Thursday, October 30, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4

මෙක්සිකෝ චාරිකාවෙ හතර වෙනි කොටස කොටන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නෙ
මුල් කොටස් තුන කියවන්න බැරි වුණා නම් පහළ තියෙන සබැඳි වලින් යන්න පුළුවන්.
තුන් වෙනි ලිපියෙන් පොරොන්දු වුණානෙ ගිනි කන්ද ගැන විස්තර ලියනවා කියල මේ ලිපියෙ. ඔන්න එහෙනම් ඉතින් කතන්දරේ ගිනි කන්දෙන් ම පටන් ගන්නම්කෝ. විස්තර කියන්න කලින් ෆොටෝ එකක් පෙන්නල ඉන්නම්. ඔය පහළ පින්තූර වල තියෙන්නෙ ගිනි කන්ද මං නතර වෙලා හිටපු හෝටලේට පේන හැටි.

උදේ 7.00 ට විතර ගත්තු ෆොටෝ එකක්

zoom කරල ගත්තෙ
මේ ගිනි කන්ද හඳුන්වන්නෙ 'පොපොකැතෙපෙත්ල්' (Popocatépetl) කියලා. කියවන්න ගියහම පොඩ්ඩක් විතර දිවත් පැටලෙනවා. ඉස්සර මෙක්සිකෝවෙ ජීවත් වුණු ඇස්ටෙක් ගෝත්‍රිකයො කතා කරපු 'නහ්වාත්ල්' (Nahuatl) කියන භාෂාවෙන් තමයි ඔය නම දාල තියෙන්නෙ. මේක මළ භාෂාවක් වුණත් මෙක්සිකෝවෙ ගොඩක් ස්ථාන තාමත් හඳුවන්නෙ ඒ භාෂාවෙන් යොදපු නම් වලින්. පොපොකැතෙපෙත්ල් කියන එකේ තේරුම 'දුම් දමන කන්ද' කියන එකයි. මේ කන්ද එක්ක බැඳුණු ලස්සන පුරාවෘත්තයකුත් ෆ්‍රැන්සිස්කෝ මහත්තයා මට කියල දුන්නා. ඒ කතාවත් තව ටිකකින් කියන්නම්. ඊට කලින් කන්දෙ විස්තර ටිකක් කියන්නම්කෝ.
පුඑබ්ලා, මෙක්සිකෝ, මොරේලොස් කියන ප්‍රාන්ත තුනටම මැදි වෙලා තමයි මේ ගිනි කන්ද පිහිටලා තියෙන්නෙ. මෙක්සිකෝවෙ තියෙන දෙවෙනියට උසම කන්දත් මේකයි. කොහොමද සයිස් එක..? අන්තර්ජාලෙ තියෙන විදිහට මීටර 5400 ක් විතර උසයි. පොලොවෙ ඉඳන් කිලෝමීටර පහමාරක් විතර උසට තියෙන කන්දක් ගැන හිතල බලන්නකෝ... මෙක්සිකෝව කියන්නෙ ගිනිකඳු බහුල රටක්. මේ රටේ තියෙන ගිනිකඳු වලින් මේ වෙනකොට සක්‍රීයම ගිනි කන්දත් මේකයි. ඉහළ තියෙන පින්තූර බැලුවොත් කඳු මුදුනෙන් දුම් පිට වෙන විදිහ බලා ගන්නත් ඔයාලට පුළුවන් වෙයි.
ස්පාඤ්ඤ ජාතිකයින් මෙක්සිකෝව අල්ලගත්තට පස්සෙ ඉඳන් මේ වෙනකල් මේ ගිනි කන්ද පහළොස් පාරක් පුපුරලා තියෙනවා. අන්තිමටම පුපුරල තියෙන්නෙ 2013 අවුරුද්දෙ. සක්‍රීයතාවයෙන් අඩු කාල වලට සංචාරකයින්ට ගිනි කන්ද තරණය කරන්න අවසර දීල තිබුණත් මේ වෙනකොට නම් ආපහු තහනම් කරල තියෙන්නෙ. ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ කන්දෙ සක්‍රීයතාවය ආපහු ටිකක් විතර වැඩි වෙලා කියල.
මේ ගිනි කන්ද ළඟම තවත් ගිනි කන්දක් තියෙනවා. හැබැයි ඒක නම් අවුරුදු දහස් ගණනකට කලින් පුපුරල ඉවර වුණු මළ ගිනි කන්දක්. ඒකෙ නම 'ඉස්තසිහ්වාත්ල්' (Iztaccíhuatl). නම කියවනකොටම හිතාගන්න පුළුවන්නෙ මොන භාෂාවෙන්ද නම දාල තියෙන්නෙ කියලා. 'සුදු පාට කාන්තාව' කියන එක තමයි නමේ තේරුම. මේ කන්ද මෙක්සිකෝවෙ තුන්වෙනියට උසම කන්ද විදිහටත් සැලකෙනවා. මං අර පස්සෙ කියනව කියල කියපු පුරාවෘත්තයට මේ කන්දත් සම්බන්ධයි. ඒක නිසා තමයි මේ කන්ද ගැන සඳහන් කරනකල් කතාව කියන එක පහු කලේ. එහෙනම් ඔන්න කතාව අහගන්න...

බොහොම ඉස්සර හිටපු ඇස්ටෙක් අධිරාජ්‍යයෙකුගේ එකම දියණිය තමයි 'ඉස්තසිහ්වාත්ල්' කියල කියන්නෙ. මේ කුමරිය බොහොම ලස්සනයි ලු. ඒ වගේම 'පොපොකැතෙපෙත්ල්' කියල කියන්නෙ අර අධිරාජ්‍යයා යටතේ සේවය කරපු දක්ෂම සහ කඩවසම්ම සෙන්පතියා. ඉතින් කාලයක් යද්දි මේ කුමාරිකාවයි සෙන්පතියයි එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔහොම කාලයක් යනකොට අධිරාජ්‍යයා අර සෙන්පතියාව යුද්ධයට පිටත් කරල යවල තියෙනවා. හැබැයි ඒ එක්කම ඔහුට පොරොන්දුවකුත් දීල තියෙනවා යුද්ධෙ දිනලා ආවොත් කුමරියව සරණ පාවා දෙනවා කියලා. ඉතින් සෙන්පතියාත් බොහොම සතුටෙන් යුද්ධ කරන්න පිටත් වුණාලු. මාස ගාණක සටනකින් පස්සෙ කොහොමහරි යුද්ධෙ දිනාගන්නත් පොපොකැතෙපෙත්ල් සෙන්පතියට හැකි වෙලා තියෙනවා.
ඒත් මේ වෙනකොට කුමරියට ආරංචි වෙලා තිබුණෙ යුද්ධෙ දිනුවත් සෙන්පතියා මිය ගිහින් කියලා. මේ වැරදි ආරංචිය කුමාරියට ලැබෙන විදිහ දෙයාකාරයකට තමයි ජනකතා දෙකක සඳහන් වෙන්නෙ. එක කතාවක කියන්නෙ තමුන්ගෙ දුවව සෙන්පතියට බන්දල දෙන්න අකමැති වුණු අධිරාජයා දුවට මේ බොරු ආරංචිය කිව්ව කියල. අනෙක් කතාවෙ සඳහන් වෙන්නෙ මේ සෙන්පතියගෙ දක්ෂතා වලට ඉරිසියා කරපු අනෙක් සෙන්පතිවරු බොරු ආරංචියක් රජ වාසලට එව්ව කියල. කොහොමින් කොහොම හරි මේ ආරංචිය නිසා කුමාරිකාව දුකෙන් නොකා නොබී ඉඳලා මිය යනවා. අන්තිමේදි ජයග්‍රාහීව ආපහු එන පොපොකැතෙපෙත්ල් සෙන්පතියට දකින්න ලැබෙන්නෙ කුමරියගෙ මළ සිරුර.
බොහොම ශෝකයට පත් වෙන සෙන්පතියා ඉස්තසිහ්වාත්ල් කුමරියගෙ සිරුරත් ඔසවාගෙන තමුන්ගෙ සෙබළුත් එක්ක බොහොම ඈතට ඇවිදගෙන ගිහින් උස්බිමකට ළඟා වෙනවා. තමුන්ගෙ සෙබළුන් ලවා ඔන්න ඔය උස්බිමේ පීඨිකාවක් හදවන සෙන්පතියා කුමරියගෙ සිරුර ඒ පීඨිකාවෙ තැන්පත් කරනවා. ඊට පස්සෙ ඔහු දල්වපු පන්දමකුත් අතින් දරාගෙන කුමරියට තනි රකිනවා. මේ සිද්ධිය දකින දෙවියෝ කරන්නෙ මේ දෙන්නවම කඳු දෙකක් බවට පරිවර්තනය කරන එක.
තාමත් සැරෙන් සැරේ පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද පුපුරල යන්නෙ නිදාගෙන ඉන්න ඉස්තසිහ්වාත්ල් ගිනිකන්දට ආලෝකය සපයන්නත් තමුන්ගෙ ශෝකය පිට කරන්නත් කියල තමයි කතාවෙ අන්තිමට සඳහන් වෙන්නෙ.
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් අඩු වෙලාවක ගත්තෙ... දකුණෙන් තියෙන්නෙ ඉස්තසිහ්වාත්ල් 
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් වැඩි වෙලාවක ගත්තෙ... ගහ අස්සෙන් ඉස්තසිහ්වාත්ල් පේනවා
කඳු මුදුන් දෙකම වලාකුළු වලින් වැහිලා
පුරාවෘත්තයේ සිතුවමක්.. ඇඳල තිබුණෙ town center එක ඇතුළෙ
ගිනි කන්දෙ කතන්දරෙන් පස්සෙ මම කියන්න යන්නෙ මෙක්සිකෝවෙදි මට මූණ දෙන්න සිද්ධ වුණු මූලිකම ප්‍රශ්නය ගැන. ඒ තමයි භාෂා ප්‍රශ්නය. මම මේ ලිපි පෙළේ පළමුවෙනි ලිපියෙම ලියල තියෙනව මෙක්සිකානුවන්ගෙන් අති මහත් බහුතරයකටම ස්පාඤ්ඤ භාෂාව ඇරෙන්න වෙන කිසිම භාෂාවක් කතා කරන්න බැහැ කියලා. ඒ නිසාම සන්නිවේදන කටයුතු නම් සම්පූර්ණයෙන්ම වාගෙ කෙරුණෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා හරහා. කොච්චර දැන උගත් කෙනෙක් වුණත් 'good morning', 'thank you' වගේ ඉංග්‍රීසි වචනවත් අහල නැති අය ඉන්නවා. ඒකට හේතුව තමයි ඇමරිකා මහාද්වීපයේ භාවිතා වෙන ප්‍රධානම භාෂාව ස්පාඤ්ඤ වීම. මේ මහාද්වීපයේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි කතා කරන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල විතරයි. ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් 14% ක් විතර ජනගහනයක් කතා කරන්නෙ ස්පාඤ්ඤ භාෂාව. කැනඩාවත් සම්පූර්ණ ඉංග්‍රීසි රටක් නෙවෙයි. එහේ මුළු ජනගහනයෙන් 30% ක් විතර කතා කරන්නෙ ප්‍රංශ භාෂාව. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලත් කතා කරන්නෙ ඉංග්‍රීසියි ප්‍රංශයි මිශ්‍ර වෙච්ච ඉංග්‍රීසි වල උප භාෂාවක්. අනෙක් හැම රටකම වගේ කතා කරන්නෙ ස්පාඤ්ඤ. ඔහොම බැලුවහම ඇමරිකා මහාද්වීපෙ ඉංග්‍රීසි කියල කියන්නෙ ස්පාඤ්ඤ වලට සාපේක්ෂව සුළු භාෂාවක්. ආහ්.. භාෂා ගැන කියනකොට සඳහන් කරන්න ඕනෙ තව විශේෂ රටක් තියෙනවා. ඒ තමා බ්‍රසීලය. පෘතුගීසි භාෂාව කතා කරන ඇමරිකා මහාද්වීපයේ තියෙන එකම රට තමයි බ්‍රසීලය.

හරි.. ආපහු මෙක්සිකෝවට එමුකෝ. මෙක්සිකානුවන් ඉංග්‍රීසි නොදන්න නිසාම සමහර වෙලාවට විදේශීය පෙනුමක් තියෙන මිනිස්සු එක්ක කතා කරන්න ටිකක් මැලි කමක් දක්වනවා. හැබැයි වැඩේ කියන්නෙ මේ මිනිස්සු මාත් එක්ක කතා කරන්න කිසිම මැලි කමක් දැක්වුවෙ නෑ. කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතාවට බහිනවා. කොටින්ම මම නතර වුණු හෝටලේ පිළිගැනීමේ නිලධාරිනියත් මුල්ම දවසෙ සට පට සට පට ගාල මොනවද කියල තමයි මාව පිළිගත්තෙ. ඔය වෙලාවට ඉතින් පිහිටට හිටියෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා තමයි. 

කට්ටිය මාත් එක්ක හෝ ගාල කතාකරන්නෙ ඇයි කියල පස්සෙ වෙලාවක එයා මට පැහැදිලි කරල දුන්නා. හේතුව තමයි දකුණු ආසියාතිකයින්ගෙ සහ මෙක්සිකෝවෙ දකුණු ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගෙ පෙනුමෙ තියෙන සමානකම. මෙක්සිකෝවෙ උතුරට වෙන්න ඉන්න අය සාමාන්‍යයෙන් ස්වදේශික ඇමරිකානුවන්ගෙ පෙනුම ගත්තට පහළට වෙන්න ඉන්න අය නම් දකුණු ආසියාතිකයින්ට ගොඩක් දුරට සමානයි. 'පුඑබ්ලා' කියන්නෙ ටිකක් විතර දකුණට වෙන්න තියෙන පැත්තක් නිසා මෙහෙත් අර ආසියාතික පෙනුම තියෙන අය ටිකක් ඉන්නවා. ඒක නිසා තමයි කට්ටිය මාත් එක්ක කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතා කරන්න පටන් අරගෙන තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ පෙනුමම තියෙන මෙක්සිකන් අය කීප දෙනෙකුත් මට මේ ගමනෙදි දකින්න පුළුවන් වුණා.

ෆ්‍රැන්සිස්කෝ මහත්තයා මගේ භාෂා පරිවර්තකයා විදිහට වැඩ කරනකොට මගේ හිතට ආපු මුල්ම ප්‍රශ්නෙ තමයි මෙහේ ඉස්කෝලෙකදිවත් ඉංග්‍රීසි උගන්වපු නැති පරිසරයකදි එයා කොහොමද ඉංග්‍රීසි ඉගෙනගත්තෙ කියන එක. ටික දවසක් යනකල් ඉඳල මම ඔය ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා. බලද්දි එයාට ඉංග්‍රීසි උගන්නල තියෙන්නෙ එයාගෙ තාත්තා. ඉස්සරම තාත්තා ගෙදරදි ඉංග්‍රීසියෙන් කතා කරලත් තියෙනවලු ළමයින්ට උගන්නන්න ඕනෙ හින්දම. ලස්සනම කතාව ෆ්‍රැන්සිස්කෝ ගෙ තාත්තා ඉංග්‍රීසි ඉගෙන ගත්තු විදිහයි.

තාත්තා තරුණ කාලෙදි මෙක්සිකෝවෙ කිසිම විදිහකින් ඉංග්‍රීසි උගන්නල නැහැ. හැබැයි එයාට තේරිලා තියෙනවා ඉස්සරහට කවදහරි කාලෙකදි ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙයි කියලා. හරිහමන් ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක්වත් හොයාගන්න තිබිල නැති ඒ කාලෙදි එයා කරල තියෙන්නෙ පුළුවන් හැම වෙලාවකදිම ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. ගොඩක් ම බලල තියෙන්නෙ ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච 'ටාසන්' චිත්‍රපටි. මුලින්ම ස්පාඤ්ඤ උපසි‍රැසිත් එක්ක බලල ඊළඟට උපසි‍රැසි නැතුව බලනවලු. ඒ කාලෙ තිබිල තියෙන්නෙ VHS කැසට් නිසා දෙතුන් පාර රිවයින්ඩ් කර කර බලල තියෙනවලු සමහර වචන උච්ඡාරණය කරන හැටි හරියටම අල්ල ගන්න. VHS කැසට් වල තියෙන උපසි‍රැසි  on & off කරන්න බැරි හින්ද උපසි‍රැසි නැතුව බලන්න ඕනෙ වෙලාවට එයා TV එකේ උපසි‍රැසි පේන හරියට කලු පාට පටියක් අලවනවලු. ඔන්න ඔහොම තමයි තාත්තා ඉංග්‍රීසි ඉගෙනගෙන ෆ්‍රැන්සිස්කෝටත් උගන්නල තියෙන්නෙ. ඒ කතාව ඇහුවහම මට නම් ඒ තාත්තා ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. කොහොමහරි දැන් නම් මෙහේ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන්න පටන් අරගෙනලු තියෙන්නෙ.

ඔහොම භාෂාව ගැන සාකච්ඡාව කෙරීගෙන යන අතරෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා ලංකාවෙ මිනිස්සු තාමත් සිංහල කතා කරන එක ගැන බොහොම ඉහළින් වර්ණනා කළා. ජාතීන් තුනකට යටත් වෙලා ඉඳලත් අපි අපේ සංස්කෘතියයි, ආගමයි, භාෂාවයි ආරක්ෂා කරගෙන ඉඳිද්දී මෙක්සිකෝවෙ සංස්කෘතිය, ආගම, භාෂාව ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච එක ගැන එතුමා කතා කළේ තරමක හිතේ අමාරුවෙන්දෝ කියලත් මට හිතුණා.
ඇත්තටම ස්පාඤ්ඤ ජාතිකයින්  මෙක්සිකෝව යටත් කරගන්නකල්ම මේ රටේ මිනිස්සු කතා කරපු භාෂාව සහ අදහපු ආගම අවුරුදු 300 ක් යනකොට සම්පූර්ණයෙන්ම ස්පාඤ්ඤ භාෂාව සහ ක‍තෝලික දහමට මාරු වුණා. 
ස්පාඤ්ඤ භාෂාවෙ සමහර වචන තියෙනවා සිංහල වචන වලට සමාන. 'කමිස, සපත්තු, පාන්, තේ' වගේ වචන භාෂා දෙකටම පොදුයි. ඇත්තටම පෘතුගීසි සහ ඕලන්ද භාෂා වලින් සිංහලයට සහ ස්පාඤ්ඤ බසට වුණු බලපෑම නිසා තමයි මෙහෙම පොදු වචන දකින්න පුළුවන් වෙන්නෙ.
මෙක්සිකෝවෙ ටික දවසක් ඉන්නකොට මටත් හිතුණා ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තොත් හොඳයි කියලා. ඒකට මූලික අඩිතාලම දැම්මෙ ෆ්‍රැන්සිස්කෝයි අපිත් එක්ක වැඩ කරපු තවත් සගයෙක් වුණු ඔමර් ඔර්ටේගා මහත්තයයි. ඔමර් තමයි මට හෝඩිය කියල දුන්නෙ. 
වමේ ඉඳන්- ෆ්‍රැන්සිස්කෝ, මම, ඔමර්
මෙක්සිකෝවෙ වැඩ ඉවර වෙලා ඇමරිකාවට ආවට පස්සෙත් මම ඉගෙනගන්න එක නතර කළේ නැහැ. තාමත් පුළුවන් විදිහට තනියම ඉගෙනගන්නවා. යන්තම් වාක්‍යයක් දෙකක් ගැටගහගන්න පුළුවන් මේ වෙනකොට... කොහොමත් ඇමරිකාව ඇතුළෙ වුණත් projects වලට ගියහම අපේ යටතෙ වැඩකරන්න සෙට් වෙන සාමාන්‍ය කම්කරුවො බහුතරයක්ම මෙක්සිකෝවෙන් ආපු අය. බොහොම අහිංසක මිනිස්සු. ඉංග්‍රීසි කතා කරන්න බැහැ ගොඩක් දෙනෙකුට. ස්පාඤ්ඤ විතරයි පුළුවන්. එහෙම බැලුවහම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන තියෙන එක අපේ ‍රැකියාව පැත්තෙනුත් බොහොම වැදගත්.

තව කියන්න විස්තර නම් බොහොමයක් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත් පෝස්ට් එක ඕනෑවට වඩා දිග වෙනවා. එහෙනම් අදට මෙතනින් සෙල්ලිපිය කොටන එක නතර කරන්නම්. ඊළඟ ලිපියෙන් ඉක්මනටම හම්බ වෙමු..!!!

10 comments:

  1. පැන්සිස්කෝ මහත්තයා දන්න එකක්යැ අපි මොන ජාතියටද දැං යටත් කියලා.. ඊළග එකත් සෙල්ලිපියක්ම වේවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ජාතියකට විතරක් නම් මදෑ.. පවුලකටත් යටත් වෙලානෙ ඉන්නෙ දැන්.. :D

      Delete
  2. නියම කතා ටිකක්. මේ ගමන නම් හරිම වටිනවා කියලයි මට හිතෙන්නෙ. උඹට ගොඩක් අලුත් දේවල් දැනගන්න ලැබිල තියෙන එක හරහා අපිත් ගොඩක් දේවල් දැනගත්ත.
    එල.

    ReplyDelete
    Replies
    1. මෙක්සිකෝව කියන්නෙ මම හරිම ආස කරන රටක් මචං. ආපහු යන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා යනවා. ගොඩක් බලන්න දේවල් තියෙනවා. ඊළඟට යන්න කැමතිම රටවල් වලින් එකක් තමයි බ්‍රසීලය.

      Delete
  3. //තව කියන්න විස්තර නම් බොහොමයක් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත් පෝස්ට් එක ඕනෑවට වඩා දිග වෙනවා. එහෙනම් අදට මෙතනින් සෙල්ලිපිය කොටන එක නතර කරන්නම්. ඊළඟ ලිපියෙන් ඉක්මනටම හම්බ වෙමු..!!!//

    අර ගෙදර ෆ්‍රයිඩ් රයිස් හද හද ඉන්න කෙනාට කියහන් ලියන්න කියල. මේක කල් දාන්න ඕන ලිපියක් නෙමේ.

    අර ෆ්‍රැන්සිස්කෝගෙ තාත්ත බොහොම අගයකලයුතු කෙනෙක්.

    //ෆ්‍රැන්සිස්කෝ මහත්තයා මගේ භාෂා පරිවර්තකයා විදිහට වැඩ කරනකොට මගේ හිතට ආපු මුල්ම ප්‍රශ්නෙ තමයි මෙහේ ඉස්කෝලෙකදිවත් ඉංග්‍රීසි උගන්වපු නැති පරිසරයකදි එයා කොහොමද ඉංග්‍රීසි ඉගෙනගත්තෙ කියන එක//

    නොක්ස්ගෙ පොත කියවත්දි මටත් ආපු ප්‍රශ්ණෙ, නොක්ස් ඩබල ත්‍රිකුනාමලේට ගොඩ බැස්සට පස්සෙ කොහොමද රජාගෙ දිසාවෙ මේ ඉන්ග්‍රීසිකාරයො එක්ක කතා කලේ කියල ඒ කාලෙදි!

    ReplyDelete
    Replies
    1. ගෙදර ෆ්‍රයිඩ් රයිස් හදන කෙනා හෙනම කම්මලියි ඔය ලියන කරන වැඩ වලට. පාට පාට කඩදාසි රෝල් කරන වැඩ නම් කරයි දවස පුරාම... :) අනික ඉතින් එයා මෙක්සිකෝ ගිහින් නැති නිසා මටම තමයි ලියන්න වෙන්නෙ ඉතුරු ටිකත්.

      ෆ්‍රැන්සිස්කෝ ගෙ තාත්තා නම් ඇත්තටම අගය කල යුතු කෙනෙක්. ඒ වගේම හොඳට ඉගෙනගත්තු පුද්ගලයෙක්. එයා වැඩ කරල තියෙන්නෙ මෙක්සිකෝ ඛනිජ තෙල් සංස්ථාවෙ රසායනඥයෙක් විදිහට.

      දිසාවෙයි නොක්ස් කාරයයි දෙන්නටම ඕලන්ද බාසාව කත කරන්න පුළුවන් වෙලා හිටියද දන්නෙ නැහැ.

      Delete
  4. ෆ්‍රයිඩ් රයිස් හදන කෙනාව ආයෙමත් ලිවීමට එක්ක එන්න මමත් උත්සාහ කලා වැඩක් නෑ. සෑහෙන්න කම්මැලි වෙලා...මල් වලට පෙති හදන එක ඊට වඩා ආශාවෙන් කොරන්නෙ.

    අර තාත්තා කොච්චර හොඳ අනාගත දැක්මක් තියෙන කෙනෙක්ද කියලා හිතුනා...ඔය පෘතුගීසි / ලන්දේසි වචන මැලේ භාෂාවෙත් තියෙනවා...ඒවා ඉතිං දැන් අපට දැනෙන්නෙ අපේ වගේම තමයි. ලෝකයම එක තනි ජාතියක් යටත් කරගත්තා නම් අතීතයෙදි අද අපිට ලෝකය පුරාම හැමෝ එක්කම එකම භාෂාවකින් කථා කරන්න තිබුනා නේද...ස්පාඥ්ඥ භාෂාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්න ලැබේවා !...ෆ්‍රයිඩ් රයිස් හදන කෙනාට තමන් ඉගෙනගත්ත දේ කියා දීමෙන් තව තවත් ධාරණය වේවි.

    ReplyDelete
  5. mexico gena yamak denagaththa,Mexican food Hriyata sarai kiyalanam dannawa,Thankyou.(Ranjan-Düsseldorf)

    ReplyDelete