Sunday, January 11, 2015

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 6

2015 අවුරුද්දෙ කොටන මුල්ම සෙල්ලිපි සටහනත් එක්ක හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කියාගෙන මෙක්සිකෝ චාරිකාවෙ හය වෙනි කොටසත් එහෙනම් කොටන්න පටන් ගන්නවා. මේ චාරිකා සටහන් පෙළ නම් හිතුවට වඩා දිග වෙන බවක් තමයි පේන්නෙ. මුලින්ම හිතුවෙ කොටස් හතරකින් විතර කොටල ඉවර කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මේ වෙනකොට හය වෙනි කොටසටත් ඇවිත්.

මේ සබැඳි වලින් මුල් කොටස් පහ කියවන්න පුළුවන්
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5

කලින් සෙල්ලිපි සටහන් අවසන් කරද්දි පොරොන්දු වෙච්ච විදිහටම 'ඇට්ලික්ස්කෝ' නගරය සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙන්න හේතු වුණු තුන් වෙනි කාරණාව ගැන තමයි අද කතා කරන්න යන්නෙ. මේ තුන් වෙනි හේතුව තමයි 'මල්'. මුලින්ම කියන්න ඕනෙ මේ මල් කියන්නෙ තණමල්විල මල් එහෙම නෙවෙයි. තණමල්විල මලුත් මෙහේ හරියට තියෙනවා. ඒක ගැන කතා කරනවානම් වෙනමම කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අදට අපි ලස්සනට වවන මල් ගැන කතා කරමු.

මේ ඇට්ලික්ස්කෝ නගරයේ ආර්ථිකය රඳාපවතින ප්‍රධානම ව්‍යාපාර වලින් එකක් තමයි මල් ව්‍යාපාරය. ගොවිතැන් වලට වෙන්වුණු බිම් ඇරුනහම අනෙක් හැම තැනකම වාගේ මල් වගාවන් සහ තවාන් දකින්න පුළුවන්. මේ මහා පරිමාණ මල් ව්‍යාපාරය නිසාම විශේෂයෙන්ම වසන්ත කාලෙදි විශාල ප්‍රමාණයක් සංචාරකයෝ මේ නගරයට එනවා. සංචාරක ප්‍රවර්ධන කටයුතු වලදි මේ නගරය සමහර වෙලාවට 'City of Flowers' කියලත් හඳුන්වනවා. මම එහේ හිටපු කාලය තුළදි නම් වැඩිපුරම වගා කරල තියෙනව දකින්න ලැබුණෙ විවිධ වර්ග වලට අයත් රෝස මල්. ඊට අමතරව ඕකිඩ් වර්ගත් සැලකියයුතු ප්‍රමාණයක් දකින්න ලැබුණා. මෙච්චර සාර්ථක විදිහට මල් වගාව කරගෙන යන්න හේතු වුණු සාධක මොනවද?

පළමුවෙනි හේතුව තමයි හිතකර දේශගුණය. සාමාන්‍යයෙන් මුළු අවුරුද්ද පුරාම සෞම්‍ය දේශගුණයක් තමයි පවතින්නෙ. ඒ තත්වය තරමක් අතිශයෝක්තියට නගල 'ලෝකයේ හොඳම දේශගුණය සහිත නගරය' කියල නගරයේ පාලනාධිකාරය සංචාරක ප්‍රවර්ධන කටයුතු පවා කරගෙන යනවා. දෙවෙනි හේතුව තමයි ගිනි කන්ද. අවුරුදු දස දහස් ගණනක් තිස්සෙ සිද්ධ වුණු ගිනි කඳු පිපිරීම් වලින් පිටවුණු ලාවා සහ අළු පස් සමග මිශ්‍ර වෙලා තියෙන නිසා මේ ප්‍රදේශයේ පස අතිශය සාරවත්. ඔන්න ඔය හේතු නිසා බොහොම සාර්ථකව මල් වගාව කරගෙන යන්න පුළුවන්.

මෙහේ කොච්චර මල් වවනවද කියනවනම් මල් සම්බන්ධ සංස්කෘතික උත්සවයකුත් අවුරුද්දකට සැරයක් පවත්වනවා. ඒ උත්සවය හඳුන්වන්නෙ Festival de la Flor කියලා. මේ උත්සවය පවත්වන්නෙ මාර්තු මාසෙ නිසා මට අත්දකින්න නම් බැරි වුණා. මේ උත්සව දවසට නගරයේ පාරවල් වල සම්පූර්ණයෙන්ම මල් අතුරනවා. නිකන්ම නෙවෙයි බොහොම ලස්සනට එක එක හැඩතල සහ රූප ආකාර වලට තමයි මල් අතුරන්නෙ. ඒ විතරක් නෙවෙයි මල් වලින් හදපු මූර්තිත් ප්‍රදර්ශනයට තියල තියෙනවා. පහළින් තියෙන්නෙ මං අන්තර්ජාලයෙන් උපුටාගත්තු මේ උත්සවයේ ඡායාරූප කීපයක්.

පාර වැහෙන්නම සෑදූ මල් පලසක්



මල් වලින් සෑදූ මොණර ප්‍රථිමාවක්

ඇට්ලික්ස්කෝ නගරයට එන සංචාරකයින්ට නගරයේ සිරි විඳගන්න පහසු වෙන විදිහෙ චාරිකා වැඩසටහනක් මේ නගරයේ සංචාරක කටයුතු ප්‍රවර්ධන ආයතනය මගින් පවත්වාගෙන යනවා. මේ කටයුත්තෙ මුල් තැන අරගෙන වැඩ කරන්නෙ තරුණ ලමයි කණ්ඩායමක්. ට්‍රැක්ටර් ට්‍රේලරයක නැඟල තමයි චාරිකාව යන්න තියෙන්නෙ. බොහොම ආස හිතෙන ගමනක්. ට්‍රේලරය ලස්සනට සරසල වාඩි වෙන්න සීට් එහෙමත් හයි කරල තමයි තියෙන්නෙ. වාහනේ නගරය වටේ රවුම් ගනහකොට ඉස්සරහ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් මාරුවෙන් මාරුවට අවට තියෙන දේවල් ගැන විස්තර කරනවා. මාත් මෙහේ තියෙන මල් ව්‍යාපාරය ගැන දැනගත්තෙ ඔන්න ඔය චාරිකාවෙදි තමයි. පොඩි අවුලකට තිබුණෙ අර ළමයි දෙන්න ඔක්කොම දේවල් විස්තර කළේ ස්පාඤ්ඤ භාෂාවෙන් වීමයි. ඒත් ඉතින් ලොකු අවුලක් වුණෙත් නැහැ මොකද මාත් එක්ක ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් හිටියනේ.

මෙන්න චාරිකාව ගිය ට්‍රැක්ටරේ

මෙන්න මේ නංගිල දෙන්න තමයි චාරිකාවෙ මඟපෙන්වන්නො දෙන්නා

ඔය චාරිකාව අතරතුරදි තව ලංකාවෙ අපට හුරුපුරුදු දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි කුරුම්බා වෙළෙන්දෝ. පොඩි කරත්ත ඇතුලෙ කුරුම්බා වලු පිටින් තියාගත්තු කට්ටිය තැනින් තැන ඉන්නවා. සමහරුන්ගෙ කරත්ත ඇතුලෙ කුරුම්බා වතුරයි ලොඳයි පුරවපු ජෝගුත් තියෙනවා. කැමති අයට ගෙඩියෙන් බොන්න පුළුවන් නැත්නම් ජෝගුවෙන් බොන්න පුළුවන්. මේ වෙළෙන්දෝ වැඩිපුරම ඉන්නෙ මල් තවාන් වලට ඇතුළු වෙන ගේට්‍ටු ළඟට වෙලා. මල් පැල ගන්නත් සෑහෙන්න කට්ටිය එන නිසා එයාලට බිස්නස් වලිනුත් පාඩුවක් නැතුව ඇති මං හිතන්නෙ.

මල් තවානක්

එක තවානකට පස්සෙ තව තවානක්

මල් ගන්න ඇවිත් ඉන්න සෙනඟ

මල් ව්‍යාපාරයට අමතරව මිනිස්සු ගොවිතැන කරන හැටිත් මේ චාරිකාවෙදි බලාගන්න පුළුවන් වුණා. බඩ ඉරිඟු සහ ළූණු තමයි වැඩිහරියක්ම වගා කරල තියෙනව දකින්න ලැබුණෙ. ඒ විතරක් නෙවෙයි, මිනිස්සු බූරුවන්ගෙන් වැඩගන්න ආකාරයත් දකින්න ලැබුණා. ගොවිතැනට බිම් පදම් කරන්නයි ප්‍රවාහන කටයුතු වලටයි මේ මිනිස්සු බූරුවන්ව යොදාගන්නවා. හරියට අපේ රටේ හරකාගෙන් වැඩ ගන්නවා වගේ. ඊට අමතරව මේ නගරය මුලින්ම ආරම්භ වුණු තැන, ගිනිකඳු අළු, වර්ණවත් මල් සැරසිලි සහ බිත්ති පින්තාරු වගේ තව ගොඩක් දේවලුත් මේ චාරිකාවෙදි බලා ගන්න අවස්ථාව ලැබුණා.

නිර්මාණාත්මකව හදල තියෙන නගරයේ නාම පුවරුව

ගෙවල් වල ඉස්සරහත් මල් වලින් සරසල තියෙන්නෙ

බූරුවගෙ පිටේ ගමන

පස සාරවත් වෙන්න හේතු වුණු ගිනිකඳු අළු

මෙන්න මේ ගහ ළඟින් තමයි මුලින්ම නගරය පටන් අරගෙන තියෙන්නෙ. මුල් ගහ නම් මැරිල ගිහින්. මේ තියෙන්නෙ එතන පසුකාලීනව හිටවපු ගහක්

මෙහෙම චිත්‍ර ඇඳපු තාප්ප නිතරම දකින්න පුළුවන්

ගිනිකඳු පාමුල ගොවිබිම්

මෙක්සිකෝව ගැන විස්තර කියාගෙන යනකොට මෙහේ මම රාජකාරි කරපු තැන ගැනත් පොඩ්ඩක් විස්තර කියන එක හොඳයි කියල හිතුණා. මම මෙහෙ වැඩ කලේ බකාඩි ආයතනයට මෙක්සිකෝ ශාඛාවට අයිති ස්කාගාරයේ.  අපජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන එක තමයි මට පැවරිලා තිබුණු රාජකාරිය. බකාඩි කියන්නෙ මොකද්ද කියල කට්ටියට අමුතුවෙන් විස්තර කරලා කියන්න ඕනෙ නැහැනෙ. බකාඩි රම් ඇතුළු තවත් මත්පැන් වර්ග රාශියක් මේ ආයතනයේ නිෂ්පාදනය කරනවා. මේක තමයි පුද්ගලික අයිතිය යටතේ තියෙන ලෝකෙ විශාලතම මත්පැන් නිෂ්පාදන සමාගම. මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ කියුබාවෙ. මේ වෙනකොට නම් මෙක්සිකෝව, නෙදර්ලන්තය, රුසියාව, යුක්‍රේනය වගේ රටවල් ගණනාවක මේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා.

බකාඩි මෙක්සිකෝ ස්කාගාරය ගොඩනගල තියෙන්නෙ බොහොම පෞරාණික ගොඩනැගිලි පරිශ්‍රයක් ඇතුලෙ. බැලූ බැල්මට පෙනුන විදිහට නම් අවුරුදු 200ක් වත් පරණයි වගේ. පස්සෙ දැනගන්න ලැබුණු විදිහට ඒ ගොඩනැගිල්ල ස්පාඤ්ඤ ආක්‍රමණිකයින්ට අයිති වෙලා තිබුණු එකක්. පස්සෙ කාලෙකදි අතහැරල දාල තිබිල බකාඩි සමාගම විසින් මිලදී අරගෙන. බොහොම ලස්සන පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු ගොඩනැගිලි සංකීර්ණයක්. ඒ කාලෙ එතන ජීවත් වුණු ස්පාඤ්ඤ ජාතිකයො වන්දනාමාන කරපු ක‍තෝලික පල්ලියකුත් ඇතුළෙ තියෙනවා. බකාඩි සමාගමත් මේ ගොඩනැගිලි බොහොම පරෙස්සමෙන් ආරක්ෂා කරන පාටක් තමයි පේන්නෙත්. වටපිටාව පවා සේවකයො යොදවලා බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට පවත්වාගෙන යනවා.

බකාඩි ස්කාගාරයේ ප්‍රධාන ගේට්‍ටුව ඉදිරිපස

පිරිසිදුව පිළිවෙලට පවත්වාගෙන යන උද්‍යානය

ආසවන කුළුණ

ක‍තෝලික පල්ලිය

ක‍තෝලික පල්ලිය ඇතුළත
ඉතින් දවස් දහයක විතර කාලයක් මෙක්සිකෝවෙ ගත කරපු මං මගේ රාජකාරියත් බොහොම සාර්ථකව අවසන් කරල ආපහු ඇමරිකාවට යන්න තමයි හදන්නෙ. දවස් දහයක් වගේ කෙටි කාලයක් හිටියත් මට ගොඩක් දේවල් මේ කාලය ඇතුලතදි ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම මෙක්සිකෝව ගැන මගේ හිතේ තිබුණු වැරදි ආකල්පත් නැති කරගන්න පුළුවන් වුණා. ආයෙත් පාරක් අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම ආපහු යන්නත් තමයි හිතාගෙන ඉන්නෙ. ඔක්කොම වැඩ කටයුතු ඉවර කරල හෝටලෙන් එලියට එනකොට මටයි ෆ්‍රැන්සිස්කෝටයි හෝටලේ ගානෙ පොඩි තෑගි දෙකක් හම්බ වුණා. ඒ ලස්සන මල් ගස් දෙකක්. මට ඉතින් ප්ලේන් එකේ මල් ගස් අරන් එන්න බැරි නිසා මගේ තෑග්ගත් ෆ්‍රැන්සිස්කෝටම දුන්නා. සමහරවිට තාමත් ඒ මල් ගහ ෆ්‍රැන්සිස්කෝගෙ ගෙදර මල් පෝච්චියක හිටවල තියෙනව ඇති.

ආ... තව පොඩි දෙයක් කියන්න අමතක වුණා. අපි 'මෙක්සිකෝ' කියල කිව්වට මේ රටේ මිනිස්සු තමුන්ගෙ රටට කියන්නෙ 'මෙහිකෝ' කියලා. ඒවගේම තව සමහරු අහල ඇති ඇස්ටෙක් ගෝත්‍රික රජෙක් වුණු 'මොන්ටෙසූමා' රජතුමා ගැන. බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ පොත් වලත් මේ රජතුමා ගැන සඳහන් වෙනවා. හැබැයි අපි කවුරුත් ඒ රජතුමාගෙ නම කියවන්නෙ වැරදියට කියල මං දැනගත්තෙ මෙක්සිකෝවට ගියාට පස්සෙ. ඒ රජතුමාගෙ නියම නම තමයි 'මොක්තෙසූමා'.

හරි, එහෙනම් මෙතනින් අපි මේ මෙක්සිකානු සංචාරයේ සෙල්ලිපි සටහන් පෙළ අවසාන කරමු. ඊළඟට කොටන්නෙ මොනව ගැනද කියල නම් තාම තීරණය කරල නැහැ. ඒත් ඉඩ තියෙන හැටියට මොනවහරි වැදගත් කියල හිතෙන දෙයක් අනිවාර්යයෙන්ම කොටන්නම්. එහෙනම් පස්සෙ වෙලාවක ආයෙත් හම්බ වෙමු.!!!!


8 comments:

  1. උඹත් ඉතින් බකාඩි ගැහුවද?
    Fly Ash (ගිනි කඳු අළු) කියන්නෙ ගස් වලට හොඳ පොහොරක්. ඉතාම හොඳ පොස්පරස් හා සල්ෆර් ප්‍රභවයක්.
    මොන්ටෙසුමාගෙ දියණිය කියන පොත තියෙනව. තාම කියවන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. Bacardi නම් ගැහුවෙ නෑ. Tequila නම් ටිකක් පාවිච්චි කරන්න පුළුවන් වුණා.

      මගේ ළඟත් 'මොන්ටෙසූමා ගේ දියණිය' පොත තියෙනවා. අවුරුදු 3 - 4 කට කලින් කියෙව්වා. හරිනම් පොතේ නම වෙනස් කරන්න ඕනෙ ' මොක්තෙසූමා ගේ දියණිය' කියලා.

      Delete
  2. කෝ නිසූපක්කා නෑ නේ... :)
    මරු ගමනක්.. මාත් ඔය දීපංකරේ ගිහින් එන්ඩ ආසයි.. ඒත් කොයි !

    ReplyDelete
    Replies
    1. නිසුපා මෙහෙ ආවෙ නෑනෙ මල්ලී. මටත් මේක අහම්බෙන් වගේ සෙට් වෙච්ච ගමනක්. හැබැයි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.

      Delete
  3. මෙක්සිකෝ සංචාරක සටහන් පෙල කියවලා ඉවරවෙද්දි මෙක්සිකෝව ගැන යම් ප්‍රමාණික දැනුමක් ලැබිලා තියෙනවා..මේ කියන මල් උත්සවය නම් බොහොම ලස්සන පාටයි...ඔය මල් අරවා මේවා නෙමෙයි අර මල් ගන්න ආව සෙනග කියන ෆොටෝ එකේ තියෙන බීට්ල් කාර් එකට තමයි මගේ හිත වැදුනෙ...මෙක්සිකෝව තමයි 2003 වෙනකං බීට්ල් කාර් එක නිෂ්පාදනය කරපු රට...බකාර්ඩි සමාගමේ වැඩ කලා විතරද...බකාර්ඩි උගුරක් වත් බිව්වෙ නැද්ද ? නිසුපා ලග හිටියා නම් අර කෙල්ලො දෙන්නා එක්ක මෙයා මෙහෙම ෆොටෝ ගනියි කියලා තමයි භය.

    ReplyDelete
    Replies
    1. මෙක්සිකෝවෙ ඔය බීට්ල් කාර් නිතරම දකින්න පුළුවන් තමයි. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට වාහන නිෂ්පාදන ආයතන ගොඩක් මෙක්සිකෝවෙ කර්මාන්ත ශාලා පටන් අරගෙන තියෙනවා. ඇමරිකාවට ආනයන කරන ටොයෝටා, නිසාන්, අවුඩි, බෙන්ස්, බී එම් ඩබ්ලිව් වගේ වාහන වලින් වැඩිහරියක් හදන්නෙ මෙක්සිකෝවෙ.

      බකාඩි නම් බොන්න බැරිවුණා. හැබැයි ටකීලා නම් රහ බලන්න පුළුවන් වුණා.

      මේවා මේ තනිකඩ කාලෙදි ගිය ගමන් නෙ. ඉතින් වැඩිය බය වෙන්න දෙයක් තිබුණෙ නෑ.

      Delete
  4. රසවත් සටහනක් .. එක දිගටම ඔක්කොම ටික බැලුවා .. එල

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete