Thursday, December 23, 2010

ලංකාවේ පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම

කාලෙකට පස්සෙ ආයෙත් සෙල්ලිපිය පැත්තේ එන්න පුළුවන් වුණා. මෙන්න මකුළුවෝ දැලුත් බැඳලා. ඉතින් ඒ මකුළු දැල් ඔක්කොම කඩලා දාලා එහෙම දැන් ලෑස්ති වෙන්නෙ අළුත් සෙල්ලිපි සටහනක් කොටන්න කියලා තමයි. පහුගිය දවස් වල මම ටිකක් හොයල බැලුවා ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම එහෙම මොනවද කියලා. ඒ සෙවිල්ලෙන් මට දැන ගන්න ලැබුණු විස්තර ටිකක් ඔයාලා එක්කත් බෙදා හදා ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. හැබැයි මුලින්ම කියන්න ඕනෑ මම මේ දේවල් වල ඇත්ත නැත්ත නම් හරියට දන්නේ නැහැ කියලා. හොයා ගත්ත කරුණු ටිකක් ඔයාලටත් කියන්න විතරයි මට ඕනෑ කරන්නේ. ඉතින් එහෙනම් මාතෘකාවට බහිමුකෝ.


ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම ගැන හොයාගෙන යනකොට හම්බ වුණු මේ වෙනකොට අභාවයට යමින් පවතින එක ක්‍රමයක් තමයි 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ. මේකට අමතරව 'යම කාලය', 'යම පිම්ම', 'ඉඳුරු ගුරුළුව', 'ගුරුළු පිම්ම', 'දඬු මරණය' වගේ නම් වලින් හැඳින්වෙන බොහොම දුර්ලභ ශාස්ත්‍ර ක්‍රම රාශියක්ම අපේ රටේ තිබිලා තියෙනවා. අපි බලමු 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ මොකක්ද කියලා. අ,ඉ,උ,එ,ඔ කියන ස්වර අකුරු පහට භේරුණ්ඩ, පිංගල, කාක, කුක්කුට, මයුර කියන පක්ෂීන් ගේ නම් ආරූඪ කරලා ඔවුන් සතියේ දින හතේ ඒ ඒ වෙලාවන් වලදී භෝජන, ගමන, රජ, නිදි, මරණ කියන අවස්ථාවන්ට පත්වීම අනුව කෙනෙකු ගේ සුබ අසුබ හෝ ජය පරාජය විසඳන ශාස්ත්‍රයක් තමයි පංච පක්ෂි ශාස්ත්‍රය කියල කියන්නේ. මෙහෙම කිව්වම කට්ටියට ටිකක් තේරෙනවා හොරයි වගේ නේද... ඒක නිසා මම උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්නම්.


'කුමාර' කියන නම සලකන්න. ඒ නමේ මුල් අකුර 'කු' යන්න. 'කු' යන්න හැදිල තියෙන්නේ 'ක්+උ' කියන අකුරු දෙකෙන්. එතකොට මේකෙ ස්වරාක්ෂරය 'උ' යන්න. 'උ' යන්නට අධිපති පක්ෂියා වෙන්නේ කපුටා. ඉතින් මේ විදිහට කෙනෙකුගේ නමට අදාල පක්ෂියා දැන ගත්තහම එක් එක් දවස් වලදී එක් එක් වෙලාවට ඒ පක්ෂියා ගේ හැසිරීම අනුව ඒ පුද්ගලයා ගේ සුබ අසුබ ගුණ ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතාම සරලව උදාහරණයකින් පෙන්වනවනම් කපුටා භෝජන සමයට පත් වුණහම ලාභ සහ ශ්‍රේෂ්ඨ බව ඇති වෙනවා. ගමන සමයට පත් වුණහම සැප ලැබීම සහ කරන කාර්යය සාර්ථක වීම සිදු වෙනවා. රජ සමයේ දී මිතුරන් හා භූමි ලාබ ලැබෙනවා. නිදි සමයේ දී කනගා‍ටුව, බිය සහ කම්මැලි කම ඇති වෙනවා. අවසාන වශයෙන් මරණ සමයේදී අලාභ, වධබන්ධන, පිරිහීම ආදිය සිදු වෙනවා.

කිසියම් තරගයකට හෝ විවාදයකට සහභාගි වෙනවා නම් තමාගේ නමට හිමි පක්ෂියා ප්‍රබල වෙන සහ ප්‍රතිවාදියා ගේ නමට හිමි පක්ෂියා දුබල වෙන හෝරාවක දී එම කටයුතු ආරම්භ කිරීම සුදුසුයි කියලයි මේ ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ.



පංච පක්ෂි ශාස්ත්‍රයේ උප්පත්ති කතාවට අනුව එය නිර්මාණය කරලා තියෙන්නේ 'ශ්‍රී මහාදේව' නම් විද්‍යාවන්තයෙක් විසින්. සුරාසුර යුද්ධය සිදුවන අවස්ථාවේදී එක් එක් පුද්ගලයන් ඒ ඒ දවස් වල ඒ ඒ වෙලාවන් වලදී ජය පරාජය ලැබීම්, තුවාල සිදුවීම්, මරණයට පත්වීම් ආදිය ගැන හොඳින් විමසා බලා ශ්‍රී මහාදේව විසින් මෙම ශාස්ත්‍රය එළි දක්වලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් උප්පත්ති කතාවකට අනුව සඳහන් වෙන්නේ මේ ශාස්ත්‍රය අගස්ති මහසෘෂිවරයා විසින් නිර්මාණය කරපු බවයි.


උප්පත්ති කතා කීපයක් තිබුණත් පැරණි සිංහලයා නම් මෙයින් බොහෝ ලාබ ප්‍රයෝජන අරගෙන තියෙනවා. කොහොම වුනත් මේ ශාස්ත්‍රයේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහැ. ඒක තීරණය කරන එක ඔයගොල්ලන්නට බාර යි. එහෙනම් ඊළඟ සෙල්ලිපි සටහනෙන් හම්බ වෙමු.