Tuesday, December 4, 2012

ලංකාවෙන් යැංකි රටට - අන්තිම ටික


ලංකාවෙ ඉඳන් නෙදර්ලන්තෙට එනකල් ගමන් විස්තරේ කට්ටිය කියවල ඉවර ඇතිනෙ. අද එතන ඉඳන් ඇමරිකාවට එනකල් විස්තරේ කොටන්න තමයි හදන්නෙ.

ඉතින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තො‍ටුපලට මං ගොඩබැස්සා. එදා හොඳටම වැස්ස. ඒ මදිවට හීතලයි. මං ඉතින් හීතල ඇඳගන්න කියල ජර්සියක් වත් අතේ අරගෙන ආපු බෑග් එකට දාගත්තෙ නැහැනෙ. අර මට කරදර කරපු සද්දන්තයත් ප්ලේන් එකෙන් බහින්න කලින් winter jacket එකක් ඇඳගත්තා. මොනව කරන්නද ඉතින්.... අත් දෙකත් අතුල්ල අතුල්ල මුලින්ම ගියේ ගුවන් ගමන් විස්තර පෙන්වන screen එක ලඟට, මට යන්න තියෙන ඊළඟ ප්ලේන් එක පිටත් වෙන වෙලාවයි යන්න ඕනෙ දොර‍ටුවයි බලාගන්න. ඒ ප්ලේන් එක පිටත් වෙන්නෙ දවල් 12.30 ට. තව පැය 6ක් විතර තියෙනවා. කලින් ගුවන් ගමන් දෙකේදිම හරි හමන් නින්දකුත් තිබුණෙ නැති නිසා නිදිමතකුත් තියෙනවා. බඩගින්නකුත් තියෙනවා. පොඩි නින්දක් දාන්න කලින් මොනවහරි බඩට දාගන්න කියල හිතාගෙන ගියා එයාර්පෝර්ට් එක ඇතුලෙ තිබුණු කැෆේ එකකට. එතකොට තමයි දැක්කෙ ඒ කඩේ ගනුදෙනු කරන්නෙ යුරෝ වලින් විතරයි කියලා. බලනකොට එතන විතරක් නෙවෙයි, එයාර්පොර්ට් එක ඇතුලෙ හැමතැනකම ගනුදෙනු කරන්නෙ යුරෝ වලින්. මගෙ අතේ තියෙන්නෙ ඩොලර් විතරයි. ඒ පාර බැලුවා ඩොලර් යුරෝ වලට මාරුකරගන්න පුළුවන්ද කියලා. සල්ලි මාරු කරගන්න තැනකුත් ළඟම තිබුණා. එතනට ගියහම තමයි දැක්කෙ අඩුම ගානෙ ඩොලර් 100 ක් වත් මාරුකරගන්න ඕනෙ කියල ගහල තිබුණ බෝඩ් ලෑල්ල. ඇයි දෙයියනේ මේ පැය කීපෙකට මොකටද ඩොලර් 100 ක් නිකන් වියදම් කරන්නෙ, තිබිච්ච බඩගින්නත් නැති වුණා.... කමක් නැහැ, ප්ලේන් එකට නැග්ගහම කන්න හම්බ වෙනවනෙ කියල හිත හදාගෙන විවේකාගාරෙට ගිහින් මූණ හෝදගෙන වතුර ටිකක් බීල ෂේප් වුණා. ඊට පස්සෙ මං බැලුවා WIFI එහෙම තියෙනවද කියලා, ගෙදරට skype call එකක් ගන්න... ම්ම්හ්, WIFI තියෙන බවක් කොහෙවත් කියල නම් නැහැ. ඒත් ඉතින් මෙච්චර ලොකු එයාර්පෝර්ට් එකක WIFI නොතිබෙන්න විදිහකුත් නැහැ නෙ. ප්ලේන් එකෙන් බැහැල ඇතුලට ආපු තැනම තිබුණ information center එකක්. මං ඉතින් එතනට ගිහිල්ල ඇහුව 'මෙහෙ free WIFI තියෙනවද ' කියල. එතන හිටපු තරුණ නෝනත් හොඳ හිනාවක් එහෙම දාල මගෙ අතට දුන්න පොඩි කඩදාසි කෑල්ලක්. ඒක මොකක්හරි විස්තරයක් photo copy කරල තිබුණු කොලයක්. මං ඇහුව මේ මොකද්ද කියල.. ඔන්න ඒ පාර මේ ගෑණි මට දේසනාවක් කරන්න පටන් ගත්තා මෙහෙ WIFI කොන්දේසි ගැන. Free WIFI හම්බ වෙන්නෙ පැය බාගයයි ලු. ඊට පස්සෙ හැම පැයකටම සල්ලි ගෙවන්න ඕනෙලු. අපිට credit card එකෙන් ගෙවන්න විදිහක් නැත්නම් සල්ලි ගෙවල ඇතුලෙ තියෙන internet cafe එක පාවිච්චි කරන්න පුලුවන් ලු. අර චුට්ටං කඩදාසියෙ තියෙන්නෙ මුල් පැය බාගෙ free පාවිච්චි කරන්න පුලුවන් වෙන විදිහට settings හදාගන්න හැටිලු.... ඇයි යකෝ, ලංකාවෙත් unlimited free internet තිබුනනම් අබුඩාබි වලත් unlimited free internet තිබුනනම් මුන්ට මොකෝ මේ free internet දෙන්න බැරි... කමක් නැහැ පැය බාගයක් හරි තියෙනවනෙ කියල හිතාගෙන පැත්තක තිබුණු පු‍ටුවකින් වාඩි වෙලා අර කඩදාසියෙ පේන නොපෙනෙන තරමට වැදිල තිබුණු විස්තරෙත් කියවගෙන settings හදාගත්ත කියමුකෝ. හැබැයි internet යන්න බැහැ. විනාඩි 15 විතර ට්‍රයි කලා, හරියන්නෙම නැහැ. මට එහාපැත්තෙ පු‍ටුවෙ වාඩි වෙලා හිටපු බුවා ත් මිනිහගෙ ලැප්ටොප් එක දිහා බලාගෙන මොනවදෝ කරනවා. මං හිතුව මිනිහ කොහොමහරි හරියට settings හදාගෙන කියලා. මාත් මෑන් ට පොඩ්ඩක් කිට්‍ටු කරල ඇහුවා කොහොමද settings හදාගත්තෙ කියල. මිනිහ කියනව මිනිහටත් තාම settings හදාගන්න බැරුවලු ඉන්නෙ කියල. අන්තිමට මිනිහට හොඳටම තද වෙලා හයියෙන් ලැප් එකත් වහල බෑග් එකට දාගෙන බැන බැන යන්න ගියා. මාත් මෙහේ වැඩකරන හැම එකාගෙම අම්ම මුත්තවත් හිතෙන් මතක් කර කර ආපහු අර information center එකට ගිහින් කිව්වා internet සම්බන්ධ වෙන්න විදිහක් නැහැ කියලා. ඒ පාර එතන හිටපු ගෑනි කියනවා internet cafe එකට ගිහින් එතන ඉන්න operator ට කියල වැඩේ හරියට කරගන්න කියලා. ඉතින් internet cafe එකටත් ගියා කියල කියමුකෝ. ඒක ඇතුලෙ බලු බල්ලෙක් නැහැ. ඔපරේටර් කෙනෙක් තියා සල්ලි ගෙවල internet යන මනුස්සයෙක්වත් නැහැ. මේ වැඩේ හරියන්නෙ නැහැනෙ. Internet යන්න තිබ්බ අදහස අල්ලල දැම්මා. පැය 6 ක් යනකල් මොනවහරි කරන්නත් එපැයි. ඒක නිසා එයාර්පෝර්ට් එක ඇතුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද ෆොටෝ ගන්න එක තමයි කලේ. ඔය පල්ලෙහයින් තියෙන්නෙ එහෙම ගත්තු ෆොටෝ ටිකක්.




ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉන්නකොට ආයෙත් නිදිමත හැදීගෙන ආවා. ඉන්ටනෙට් නැති වුණාට මොකද හොඳට වාඩිවෙලා නිදාගන්න පුලුවන් කුෂන් කරපු පු‍ටු තියෙන ලොකු resting area එකක් නම් එයාර්පෝර්ට් එකේ තියෙනවා. පු‍ටුවටම අල්ලල හයි කරපු iPad එකකුත් තියෙනව. ඕනෙනම් ඒකෙන් online library එකට log වෙලා පොත් කියවන්නත් පුලුවන්. කැමතිනම් සින්දුවක් අහන්නත් පුලුවන්. ඕව බල බල ඉන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ, මට හිටගෙන ඉන්නකොටත් ඇහැ පියවෙන තරමට නිදිමතයි. ඒක නිසා අර පු‍ටුවකින් වාඩි වෙලා සපත්තු දෙකත් ගලවල දාල ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන පැය 3 ක් විතර හොඳට නිදාගත්තා. 10.30 ට විතර නැගිටලා ආයෙත් වටේ ඇවිදින්න ගත්තා. ඔහොම ඇවිදිනකොට ප්ලේන් නග්ගන බස්සන එක හොඳට පේන තැනක් හම්බ වුණා. බරට බරේ තඩි බෑග් එකයි ලැප්ටොප් එකයි එල්ලගෙන වටේ ඇවිදලම මහන්සිය නිසා ලඟ තිබිච්ච පු‍ටුවකින් වාඩි වෙලා ප්ලේන් උඩ යන හැටි බාන හැටි බල බලා හිටියා. එතනදි ගත්තු පින්තූරයක් තමයි මේ පහලින් තියෙන්නෙ.

දිගටම ප්ලේන් දිහා බලාගෙන ඉන්නත් කම්මලියි. හොඳ වෙලාවට BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනේ දි ගත්තු පොත් වලින් එකක් මං බෑග් එකේ දාගෙන ආවා. ඉතින් 11.30 විතර වෙනකල් ඔන්න ඔය පොතත් කියවලා ආපහු හෙමින් හෙමින් ඊලඟ ප්ලේන් එකට නගින්න තිබුණු gate එක පැත්තට ඇවිදගෙන ගියා.
සුපුරුදු විදිහට සපත්තු, බෙල්ට් එහෙම ගලවල පරීක්ෂා කරල බෑග් වල තිබිච්ච දේවලුත් එලියට අරගෙන බැලුවට පස්සෙ 12.15 ට විතර KL651 අංකය දරණ යානයේ වම් පැත්තෙ ජනේලයක් අයිනේ තිබුණු 32A සීට් එකේ වාඩි වුණා.
32A සීට් එක

හැබැයි තාම අල්ලපු සීට් එකේ ඉන්න එක්කෙනා ඇවිල්ල නැහැ. මේ පාරත් කරදරකාරයෙක් සෙට් වෙයිද දන්නෙ නැහැ කියල බයෙන් හිටියේ. පැය අටහමාරක ගමනක් යන්න තියෙනවා ඇමරිකාවට. කරදරකාරයෙක් සෙට් වුනොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. කොහොමින් කොහොමහරි අන්තිමට මගෙ අසල්මගියා වුණේ ලස්සන ගෑනු ලමයෙක්. ඒක නිසා කිසි කරදරයක් නැතුව ගමන යන්න නම් පුළුවන් වුණා. අතරමගදි කරදරයක් නැතුව නින්දක් දාන්නත් පුලුවන් වුණා. ඔය අතරෙදි ලැබිච්ච මුල්ම කෑම වේල නම් කියල වැඩක් නැහැ. හොඳටම බඩගින්නෙ හිටපු මට නිකන් දිව්‍ය භෝජනයක් ලැබුණ වගේ.

මේ ගමනෙදි නම් කියන්න තරම් ලොකු ඇබැද්දි සිද්ධ වුණේ නැහැ. ගමන අතරමගදි ගත්තු ෆොටෝ ටිකකුත් ඔන්න තියෙනවා.
පිටත් වෙන්න චුට්ටකට කලින්

ගඟක් මුහුදට වැටෙන තැනක් (ඩෙල්ටාවක්)





පැය ගාණක් මුහුද උඩින් ආවට පස්සෙ මුලින්ම පෙනුණු ගොඩබිම තමයි මේ.

මේ සමහරවිට ඇමරිකාවට අයිති භූමියක් වෙන්න පුළුවන්.
ඇමරිකන් ගුවන් සීමාවට ඇතුළු වුණාට පස්සෙ තමයි දැක්කෙ ඇමරිකන් අහස කොච්චර කාර්යබහුලද කියලා. මං ඉන්න ප්ලේන් එකට උඩිනුයි පහලිනුයි දෙපැත්තෙන්ම ප්ලේන් යනවා. මං එහෙම දෙයක් දැක්කෙ පලමුවෙනි පාරට. ඒවයෙ ෆොටෝ ගන්න නම් බැරි වුණා.
මේ පහලින් තියෙන්නෙ ඇමරිකාව අහසට පේන හැටි......


මං හිතන්නේ මේ wastewater treatment plant එකක්



වොෂින්ටන් ඩලස් airport එකේ ප්ලේන් එක නතර කරපු ගමන්


කොහොමහරි බොහොම දීර්ඝ ගමනකට පස්සෙ 2012 ඔක් ‍තෝබර්  21 වෙනිදා හවස 3.00 ට වොෂින්ටන් ඩලස් ගුවන් තො‍ටුපළට ගොඩබහින්න මට පුළුවන්කම ලැබුණා. ඊටපස්සෙත් මහා කරදරයකට මූණ දෙන්න වුනා. ඒ තමයි පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න පැය දෙකක් විතර පොළිමේ හිටගෙන ඉන්න වුණ එක. 
පැය දෙකක් විතර හිටගෙන හිටපු පෝළිම (සෙනග පිරෙන්න කලින්)

ග්‍රීන් කාඩ් එක අරගෙන මෙහෙට ආපු නිසා මට ඒ සම්බන්ධ ලියකියවිලි වල වැඩ ටික කරගන්න තව කවුන්ටරේකට යන්න වුණා. ඒ කවුන්ටරේ හිටියෙ බොහොම මිත්‍රශීලී කළු ජාතික නිලධාරියෙක්. එතන වැඩ ටික ඉවර වෙලා එන්න හදනකොට එයා මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි, "ඔච්චර ලස්සන දිය ඇලි තියෙන ඔච්චර ලස්සන කෙල්ලො ඉන්න රටක ඉඳන් මෙහාට ආවෙ ඇයි?" කියන එක. මං ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී පොඩි හිනාවක් දාලා අවා. ඒකට උත්තර දෙන්න ගියා නම් දිග විස්තරයක් කියන්න වෙනවනෙ......

ඔය වැඩකටයුතු ටික ඉවර වුණාට පස්සෙ මං හිතුවා දැන්වත් කරදර ටික ඉවර ඇති කියලා. මොන... තව ඇබැද්දියක් වුණානෙ. ඒක වුණේ එලියට එන්න කලින් ගමන් මළු scan කරපු වෙලාවෙ. ඇමරිකාවට මස් වර්ග ගේන්න තහනම් ලු. Scan කරද්දි මුන්ට අහු වුණා බෑග් එකේ හොඳට පැක් කරල තිබුණු පොලොස් මාලුව. මුන් දැන් ඕක එලියට අරගෙන එහාට හරවනවා මෙහාට හරවනවා. උන් හිතන්නෙ ඒක මස් වර්ගයක් කියලා. අන්තිමට මං බොහොම අමාරුවෙන් පැහැදිලි කරල දුන්නා ඒක හදන්නෙ 'කොස් ගහේ හැදෙන ගෙඩි' වලින් කියලා. එහෙම තමයි අන්තිමට පොලොස් මාලුවත් බේරගෙන එලියට ආවෙ. හවස 3.15ට ගොඩ බැහැපු මට එයාර්පෝර්ට් එකෙන් එලියට එන්න පුළුවන් වුණේ හවස 5.15ට විතර.
මං එයාර්පෝර්ට් එකෙන් එලියට ආපු ගමන්

ඇමරිකාවෙ දැන් මං නතරවෙලා ඉන්න ගෙදර අංකලුයි ආන්ටියි ගොඩක් වෙලා එයාර්පෝර්ට් එකට වෙලා බලාගෙන ඉඳල තියෙනවා මගෙ ප්‍රමාදය නිසා. කොහොමහරි අත්දැකීම් පිරුණු පැය 30ක විතර ගුවන් ගමනකට පස්සෙ ඇමරිකාවට පයගහන්න මට පුළුවන් වුණා. එහෙනම් ඉතින් ලංකාවෙන් යැංකි රටට ආපු ගමන් විස්තරේ කොටල ඉවර කරන්නයි මේ හදන්නෙ. ඊ ලඟට අලුත්ම සෙල්ලිපි සටහනකින් හම්බ වෙමු. එතකල් ආයුබෝවන්...!!!!!!