Friday, September 5, 2014

ඩෙලවෙයාර් ගියෙමු

මෑතකදී මං ලියපු ලිපියක් නිසා සමහර දෙනෙක් මං බ්ලොග් ලියන්නේ නැති එක ගැන ප්‍රශ්න කරන්න ගත්තා. ගොඩක් යාලුවෝ කිව්වා තාම හැකියාව නැති වෙලා නෑ ලියපිය කියලා. අන්තිමට මගේ මහත්තයා…. හෝව්…… ප්‍රශ්නයක්ද කට්ටියට? මේ කොල්ලෙක්ගේ බ්ලොග් එකේ මහත්තයෙක් ගැන කියන්නේ මූ මොන ජාතියක එකෙක්ද කියලා හිතුවද? ඇත්තම කිව්වොත් මේ බ්ලොගේ හදපු එකා නෙවේ මේ ලියන්නේ. උදිත හෙවත් මේ බ්ලොගේ අයිතිකාරයාගේ බිරින්දෑ හෙවත් නිසුපා තමා මේ ලියන්නේ. :D සමහරුන්ටනම් මාව මතකත් ඇති. දැන් කාලෙකට කලින් ලියපු නිසූගේ කතා කියෙව්වනම්. ඇත්තම කිව්වොත් මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉදන් පාලුවට ගිහින් නෙ තිබුනේ. ඉතිං අපි දෙන්නා හිතුවා දෙන්නට දෙකක් ලියන්න බැරිනම් හවුලේ ලියමු කියලා ( වැඩිපුර උනන්දුව ඉතිං උදිතට තමයි. මටනම් තාම කම්මැලියි කම්මැලියි වගේ :D).ඉතිං රස්සවකටත් නොයා වැඩිපුර නිදහසේ ඉන්නේ මං නිසා ඔන්න මංම පටන් ගන්නවා.

මං ඇමෙරිකාවට ආපු ගමන්ම වගේ බ්ලොග් ලෝකේ කට්ටිය හොදට දන්න කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවා එයාලාව ඇවිත් හම්බ වෙන්න කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉතිං කාලයක් තිස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ අරුණි ශපිරෝ අක්කා. උදිත නම් කලිනුත් අරුණි අක්කාව හම්බ වෙලා තියෙනවා. අරුණි අක්කා මේ දවස් වල පදිංචි වෙලා ඩෙලවෙයා කියන ප්‍රාන්තේ.ඒ ප්‍රාන්තේ තමයි ඇමෙරිකාවේ පලවෙනි ප්‍රාන්තේ හැටියට සැලකෙන්නේ. ඒ වගේම ඒ ප්‍රාන්තේ බඩු වලට බදු නෑ. ඩෙලවෙයාර් ඇරුනහම ඇලස්කා, නිව් හැම්ෂයර්,මොන්ටානා සහ ඔරිගන් කියන ප්‍රාන්ත වලත් බඩු වලට බදු අය කරන්නේ නැහැ. ඔන්න ඔය බදු නැති කතන්දරේ හින්ද ඩෙලවෙයාර් ප්‍රාන්තේට මායිම් වෙලා තියෙන මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ නිව් ජර්සි කියන ප්‍රාන්ත වල ඉන්න කට්ටියත් හුගක් වෙලාවට ඩෙලවෙයාර් ගිහින් තමයි බඩු අරගන්නේ. හෝව්...හෝව්… මෙන්න කතාව වෙන පැත්තකට යන්නයි හදන්නෙ. එහෙනම් ආයෙත් හරි පාරට එමු. 

 ඔන්න ඉතිං සෙනසුරාදා දවසක උදේ අපි අරුණි අක්කාව බලන්න යන්න පිටත් වුනා. පැය තුනක විතර ගමනක්. අපි ගෙදරින් 11 වගේ පිටත් වුනා.තෑග්ගකුත් අරගෙන හවස 2 වගේ වෙනකොට ගමන ඉවර කරන්න බලාගෙන ගියාට මොකද ට්‍රැෆික් වලට පිං සිද්ද වෙන්න හවස 5 ටත් කිට්ටුයි යනකොට. අරුණි අක්කා හිතලා තියෙන්නේ අපි දෙන්න තව කොහේ හරි ගිහින් එනවා කියලා. දැන් ඉතිං මොකෝ කරන්නේ ප්ලෑන් කරපු වේලාවෙන් පැය තුනක්ම අපිට නැති වුනා. අරුණි අක්කා අපිට යන්න පුළුවන් තැන් එහෙම හොදට හොයලා බලලා තිබුන නිසා වැඩිය කාලේ කන්නේ නැතුව අක්කලාගේ ගෙවල් කිට්ටුව වෙරළකට ඒ දවස් වල ඇවිත් තිබුන රුවල් නැවක් බලන්න යන්න පිටත් වුනා. 

ටිකට් එකක් අරගෙන ඇතුල බලන්න යන්න පුළුවන් කියලා තමා කිව්වේ. අරුණි අක්කගේ ගෙදර තියෙන්නේ ඩෙලවෙයා සහ මේරිලන්ඩ් කියන ප්‍රාන්ත දෙක වෙන් වෙන සීමාව කිට්ටුව.ඉතිං මේරිලන්ඩ් වල තියෙන සංචාරක ආකර්ෂණයක් වුන “Ocean City” කියන නගරයත් අක්කලට හොදටම ලගයි.ඉතිං “El Galeon Andalucia” කියන මේ රුවල් නැව ඇවිත් තිබුනේ ගිම්හාන කාලෙට මේ නගරයට ඇදෙන සෙනග ඉලක්ක කරගෙනමයි. ඒ කාලෙට කොච්චර සෙනග එනවද කිව්වොත් අපිට අක්කාගේ කාර් එක නවත්තන්න තැනක් හොයාගන්න වටේ කැරකෙන්න වුනා. නැව කිට්ටුව කොහෙවත් නතර කරන්න විදිහක් නෑ, නතර කරන්න පුළුවන් හැම තැනම පිරිලා වාහන. ඉතිං මොනවා කරන්නද ටිකක් දුර මුහුදුු වෙරළ කිට්ටුවම පාක් එකක නතර කරලා පයින්ම නැව බලන්න එන්න පිටත් වුනා වටපිට බල බල හෙමින් හෙමින් අපි නැව කිට්ටුවටම ආවා.නැව නවත්තලා තිබ්බේ කළපුවක. ඈත තියා පේන විදිහටනම් ටිකට් දෙන ඇන්ටිලා ටික වැඩ ඉවර කරන පාටක් පෙනුනේ. ලගට ගිහින් අහලා බැලුවාම අරුණි අක්කට ලැබුන උත්තරේ තමා ඇද දවසට ටිකට් දීලා අහවර බව. අපි හිතාගෙන හිටියේ පස්වරු 7 වෙනකල් නැව ඇතුල බලන්න යන්න පුළුවන් කියලා. අනේ බැලින්නම් 6.30 වෙද්දි ප්‍රදර්ශන කාලේ ඉවරලු. දැන් මක් කරන්නද? කාර් නවත්තලා එන්න ගියාම වෙලාව ටිකක් ගියානේ.ඉතිං ඇතුල නැතුවට කමක් නෑ එලියෙන් හරි බලමු කියලා බලලා ආවා. ආයේ පහුවදා උදේට යන්නයෑ ඕක බලන්නම. 


10453062_10152574737110851_686817892224843153_o.jpg
El Galeon Andalucia කියන රුවල් නැව තමයි මේ 

 කාර් එකට ආපහු ඇවිදගෙන එන ගමන් කලපුවට මුණ දාලා හදලා තිබ්බ පොඩි කඩයකට ආවා මහන්සි ඇරගන්නත් එක්ක මොනවා හරි බොන්න කියලා. De Lazy Lizard Bar and Grill තමා කඩේ නම.මෙන්න බොලේ යන තැනම දොරටු පාලකයෙක්, අයිඩෙන්ටිය ඉල්ලනවා. අරුණි අක්කගේ එකනම් ඕනේ නෑ කිව්වා. :D. උදිතත් අයිඩෙන්ටිය පෙන්නුවා.මට ඉතිං තියෙන්නේ පාස්පෝර්ට් එකනේ.මං ඒක පෙන්නුවා. මේ මනුස්සයා දෙ පාරක්ම පාස්පෝර්ට් එකේ ෆොටෝ එක දිහා බලලා මං දිහා බැලුවානේ. හරියට ඒකේ ඉන්නේ මං නෙවේ වගේ. කොහොම හරි ඇතුලට ගිහින් බීම එකක් එහෙම බීලා, කලපුව පැත්තට මුණ දාපු ඇඳි පුටු තුනක ඉදගෙන හොද කයියක් දාගෙන ඉදලා තමා වෙරළ බලන්න යන්න පිටත් වුනේ. 


10454446_10152574737280851_1674711345102769367_n.jpg
අරුණි අක්කයි මායි chat එකක් දාන අතරෙදි

 මෙහේ වෙරළට සමාන්තරව ඇවිදගෙන යන්න වෙනමම පාරක් හදලා තියෙනවා. ලෑලි වලින් හදලා තියෙන ඒ පාරට කියන්නේ “Boardwalk” කියලා. ඇමරිකාවේ ගොඩක් මුහුදු වෙරළවල් වල මේ ලෑලි වලින් හදපු boardwalks දකින්න පුළුවන්. මේ පාර අයිනේ එක එක දේවල් විකුණන කඩ, ඊටත් අමතරව පොඩි පොඩි ඒක පුද්ගල ව්‍යාපාරත් තියෙනවා. මෙහෙන්දි ඩිසයින් දාන අය, ස්ප්‍රේ බෝතල් වලින් චිත්‍ර අදින අය, ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයින්ට ඇද ගත්ත අය, වයලින් වාදකයෝ, මැජික් ශිල්පියෝ වගේ කට්ටිය තමයි තනි තනි පුද්ගලයෝ විදිහට අපට වින්දනයක් ලබාදීල පොඩි ආදායමක් හොයාගන්නේ. හැබැයි ගිම්හාන කාලේදී මේ වෙරළට එන සෙනග කන්දරාව දිහා බලපුවහම ඒ කට්ටිය හොයන ආදායම එච්චරම පොඩි නෑ කියලත් හිතෙනවා. මේ boardwalk එකේ දිග කොච්චරක් විතර ඇති කියලද හිතන්නේ..? කිලෝමිටර් 4 ක් විතර දිගයි. ඒ නිසාම ව්‍යායාමයක් විදිහට boardwalk එකේ එහාට මෙහාට දුවන කට්ටියත් ඕනතරම් බලාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දෙන්නයි අරුණි අක්කයි නම් ඔය කිලෝමිටර් 4 ම ඇවිද්දේ නැහැ. මොකද එහෙම කලානම් එහෙම රෑට කන්න වෙන්නේ නැහැනේ :D 


10003716_10152574737130851_2784279134807695912_o.jpg
Boardwalk එකට ඇතුළු වෙන තැන

 මුහුදු නගරයක් කිව්වාම ඉතිං කන්න බොන්න වැඩියෙන් තියෙන්න පුළුවන් මොනවද ඉතිං සී ෆුඩ් ම තමා :D. අරුණි අක්කා ඉතිං එහේ තියෙන කෑම කඩ වල හොදට ඇවිදින කෙනෙක්නෙ. ඔන්න එයා කිව්වා හොද කකුළුවෝ කන්න පුළුවන් තැනක් තියෙනවා යමුද කියලා. ඩොලර් ගානක් ගෙවලා තමන්ට ඇති තරම් කකුළුවෝ කන්න පුලුවන් තැනුත් තියෙනවාලු. මං නම් ජීවිතේට කකුළුවෝ කාලා නෑ. ඒ මදිවට මං කන්නෙත් ස්වල්ප ප්‍රමාණ වලින්නේ :D. ඔන්න ඉතිං අපි අරුණි අක්කා කියපු කඩේටත් ආවා. එක කඩයක් කීවට කඩ රාජයෙක්. ඔය පහලින් තියෙන්නේ ගුගල් දෙයියාගෙන් උස්සපු ෆොටෝවක්. “Phillips Crab House” තමා නම. කකුළුවෙක් තමා වහලේ උඩ අන්ඩකුත් දික් කර කර ඉන්නේ.අරුණි අක්කා හබිට කෝල් එකක් දීලා එනකල් අපිට ඇතුලට ගිහින් මේසයක් ඉල්ලගන්න පොරොත්තු ලේඛනයට නම දෙන්න කිව්වා.


CrabHouse.jpg
Phillips Crab House

සාමාන්‍යයෙන් මෙහෙ කෑම කඩ වලදී ලංකාවේ අපි කරනවා වගේ කඩේට ගිය ගමන් අපිට හිතෙන මේසෙක ඉදගන්න බෑ.හුගක් කෑම කඩ වල බෝඩ් ගහලා තියෙනවා වේටර් කෙනෙක් ඇවිත් ඉදගන්න තැනක් පෙන්නන කල් ඉන්න කියලා. එහෙම බෝඩ් එකක් නැතත් මෙසේ මිනිස්සු හුගක් වෙලාවට කවුන්ටර් එක ලගට වෙලා ඉන්නවා කවුරු හරි ඇවිත් මේසයක් ගාවට එක්කන් යනකල්. මේ කඩේ ඊටත් වඩා වෙනස් කියලා තමා අරුණි අක්කා කිව්වේ. මේ කඩේට තියෙන ප්‍රසිද්ධ බව නිසා ගිම්හාන කාලෙට Ocean City එන අයගෙන් බහුතරයක් මෙතනට එනවලු. ඒ නිසා මෙතන මේසෙකට ගිහින් ඉඩගන්නත් පොරොත්තු ලේඛනයක ඉන්න වෙනවලු. හැබැයි අපේ වාසනාවටද මන්දා එදා වැඩිය සෙනඟ හිටියේ නෑ. අපි දෙන්න ඇතුලට ගිහින් තුන්දෙනෙක්ට ඉදගන්න මේසයක් ඉල්ලුවා.කෝ තුන් දෙනා කියලා අහපි. අනික් කෙනාත් එනකල් මේසෙකට එක්ක යන්න බෑ කිව්වා. වෙලාවට අරුණි අක්කත් ඒ වෙලේම ඇතුලට ආවා. 

කකුළුවෝ කිව්වට ඉතිං තව එක එක කෑම ජාති,බීම ජාති ගොඩක් මෙනු එකේ තිබ්බා.කකුළුවෝ කන්නමනේ ආවේ කියලා. මුලින් තුන්දෙනාට කකුළුවෝ තුන්දෙනෙක් ගේන්න කිව්වා. බැරි වෙලාවත් එක්කෙනෙක්ට දෙකක් කන්න බැරි වුනොත් එහෙම. ඉතිං කකුළුවෝ තුන් දෙනා එනකල් අපි තුන් දෙනා වේටර් කෙල්ලට වද දිදී එක එක කෑම තේරුවා.. ඒ අස්සෙම උදිතට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දේකුත් අර වේටර් කෙල්ලගෙන්ම විසද ගත්තා. හා කියමු බලන්න අපේ රටේ ගෑනු කසාද මුද්ද දාන්නේ මොන අතේද, පිරිමි දාන්නේ මොන අතේද? ඔය සමහරුන්ට ඕක මතක නැති බව මං දන්නවා ;) . ඔන්න ඉතිං අපි අර ළමයාගෙන් ඇහුවා මෙහෙ අය කොයි ඇගිල්ලේද දාන්නේ කියලා. බැලින්නම් මේ රටේ දෙගොල්ලොම මුද්ද දාන්නේ වම් අතේ වෙදගිල්ලට. එහෙම දාන්නේ වම් වෙදගිල්ලේ ඉදන් හදවතට යන නහරයක් තියෙනවා කියල ඒගොල්ලෝ විශ්වාස කරන හින්ද ලු. 

 ඔන්න ඉතිං කකුළුවොත් ආවා. කකුළුවෝ කන එකත් වෙනමම කෝස් එකක්. ආම්පන්න තුනකුත් එක්ක තමා කකුළුවා මේසෙට එවන්නේ. චූටි ගෑරුප්පුවකුයි දිග මිටක් තියෙන පොඩි මිටියකුයි, අඬුවක් වගේ එකකුයි.අඬුවක් කිව්වට ගිරයක් වගේ. මුලින්ම කකුළුවාගේ ඉස්සරහ ලොකු අඬු තමා කන්න පටන් ගන්නේ. අර ගිරේ මැද්දට අන්ඩ තියලා පුවක් කපනවා වගේ තද කරන්න ඕනේ. ඔන්න එතකොට අර හයිය කට්ට පුපුරලා මස් ටික එලියට එනවා. දැන් ඉතිං අර චූටි ගෑරුප්පුවෙන් කන්න තියෙන්නේ. මස් ටික කන්න ඔලිව් තෙල් හම්බ වුනත් මං නම් ඒවා නැතුව නිකන්ම කෑවා. අඬු ටික ඉවර වුනාම මැද්ද. ඒ හරියට තමා මිටිය ඕනේ වෙන්නෙ. කකුළුවාගේ පිටිපස්සේ කට්ටේ පිපිරුමක් එන තරමට හයියෙන් පාරක් දෙකක් ගහන්න ඕනේ. කොහොමද බැරි වෙලාවත් පාර වැරදිලා පිඟානට වැදුනොත් :D. පුපුරපු තැන ඉදන් කට්ට සුද්ද සුද්ද කර කර මස් ටික වෙන් කරගන්න ඕනේ. මටනම් චූටි පැණි රසක් එක්ක තමා රස දැනුනේ. 


10609725_10152574737335851_7203463788093796303_n.jpg
රෑ කෑම

හොද ලොකු රෑ කෑමකින් පස්සෙ අපි දැන් ආයේ අරුණි අක්කගේ ගෙදර රෑ ගත කරන්න යන්නයි හදන්නේ. ඊළග දවසට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ටික ඊළග සෙල්ලිපි සටහනේ කොටන්නම්.

16 comments:

  1. කොහොම හරි පොඩි කාලේ යාළුවා හොදම යාළුවා කරගත්තා එහෙනම් .... සුබ පැතුම් දෙන්නටම ..... මම ඔයගොල්ල දෙන්න ගැනම බ්ලොග් ලියන එක නැවැත්තුව එ‍කට බ්ලොග් පොස්ට් එකකුත් ලියල තිබුන බැලුවද දන්නේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... අපි ගැන පෝස්ට් එකකුත් දාලනෙ. ඔන්න අද තමයි දැනගත්තේ. ඇත්තටම බ්ලොග් ලියවිල්ල මග ඇරිලා ගිහිල්ලමයි තිබුනෙ. ඔන්න එහෙනම් ආපහු හවුලේ ලියන්න පටන් ගත්තා. බොහොම ස්තූතියි කමෙන්ටුවටයි බ්ලොග් පෝස්ට් එකටයි දෙකටම...

      Delete
    2. ඒකනේ මාත් අදයි ඒක දැක්කේ. එකෙත් අපි දෙන්නා එක ළග. :v
      බලමුකෝ කොහොම කොහොම හරි ලියන්න.කම්මැලි කමේ පස්ස ගහන්න ලේසි නෑ දැන්. තල්ලු දාන්න කෙනෙක් ඉන්නවනේ.

      Delete
  2. අෆ්ෆට සිරි. මමත් හොල්මං උනා මොකද්ද මේ මහත්තය කතාව කියල. :D
    එතකොට නිසූගේ කතා ක්ලෝස්ද??? :(

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඒ හොල්මන් විල්ල බලාගෙනමයි මං එහෙම ලිව්වේ. ඒත් අර යාළුවො ගාවින් අපේ නංගි ගැනත් ලිව්වා. උදිත ඒක අයින් කළා එතකොට මං නෙවෙයි කියලා තේරෙනවා කියලා. වෙලාවට.

      Delete
  3. හවුලෙ කිවුවට ඉතින් පදමට ලුණු ඇඹුල් දාල ලියන්න වෙන්නෙ නෝනට තමා. මහත්තයා අමුද්‍රව්‍ය සප්ලයි කරයි :-p

    ReplyDelete
    Replies
    1. වැඩිපුර වෙන්න ඉඩ තියෙන්නේ ඒක තමා මකරෝ. මං නෙ ඉතිං ගෙදරට වෙලා ඉන්නේ.

      Delete
  4. කමක් නෑ.. ඩබල් දාලා එකක් ලියමු

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නේද නීනුවෝ. මෙදා පාර බුක් ෆෙයාර් මග ඇරෙනවා නේද කියලා මතක් වෙද්දීත් දුකයි.

      Delete
  5. අප්පට සිරි ගජ..උඹ ඇමරිකාවෙද දැන්?...බොහොම හොඳයි..බොහොම හොඳයි..ලියමුකො එහෙනං දෙන්නත් එක්කම මොන මොනව හරි...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇමෙරිකාවේ තමා බං රවී අයියේ. මොනවා මොනවා හරි ටිකක් ලියන්න බලමුකෝ නේ. :D

      Delete
  6. ඔයැයිගේ අරුණි අක්කා මොකද මේ තරං බදු වලට විරුද්ධ කියල දැං නේ තේරුනේ.. හැක්..

    නිසු. ලංකාවේ ඉද්දි ගියේ නැද්ද සංගා-මහේලගේ කකුලු දෙපාර්තමේන්තමේන්තුවට.. ඒකෙත් ඔය විදියට තමා දෙන්නේ. හැබැයි ආසන පැනවීමක් නං නැහැ.

    බලං ගියාම ඇමරිකාවේ ඉන්නෙම නිතිකාරයෝ නේ බං..

    මේ යකාගේ සෙල්ලිපිය මොකක් හරි හේතුවක් නිසා මම ළගදි බැලුවා.. ආහ්.. අපුසින් නගා ටැග් කරපු නම නිසා.. හැක්.. හැබෑට ඔයැයි කැමති නැද්ද ඔය ආස්සරේ පටන් ගත්ත හැටි අපිට කියන්න..

    ජය වේවා නිසූ.. තේ ටික ඉස්පොල්ලේ ගියේ නෑ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ නෙ මං ලංකාවේදී කාලම නෑ.

      හිකිස් නීති නිසා තමා ඔහොම තියෙන්නේ.මං මොකේටද අනේ ටැග් කලේ? මගේ බ්ලොග් එකේද? ආස්සරේ නේද? බලමු.

      ඉස්මොල්ලේ ගියේ නැත්නම් අවුලක් නෑ. ජය වේවා .

      Delete
  7. දැන් ඉතින් බොලා දෙන්නම ඩබල් දාලා ලියපල්ලා . . :P

    ReplyDelete
    Replies
    1. ඩබල් දාල ලිව්වට ඉදල හිටලා තනියම ලියන්නත් වෙයි... :D :P

      Delete
  8. අදයි දැන ගත්තේ, සන්තෝෂයි!
    නිකං නැගෙනහිර ජර්මනියයි, බටහිර ජර්මනියයි එකතුවුණා වගේද?

    ReplyDelete