Techno එක බලන්න ගිහින් ගෙදර එනගමන් හිතුව අද නම් කොහොමහරි සෙල්ලිපියක් කොටන්න ඕනැ කියලා. ඉතින් නාල කරල එහෙම කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා අපේ ජනකතා සීරීස් එකට තවත් කතාවක් එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් කට්ටියම හරි බරි ගැහිල වාඩි වෙලා කතාව කියවන්ට පටන් ගන්නව හොඳයි.
මහනුවර පැත්තෙ තියෙන දෙයියන්නේවෙල කියන ප්‍රදේශය ඉස්සර බොහොම සරුසාරෙට තිබුණු මහ වෙල්යායක්. ඒකෙ අයිතිකාරය තමයි රටේ රජ්ජුරුවෝ. ඒක නිසාම තමයි ඒ වෙල්යායට දෙයියන්නේවෙල කියල බැහැවර වෙලා තියෙන්නෙත්. ගොයම් පැහීගෙන එන කාලෙට මේ වෙල්යාය කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගෙන අස්වැන්න මහ වාසලට බාරදෙන එක පැවරිලා තිබුණේ අවට ගම් වල හිටපු ගම්මුන්ට. ගොයම පීදීගෙන එද්දි කුඹුරට එන කුරුල්ලො, ගිරව් එලවන වැඩේ බාර අරගෙන තිබුණෙ ගමේ හිටපු ගැටිස්සියො ටික. ඈතින් ඈතින් හදල තියෙන පැල් වලට වෙලා කුරුල්ලො බය කරන ගමන් තරගෙට පැල්කවි කියන එක තමයි මේ ගැටිස්සියො නිතරම කරල තියෙන්නෙ.
ඔන්න දවසක් මේ වෙල් යායෙ අයිතිකාරය වෙච්චි රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ වෙල් යාය හරහා බඩවැටියක් දිගේ ඇවිදගෙන යනව පේරාදෙණිය පැත්තට. ඔහොම යනකොට රජ්ජුරුවන්ට ඇහුණා එක ගැටිස්සියක් පැලක ඉඳලා ලස්සනට පැල්කවි කියනවා. රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හොඳ කවිකාරයා. ඉතින් ටික වෙලාවක් අර දැරිවිගෙ කවි අහගෙන හිටපු රජ්ජුරුවො පඳුරකට එහෙම මුවාවෙලා කවියක් කිව්වා මෙන්න මෙහෙම..
ලස්සන හිමවතේ පැලපිට සිටින ලඳේ
දුක්දෙන වල් සතුන් පන්නා හරින ලඳේ
රැක්මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින ලඳේ
දුක් දෙනු සරිද ඔබ සිව්මැලි ගතට ලඳේ
මේ කවිය අහපු ගැටිස්සි පිළිතුරු කවියක් කිව්ව මෙන්න මෙහෙම
ලස්සන හිමවතේ මා වී පැසෙ න්නේ
දුක් දෙන වල්සතුන් පන්නා හරි න්නේ
රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි න්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකි න්නේ
රජ්ජුරුවොත් අතාරින්නෙම නැහැ. එයත් ආයෙම තව කවියක් කියනවා..
වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අහ පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා
ඒ කවියට අර ගැටිස්සි දුන්න උත්තරේ මේකයි
වෙල හොඳ මොකද යල මහ පාළු වේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවී යා නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්
ඒ කවිය අහපු රජ්ජුරුවන්ට දුක හිතිලා මෙන්න මේ කවිය කියල තියෙනවා
යල මහ පාලු වෙන්නට ඉඩ දෙන්න එපා
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්න එපා
ළැම මැද ඉසුණ ගෝමර වනසන්ට එපා
දුප්පත් කමින් මින්මතු දුක් විඳිණු එපා
මේ කවිය කියන ගමන්ම රජ්ජුරුවෝ තමන් හැංගිලා හිටපු පඳුරෙන් එලියට ඇවිත් තියෙනවා. එතකොට තමයි අර ගැටිස්සිට තේරිලා තියෙන්නෙ තමන් මෙච්චර වෙලා තරගෙට කවි කියල තියෙන්නෙ රජ්ජුරුවොත් එක්ක කියන එක. ඉතින් එයාට බය හිතිලා පැලෙන් දුවන්න හදනකොටම රජ්ජුරුවෝ ආයෙමත් කවියක් කියල තියෙනවා මෙන්න මෙහෙම.
ඇනලා මරණ කුළු මීමෙකු නොවේ නම්
විකලා මරණ සිහ රදෙකුත් නොවේ නම්
විදලා මරණ වැදි රදෙකුත් නොවේ නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ නම්
මේ කවියට අර ගැටිස්සි කියපු පිළිතුරු කවිය මෙන්න මේකයි.
රෑන පිට රෑන තුඩු රෑන දීයන්
ඇදලා ඇටෙව් දුන්නෙත් අගට ඊයන්
බළලුන් දුටුවාම බිය නැද්ද මීයන්
දුටුවම බය නැද්ද රාසිංහ දෙයියන්
මේ කවිය කියන ගමන්ම ගැටිස්සි ගස් ගොන්නක් අස්සෙන් රිංගල ගෙදර දිව්වලු. සමහර අය නම් කියන්නෙ ඊට පස්සෙ රජ්ජුරුවො ඔය වෙල් යායම අර ගැටිස්සිට පවරලා දීල එයාව තමුන්ගෙ යකඩ දෝළියක් කරගත්තා කියලයි.
එහෙනම් ඉතින් ඊළඟ සෙල්ලිපි සටහනෙන් හම්බ වෙනකල් ආයුබොවං.............
ගැට + ඉස්සී = ගැටිස්සි
ReplyDeleteඔය කවිටික හැරෙන්න අනික් කතාව මට අපේ ආච්චි කියල තියෙනවා මචන්...
ReplyDeleteජය..
කවිටිකයි කතාවයි එකට ඇහුවේ අද...
ReplyDeleteමේක බලන්න
ReplyDeletehttp://history-pathfinders.blogspot.com/2011/07/blog-post_25.html
මේකම දිල් අක්කත් ලියලා තිබුනා උදිත...
ReplyDelete:D
ReplyDeleteඅදමයි මේ බ්ලොග් එකට ගොඩ වුනේ...
අගේ ඇති පෝස්ට්නෙ තියෙන්නෙ,,,
දිගටම මේ වගේ කතා දාන්න..
මයෙන් සුභ පැතුම්
හික් හික්. කවි ටික නම් අහල තියෙනව, කතාවත් යාන්තම් වගේ මතකයි, ඒත් අද තමා හරියටම කවි ටිකයි කතාවයි සම්බන්ධ කරල දැනගත්තෙ. :)
ReplyDeleteබොහෝම ස්තුති අපේ ගම ගෑන විස්තරයක් ලියව්වට
ReplyDelete