Sunday, November 16, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5

මෙක්සිකෝ චාරිකාවෙ පස් වෙනි කොටස කොටන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා මේ කොටස කොටල ඉවර කරන්න ටිකක් විතර පරක්කු වුණා.

මෙක්සිකෝවෙ නතර වෙලා හිටපු කාලෙ මට දකින්න ලැබුණු එක උත්සවයක් තමයි මලවුන් සැමරීමේ උත්සවය.මේ උත්සවය හැබැයි නොවැම්බර් 1 වෙනිදට පවත්වන ප්‍රධාන උත්සවය නෙවෙයි. මම හිතන්නෙ මේක ප්‍රාදේශීයව පැවැත්වෙන පොඩි සැමරීමක්. එදාට කට්ටියම එකතු වෙලා නගරෙ වටේ පෙරහැරක් ගිහින් අන්තිමට පෙරහැරින්ම පල්ලිය ඇතුලට යනවා. ඒ එක්කම පිළිමයකුත් වඩම්මවනවා. ජේසුස් වහන්සෙගෙ හරි මරිය මව්තුමියගෙ හරි පිළිමයක්. හරියටම මතක නැහැ දැන්. පිටිපස්සෙන් මිනිස්සු මල් එහෙමත් අරගෙන එනවා. ඒ විතරක් නෙවෙයි පපරෙ බෑන්ඩ් එකකුත් පෙරහැරත් එක්කම ගමන් කරනවා. ලංකාවෙ පෙරහැරවල් වල වගේ කස කාරයො නැති වුණත් පෙරහැර එන බව දැනුම් දෙන්න ඉස්සරහින් යන කෙනෙක් අහස් කූරු පත්තු කරනවා. මේ අහස් කූරු හැබැයි ගොඩක් උඩ යන්නෙ නැහැ. පොළොවෙ ඉඳන් අඩි 15ක් 20ක් උඩට ගිහින් මහ සද්දෙන් පුපුරල යනවා.
මේ පෙරහැරේ ගමන් කරන ඊළඟ කණ්ඩායම තමයි මලවුන් විදිහට ඇඳගත්තු කට්ටිය. හුඟක් වෙලාවට කලු සහ සුදු වර්ණ වලින් මූණ පින්තාරු කරගෙන වර්ණවත් ඇඳුම් ඇඳගෙන අර කලින් කියපු පපරෙ බෑන්ඩ් එකේ තාලෙට නටන ගමන් තමයි මේ අය පෙරහැරේ ගමන් කරන්නෙ. පෙරහැර පටන් ගන්න කලින් මෙහෙම වෙස් මාරු කරගත්තු කාන්තවක් එක්ක එකට ෆොටෝ එකක් අරගන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක. 



මම නතර වෙලා හිටපු මේ 'ඇට්ලික්ස්කෝ' කියන නගරය දේශීය සංචාරකයින්ගෙ ආකර්ශනයක් බවට පත් වෙලා තිබුණු බවක් තමයි පේන්න තිබුණෙ. ඒ හේතුව නිසාම පාර දෙපැත්තෙ පොඩි පොඩි කඩ වල අත්කම් සහ විසිතුරු භාණ්ඩ ගොඩක් විකුණන්න තියල තිබුණා. ඒවා නම් බොහොම ලස්සන නිර්මාණ. මෙක්සිකානු ජාතිකයො ස්වභාවයෙන්ම වර්ණ වලට බොහොම කැමති ජාතියක්. නිතරම වර්ණවත් ඇඳුම් අඳින්න එහෙමත් හරි කැමතියි. කඩයක් ඇතුලට ගියත් එකකට එකක් වෙනස් පාට වලින් තමයි පු‍ටු මේස පාට කරල තියෙන්නෙ. බිත්ති හතරත් සමහර වෙලාවට පාට හතරක්. ඔය විදිහටම අර කුඩා විසිතුරු භාණ්ඩත් බොහොම ලස්සනට වර්ණ ගන්වලයි තියෙන්නෙ.




මේ නගරය සංචාරක ආකර්ශනයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළමුවෙනි එක ගිනිකන්ද. දෙවෙනි එක සැන් මිගෙල්(San Miguel) කියන කන්ද. තුන් වෙනි එක තමයි මල්. ඔය හේතු තුනෙන් මුල් හේතුව වෙච්චි ගිනිකන්ද ගැන නම් දැන් කට්ටිය විස්තර දන්නවනෙ. ඒක නිසා ඉතුරු හේතු දෙක ගැන විස්තර කියන්නම්.

එහෙනම් සැන් මිගෙල් කන්දෙන් පටන් ගමුකෝ. සැන් මිගෙල් කියල කියන්නෙ තනිව පිහිටල තියෙන තරමක උස කඳු ගැටයක්. මේ කන්ද පාමුල කන්ද මැදි කරගෙන තමයි ඇට්ලික්ස්කෝ නගරය පිහිටල තියෙන්නෙ. සංචාරකයෝ වැඩිපුරම එන්නෙ මේ කන්ද තරණය කරන්න විතරක්ම නෙවෙයි කන්ද මුදුනෙම පිහිටල තියෙන පැරණි පූජකාරාමය නරඹන්නත් එක්කයි. ඒක 16 වෙනි සියවසේදි ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ගොඩනඟපු ආරාමයක්. දැන් නම් ආරාමය සංචාරක ආකර්ශනයක් විදිහට පවත්වගෙන යනවා. මේ කඳු මුදුනට නැග්ගහම ඇට්ලික්ස්කෝ සහ අවට ප්‍රදේශය බොහොම ලස්සනට නරඹන්න පුළුවන්. අවට සිරි නරඹන්න පහසු වෙන විදිහට හදල තියෙන පුංචි නැරඹුම් ස්ථානයකුත් ආරාමෙට ටිකක් පහළින් තියෙනවා. ඒ වගේම කන්ද මුදුනටම නැග්ගහම ගිනිකඳු දෙකම හරිම ලස්සනට බලාගන්නත් පුළුවන්.

ගිනිකඳු දෙක මැද්දෙන් තියෙන්නෙ සැන් මිගෙල් කන්ද
කන්ද නගින පාර පටන් ගන්නෙ මෙතනින්
කන්ද බාගයක් විතර නගිද්දි ඇට්ලික්ස්කෝ නගරය පේන හැටි
නැරඹුම් ස්ථානය
නැරඹුම් ස්ථානයට ආරාමය පේන හැටි
කඳු මුදුනට නගින අතරමඟදි දකින්න ලැබුණු තරමක තැනිතලා ඉඩමක අඩි 50 ක් 60 ක් විතර උස කණුවක් හිටවලා තියෙනව මට දකින්න ලැබුණා. ඒක කොටස් පුරුද්දල හදපු කණුවකුත් නෙවෙයි, තනි ගහක කඳකින් හදපු එකක්. මේ කණුවෙ යම්කිසි විශේෂත්වයක් පේන්න තිබුණ නිසා මං ෆ්‍රැන්සිස්කෝගෙන් ඇහුවා ඒ මොකද්ද කියල. ඔන්න එතකොට එයා මට ඒ කණුව ගැන විස්තර කියල දෙන්න පටන් ගත්තා.
බොහොම ඉස්සර ඉඳන් තාමත් පවත්වගෙන යන පැරණි මෙක්සිකානු චාරිත්‍රයකට එහෙමත් නැත්නම් පූජා කර්මයකට අයිති අංගයක් තමයි ඒ කණුව. ඒ පූජා කර්මය හඳුන්වන්නෙ Danza de los Voladores කියන නමින්. ඒකෙ තේරුම 'පියාඹන නර්තනය' කියන එකයි. මේ චාරිත්‍රය ඇත්තටම ඉෂ්ට කරන්නෙ නර්තනයක් ආකාරයට නිසයි ඒ නම ලැබිල තියෙන්නෙ. ඔය කණුව උඩ බොහොම පොඩි චතුරස්‍රාකාර අට්ටාලයක් හදල තියෙනවා. අට්ටලෙ පැති හතරට දිග කඹ හතරකුත් ගැට ගහල තියෙනවා.
නර්තනය ඉදිරිපත් කරන්න ශිල්පියෝ පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාම මුලින්ම කරන්නෙ අර පොඩි අට්ටලෙ උඩට නගින එක. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ කට්ටිය කණුව මුදුනට නගින්නෙ කිසිම ආරක්ෂක පටියක්වත් පාවිච්චි කරන්නෙ නැතුව. කට්ටියම උඩට ගියාට පස්සෙ හතර දෙනෙක් අර අට්ටලෙ පැති හතරෙ බැඳල තියෙන කඹ තමුන්ගෙ ඇඟේ බැඳගෙන අට්ටලෙන් පහළට පැනලා අහසෙ පැද්දි පැද්දි නටන්න පටන් ගන්නවා. පස් වෙනියා අට්ටාලෙ මුදුනෙ ඉඳගෙන නටන්න පටන් ගන්නවා.
දැඩි නියං කාලයකදි දෙවියන්ව සතු‍ටු කරලා වැස්ස ඉල්ලා හිටින චාරිත්‍රයක් විදිහට තමයි මේ නැ‍ටුම ඉස්සර පවත්වලා තියෙන්නෙ.

ඔය නැ‍ටුම ඇස් දෙකෙන් දැක්කෙ නැති වුණත් අර උසම උස කණුව දිහා බලාගෙන ෆ්‍රැන්සිස්කෝ ගෙ විස්තරේට කන් දීගෙන ඉන්නකොට ඇඟ හිරි වැටිල වගේ ගියා. 
මට ඔය කණුවෙ ෆොටෝ එකක් නම් අරගන්න බැරිවුණා. ඒත් පහළ තියෙන අන්තර්ජාලයෙන් උපුටගත්තු පින්තූර දිහා බැලුවහම ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයි මේක කොච්චර භයානක නර්තනයක්ද කියලා.

නැ‍ටුම පටන්ගන්න මොහොතකට කලින්
නැ‍ටුම අතරමඟදී
කන්ද නගින පාරෙ තැනින් තැන පොඩි ළමයි ඉන්නවා පොඩි පොඩි කෑම ජාතියි වතුර බෝතලුයි විකුණන්න බලාගෙන. බැලූ බැල්මටම කියන්න පුළුවන් බොහොම දුප්පත් අය කියලා. මං හිතන්නෙ ඉස්කෝලෙ යන්නෙත් නැතුව ඇති සමහරවිට. තෙල් නිෂ්පාදනය කරන රටක් වුණත් මෙක්සිකෝවෙ හරියට දුප්පත් මිනිස්සු ඉන්නවා. තෙල් වලින් හම්බ කරන සල්ලි වලින් වැඩි හරියක් බෙදිල යන්නෙ ඉහළ නිලධාරීන් අතරෙ විතරයි කියල ෆ්‍රැන්සිස්කෝත් කිව්වා. මෙහෙ මිනිස්සු සල්ලි හොයන්න කරන තවත් වැඩක් මේ විස්තර කොටන අතරෙ මට මතක් වුණා. ඒකත් මෙහෙමම කොටල දාන්නම්. 
පාරෙ ඇඳල තියෙන කහ ඉරි, සුදු ඉරි වගේ ඒවා මැකිල යනකොට ආපහු ආණ්ඩුවෙන් ඒව ඇඳල දෙනකල් මිනිස්සු බලාගෙන ඉන්නෙ නැහැ. එයාල කරන්නෙ කොහෙන් හරි තීන්ත ටිකක් හොයාගෙන මැකිල ගිහින් තියෙන සළකුණු ස්වේච්ඡාවෙන්ම අඳින එක. එක්කෙනෙක් ඔහොම අඳින අතරෙ තවත් කෙනෙක් පාරට තොප්පියක් දික් කරගෙන ඉන්නවා වාහන වලින් සල්ලි එකතු කරන්න. සමහර කට්ටිය ඉතින් සල්ලි දීල යනවා. මෙයාලට සල්ලි විතරක් නෙවෙයි, වතුර බෝතල්, කෑම ජාති වගේ දේවලුත් සමහර අය දීගෙන යනවා. කොහොමහරි මෙක්සිකෝව කියන්නෙත් කොච්චර සම්පත් තිබුණත් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙන දූෂණය සහ වංචාව නිසා දුප්පත් කමෙන් පෙළෙන මිනිස්සු ජීවත් වෙන රටක්. ඒ ගැන විස්තර කරන්න ගියොත් ඉතින් ප්‍රධාන මාතෘකාවෙන් පිට යන්න වෙනවා. ඒක නිසා ඒව ගැන වැඩිය කතා නොකර ඉමු. 

එහෙනම් ආපහු කන්දට එමු. මම කලින්ම කිව්වනෙ කන්ද මුදුනට හරි ලස්සනට අවට පේනව කියලා. පහළින් තියෙන්නෙ කන්ද මුදුනෙදි ගත්තු ෆොටෝ ටිකක්.

කඳු මුදුනේ ආරාමය
ගිනිකඳු දෙක හරිම ලස්සනට පේනවා
 මුදුනෙ ඉඳන් පහළ බැලුවහම
එහෙනම් අදට සෙල්ලිපිය කොටන එක මෙතනින් නතර කරන්නම්. තුන් වෙනි හේතුව වෙන 'මල්' ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ගිහින් එන්නම්!!!


10 comments:

  1. මේ ලිපිපෙලෙන් මැක්සිකෝව ගැන බොහෝ දේවල් දැනගත්තා,බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා

      Delete
  2. අර සුකුරුත්තන් බඩුත් මගෙ නම්සිත් ඇද ගත්ත ආකර්ශනයක්. ;)
    මමත් මළවුන්ගේ උත්සවයක් දැකල තිබෙනවා ප්‍රසිද්ධ කාටූන් එකක. Wild Thornberries. ඒක නම් මේක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සුකුරුත්තන් බඩු නම් ලස්සනයි තමයි. මාත් ගත්ත අර 2012 ලෝක විනාසෙ වෙනව කියපු කතාවට මූලික වෙච්ච කැලැන්ඩරේ අනුරුවක හැඩේට හදපු key tag එකක්.

      මං wild thornberries බලල නෑ මචං. ඒක හින්ද වැඩි විස්තරයක් කියන්න නම් දන්නෙ නැහැ.

      Delete
  3. ඔය කුඩා මායන් වෙස්මූණක් එහෙම තිබ්බොත් මටත් ගේන්ටෑ!

    ReplyDelete
    Replies
    1. මෙහෙ වෙස්මූණු නම් එමට... පොඩි ඒවයෙ ඉඳන් ඔලුබක්කො සයිස් එකට වෙනකල්ම ගන්ට තියෙනවා. තව පාරක් යන්ට පුළුවන් උණොත් එකක් අරගෙන එන්නංකෝ...

      Delete
  4. ඔබ බොහොම වාසනාවන්තයි...මේ දර්ශන සියැසින් දකින්නට ලැබීම ගැන...අර කණුවෙ එල්ලිලා කරන නර්තනය සජීවිීව දැක්කා නම් ඇගේ හිරිගඩු පිපෙන්න තිබුනා...හරිම ත්‍රාාසජනකයි....ලෝකෙ හැමතැනම වගේ ආදායම් බෙදී යාමේ විෂමතාව තියෙනවා නේද...

    ReplyDelete
    Replies
    1. දැන් වැඩකරන ආයතනයට බැඳුන අලුතම වගේ තමයි මට මේ ගමන යන්න ලැබුණෙ. දවස් 10ක් වගේ කෙටි කාලයකට වුණත් ගොඩක් දේවල් බලා කියා ගන්න අවස්ථාව හම්බ වුණා.
      අර නැ‍ටුම නම් විශේෂ උත්සව දවස් වලදි විතරලු කරන්නෙ. ඒක නිසා ඒක නම් බලාගන්න බැරිවුණා. හැබැයි youtube එකෙන් බලාගන්න පුළුවන්.
      ආදායම් බෙදී යාමේ විෂමතාවය නම් ලෝකෙ හැමතැනකම තියෙනවනෙ. දියුණු රටවල් වලත් තියෙනවනේ. හැබැයි මෙක්සිකෝව වගේ සම්පත් බහුල රටක් මෙච්චර පහළ තත්වෙක තියෙන්නෙ රාජ්‍ය මට්ටමෙන්ම වංචාව, දූෂණය ඉහවහා ගිහිල්ල තියෙන නිසයි.

      Delete
  5. ලංකාවේ තෙල් හම්බවුනාම කොහොමද වෙන්නේ කියල හිතාගන්න මෙක්සිකෝව හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ලංකාවෙ තෙල් නැත්තෙ..:D

      Delete