Showing posts with label angampora. Show all posts
Showing posts with label angampora. Show all posts

Saturday, July 3, 2010

හෙළයේ සටන් හරඹ - 3

kundalini.jpg

මීට කලින් අංගම්පොර ගැන කොටපු සෙල්ලිපි සටහන් දෙකටම හොඳින් ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. හැබැයි ඒ අතරේ නරක විදිහට බැනලා තිබුණ ප්‍රතිචාරත් තිබුණා. මොනවා වුනත් සෙල්ලිපියේ තියෙන හරවත් බවයි ගුණාත්මක බවයි රැකගන්න අවශ්‍ය නිසාම මම ඒ ප්‍රතිචාර අයින් කළා. ඒ කොහොම වුනත් බහුතරයක් දෙනා සෙල්ලිපියට ආදරය කරන බව පෙනෙන නිසාම හෙළයේ සටන් හරඹ ගැන තවත් සෙල්ලිපි සටහනක් කොටන්න ඕනෑ කියලා මං හිතුවා.


අංගම්පොර කලාවත් සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම, හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්‍රව්‍ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා.


මම හිතන හැටියට අංගම්පොර සමග සබැදුණු මේ භාවනාමය ක්‍රමයන් පිළිබඳව අපේ රටේ ජනතාව තුල කිසියම් අවධානයක් ඇති වුනේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ 'අකාල සන්ධ්‍යා' ටෙලි නාට්‍යයත් සමග යි. ඒ නාට්‍යය ගෙතී තිබුණේ කුණ්ඩලිනි යෝගය වැඩූ අංගම් ශිල්පියෙකුගේ චරිතය වටා බව ඔයාලට මතක ඇති. මේ නාට්‍යයත් සමගම කුණ්ඩලිනි යෝගය පිළිබඳව යම් තරමක උනන්දුව ජනතාව තුල ඇති වුණු නිසා ඒ සමකාලීනවම කුණ්ඩලිනි යෝගය පිළිබඳව ලියැවුණු පොත් කිහිපයක් ම එළි දැක්වුණු බවත් මට මතකයි. කුණ්ඩලිනි කියලා කියන්නේ හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්‍රමයක් නේ. ඉතින් අපේ පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්‍රමයම ද කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලත් මම ඉල්ලා සිටිනවා. කොහොම වුනත් මේ සෙල්ලිපි සටහනෙන් කුණ්ඩලිනි යෝගය ගැන ටිකක් කතා කරන්න තමයි මගේ අදහස.


යෝග ශාස්ත්‍රයේ පියා ලෙස හැඳින්වෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ පතංජලී නම් සෘෂිවරයා යි. යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කල එතුමාණෝ 'යෝග සූත්‍ර' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්‍රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්‍ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්‍ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්‍ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.
  • මූලාධාර
  • ස්වාධිෂ්ඨාන
  • මනිපූර
  • අනාහත
  • විශුද්ධ
  • ආඥා
කුණ්ඩලිනි ශක්තිය දියුණු කරන විට එය කොඳු ඇට පෙළේ පහලම ස්ථානයේ සිට ක්‍රමයෙන් ඉහළට නගින්න පටන් ගන්නවා. එම ශක්තිය ඉහත සඳහන් චක්‍ර හරහා ගමන් කරන විට විවිධ වූ විශේෂ හැකියාවන් යෝගියාට ලැබෙන බවයි පැවසෙන්නේ. මෙවැනි හැකියාවන් හෙවත් සිද්ධි අටක් පිළිබඳව යෝග දර්ශනයේ සඳහන් වෙනවා.
  • අනිමා - ඉතා කුඩා බවට පත් වීම
  • මහිමා - අති විශාල බවට පත් වීම
  • ලඝිමා - පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
  • ගරිමා - ශරීරය ඉතා බර කිරීම
  • ප්‍රාප්ති - ග්‍රහ වස්තූන් කරා ගමන් කිරීම
  • ප්‍රාකම්‍ය - සිතන පතන දේ ලැබීම
  • ඊසත්ව - යම් යම් දේ මවා පෙන්වීම
  • වශිත්ව - විශ්ව ශක්තිය පාලන කිරීම
මේ හැකියාවන්ට අමතරව ලෙඩ රෝග සුව කිරීම, දීර්ඝායුෂ ලැබීම ආදී තවත් හැකියාවන් රැසක් කුණ්ඩලිනි යෝගය හරහා ලබා ගන්න පුළුවන්.


කුණ්ඩලිනි යෝගය ගැන වැඩිදුර කතා කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් එහෙම 'හෙළයේ සටන් හරඹ' කියන මාතෘකාවෙන් පිට පනින්න සිද්ධ වෙනවා නේ. මට ඕනෑ වුණේ කුණ්ඩලිනි යෝගය ගැන පොඩි හැඳින්වීමක් කරන්න විතරයි. පුළුවන් වුණොත් පස්සේ වෙලාවක කුණ්ඩලිනි ගැන වෙනම සෙල්ලිපි සටහන් පෙළක් කොටන්නම්. එහෙනම් ඉතින් 'හෙළයේ සටන් හරඹ' ගැන කියැවෙන තවත් සෙල්ලිපි සටහනකින් ආයෙත් දවසක හම්බ වෙමු. මේක කියවලා යන ගමන් තමන් ගේ අදහසත් කාට කාටත් කියවන්න පුළුවන් විදිහට පහළින් කොටලම යනවනම් තමයි හොඳ. අඩුපාඩු, වැරදි එහෙම තියෙනවනම් ඒවත් පෙන්නලා දෙන්න.

Thursday, June 10, 2010

හෙළයේ සටන් හරඹ

3819669235_bcf52eb141.jpg

මේ දවස් වල කැම්පස් එකත් වහල නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ මට හිතුණා ලංකාවේ පුරාණ සටන් ශිල්ප ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න. ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්‍යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්‍යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්‍යා', 'අන්තස්සරයෝ' සහ 'චක්‍රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්‍රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.


ශ්‍රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,


හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ



මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්‍රම ආශ්‍රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්‍රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.


පුරාණ රජ කාලයේ දී, රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්‍රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්‍රමවේදයන් සඳහා අනන්‍ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.


අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්‍රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්‍රම 8 ට අමතරව තවත් ශිල්ප ක්‍රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.

අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්‍රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්.
දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්‍රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර


( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )


අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්‍රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්‍රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්‍රදේශ යි.


එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.