ඔය කුංකුණාවෙ හාමුදුරුවො වැඩවාසය කරපු කාලෙ මහනුවර නාථ දේවාල මළුවෙ රාම කුමාරය වෙනුවෙනුත් දේවාලයක් හදල තිබුණා. ඒ රාම දේවාලයට පිටිපස්සෙ බොහොම ලොකුවට හැදුණු මහ බෝ ගහකුත් තිබිල තියෙනවා. ඉතින් ඔය බෝ ගහේ එක අත්තක් රාම දේවාලෙ වහලෙට බර වෙලා ඒකෙන් වැටෙන කොල එහෙම වහලෙ හිර වෙලා වැහි කාලෙට දේවාලෙ තෙමෙන්න පටන් ගත්තා. ඉතින් රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හිතාගත්තා දේවාලෙ අලුත්වැඩියා කරන්ට ඕනැයි කියලා. හැබැයි මේ වැඩේ හරියට කරගන්න නම් අර බෝ අත්ත කපල දාන්නම වෙනවා. හැබැයි මිනිස්සු කැමති නැහැ බෝ අත්ත කපන්න, ඒක මහ පවක් වෙයි කියල හිතල. දැන් ඉතින් බෝ අත්ත නොකපා දේවාලෙ හදන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව රජ්ජුරුවොත් එකෙල මෙකෙල වෙවී ඉන්නවා.
මේ ආරංචිය ඔන්න අපේ කතා නායකය වෙච්චි කුංකුණාවේ හාමුදුරුවන්ගෙ කණටත් වැටුණා. දවසක් උදෙන්ම දේවාල මළුවට වැඩිය හාමුදුරුවෝ බෝ අත්ත දිහා බලාගෙන ඉඳලා "හොඳයි, ලබන පෝයට මම ඔය අත්ත ඇදල දාන්නම්කො.." කියල කියල තියෙනවා. ඉතින් ඔය කියල පෝය දවසත් ආවය කියමුකෝ. දැන් දේවාල මළුව පිරෙන්නම සෙනග, හාමුදුරුවො කරන්න හදන්නෙ මොකද්ද කියල බලාගන්න...
ඔන්න ටික වෙලාවකින් හාමුදුරුවො වැඩියා. සිවුර එහෙම හොඳට පොරවගෙන බෝධියට වැන්දා. ඊට පස්සෙ පොඩ්ඩක් ඈතට ගිහිල්ල මෙන්න මෙහෙම කවියක් කිව්වා...
රම්රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පව් කල උළු සෙවිලි පළවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චන් ඩියා
සුන් කර හරිව් තෙද බල වීර මුණ් ඩියා
මේ කවිය කියල ඉවර වෙනවත් එක්කම කොහෙන්දෝ මන්ද මහා ලොකු හුළඟක් හමාගෙන ඇවිත් අර බෝ අත්ත කඩල උඩවත්ත කැලේට වීසි කරල තියෙනවා. ඔන්න ඔහොම තමයි කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ.