Sunday, October 30, 2011

අපේ ජනකතා - මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්

ඔන්න එහෙනම් අදත් ගල් ක‍ටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ගෙතුණු ජනප්‍රවාද මහ ගොඩක් තියෙනවා. ඉතින් අද කොටන්න යන්නෙත් ඔය හාමුදුරුවො සම්බන්ධ කතාවක් තමයි.


කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ බය පක්ෂපාතකම් දක්වල තියෙන්නෙ වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් තමුන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්චි වැරසර රඹුක්වැල්ලේ හාමුදුරුවන්ටත් විතරයි.


ඔය කියන දවස් වල සෙංකඩගල පල්ලෙවාහල ළඟින් වැටිල තිබුණු පාරෙන් කාටවත්ම යන්න දීල නැහැ. මොකද ඔය පල්ලෙවාහලේ තමයි රජ්ජුරුවන්ගේ බිසෝවරු ඉඳල තියෙන්නෙ. දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවත් එක්ක ඇතිකරගත්තු හාදකම දැනගත්තු දවසෙ ඉඳන් රජ්ජුරුවෝ ඔය පාරට තහංචි දාල තියෙනවා. පණට ආදරේ තියෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පළාතෙන්වත් ඊට පස්සෙ ගිහින් නැහැ.


ඔය තහංචිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් බලපාල තියෙනවා. ඒක නිසා දළදා මාළිගාවට යනකොටත් දුර පාරකින් වඩින්න තමයි මල්වතු විහාරේ හිටපු හාමුදුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණේ නිසා කුංකුණාවේ හාමුදුරුවෝ ටිකක් හිත නොහොඳින් තමයි ඉඳල තියෙන්නෙ. රජ්ජුරුවන්ට ඕනෙනම් පල්ලෙවාහල වෙන පැත්තකින් හදාගත්තුවාවෙ, හැබැයි භික්ෂූන්ට ඔය පාර තහංචි කරන එකට නම් මොනවම හරි කරන්න ඕනෙ කියල කුංකුණාවේ හාමුදුරුවෝ නිතරම මල්වතු විහාරෙ හිටපු අනිත් හාමුදුරුවරු එක්ක කියල තියෙනවා.


ඔන්න ඔහොම ටික දවසක් ගියාට පස්සෙ කුංකුණාවේ හාමුදුරුවෝ සිවුර එහෙම හොඳට පොරවගෙන විහාරෙන් එළියට බැස්සලු. පන්සලේ වැඩහිටපු අනිත් හාමුදුරුවරුන්ටත් තේරිලා තියෙනවා අදනම් කුංකුණාවේ හාමුදුරුවෝ තහංචි පාරෙන් වඩින්න තමයි හදන්නෙ කියලා. පොඩි හාමුදුරුවරු ටික කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉද්දී කුංකුණාවේ හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව තහංචි පාර දිගේ වඩින්න ගත්තා. මේක දැකපු පල්ලෙවාහල මුරකාරයෝ ටික දුවගෙන ගිහින් 'දේවයන් වහන්ස හාමුදුරු නමක් තහංචි පාරෙ වඩිනවා' කියල රජ්ජුරුවන්ට කියාපි. රජ්ජුරුවොත් කිපිලා පුලුවන් ඉක්මනින්ම හාමුදුරුවෝ ළඟට යහපත් වුණා. රාජ ඌෂ්ණෙත් හිතට අරගත්තු රජ්ජුරුවෝ වීරයා වගේ හාමුදුරුවන්ගෙන් ඇහුවලු 'ඔබ වහන්සෙට කවුද අවසර දුන්නෙ මේ තහංචි පාරෙන් වඩින්න' කියලා. කුංකුණාවේ හාමුදුරුවොත් රජ්ජුරුවො දිහා බලලා 'ඇයි, අපිට මේ රටේ පාරක වඩින්න තහනම් ද..?' කියල අහන ගමන් ලඟ තියෙන කොස් ගහක් දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු.



මෙවැනි බසක් මින් පසුවත්    නොකීයන්

මේ රට තුනුරුවන්ගේ යයි          සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු        පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට   පැළීයන්




කවිය කියල ඉවර වෙනවත් එක්කම ඒ තඩි කොස් ගහේ කඳ මහා සද්දෙන් හතරට පැළිල ගිහින් තියෙනවා. රජ්ජුරුවෝ මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු 'තවත් මෙතන හිටියොත් ඔය මහ බඩ පැලෙන්නෙත් ඔය විදිහටම තමයි...' කියල. හොඳටම බය වුණු රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැඳල සමාවත් අරගෙන පාරට දාල තිබුණු තහංචියත් අයින් කළා කියල තමයි කියන්නේ.

Sunday, October 9, 2011

අපේ ජනකතා - දෙයියන්නේවෙලේ පැල්කවි තරගය

Techno එක බලන්න ගිහින් ගෙදර එනගමන් හිතුව අද නම් කොහොමහරි සෙල්ලිපියක් කොටන්න ඕනැ කියලා. ඉතින් නාල කරල එහෙම කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා අපේ ජනකතා සීරීස් එකට තවත් කතාවක් එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් කට්ටියම හරි බරි ගැහිල වාඩි වෙලා කතාව කියවන්ට පටන් ගන්නව හොඳයි.


1250412-paddy_fields_near_Pupuan_Bali.jpg


මහනුවර පැත්තෙ තියෙන දෙයියන්නේවෙල කියන ප්‍රදේශය ඉස්සර බොහොම සරුසාරෙට තිබුණු මහ වෙල්යායක්. ඒකෙ අයිතිකාරය තමයි රටේ රජ්ජුරුවෝ. ඒක නිසාම තමයි ඒ වෙල්යායට දෙයියන්නේවෙල කියල බැහැවර වෙලා තියෙන්නෙත්. ගොයම් පැහීගෙන එන කාලෙට මේ වෙල්යාය කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගෙන අස්වැන්න මහ වාසලට බාරදෙන එක පැවරිලා තිබුණේ අවට ගම් වල හිටපු ගම්මුන්ට. ගොයම පීදීගෙන එද්දි කුඹුරට එන කුරුල්ලො, ගිරව් එලවන වැඩේ බාර අරගෙන තිබුණෙ ගමේ හිටපු ගැටිස්සියො ටික. ඈතින් ඈතින් හදල තියෙන පැල් වලට වෙලා කුරුල්ලො බය කරන ගමන් තරගෙට පැල්කවි කියන එක තමයි මේ ගැටිස්සියො නිතරම කරල තියෙන්නෙ.


ඔන්න දවසක් මේ වෙල් යායෙ අයිතිකාරය වෙච්චි රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ වෙල් යාය හරහා බඩවැටියක් දිගේ ඇවිදගෙන යනව පේරාදෙණිය පැත්තට. ඔහොම යනකොට රජ්ජුරුවන්ට ඇහුණා එක ගැටිස්සියක් පැලක ඉඳලා ලස්සනට පැල්කවි කියනවා. රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හොඳ කවිකාරයා. ඉතින් ටික වෙලාවක් අර දැරිවිගෙ කවි අහගෙන හිටපු රජ්ජුරුවො පඳුරකට එහෙම මුවාවෙලා කවියක් කිව්වා මෙන්න මෙහෙම..


ලස්සන හිමවතේ පැලපිට සිටින              ලඳේ
දුක්දෙන වල් සතුන් පන්නා හරින            ලඳේ
රැක්මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින      ලඳේ
දුක් දෙනු සරිද ඔබ සිව්මැලි ගතට            ලඳේ



මේ කවිය අහපු ගැටිස්සි පිළිතුරු කවියක් කිව්ව මෙන්න මෙහෙම


ලස්සන හිමවතේ මා වී පැසෙ              න්නේ
දුක් දෙන වල්සතුන් පන්නා හරි           න්නේ
රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි      න්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකි            න්නේ



රජ්ජුරුවොත් අතාරින්නෙම නැහැ. එයත් ආයෙම තව කවියක් කියනවා..


වෙලක මහිම බල මාවී                    පැසීලා
පැලක මහිම බල බටකොළ         හොයාලා
මලක මහිම බල අතු අහ                  පිපීලා
ලියක මහිම බල ගෝමර                  ඉසීලා



ඒ කවියට අර ගැටිස්සි දුන්න උත්තරේ මේකයි


වෙල හොඳ මොකද යල මහ පාළු වේ       නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවී යා          නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ     නම්



ඒ කවිය අහපු රජ්ජුරුවන්ට දුක හිතිලා මෙන්න මේ කවිය කියල තියෙනවා


යල මහ පාලු වෙන්නට ඉඩ දෙන්න       එපා
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්න  එපා
ළැම මැද ඉසුණ ගෝමර වනසන්ට        එපා
දුප්පත් කමින් මින්මතු දුක් විඳිණු           එපා



මේ කවිය කියන ගමන්ම රජ්ජුරුවෝ තමන් හැංගිලා හිටපු පඳුරෙන් එලියට ඇවිත් තියෙනවා. එතකොට තමයි අර ගැටිස්සිට තේරිලා තියෙන්නෙ තමන් මෙච්චර වෙලා තරගෙට කවි කියල තියෙන්නෙ රජ්ජුරුවොත් එක්ක කියන එක. ඉතින් එයාට බය හිතිලා පැලෙන් දුවන්න හදනකොටම රජ්ජුරුවෝ ආයෙමත් කවියක් කියල තියෙනවා මෙන්න මෙහෙම.


ඇනලා මරණ කුළු මීමෙකු නොවේ         නම්
විකලා මරණ සිහ රදෙකුත් නොවේ         නම්
විදලා මරණ වැදි රදෙකුත් නොවේ          නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ       නම්



මේ කවියට අර ගැටිස්සි කියපු පිළිතුරු කවිය මෙන්න මේකයි.


‍රෑන පිට රෑන තුඩු රෑන                         දීයන්
ඇදලා ඇටෙව් දුන්නෙත් අගට            ඊයන්
බළලුන් දු‍ටුවාම බිය නැද්ද                 මීයන්
දු‍ටුවම බය නැද්ද රාසිංහ                දෙයියන්



මේ කවිය කියන ගමන්ම ගැටිස්සි ගස් ගොන්නක් අස්සෙන් රිංගල ගෙදර දිව්වලු. සමහර අය නම් කියන්නෙ ඊට පස්සෙ රජ්ජුරුවො ඔය වෙල් යායම අර ගැටිස්සිට පවරලා දීල එයාව තමුන්ගෙ යකඩ දෝළියක් කරගත්තා කියලයි.


එහෙනම් ඉතින් ඊළඟ සෙල්ලිපි සටහනෙන් හම්බ වෙනකල් ආයුබොවං.............

Tuesday, October 4, 2011

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:2

සෙංකඩගල නුවරට ඒ නම ලැබුණු හැටි ගැන සඳහන් වෙලා තියෙන දෙවෙනි ජනප්‍රවාදය තමයි අද සෙල්ලිපියේ කොටන්න හදන්නෙ. එහෙනම් ඉතින් වැඩිය අ‍ටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ...


13-city-of-kandy-ceylon.jpg


ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්ජුරුවන්ගේ අගමැතිතුමා තමයි නිශ්ශංක අලකේශ්වර කියල කියන්නේ (රජ්ජුරුවන් ගේ නම නම් මතක නැහැ. පස්වෙනි බුවනෙකබාහු ද කොහෙද...). කොහොමින් කොහොම හරි ඔය කාලෙ රජ්ජුරුවන්ටත් වැඩිය බලවත් කෙනෙක් විදිහට තමයි මේ අගමැතිතුමා වැජඹිලා ඉඳල තියෙන්නේ. මේ සමකාලීනවම යාපනේ රජකම් කරල තියෙන්නේ ආර්යචක්‍රවර්ති කියල රජ කෙනෙක්. ඉතින් මේ ආර්යචක්‍රවර්ති, දකුණු ඉන්දියාවෙ රජකරපු විජයනගර් අධිරාජ්‍යයාගෙනුත් උදව් අරගෙන සේනාවත් අරගෙන ඇවිත් තියෙනවා ගම්පොල රාජධානිය යටත් කර ගන්න.


මේ ආක්‍රමණය ගැන කණ වැටෙනකොට නිශ්ශංක අලකේශ්වර අගමැතිතුමා හිටියෙ මහනුවර ප්‍රදේශයේ. ඔය කාලෙදි මහනුවර ප්‍රදේශය හඳුන්වලා තියෙන්නෙ 'ශ්‍රී වාස පුරය' කියලා. ඉතින් නිශ්ශංක අලකේශ්වරත් සේනාව පිරිවරාගෙන ශ්‍රී වාස පුරයේ ඉඳන් සටනට ගියා. මේ වෙනකොට ආර්යචක්‍රවර්ති ගේ හමුදාව ක‍ටුගස්තොට හරියටම ඇවිත්. මෙච්චර ලඟටම ඇවිල්ල ඉන්න සේනාවක් එක්ක කෙලින්ම සටනට බහින එක නුවණට හුරු නැති බව තේරුම් ගත්තු අගමැතිතුමා ශ්‍රී වාස පුරයෙ තිබුණු නාථ දේවාලෙට ගියා දෙවියන්ගෙන් ගුරුකමක් ලබාගන්න. දේවාලෙට වෙලා තුන් යාමයක්ම කන්නලව් කරපු අගමැතිතුමාට පාන්දර ජාමෙදි පොඩ්ඩක් නින්ද ගිහින් තියෙනවා. මේ වෙලාවෙදි සිහිනෙන් පෙනී ඉඳපු නාථ දෙවියො එයාට සටන ජයගන්න ඕනැ හැටි කියල දීල තියෙනවා.


දෙවියන් උපදෙස් දුන්නු විදිහටම පහුවදා උදේ සටනට බැහැපු නිශ්ශංක අලකේශ්වර මහනුවර කඳුකරයේදි මුළු සතුරු සේනාවම විනාශ කරලා දැම්මා. ඉතින් සතුරු සේනාව ඛණ්ඩනය කරල දමාපු කඳුකරය සේනාඛණ්ඩගල වෙලා පසුකාලීනව සෙංකඩගල කියල භාවිතයට ආවා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.


එහෙනම් තවත් ජනකතාවක් බොහොම ඉක්මනටම කොටන්නම්. ගිහින් එන්නම්......

Sunday, October 2, 2011

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:1

මේ දවස් ටිකේම මං කල්පනා කර කර හිටියේ සෙල්ලිපියේ මොනවද කොටන්නෙ කියලා. හරි හමන් මාතෘකාවක් නැතුව හිටිය නොවැ. ඉතින් ඔන්න ඔය අතරෙ මට හිතුණා ලංකාවෙ තියෙන පැරණි ජනකතා ටිකක් කොටල දැම්මොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අද ඉඳන් එක කතාව ගානෙ කොටන්න පටන් ගන්නම්කෝ....


බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා මූකලානක් ලු. ඉතින් දවසක් ඔය පැත්තෙ හිටපු කොලු ගැටයෙක් කැත්තකුත් අරගෙන මහ කැලේට රිංගුවලු කූඩයක් වියන්න ඕනෙ කරන වේවැල් ටිකක් කපා ගන්න. හැබැයි වැඩි දුරක් යන්න කලින් මේ කොලුවට මුණ ගැහිල තියෙනව කුලප්පු වෙච්ච වල් අලියෙක්. ඔය කාලෙ ඉතින් කැලේට රිංගන ඕනැම මනුස්සයෙක් අලි මන්තරයක් දෙකක් කටපාඩම් කරගෙන තමයි ඉන්නෙ තමුන්ගෙ ආරක්ෂාවට. හැබැයි මේ කුලප්පු වෙච්ච අලිය ආපු වේගෙට කොලුවට අලි මන්තරත් අමතක වෙලා.


කොලුවත් ඉතින් අලි මන්තරේ මතක් කිරිල්ල පැත්තකට දාල කකුල් දෙකට වැඳ වැඳ දුවන්න පටන් ගත්තා. අලියත් කැලේ පෙරලගෙන කොල්ලගෙ පස්සෙන් පන්නනවා. ඔහොම දුවගෙන යනකොට කොල්ල දැක්ක තරමක ලොකු ගල් පර්වතයක්. අලියගෙන් බේරෙන්න ඔන්න ඔය ගල උඩටවත් නගින්න ඕනැ කියල හිතපු කොලුවා ගලට අත තිබ්බ විතරයි මෙන්න අර වල් අලිය ආපහු හැරිල දුවන්න පටන් ගත්තා.


අලිය ගියාට මොකද හිතේ බයටම කොල්ල ගල මුදුනටම නැගල පොඩ්ඩක් වාඩි වෙලා ගිමන් අරිනකොට මෙයා දකිනවා කොටියෙක් මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්‍ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර හිටපු කොල්ලා වෙවැල කැපිල්ල පැත්තකට දාල ආපහු ගමට යන්න පිටත් වුණා. ඔහොම එනකොට මෙයාට හම්බ වුණා මේ ගල අසල ජීවත් වෙන තාපසයෙක්. කොල්ලත් ඉතින් සිද්ධ වුණු හැමදෙයක්ම මේ තාපසතුමාට කිව්වා. තාපසයත් කිව්වා "ඔව් ඔව් පැංචෝ මේ ගලේ ඔහොම බලයක් තියෙනවා... මේක ජය භූමියක්" කියලා.


ඔන්න ඔය දවස් වල තමයි ගම්පොල වික්‍රමබාහු රජ්ජුරුවෝ අලුත් නුවරක් හදන්න ජය භූමියක් හොය හොය ඉඳල තියෙන්නෙ. ඔය ආරංචිය කනට වැ‍ටුණු අර කොලුවා එයා දැකපු ජය භූමිය ගැන රජ්ජුරුවන්ට කියල තියෙනවා. ඉතින් රජ්ජුරුවො ඔය කියන තැනට ගිහිල්ල බලනකොට දැක්කලු එතන තිබුණු පොකුණක කිරි ඉබ්බෙකුත් ඉන්නවා. ඒකත් බොහොම සුබ ලකුණක් විදිහට තමයි ඒ කාලෙ සලකලා තියෙන්නේ. ඉතින් රජ්ජුරුවො අන්තිමේදි මේ ජය භූමියෙ අලුත් නුවර ගොඩනගල තියෙනවා.


මේ ගල ආශ්‍රිතව ජීවත් වුණු අර තාපසතුමාගෙ නම තමයි සෙංඛණ්ඩ කියල කියන්නෙ. ඉතින් එතුමට ගෞරවයක් පිණිස මේ නුවර සෙංඛණ්ඩගල නුවර විදිහට නම් කරලා පසුකාලීනව සෙංකඩගල නුවර බවට පරිවර්තනය වුණා කියල තමයි කියන්නෙ.


සෙංකඩගල නුවරට නම හැදුනු හැටි ගැන තවත් කතාවක් තියෙනවා. ඒ කතාව ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්.