකාවක් එනවා බොන්න ජාති ගොඩක් තියෙන ට්‍රොලියකුත් තල්ලු කරගෙන. මං අරගත්තා orange juice එකක්. අර සද්දන්තයා අර ගත්තා beer එකක්. මං orange juice එක ඉක්මනට බීල පොඩ්ඩක් ඇහැ පියාගත්ත විතරයි මහා සද්දයක් ඇහිලා උඩගිහින් ඇහැරුණා. බලනකොට beer වලට සෙම ඇවිස්සිලද කොහෙද අර මනුස්සයා මහා සද්දෙන් කහිනවා. මං හිතුව ටික වෙලාවකින් හරියයි කියලා, ඒත් නවතින්නෙම නැහැ. මට නිදාගන්නත් නැහැ. මේ යකා කහින ගමනුත් beer එක බොනවා. අන්තිමට ගුවන් සේවිකාවක් ඇවිත් මෙයාට මොකද්ද පොඩි tablet එකක් දුන්නා බොන්න කියලා. ඒක බිව්වට පස්සෙ තමයි එයාගෙ කැස්ස නතර වුණේ. කොහොමහරි මේ වෙනකොට මගෙ නිදිමත ගිහින්. මගෙ විතරක් නෙවෙයි වටේ නිදාගෙන හිටපු ගොඩක් කට්ටියගෙත් නිදිමත ගිහින් අරයගෙ කැස්සෙ සද්දෙට. නිදිමතත් ඇරිල නිසා මං Personal Entertainment System එක දාගත්තා චිත්‍රපටියක්වත් බලන්න හිතාගෙන. චිත්‍රපටි නම් ලිස්ට් එක බැලුවහම Men in Black 3 තියෙනවා. ඉතින් ඒ film එකත් දාගෙන සීට් එකට හේත්තුවකුත් දාගෙන හිටියා. ඔය අතරෙ ප්ලේන් එකේ ලයිට් ඔක්කොම ඩිම් කලා කට්ටියට නිදාගන්න. කොහෙ නිදා ගන්නද.. අර සද්දන්තයා අපි කට්ටියගෙම නිදිමත නැති කලානෙ. හැබැයි දැන් ඌට නිදිමත හැදිලා. මිනිහා සීට් එකත් හොඳටම ඇල කරගෙන බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න ලෑස්තිය. හැබැයි මිනිහට පොඩි ප්‍රශ්නයක්, ඌට කකුල් දෙක දිගෑරගන්න ඉඩ නැහැ. දැන් මේ මිනිහට මල පැනලා උගෙ බාසාවෙන් බැනගෙන බැනගෙන යනවා. මට නම් මෙලෝහසරක් තෙරෙන්නෙ නැහැ. මං හිතන්නෙ ප්ලේන් එක හදපු එකාගෙ අම්මව එහෙමත් හොඳට මතක් කරන්න ඇති. ඌ මගෙ මූණ දිහා බලාගෙනත් බනිනවා, හරියට ප්ලේන් එකේ සීට් හයි කරල තියෙන්නෙ මං වගේ. මට ඌ කියන එක ඇහෙන්නෙ නිකන් "ශක්ෂ් පුෂ් බක්ස් ඉෂ්ටෝර්...." කියනව වගේ. ඌ දෙතුන් පාරක් ම මා දිහා බලාගෙන ඒ හරුපෙ කිව්වා. ඌ ඒක කියවන හැටි අහගෙන ඉන්න එකත් හෙන ආතල්. මාත් ඉතින් මොකක් හරි කියන්න එපැයි. ඒ පාර මං හොඳ හිනාවක් එහෙම දාල බොහෝම හෙමින් පැහැදිලි සිංහලෙන්ම කිව්ව "අනේ උඹ මොන මගුලක් කියවනවද කියල මට තේරෙන්නෙ නැහැ බං.." කියල. ඔන්න ඔය සිංහලේ ඇහුණ විතරයි අපරාදෙ කියන්න බැහැ මිනිහ නිකං මඤ්ඤං වෙලා ගියා විතරක් නෙවෙයි අර අම්ම මෝ නැතුව කියවන එකත් නතර කලා. ඊට පස්සෙ මිනිහ කළේ උගෙ අර තඩි කකුල් දෙක එලියට දාපු එක. දැන් ප්ලේන් එක ඇතුලෙ ඇවිදින්න තියෙන පාර එහෙම්පිටින්ම බ්ලොක් වෙලා මුගෙ කකුල් දෙක හින්දා. එතකොට ගුවන් සේවිකාවකුත් ආවා ප්ලේන් එකේ පිටිපස්සට යන්න. දැන් එයාටත් යන්න විදිහක් නැහැ පාර බ්ලොක් වෙලානේ. ඉතින් එයා අර මනුස්සයට කිව්වා කකුල් දෙක ඇතුලට ගන්න කියලා. අම්මට සිරි... සුද්ද ආයෙත් පරල වුණා. මිනිහ ආයෙත් කියෝගෙන කියෝගෙන යන්න පටන් ගත්තා. අන්තිමට ඔය කියවිල්ල නතර වුණේ අර අසරණ ගුවන් සේවිකාව අර මනුස්සයගෙ කකුල් දෙක උඩින් පැනල යන්න ගියාට පස්සෙයි.
ගුවන් ගමන් මාර්ගය

යානයේ වේගය, ගමනාන්තයට දුර, භූමියේ සිට උස සහ පිටත උෂ්ණත්වය

ඔහොම පැයක් විතර ගියාට පස්සෙ මිනිහ ආපහු කකුල් දෙක ඇතුලට ගත්තා. එතකොට තමයි මිනිහ දැක්කෙ මං Personal Entertainment System එක දාගෙන ඉන්නවා. ඒ පාර මිනිහටත් ඕනෙ වුණා එයාගෙ system එක දාගන්න. ඉතින් එයා remote controller එක එහෙම අතට අරගෙන ලෑස්ති වෙනවත් මං බලාගෙන. මේ ප්ලේන් එකේ තිබුණෙ ටිකක් පරණ Entertainment System එකක්. ඉතින් ටිකක් හෙමින් වැඩ කරන්නෙ. button එකක් එබුවහම ටික වෙලාවක් යනවා ඒ අදාල වැඩේ වෙන්න. හැබැයි අර සද්දන්තයටනම් කිසිම ඉවසිල්ලක් නැහැ. මිනිහ කරන්නේ එක button එකක් ඔබල ඒ එක්කම තව එකක් ඔබන එක. ඉතින් ඔන්න ඔය වැඩේ හින්ද මිනිහගෙ system එක වැඩ කරන්නෙ නැහැ. මිනිහ නිකන් key board එකේ type කරනවා වාගෙ තියෙන ඔක්කොම ඔබාගෙන ඔබාගෙන යනවා. ඔය remote controller එකේ button එකක් තියෙනවා තමන්ගෙ සීට් එකට ඉහලින් තියෙන ලයිට් එක on කරන්න. කොහොමහරි අර තියෙන buttons ඔක්කොම ඔබාගෙන ගිහින් අර මනුස්සය කරගත්තෙ system එක දාගත්තු එක නෙවෙයි. අර ලයිට් එක පත්තු කරගත්තු එක. දැන් මිනිහට ඒක නිවාගන්න බැහැ. තියෙන buttons ඔක්කොම ඔබගෙන ගියා ආපහු පාරක්, හරියන්නෙ නැහැ. මිනිහට ආයෙත් පාරක් මල පැන්නා. ඩෝං ගාල ගැහුවා remote controller එක සීට් එකේ ඇන්දෙ... තව දෙපාරක් ඔය විදිහට ගැහුවනම් අනිවා remote controller එක කුඩු වෙනවා. ඊට කලින් මං මිනිහගෙන් ඒක අරගෙන ලයිට් එක off කරල දුන්නා. මිනිහ මට thank you කියල එහෙම අනිත් පැත්ත හැරිල ආයෙත් නිදාගත්තා. මාත් ආපහු film එක බලන්න පටන් ගත්තා. film එක බලන අතරෙදි ගමන් මහන්සිය හින්දම පොඩ්ඩක් ඇහැ පියවේගන එනකොටම ඔන්න ආයෙත් අර මනුස්සය beer එක බීල කහින්න පටන් ගත්තා. ඉතින් අන්තිමට නෙදර්ලන්තෙට එනකල්ම මට නිදාගන්න බැරි වුනානෙ මේ සද්දන්තයගෙ කැස්ස නිසා. මොනව කරන්නද... මාත් ප්ලේන් එකේදි දෙන තරමක් කෑම බීම කකා බිබී ඇහැරගෙනම ආවා. කොහොමගරි නෙදර්ලන්තෙට එනකලුත් මට හරිහමන් නින්දක් නැහැ.
ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තො‍ටුපල

ඔන්න ඔහොම පැය 7ක් තිස්සෙ ගිහින් ගිහින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් නුවර ෂිපොල් ගුවන් තො‍ටුපලට ගොඩබැස්සා. මෙතනින් තමයි ඇමරිකාවට යන ප්ලේන් එකට නගින්නෙ. ඉතින් මේ ගමන් විස්තරේ අන්තිම ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්.....!!!

16 comments:

  1. අපොයි...මෙහෙම හිනස්සන්න එපා අනේ."ශක්ෂ් පුෂ් බක්ස් ඉෂ්ටෝර්...." මෙන්න මෙක නිසා මගෙ හිනාව පැන්නා.තව පොඩ්ඩෙන් මගෙ ඉස්සරහ ඉන්න සර් නෑවෙනවා තේ වලින්.

    ඔයා තඩියට සිංහලෙන් කතා කරපු හැටි කියෙව්වාම මට මතක් වුනේ මච්ං ෆිල්ම් එක.. ;)

    මටනම් ඔය මොකා කෑගැහුවත් නිදිමත තියෙනවානම් නිදා ගත හැකි.බස් වලදි මං කරන්නෙ හෑන්ඩ්ස් ෆ්‍රී එක ගහගෙන නියමෙට නිදියනවා.

    උඩම ෆොටෝ එකේ ඔයාගෙ මුනත් වැදිලා ඔන්න. :)))

    තව දේවල් වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. මූණ නම් මට හොය ගන්න බැරි වුණා. අත් දෙකයි කැමරාවයි නම් පේනවා.

      තව ඇබැද්දි ටිකකුත් වුණා. ඒ ටික ඊලඟ පෝස්ට් එකේ.

      Delete
  2. අඩේ පිටත සෑහෙන කූල් පාටයි නේ. උෂ්ණත්වය තියෙන්නේ සෘණ ගණන්වල

    ReplyDelete
    Replies
    1. සමහරවෙලාවට මීටත් වඩා අඩු වෙනවා

      Delete
  3. අහස් යන්තරාවේ ගමන නම් පුදුම වදයක් අප්පා...

    ඔය වගේ අසල්-මගියෙක් සැට් වුණොත් තුණ්සරණේම සරණයි...

    මක් කරනන්නද පයින් යන්ටයෑ..

    ඉක්මනට මෙයාලා මේ ටෙලිපෝටේෂන් සිස්ටම් එක සොයාගන්නේ නැහැනේ - එතකල් දුක තමා

    ReplyDelete
    Replies
    1. කතාව නම් සහතික ඇත්ත තිස්ස අයියේ.. Flights දෙකේදිම නිදාගන්න බැරි වුණා නේ.

      නියම වචනයක් කියල තියෙන්නේ "අසල්මගියා". මං මේ ඒකට ගැලපෙන තනි වචනයක් හිතාගන්න බැරුව තමයි 'අසල්වැසියා' කියල ලිව්වේ.

      Delete
  4. හප්පේ. මාරම ලෙඩ ගොඩක් තමයි වෙලා තියෙන්නෙ. :(

    ReplyDelete
  5. ගාල්ලේ උන්දෑ කෙනෙක් මේ වයින් හරි හොඳයි.. කියලා වීදුරු දෙකක් හිස්කලා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. වීදුරු නෙවෙයි බාල්දි දෙකක් හිස් කලත් කමක් නෑ මචෝ කහින්නෙ නැත්නම්.....

      Delete
  6. මාත් අහම්බෙන් මේ පැත්තට ආවා ඔන්න . දැන් ඉතින් දිගටම එනවා

    ReplyDelete
    Replies
    1. අමතක නොකර දිගටම එන්නෝ.........

      Delete
  7. අපෝ... මාර වාතයක් වෙලානේ අර තඩියා.........

    අදයි මේ පැත්තට ආවේ.... නිවී හැනහිල්ලේ බලන්න ඕනි මේකේ පරණ කොටස් ටික...

    ReplyDelete
  8. අද තමයි හා හා පුරා කියලා සෙල්ලිපිය බැලුවේ.ලංකාවෙන් යැන්කි රටට ගිය විස්තරය නම් හරිම අපූරුයි.අපිට ඉතිං තවම පිට රටකට යන්න අවස්තාව ලැබිලා නැති නිසා මේ විස්තරය බැලුවාම හිතින් හරි යන්න පුලුවනි නේ.දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete