Monday, October 13, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

ඇමරිකාවෙන් පිටත් වෙලා මෙක්සිකෝ සිටි ගුවන් තො‍ටුපළෙන් ගොඩ බහිනකල් විස්තර ටික කලින් ලිපියෙ විස්තර කලා නෙ. 
 
කලින් ලිපියට යන්න මෙතනින්.
 
ඔන්න එහෙනම් එතන ඉඳන් ගමනෙ ඉතුරු විස්තර ටික තමයි දැන් කියන්න හදන්නේ. ගුවන් තො‍ටුපළට ප්ලේන් එක ගොඩබස්සන විදිහයි 'මෙක්සිකෝ සිටි' උඩ ඉඳන් බලනකොට පේන හැටියි මම video කලත් ගිය පාර ලිපියට ඒක ඇතුලත් කරන්න බැරි වුණා. ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන්නෙ ඒ video clip එක.


කොල බල්බ් එක පත්තු වුණ නිසා වැඩි කරදරයක් නැතුව එලියට ආපු මං ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක එයාගෙ කාර් එකේ අපි නවාතැන් ගන්න ඉන්න හෝටලේ බලා යන ගමන පටන් ගත්තා. 

  "අප්පට සිරි... ලංකාව වගේමයි නෙ.." ගුවන් තො‍ටුපළේ ඉඳන් ප්‍රධාන පාරට වාහනේ හරවපු මොහොතෙම හිතට ආපු මුල්ම දේ තමයි ඒ...

  ඒ වෙනකොට අවුරුද්දක් විතර ඇමරිකාවෙ ගත කරල හිටපු මට මෙක්සිකෝව හරහා ආයෙත් පාරක් සුපුරුදු ලාංකික අත්දැකීම් ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකාවෙදි නිකමටවත් වාහනයක නලා ශබ්දයක් ඇහුනෙ නැති වුණාට මොකද මෙක්සිකෝ සිටි වලදි නම් ඒකෙ අනෙක් පැත්ත. හරියට පිටකො‍ටුව වගේ. ඒ විතරක් නෙවෙයි පොඩි ඉඩක් අහු වෙච්ච ගමන් අස්සෙන් අස්සෙන් රිංගල යන මෝටර් බයික් රියදුරොත් ඕනෙ තරම්. 
පාර දෙපැත්තෙම පදික වේදිකා වල පොඩි පොඩි කඩ අටව ගත්තු වෙලෙන්දො ගොඩයි. තම්බපු බඩ ඉරිඟු, රටකජු, කඩල, අයිස් ක්‍රීම් වගේ දේවල් තමයි මේ කඩ වල විකුණන්නෙ. ඒ අතරෙ සෙල්ෆෝන් විකුණන වෙළෙන්දොත් හිටියා. මේ අතරෙ තැනින් තැන සිඟමන් ඉල්ලන කට්ටියත් හිටියා. ඒ වගේම තදබදය නිසා හරි මාර්ග සංඥා වලට හරි වාහනය නතර කරපු ගමන් කෑම ජාති පුරවගත්තු ලෑලි තට්‍ටුවකුත් එක්ක ළඟට දුවගෙන එන වෙළෙන්දොත් මදි නොකියන්න ඉන්නවා. මේ අතරෙම ඉන්නවා ලංකාවේ නගරබද පාරවල් වලදි දකින්න නැති කණ්ඩායමකුත්. ඒ තමයි වීදි සර්කස් කරුවෝ...
  මේ ගොල්ලො වැඩිපුරම ඉන්නෙ traffic lights ළඟ. රතු එලියට වාහන නතර කරපු ගමන්ම  මෙයාල කරන්නෙ පාර මැදට ඇවිත් ගින්දර පන්දම් තුනක් උඩ දම දමා කරකවන ගමන් සෙල්ලම් පෙන්නන එක.  සාමාන්‍යයෙන් මේ එක සර්කස් කණ්ඩායමක සාමාජිකයින් හතර දෙනෙක් විතර ඉන්නවා. දෙන්නෙක් සෙල්ලම් පෙන්නනකොට අනිත් දෙන්නා වාහනයක් වාහනයක් ගානෙ ගිහින් සල්ලි එකතු කරනවා. මේ සර්කස් පෙන්නිල්ලත් සල්ලි එකතු කිරිල්ලත් බොහොම ඉක්මනට ඉවර වෙනවා, මොකද කොල එලිය වැ‍ටුණ ගමන් වාහන වලට යන්න ඉඩ දෙන්න ඕනෙ නිසා.
 
වාහනේ පාරට දාල ටික වෙලාවකින් මගේ මිත්‍රයා, ෆ්‍රැන්සිස්කෝ මගෙන් අහපු මුල්ම ප්‍රශ්නෙ තමයි "කොහොමද මෙක්සිකෝව... හිතට ඇල්ලුව ද?" කියන එක. දෙපාරක් හිතන්නෙ නැතුවම මම කිව්ව "හොඳටම හිතට අල්ලල තියෙන්නෙ, හරියට ලංකාව වගේමයි..." කියල. මිනිහටත් හෙන සතු‍ටුයි. ඊටපස්සෙ මිනිහ කියනව සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ඉඳන් මෙක්සිකෝවට එන ගොඩක් දෙනාට මෙහෙ රටාව අල්ලන්නෙ නැහැලු, හැබැයි මම මෙහෙට කැමති වෙච්ච එක එයා ගොඩක් අගය කරනවලු කියලා. ඇත්තටම කිව්වොත් වටපිටේ තියෙන ගොඩනැඟිලි වල ස්වරූපය වගේම තද අවු රශ්මියත් නිසා මෙක්සිකෝව ලංකාව වගේ කියන හැඟීම තවත් වැඩි වුණා. මේ වෙනකොට නම් අපේ ඔ‍ෆිස් එකේ කට්ටිය මේ රට ගැන මගේ හිතේ කලින් මවල තිබුණු බියකරු චිත්‍රෙ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලයි තිබුණෙ.
 
'මෙක්සිකෝ සිටි' ගැන පොඩි විස්තරයක් කරනවනම් මේක මෙක්සිකෝවෙ අගනුවර වගේම ලෝකයේ තියෙන ජනාකීර්ණම නගර වලින් එකක්. මිලියන 20 ක විතර ජනතාවක් මේ අති විශාල නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම මේ නගරය තමයි රටේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. හැබැයි අවාසනාවකට වගේ මේ නගරයේ වායු දූෂණය නම් ඉතාම ඉහලයි. නිතරම තුනී මීදුම් පටලයක් වගේ දුම් වලාවකින් නගරය වැහිලා තමයි තියෙන්නෙ. මේ නිසාම වායු දූෂණයේ බරපතල බව මිනිස්සුන්ට දැනුම් දෙන්න මේ නගරය වර්ණ සංඥා ක්‍රමයක් පාවිච්චි කරනවා. නගරයේ පාලනාධිකරය දිනපතාම වාතය පරීක්ෂාවට ලක් කරලා මේ වර්ණ සංඥාව නිකුත් කරනවා. කොල පාට සංඥාව නිකුත් වුණොත් විතරයි නගරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ. කහ පාට සංඥාව නිකුත් වුණොත් එහෙම එදාට ඉස්කෝල අනිවාර්යයෙන්ම නිවාඩු. අත්‍යාවශ්‍ය නොවන සේවා සපයන රාජ්‍ය ආයතනත් වහනව ලු. මිනිස්සුන්ටත් කියනවලු පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියලා. බැරි වෙලාවත් සංඥාව රතු පාට වුණොත් නම් තත්වෙ හොඳටම භයානකයි. ඒ වෙලාවට රෝහල්, ආරක්ෂක අංශ වගේ අත්‍යාවශ්‍ය ආයතන ඇරෙන්න මුළු නගරෙම ඔක්කොම කටයුතු නතර කරනව කියලයි ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ. වාතය විතරක් නෙවෙයි භූගත ජලයත් මේ වෙනකොට හොඳටම දූෂණය වෙලාලු තියෙන්නෙ. ඒක නිසා නගරෙ ජීවත් වෙන අය බොන්නෙ බෝතල් කරපු වතුර විතරලු. ඇමරිකාවෙන් පිටත් වෙනකොට මට හම්බ වෙච්ච උපදේශෙකුත් මේ වෙලාවෙ මතක් වුණා. ඒ තමයි මෙක්සිකෝවෙදි කිසිම වෙලාවක බෝතල් කරපු වතුර ඇරෙන්න වෙන කිසිම විදිහක වතුර බොන්න එපා කියන එක.

'මෙක්සිකෝ සිටි' නගරයේ පාරක්

වාහනේ යන ගමන් ගත්තෙ...

නගරයෙන් එලියට යන අතරමගදි...

'මෙක්සිකෝ සිටි' වලින් ටිකක් එලියට යනකොට මට පෙණුනු දෙයක් තමයි නගරය පිහිටල තියෙන්නේ පහත් බිමක බව. වටේම කඳු වලින් වට වෙලා. මේ පිහිටීම නිසා මට හිතුණෙ වැහි කාලෙට නගරය ගංවතුරට යට වෙන්න පුළුවන් කියලයි. ෆ්‍රැන්සිස්කෝ ජීවත් වෙන්නෙත් මෙක්සිකෝ සිටි වලම නිසා මම මේ ගැන එයාගෙන් ඇහුවා. අන්න එතකොට තමයි එයා මට මේ නගරෙ 'උප්පත්ති කතාව' කියන්න පටන් ගත්තෙ. මෙන්න මේකයි කතාව...
 
මායා (Mayan) සහ ඇස්ටෙක් (Aztec) කියල කියන්නෙ බොහොම ඉස්සර කාලෙ මෙක්සිකෝවෙ තිබුණ ඉතා දියුණු ශිෂ්ටාචාර දෙකක්. මේ ශිෂ්ටාචාර දෙකෙන් ඇස්ටෙක් ගෝත්‍රිකයො තමයි 'මෙක්සිකෝ සිටි' කියල අද හඳුන්වන නගරය ගොඩනඟන්න මුල් වෙලා තියෙන්නෙ. බොහොම ඉස්සර කාලෙ මේ ගෝත්‍රිකයො තමුන්ගෙ ප්‍රධාන නගරය ගොඩනඟන්න තැනක් හොය හොය තැනින් තැනට සංක්‍රමණය වෙලා තියෙනවා. මෙන්න මේ අතරෙදි දවසක මේ ගෝත්‍රිකයො අදහපු එයාලගෙ ප්‍රධාන දෙවියො මෙයාලට කියල තියෙනවා ' සර්පයෙක්ව ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලියෙක්ව දකිනකල් ගමන් කරන්න. එහෙම දෙයක් දැක්කහම අන්න ඒ තැන ප්‍රධාන නගරෙ ගොඩනඟන්න' කියලා. ඉතින් ඔහොම යනකොට මේ ඇස්ටෙක් වරු දැකල තියෙනවා ලොකු විලක් මැද්දෙ තියෙන පොඩි දූපතක වැවිල තිබුණු පතොක් ගහක් උඩ සර්පයෙක් ඩැහැගත්තු රාජාලියෙක් වහල ඉන්නවා. දෙවියො කියපු විදිහට එතන තමයි දැන් නගරෙ ගොඩනඟන්න වෙන්නෙ.  ඉතින් ඇස්ටෙක් වරු මේ පුංචි දූපත මූලික කරගෙන අර විල උඩ තමුන්ගෙ නගරෙ ගොඩනඟල තියෙනවා. 
ඉස්සරම මේ නගරෙ තිබිල තියෙන්නෙ හරියටම අද 'වැනීසිය' තියෙනව වගේ වතුරෙන් වට වෙලා. ගමනාගමනයට හුඟක් වෙලාවට ඔරු තමයි භාවිතා කරල තියෙන්නෙත්. පසුකාලීනව ටික ටික මේ විල ගොඩ වෙලා අද තියෙන 'මෙක්සිකෝ සිටි' බවට පත් වෙලා තියෙනවා. දැන් නම් විලක් තියා පොඩි වතුර වලක් වත් පේන්න නැහැ. හැබැයි තෙත් බිමක ගොඩනඟපු නිසා තාමත් මේ නගරයේ පොළව එච්චර ශක්තිමත් නැහැල්ලු. සමහර ගොඩනැඟිලි තාමත් හිටපු ගමන් ගිලාබහින්න පටන් ගන්නවලු.


නගරය වටා පිහිටි කඳු වලල්ලෙන් කොටසක්... 

මං ඔය උඩින් කියපු කතාව පදනම් කරගෙන තමයි අද මෙක්සිකෝවෙ රාජ්‍ය ලාංඡනය නිර්මාණය වෙලා තියෙන්නෙත්. මෙහේ ජාතික කොඩියෙ මැද්දෙත් රාජ්‍ය ලාංඡනය දකින්න පුලුවන්. සර්පයෙක් ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලි රූපයක් තමයි මෙහේ රාජ්‍ය ලාංඡනය.


මෙක්සිකෝ ජාතික කොඩිය (උපුටා ගැනීම Wikipedia)

කාලෙත් එක්කම බොහොම දියුණුවට පත්වුණු මේ 'මෙක්සිකෝ සිටි' නගරෙ 1968 දි ඔලිම්පික් ක්‍රීඩා උත්සවයත් පවත්වලා තියෙනවා. ඊට අමතරව 1985 දි දරුණු භූමිකම්පාවකින් මේ නගරෙට බොහොම දැඩි හානි සිද්ධ වුණත් ඉතාම ඉක්මනට නගරය ආපහු පිළිසකර කරලා 1986 දි  FIFA පාපන්දු තරඟාවලියත් පවත්වලා තියෙනවා. භූමිකම්පා ගැන කිව්වොත් මෙක්සිකෝව කියන්නෙ නිතරම භූමිකම්පා සිද්ධ වෙන රටක්. අවුරුද්දකට සාමාන්‍යයෙන් භූමිකම්පා 2ක් 3ක් වෙනවමයි කියල ෆ්‍රැන්සිස්කෝ කිව්වා. මම එන්න ටික දවසකට කලිනුත් තරමක චලනයක් සිද්ධ වුණා ලු.
 
ෆ්‍රැන්සිස්කෝ කියන මේ කතා අහගෙන ඉන්න අතරෙ අපි නගරෙන් එලියටත් ආවා. මෙහේ මාර්ග පද්ධතිය සෑහෙන්න දියුණුයි. අධිවේගී මාර්ග එහෙමත් තියෙනවා. ලංකාවෙදි වගේම මේ අධිවේගී මාර්ග වලට ඇතුළු වෙනකොට යම් මුදලකුත් ගෙවන්න ඕනෙ. අපිත් මේ අධිවේගී මාර්ගෙකින් තමයි නගරෙන් එලියට ආවෙ. මෙක්සිකෝ සිටි වල ඉඳන් දකුණු පැත්තට වෙන්න තිබුණු කඳු වැටියක් හරහා වැ‍ටුණු පාරක් තමයි අපේ ගමන් මාර්ගය. ටිකෙන් ටික කන්ද දිගේ ඉහලට යනකොට මට මතක් වුනේ අපේ උඩරට ප්‍රදේශය. පරිසරයේ බොහොම ලොකු සමානකමක් තිබුණේ.


කඳුකරය හරහා දකුණු දෙසට...




හෝටලයට යන්න ගතවුණු පැය හතරක විතර කාලයෙදි තව ගොඩක් දේවල් ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඒ විස්තරයි තවත් දැකපු කරපු දේවලුයි ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. 

ඔයාලගෙ අදහස් උදහස් සහ මේ රට ගැන ඔයාල තව දන්න දේවල් පහළින් comment කරලම යන්න. ඊළඟ සෙල්ලිපියෙන් හමු වෙමු....!!!

8 comments:

  1. VERY INTERESTING. THANK YOU

    ReplyDelete
  2. මම එක පාරටම දැක්කෙ අර වෑන් එකක් තියෙන ෆොටෝ එක. අහන්නත් හැදුවෙ ලංකාවෙ ෆොටෝ එකක්ද කියල.

    ReplyDelete
    Replies
    1. මෙක්සිකෝවෙ ගොඩක් දේවල් ලංකාවෙ වගේ තමයි මචං...

      Delete
  3. bohoma lassana vistharayak

    ReplyDelete
  4. මම මෙක්සිකෝව ගැන වැඩිපුර දැන ගත්තේ "Banged Up Abroad" කියන NGC ප්‍රෝග්‍රෑම් එකෙන්. ඒක බැලුවට පස්සේ නම් මෙක්සිකෝව ගැන ඇති වෙන්නේ පුදුම තරහක්. ඇයි ඔවුන් සංචාරකයන්ව මේ තරම් පීඩාවට පත් කරන්නේ කියලා. ඒ වගේම කුඩු ප්‍රවාහනය හා නිෂ්පාදනය. ඒ වුනත් ඔවුන් ලෝකෙට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලබා දෙන රටක්. ඉතාම ආසාවෙන් ලිපිය කියෙව්වා. අනිත් කොටසත් මේ වගේ විස්තර ඇතුව දාන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි comment එකට...

      මෙක්සිකෝවෙ දි සංචාරකයන්ට සමහර වෙලාවට යම් යම් පීඩා කිරීම් ඇති වෙනව කියල මමත් අහල තියෙනවා. ඒ නිසාම තමයි මටත් ඇමරිකාවෙදි ආරක්ෂාව ගැන ගොඩක් උපදෙස් ලැබුණෙ. හැබැයි අනෙක් අතට මෙක්සිකෝව කියන්නෙ ඇමරිකා මහාද්වීපයේ දෙවෙනියට වැඩිම සංචාරක ආකර්ශණයක් තියෙන රට. (දැන් සිද්ධ වෙන දේවල් බැලුවහම මට නම් පෞද්ගලිකව හිතෙන්නෙ ලංකාවෙදි සංචාරකයින්ට වෙන අතවර ප්‍රමාණය මෙක්සිකෝවෙදි වෙන ප්‍රමාණයට වඩා වැඩියි කියලයි.)

      මත් කුඩු ගැන කියද්දි නම් ඒ ප්‍රශ්නෙ මෙච්චර ඔඩු දුවන තත්වෙට එන්න මෙක්සිකෝව වගේම ඇමරිකාවත් වග කියන්න ඕනෙ. ඒක නම් වෙනම ලිපියක් ලියන්න තරම් දිග කතාවක්. දැනටත් මෙක්සිකෝව හරහා මරිජුවානා ඇමරිකාවට ප්‍රවාහනය වෙන්නෙ ඇමරිකාව තුළ මත් ද්‍රව්‍ය වලට ලොකු ඉල්ලුමක් තියෙන නිසා සහ ඇමරිකානු රජය ඒවා වළක්වන්න අවශ්‍ය තරම් පියවර අරගෙන නැති නිසා. ඇමරිකාවෙදි සිගරට් එකක් ගන්න ID එක පෙන්නන්න ඕනෙ වුණත් කිසි වයස් භේදයක් නැතුව මරිජුවානා නම් ඕනෙ කෙනෙකුට පිටිපස්සෙ දොරෙන් අරගන්න පුළුවන්.

      Delete