මම අද මේ සෙල්ලිපි සටහන තබන්නේ අපගේ බ්ලොග් අවකාශයෙන් සදහටම සමුගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වෙනුවෙන් මාගේ අවසන් ගෞරවය පුද කිරීමටයි.
'තම තම නැණ පමණින්' බ්ලොගයේ කතෘ වන කුමුදු ලාල් පින්තු මහතා අප අතරින් වියෝ වී ඇති බව මීට සුළු මොහොතකට පෙර 'දුමී ගේ කට කහන කතා' බ්ලොගයෙන් දැන ගතිමි.
කුමුදු මහතාණෙනි... මා කිසි දිනෙක ඔබව සියැසින් දැක නැත. නමුත් ඔබතුමන් ගේ ලිපි හරහා මනසින් ඔබව දුටුවෙමි. ඔබතුමන් මාගේ ගුරුවරයෙකු බවට පත් වූයේ නිතැතිනි. ඔබගේ ලිපි හරහා මා ලද ගුරුහරු කම් අපමණය. ඔබ සෙවණේ සිප් සතර හැදෑරීමට මා වරම් නොලැබුවත් මේ මොහොතේ මසිත දුකින් බරව ඇත්තේ ඔබෙන් ඒ ලද දැනුම් සයුර ඉදිරියටත් ලබා ගැනීමට තරම් අප පින් කර නැති බව වැටහෙන නිසාවෙනි.
සදාදරණීය ගුරු පියාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා... !!!!
Monday, July 26, 2010
Saturday, July 3, 2010
හෙළයේ සටන් හරඹ - 3
මීට කලින් අංගම්පොර ගැන කොටපු සෙල්ලිපි සටහන් දෙකටම හොඳින් ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. හැබැයි ඒ අතරේ නරක විදිහට බැනලා තිබුණ ප්‍රතිචාරත් තිබුණා. මොනවා වුනත් සෙල්ලිපියේ තියෙන හරවත් බවයි ගුණාත්මක බවයි රැකගන්න අවශ්‍ය නිසාම මම ඒ ප්‍රතිචාර අයින් කළා. ඒ කොහොම වුනත් බහුතරයක් දෙනා සෙල්ලිපියට ආදරය කරන බව පෙනෙන නිසාම හෙළයේ සටන් හරඹ ගැන තවත් සෙල්ලිපි සටහනක් කොටන්න ඕනෑ කියලා මං හිතුවා.
අංගම්පොර කලාවත් සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම, හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්‍රව්‍ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා.
මම හිතන හැටියට අංගම්පොර සමග සබැදුණු මේ භාවනාමය ක්‍රමයන් පිළිබඳව අපේ රටේ ජනතාව තුල කිසියම් අවධානයක් ඇති වුනේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ 'අකාල සන්ධ්‍යා' ටෙලි නාට්‍යයත් සමග යි. ඒ නාට්‍යය ගෙතී තිබුණේ කුණ්ඩලිනි යෝගය වැඩූ අංගම් ශිල්පියෙකුගේ චරිතය වටා බව ඔයාලට මතක ඇති. මේ නාට්‍යයත් සමගම කුණ්ඩලිනි යෝගය පිළිබඳව යම් තරමක උනන්දුව ජනතාව තුල ඇති වුණු නිසා ඒ සමකාලීනවම කුණ්ඩලිනි යෝගය පිළිබඳව ලියැවුණු පොත් කිහිපයක් ම එළි දැක්වුණු බවත් මට මතකයි. කුණ්ඩලිනි කියලා කියන්නේ හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්‍රමයක් නේ. ඉතින් අපේ පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්‍රමයම ද කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලත් මම ඉල්ලා සිටිනවා. කොහොම වුනත් මේ සෙල්ලිපි සටහනෙන් කුණ්ඩලිනි යෝගය ගැන ටිකක් කතා කරන්න තමයි මගේ අදහස.
යෝග ශාස්ත්‍රයේ පියා ලෙස හැඳින්වෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ පතංජලී නම් සෘෂිවරයා යි. යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කල එතුමාණෝ 'යෝග සූත්‍ර' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්‍රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්‍ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්‍ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්‍ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.
- මූලාධාර
- ස්වාධිෂ්ඨාන
- මනිපූර
- අනාහත
- විශුද්ධ
- ආඥා
- අනිමා - ඉතා කුඩා බවට පත් වීම
- මහිමා - අති විශාල බවට පත් වීම
- ලඝිමා - පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
- ගරිමා - ශරීරය ඉතා බර කිරීම
- ප්‍රාප්ති - ග්‍රහ වස්තූන් කරා ගමන් කිරීම
- ප්‍රාකම්‍ය - සිතන පතන දේ ලැබීම
- ඊසත්ව - යම් යම් දේ මවා පෙන්වීම
- වශිත්ව - විශ්ව ශක්තිය පාලන කිරීම
කුණ්ඩලිනි යෝගය ගැන වැඩිදුර කතා කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් එහෙම 'හෙළයේ සටන් හරඹ' කියන මාතෘකාවෙන් පිට පනින්න සිද්ධ වෙනවා නේ. මට ඕනෑ වුණේ කුණ්ඩලිනි යෝගය ගැන පොඩි හැඳින්වීමක් කරන්න විතරයි. පුළුවන් වුණොත් පස්සේ වෙලාවක කුණ්ඩලිනි ගැන වෙනම සෙල්ලිපි සටහන් පෙළක් කොටන්නම්. එහෙනම් ඉතින් 'හෙළයේ සටන් හරඹ' ගැන කියැවෙන තවත් සෙල්ලිපි සටහනකින් ආයෙත් දවසක හම්බ වෙමු. මේක කියවලා යන ගමන් තමන් ගේ අදහසත් කාට කාටත් කියවන්න පුළුවන් විදිහට පහළින් කොටලම යනවනම් තමයි හොඳ. අඩුපාඩු, වැරදි එහෙම තියෙනවනම් ඒවත් පෙන්නලා දෙන්න.
Subscribe to:
Posts (Atom)