Showing posts with label nano technology. Show all posts
Showing posts with label nano technology. Show all posts

Friday, September 11, 2009

නැනෝ තාක්ෂණය ගැන පුංචි විස්තරයක්... ( මං දන්න තරමට )

"නැනෝ තාක්ෂණය හෙඳද... නරකද..." කියන මාතෘකාව යටතේ මං කලින් ලියපු බ්ලොග් ලිපිය කියවපු අපෙ එක සහෝදරයෙක් මේ තාක්ෂණය ගැන පොඩි විස්තරයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් මමත් හිතුවා ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕනෑ. මොකද මං මේ ලියන්නේ මම දන්න තරමට තමයි.

නැනෝමීටරයක් කියලා කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක්. සාමාන්‍ය A4 කඩදාසියක් උනත් නැනෝමීටර් ලක්ෂයක් විතර ඝනකමයි. ඉතින් හිතලා බලන්නකෝ නැනෝමීටරයක ප්‍රමාණය කොච්චර පොඩිද කියලා. නැනෝමීටර් 1 සිට 100 දක්වා පරාසයක විශාලත්ව ප්‍රමාණයේ පවතින ද්‍රව්‍ය වල ගුණ අධ්‍යයනය කිරීම සහ ඒවා පාලනය කිරීමේ තාක්ෂණය නැනෝ තාක්ෂණය කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. මේකට සිංහලෙන් කියන්නේ නිනිති තාක්ෂණය කියලයි. ඕනෑම ද්‍රව්‍යයක් නැනෝ මට්ටම දක්වා කුඩා කරන විට ඒවායේ භෞතික ගුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එවායේ ශක්තිය වැඩි වෙනවා. බර ඉතාමත් අඩු වෙනවා. තාප හා විද්‍යුත් සන්නායකතාවන් වෙනස් ආකාර වලින් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ මට්ටමේදි ද්‍රව්‍ය වලට තමන්ගේ පාට පවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් රත්තරන් වලට නැනෝ මට්ටමේදි තමන්ගේ වර්ණය රතු හෝ නිල් බවට වෙනස් කරන්න පුලුවන්. ඉතින් විද්‍යාඥයෝ දැන් උත්සාහ ගන්නේ මේ වෙනස් වන භෞතික ගුණ ප්‍රයෝජනයට අරගෙන වඩා කාර්යක්ෂම, ශක්තිමත්, සැහැල්ලු සහ වේගවත් තාක්ෂණික මෙන්ම ඉංජිනේරුමය නිර්මාණයන් බිහි කිරීමටයි. තවමත් මේ තාක්ෂණය පවතින්නේ ඉතාම ලාබාල අවධියේ. කොටින්ම කියනවානම් පහුගිය අවුරුදු දෙක ඇතුලතදී ඇමරිකාවේ පැවැත්වුණු නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයකදී නැනෝ තාක්ෂණය සම්බන්ධ නව නිර්මාණ ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙකයිලු.( මේ ප්‍රදර්ශනයට සහභාගි වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තමයි කිව්වේ. ) ඒ නිර්මාණ දෙකත් තාම තියෙන්නේ සංකල්පමය මට්ටමේලු. ඒ කියන්නේ ඒ වගෙ නිර්මාණයක් කරන්න පුලුවන් කියලා අදහසක් විතරයි. භෞතික වශයෙන් නිර්මාණයක් කරලා නැහැ. ඇමරිකාව වගේ දියුණු රටවල් වල පවා තවම නැනෝ තාක්ෂණය තියෙන්නේ ඔන්න ඔය මට්ටමේ. හැබැයි මේ තාක්ෂණය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ඉතාම ඉක්මනින් නුදුරු අනාගතයේදීම මේ තාක්ෂණයේ සුපිරි ඵල අපට භුක්ති විදින්න පුලුවන් වෙයි කියලයි මගේ නම් අදහස.
ඉතින් මම මේ බ්ලොග් ලිපිය ලිව්වේ නැනෝ තාක්ෂණය ගැන පොඩි අදහසක් ඔයාලට ලබා දෙන්නයි. මේකේ වැරදි හෝ අඩුපාඩු තියෙනවානම් ඒ ගැන සමාවෙලා ඒවා පෙන්වලා දෙනවනම් හොදයි. මොකද මම මේ තාක්ෂණය ගැන මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. මම කැමතියි ඔයාලා මේ බ්ලොග් ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වනවනම්. මේක කියවල මම මීට කලින් ලියපු බ්ලොග් ලිපියටත් මොනවාහරි කියලම යනවනම් තවත් හොඳයි.... කලින් බ්ලොග් ලිපිය බලන්න මෙතන කොටන්න.

Thursday, September 10, 2009

නැනෝ තාක්ෂණය හොඳද... නරකද..?

මට නැනෝ තාක්ෂණය ගැන බ්ලොග් එකක් ලියන්න හිතුනේ මේ සතියේ විදුසර පත්තරේ කියෙව්වට පස්සෙයි. මේ වෙනකොට මේ තාක්ෂණය පිළිබඳව පරස්පර විරෝධී ආකල්ප දෙකක් ගොඩනැගිලා තියෙනවා. එක කණ්ඩායමක් නැනෝ තාක්ෂණය ගැන සුබවාදී ආකල්පයකින් සිටින අතරේ අනෙක් කණ්ඩායම කියන්නේ තවමත් නැනෝ තාක්ෂණය අපේ රටට ගැලපෙන්නේ නැති බවයි. අපේ විශ්ව විද්‍යාලයේ මම ඉගෙනගන්නා අංශය තුල ( මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ) මේ කණ්ඩායම් දෙකම නියෝජනය කරන පුද්ගලයන් සිටීමත් එම දෙපාර්ශ්වයම තම තමන්ගේ අදහස් අපට ප්‍රකාශ කර සිටීමත් මේ බ්ලොග් එක ලිවීමට තුඩු දුන් තවත් හේතුවක් වුණා.


මේ වන විට බොහෝ දෙනා දන්නවා ඇති නැනෝ තාක්ෂණය වෙනුවෙන් අති විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් රජය විසින් වෙන් කර ඇති බව. ( මට ඇහිලා තියෙන විදිහට රුපියල් කෝටි 50 ක් විතර. හැබැයි සංඛ්‍යාව නම් හරියටම හරිද දන්නේ නැහැ. ) ඉතින් මේ තාක්ෂණයට එතරම් කැමැත්තක් නොදක්වන කට්ටිය කියන්නේ මෙච්චර මුදල් ප්‍රමාණයක් එකවර වියදම් කරන එක අපරාධයක් බවයි. හැබැයි මේ කට්ටිය මේ තාක්ෂණයට විරුද්ධයි කියලා වරදවා තේරුම් ගන්න එහෙම එපා. මෙයාලා නැනෝ තාක්ෂණයට විරුද්ධ නැහැ. මෙයාලා කියන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ සහ ලාබාල අවධියේ තියෙන තාක්ෂණයක් සඳහා ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් මෙච්චර මුදල් සම්භාරයක් වියදම් කිරීම තේරුමක් නැති වැඩක් කියලයි. නැනෝ තාක්ෂණයට වඩා වැඩි අවධානයක් යොමු කරලා දියුණු කළයුතු තවත් ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවක් තියෙන බවයි මේ අයගේ අදහස. උදාහරණයක් විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රය අරගත හැකියි. ඔය වියදම් කරන මුදලෙන් සුළු ප්‍රමාණයක් වියදම් කරලා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පොහොර වර්ග, යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බලශක්ති අර්බුදයට පිළියම් හොයන්න පුළුවන්. සාමාන්‍ය තාක්ෂණය පාවිච්චි කරලා හදාගන්න පුළුවන් බයිසිකලයක්වත් තවමත් සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවන්නේ නැති පසුබිමක අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් නැනෝ මට්ටමේ පර්යේෂණ හා නිපැයුම් කරන්නට යෑම තවමත් අපේ රටට ඔරොත්තු නොදෙන්නා වාගේම එක අතකින් තරමක විහිලුවක් බවයි මේ අයගේ අදහස. නැනෝ වලට අත ගහන්නට කලින් ලංකාව තාක්ෂණික අංශයෙන් තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මේ අය කියන්නේ.( එක අතකට ඒ කතාවත් ඇත්ත කියලා හිතෙනවා. හරි හමන් අරමුණක් ඇතුව ගමන යනවානම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් හත් පොළේ ගා ගන්න තමයි වෙන්නේ. )


නැනෝ තාක්ෂණය ගැන සුබවාදීව බලන අයනම් කියන්නේ මෙයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම නිවැරදි ක්‍රියාවක් බවයි. නැනෝ තාක්ෂණයට මුදල් වෙන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කර්මාන්ත විශාල ගණනකට අදාළ පර්යේෂණ කරන ක්‍රමවේදයකට සහාය ලබා දීම බව මේ අයගේ අදහසයි. මේ වන විටත් අති විශාල මුදලක් ආයෝජනය කරමින් ස්ලින්ටෙක් නමින් ආයතනයක් බියගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතිනවා. අනාගතයේදී ලංකාව තුල නැනෝ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදුකරනු ලබනු ඇත්තේ මෙම ආයතනය තුළයි. මේ නැනෝ තාක්‌ෂණ ව්‍යාපෘතියේ නියමු විද්‍යාඥයකු වන මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පවසන්නේ බැලු බැල්මට එක තැනකට විශාල මුදලක්‌ යොමු කර ඇති බව කෙනකුට හැඟී ගියත් මෙය ඉතා වැදගත් ඵලදායි ආයෝජනයක්‌ බවයි. විද්‍යා පර්යේෂණවල උන්නතියට මෙන්ම ලාංකික කර්මාන්ත ප්‍රවර්ධනයට ද මහඟු මෙහෙයක්‌ නැනෝ තාක්‌ෂණ පර්යේෂණ මගින් සිදු වන බවන මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ අදහසයි.


නැනෝ තාක්ෂණය ලංකාවට ගැලපෙනවද නැද්ද කියන එක ගැන මේ බ්ලොග් එක කියවන ඔයාලත් අදහස් දක්වන්න.