Showing posts with label america. Show all posts
Showing posts with label america. Show all posts

Monday, October 13, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

ඇමරිකාවෙන් පිටත් වෙලා මෙක්සිකෝ සිටි ගුවන් තො‍ටුපළෙන් ගොඩ බහිනකල් විස්තර ටික කලින් ලිපියෙ විස්තර කලා නෙ. 
 
කලින් ලිපියට යන්න මෙතනින්.
 
ඔන්න එහෙනම් එතන ඉඳන් ගමනෙ ඉතුරු විස්තර ටික තමයි දැන් කියන්න හදන්නේ. ගුවන් තො‍ටුපළට ප්ලේන් එක ගොඩබස්සන විදිහයි 'මෙක්සිකෝ සිටි' උඩ ඉඳන් බලනකොට පේන හැටියි මම video කලත් ගිය පාර ලිපියට ඒක ඇතුලත් කරන්න බැරි වුණා. ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන්නෙ ඒ video clip එක.


කොල බල්බ් එක පත්තු වුණ නිසා වැඩි කරදරයක් නැතුව එලියට ආපු මං ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක එයාගෙ කාර් එකේ අපි නවාතැන් ගන්න ඉන්න හෝටලේ බලා යන ගමන පටන් ගත්තා. 

  "අප්පට සිරි... ලංකාව වගේමයි නෙ.." ගුවන් තො‍ටුපළේ ඉඳන් ප්‍රධාන පාරට වාහනේ හරවපු මොහොතෙම හිතට ආපු මුල්ම දේ තමයි ඒ...

  ඒ වෙනකොට අවුරුද්දක් විතර ඇමරිකාවෙ ගත කරල හිටපු මට මෙක්සිකෝව හරහා ආයෙත් පාරක් සුපුරුදු ලාංකික අත්දැකීම් ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකාවෙදි නිකමටවත් වාහනයක නලා ශබ්දයක් ඇහුනෙ නැති වුණාට මොකද මෙක්සිකෝ සිටි වලදි නම් ඒකෙ අනෙක් පැත්ත. හරියට පිටකො‍ටුව වගේ. ඒ විතරක් නෙවෙයි පොඩි ඉඩක් අහු වෙච්ච ගමන් අස්සෙන් අස්සෙන් රිංගල යන මෝටර් බයික් රියදුරොත් ඕනෙ තරම්. 
පාර දෙපැත්තෙම පදික වේදිකා වල පොඩි පොඩි කඩ අටව ගත්තු වෙලෙන්දො ගොඩයි. තම්බපු බඩ ඉරිඟු, රටකජු, කඩල, අයිස් ක්‍රීම් වගේ දේවල් තමයි මේ කඩ වල විකුණන්නෙ. ඒ අතරෙ සෙල්ෆෝන් විකුණන වෙළෙන්දොත් හිටියා. මේ අතරෙ තැනින් තැන සිඟමන් ඉල්ලන කට්ටියත් හිටියා. ඒ වගේම තදබදය නිසා හරි මාර්ග සංඥා වලට හරි වාහනය නතර කරපු ගමන් කෑම ජාති පුරවගත්තු ලෑලි තට්‍ටුවකුත් එක්ක ළඟට දුවගෙන එන වෙළෙන්දොත් මදි නොකියන්න ඉන්නවා. මේ අතරෙම ඉන්නවා ලංකාවේ නගරබද පාරවල් වලදි දකින්න නැති කණ්ඩායමකුත්. ඒ තමයි වීදි සර්කස් කරුවෝ...
  මේ ගොල්ලො වැඩිපුරම ඉන්නෙ traffic lights ළඟ. රතු එලියට වාහන නතර කරපු ගමන්ම  මෙයාල කරන්නෙ පාර මැදට ඇවිත් ගින්දර පන්දම් තුනක් උඩ දම දමා කරකවන ගමන් සෙල්ලම් පෙන්නන එක.  සාමාන්‍යයෙන් මේ එක සර්කස් කණ්ඩායමක සාමාජිකයින් හතර දෙනෙක් විතර ඉන්නවා. දෙන්නෙක් සෙල්ලම් පෙන්නනකොට අනිත් දෙන්නා වාහනයක් වාහනයක් ගානෙ ගිහින් සල්ලි එකතු කරනවා. මේ සර්කස් පෙන්නිල්ලත් සල්ලි එකතු කිරිල්ලත් බොහොම ඉක්මනට ඉවර වෙනවා, මොකද කොල එලිය වැ‍ටුණ ගමන් වාහන වලට යන්න ඉඩ දෙන්න ඕනෙ නිසා.
 
වාහනේ පාරට දාල ටික වෙලාවකින් මගේ මිත්‍රයා, ෆ්‍රැන්සිස්කෝ මගෙන් අහපු මුල්ම ප්‍රශ්නෙ තමයි "කොහොමද මෙක්සිකෝව... හිතට ඇල්ලුව ද?" කියන එක. දෙපාරක් හිතන්නෙ නැතුවම මම කිව්ව "හොඳටම හිතට අල්ලල තියෙන්නෙ, හරියට ලංකාව වගේමයි..." කියල. මිනිහටත් හෙන සතු‍ටුයි. ඊටපස්සෙ මිනිහ කියනව සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ඉඳන් මෙක්සිකෝවට එන ගොඩක් දෙනාට මෙහෙ රටාව අල්ලන්නෙ නැහැලු, හැබැයි මම මෙහෙට කැමති වෙච්ච එක එයා ගොඩක් අගය කරනවලු කියලා. ඇත්තටම කිව්වොත් වටපිටේ තියෙන ගොඩනැඟිලි වල ස්වරූපය වගේම තද අවු රශ්මියත් නිසා මෙක්සිකෝව ලංකාව වගේ කියන හැඟීම තවත් වැඩි වුණා. මේ වෙනකොට නම් අපේ ඔ‍ෆිස් එකේ කට්ටිය මේ රට ගැන මගේ හිතේ කලින් මවල තිබුණු බියකරු චිත්‍රෙ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලයි තිබුණෙ.
 
'මෙක්සිකෝ සිටි' ගැන පොඩි විස්තරයක් කරනවනම් මේක මෙක්සිකෝවෙ අගනුවර වගේම ලෝකයේ තියෙන ජනාකීර්ණම නගර වලින් එකක්. මිලියන 20 ක විතර ජනතාවක් මේ අති විශාල නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම මේ නගරය තමයි රටේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. හැබැයි අවාසනාවකට වගේ මේ නගරයේ වායු දූෂණය නම් ඉතාම ඉහලයි. නිතරම තුනී මීදුම් පටලයක් වගේ දුම් වලාවකින් නගරය වැහිලා තමයි තියෙන්නෙ. මේ නිසාම වායු දූෂණයේ බරපතල බව මිනිස්සුන්ට දැනුම් දෙන්න මේ නගරය වර්ණ සංඥා ක්‍රමයක් පාවිච්චි කරනවා. නගරයේ පාලනාධිකරය දිනපතාම වාතය පරීක්ෂාවට ලක් කරලා මේ වර්ණ සංඥාව නිකුත් කරනවා. කොල පාට සංඥාව නිකුත් වුණොත් විතරයි නගරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ. කහ පාට සංඥාව නිකුත් වුණොත් එහෙම එදාට ඉස්කෝල අනිවාර්යයෙන්ම නිවාඩු. අත්‍යාවශ්‍ය නොවන සේවා සපයන රාජ්‍ය ආයතනත් වහනව ලු. මිනිස්සුන්ටත් කියනවලු පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියලා. බැරි වෙලාවත් සංඥාව රතු පාට වුණොත් නම් තත්වෙ හොඳටම භයානකයි. ඒ වෙලාවට රෝහල්, ආරක්ෂක අංශ වගේ අත්‍යාවශ්‍ය ආයතන ඇරෙන්න මුළු නගරෙම ඔක්කොම කටයුතු නතර කරනව කියලයි ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ. වාතය විතරක් නෙවෙයි භූගත ජලයත් මේ වෙනකොට හොඳටම දූෂණය වෙලාලු තියෙන්නෙ. ඒක නිසා නගරෙ ජීවත් වෙන අය බොන්නෙ බෝතල් කරපු වතුර විතරලු. ඇමරිකාවෙන් පිටත් වෙනකොට මට හම්බ වෙච්ච උපදේශෙකුත් මේ වෙලාවෙ මතක් වුණා. ඒ තමයි මෙක්සිකෝවෙදි කිසිම වෙලාවක බෝතල් කරපු වතුර ඇරෙන්න වෙන කිසිම විදිහක වතුර බොන්න එපා කියන එක.

'මෙක්සිකෝ සිටි' නගරයේ පාරක්

වාහනේ යන ගමන් ගත්තෙ...

නගරයෙන් එලියට යන අතරමගදි...

'මෙක්සිකෝ සිටි' වලින් ටිකක් එලියට යනකොට මට පෙණුනු දෙයක් තමයි නගරය පිහිටල තියෙන්නේ පහත් බිමක බව. වටේම කඳු වලින් වට වෙලා. මේ පිහිටීම නිසා මට හිතුණෙ වැහි කාලෙට නගරය ගංවතුරට යට වෙන්න පුළුවන් කියලයි. ෆ්‍රැන්සිස්කෝ ජීවත් වෙන්නෙත් මෙක්සිකෝ සිටි වලම නිසා මම මේ ගැන එයාගෙන් ඇහුවා. අන්න එතකොට තමයි එයා මට මේ නගරෙ 'උප්පත්ති කතාව' කියන්න පටන් ගත්තෙ. මෙන්න මේකයි කතාව...
 
මායා (Mayan) සහ ඇස්ටෙක් (Aztec) කියල කියන්නෙ බොහොම ඉස්සර කාලෙ මෙක්සිකෝවෙ තිබුණ ඉතා දියුණු ශිෂ්ටාචාර දෙකක්. මේ ශිෂ්ටාචාර දෙකෙන් ඇස්ටෙක් ගෝත්‍රිකයො තමයි 'මෙක්සිකෝ සිටි' කියල අද හඳුන්වන නගරය ගොඩනඟන්න මුල් වෙලා තියෙන්නෙ. බොහොම ඉස්සර කාලෙ මේ ගෝත්‍රිකයො තමුන්ගෙ ප්‍රධාන නගරය ගොඩනඟන්න තැනක් හොය හොය තැනින් තැනට සංක්‍රමණය වෙලා තියෙනවා. මෙන්න මේ අතරෙදි දවසක මේ ගෝත්‍රිකයො අදහපු එයාලගෙ ප්‍රධාන දෙවියො මෙයාලට කියල තියෙනවා ' සර්පයෙක්ව ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලියෙක්ව දකිනකල් ගමන් කරන්න. එහෙම දෙයක් දැක්කහම අන්න ඒ තැන ප්‍රධාන නගරෙ ගොඩනඟන්න' කියලා. ඉතින් ඔහොම යනකොට මේ ඇස්ටෙක් වරු දැකල තියෙනවා ලොකු විලක් මැද්දෙ තියෙන පොඩි දූපතක වැවිල තිබුණු පතොක් ගහක් උඩ සර්පයෙක් ඩැහැගත්තු රාජාලියෙක් වහල ඉන්නවා. දෙවියො කියපු විදිහට එතන තමයි දැන් නගරෙ ගොඩනඟන්න වෙන්නෙ.  ඉතින් ඇස්ටෙක් වරු මේ පුංචි දූපත මූලික කරගෙන අර විල උඩ තමුන්ගෙ නගරෙ ගොඩනඟල තියෙනවා. 
ඉස්සරම මේ නගරෙ තිබිල තියෙන්නෙ හරියටම අද 'වැනීසිය' තියෙනව වගේ වතුරෙන් වට වෙලා. ගමනාගමනයට හුඟක් වෙලාවට ඔරු තමයි භාවිතා කරල තියෙන්නෙත්. පසුකාලීනව ටික ටික මේ විල ගොඩ වෙලා අද තියෙන 'මෙක්සිකෝ සිටි' බවට පත් වෙලා තියෙනවා. දැන් නම් විලක් තියා පොඩි වතුර වලක් වත් පේන්න නැහැ. හැබැයි තෙත් බිමක ගොඩනඟපු නිසා තාමත් මේ නගරයේ පොළව එච්චර ශක්තිමත් නැහැල්ලු. සමහර ගොඩනැඟිලි තාමත් හිටපු ගමන් ගිලාබහින්න පටන් ගන්නවලු.


නගරය වටා පිහිටි කඳු වලල්ලෙන් කොටසක්... 

මං ඔය උඩින් කියපු කතාව පදනම් කරගෙන තමයි අද මෙක්සිකෝවෙ රාජ්‍ය ලාංඡනය නිර්මාණය වෙලා තියෙන්නෙත්. මෙහේ ජාතික කොඩියෙ මැද්දෙත් රාජ්‍ය ලාංඡනය දකින්න පුලුවන්. සර්පයෙක් ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලි රූපයක් තමයි මෙහේ රාජ්‍ය ලාංඡනය.


මෙක්සිකෝ ජාතික කොඩිය (උපුටා ගැනීම Wikipedia)

කාලෙත් එක්කම බොහොම දියුණුවට පත්වුණු මේ 'මෙක්සිකෝ සිටි' නගරෙ 1968 දි ඔලිම්පික් ක්‍රීඩා උත්සවයත් පවත්වලා තියෙනවා. ඊට අමතරව 1985 දි දරුණු භූමිකම්පාවකින් මේ නගරෙට බොහොම දැඩි හානි සිද්ධ වුණත් ඉතාම ඉක්මනට නගරය ආපහු පිළිසකර කරලා 1986 දි  FIFA පාපන්දු තරඟාවලියත් පවත්වලා තියෙනවා. භූමිකම්පා ගැන කිව්වොත් මෙක්සිකෝව කියන්නෙ නිතරම භූමිකම්පා සිද්ධ වෙන රටක්. අවුරුද්දකට සාමාන්‍යයෙන් භූමිකම්පා 2ක් 3ක් වෙනවමයි කියල ෆ්‍රැන්සිස්කෝ කිව්වා. මම එන්න ටික දවසකට කලිනුත් තරමක චලනයක් සිද්ධ වුණා ලු.
 
ෆ්‍රැන්සිස්කෝ කියන මේ කතා අහගෙන ඉන්න අතරෙ අපි නගරෙන් එලියටත් ආවා. මෙහේ මාර්ග පද්ධතිය සෑහෙන්න දියුණුයි. අධිවේගී මාර්ග එහෙමත් තියෙනවා. ලංකාවෙදි වගේම මේ අධිවේගී මාර්ග වලට ඇතුළු වෙනකොට යම් මුදලකුත් ගෙවන්න ඕනෙ. අපිත් මේ අධිවේගී මාර්ගෙකින් තමයි නගරෙන් එලියට ආවෙ. මෙක්සිකෝ සිටි වල ඉඳන් දකුණු පැත්තට වෙන්න තිබුණු කඳු වැටියක් හරහා වැ‍ටුණු පාරක් තමයි අපේ ගමන් මාර්ගය. ටිකෙන් ටික කන්ද දිගේ ඉහලට යනකොට මට මතක් වුනේ අපේ උඩරට ප්‍රදේශය. පරිසරයේ බොහොම ලොකු සමානකමක් තිබුණේ.


කඳුකරය හරහා දකුණු දෙසට...




හෝටලයට යන්න ගතවුණු පැය හතරක විතර කාලයෙදි තව ගොඩක් දේවල් ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඒ විස්තරයි තවත් දැකපු කරපු දේවලුයි ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. 

ඔයාලගෙ අදහස් උදහස් සහ මේ රට ගැන ඔයාල තව දන්න දේවල් පහළින් comment කරලම යන්න. ඊළඟ සෙල්ලිපියෙන් හමු වෙමු....!!!

Saturday, October 11, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1

ඩෙලවෙයාර් ගමනෙ විස්තරේ ලිව්වට පස්සෙ දැන් හදන්නෙ තවත් චාරිකාවක් ගැන විස්තරයක් ලියන්නයි. මේ පාර යන්නෙ මෙක්සිකෝවට. මේ ගමන ගියේ නම් මීට අවුරුද්දකට විතර කලින්. ඒක හින්ද අමතක වෙලා තියෙන දේවලුත් මතක් කරගෙන ටිකක් කල් වේලා අරගෙන එහෙම තමයි මේ ලියන්නේ.

2013 අවුරුද්දෙ අගෝස්තු මාසෙදි තමයි මට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් මෙක්සිකෝවට යන්න සිද්ධ වුණේ. හරියටම කිව්වොත් මෙක්සිකෝ බකාඩි සමාගමේ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තමයි මට තිබුණ රාජකාරිය.

මෙක්සිකෝ කියල කිව්වහම ඉතින් ඇමරිකන් කාරයො හිතන්නෙ මහා එපා කරපු රටක් කියල. විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා ඇමරිකාවට එන මරිජුවානා සහ නීති විරෝධි සංක්‍රමණිකයො නිසා කොහොමත් මෙහෙ මිනිස්සු ටිකක් වප‍රැහින් තමයි මෙක්සිකෝව දිහා බලන්නෙ. ඔන්න ඔය කාරණා නිසා මේ ගමන යන්න ලෑස්ති වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මට අපේ ඔ‍ෆිස් එකේ අයගෙන් අවවාද අනුශාසනා කෝටියයි. මීට කලින් කීප වතාවක් මෙක්සිකෝ ගිහින් තියෙන අය නම් කිව්වෙම බොහොම පරෙස්සමෙන් ඉන්න කියල. කොටින්ම කිව්වොත් එහෙ ගිහින් නතර වෙන හෝටලේ ආරක්ෂිත කැමරා තියෙන, පිටතින් අරින්න බැරි දොරවල් තියෙන එකක් වෙන්නම ඕනෙ කියලයි අපේ ඔ‍ෆිස් එකෙන් කිව්වෙ. ඒක නිසා අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවට සිද්ධ වුණා මම වෙනුවෙන්ම ඒ වගේ හෝටලයක් හොයන්නත්. අන්තිමට ඉතින් එහෙම හෝටලයක් හොයා ගත්තයි කියලත් කියමුකො. ඊට පස්සෙ ඔන්න මට ඔ‍ෆිස් එකෙන් කියපි travel security course එකකුත් කරන්න ඕනැය කියලා. මොකටද එහෙම එකක් කරන්නෙ කියල ඇහුවහම  කියනවා හදිසි අවස්ථාවකදි කරන්න ඕනෙ දේවල් ඉගෙන ගන්න ඕනෙ නිසා කියල. අන්තිමට ඉතින් ඔන්න ඒ course එකත් යන්න දවස් දෙකකට කලින් කරල ඉවර කලා. ඔන්න ඊට පස්සෙ කියනවා password එකක් හදා ගන්නලු මගේ ආරක්ෂාවට. මෙක්සිකෝ එයාර්පෝර්ට් එකේදි මාව අරගන්න එන එක්කෙනාට ඒ password එක කලින්ම කියල පහුවදා එයාර්පෝර්ට් එකේදි එයා ළඟට ගියහම එයා හරියටම password එක කිව්වොත් විතරක් එයත් එක්ක යන්නලු. මේ වෙනකොට නම් මේ ආරක්ෂක වැඩපිළිවෙළවල් ඕනැවටත් වඩා වැඩියි කියල මට හිතිල තිබුණෙ. ඒක නිසාම password එකක් හදාගන්නෙ නැතුව ඉන්න මම තීරණය කලා. හැබැයි අපේ ඔ‍ෆිස් එකේ අයගෙ අනුශාසනා වලට පිං සිද්ධ වෙන්න ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ වගෙ රටකට යනව වගේ හැඟීමක් තමයි මේ වෙනකොට මගෙ හිතේ ඇති වෙලා තිබුණෙ. ගමන පටන් ගන්න තව එක දවසයි තියෙන්නෙ. දැන් ඉතින් මොනව කරන්නද.. වැඩේ බාරගත්තු එකේ ඔන්න ඔහේ යනව කියල පිටත් වෙන්න සූදානම් වුණා.

ගමන පටන් ගත්තෙ ‍ෆිලඩෙල්‍ෆියා ගුවන් තො‍ටුපලෙන්. සම්පූර්ණ ගමනටම පැය අටක් විතර ගත වෙනවා. ඒකට ඇට්ලන්ටා ගුවන් තො‍ටුපලේ ගතකරන පැය දෙකක විතර කාලයත් ඇතුළත්. ඇට්ලන්ටා වලින් තමයි මෙක්සිකෝ යන ප්ලේන් එකට නගින්නේ.  ආ.... ඇට්ලන්ටා ගුවන් තො‍ටුපල ගැනත් කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේක තමයි ලෝකෙ තියෙන කාර්ය බහුලම ගුවන් තො‍ටුපල. 2000 අවුරුද්දෙ ඉඳන් මේ වෙනකල් අවුරුදු 14ක් ම ඒ වාර්තාවට හිමිකම් කියන්නෙ මේ ගුවන් තො‍ටුපල තමයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් ගුවන් මෙහෙයුම් ලක්ෂ නවයත් නවයහමාරත් අතර ප්‍රමාණයක් මෙතන සිද්ධ වෙනවලු. ඒ කියන්නෙ පැයකට 100 ත් 110 ත් අතර ප්‍රමාණයක්....
ඇට්ලන්ටා වල ඉඳන් පැය තුනහමාරකින් විතර මෙක්සිකෝවට යන්න පුළුවන්. ඒ ගමන් කාලය නම් බොහොම සුන්දරයි. මෙක්සිකෝව කියන්නේ තෙල් නිෂ්පාදනය කරන රටක් නෙ. ඉතින් මුහුද උඩින් යද්දි බොහොම පොඩියට මුහුද මැද තියෙන තෙල් ලිං දකින්න පුලුවන්. ඊට අමතරව මෙක්සිකෝව සතුව බොහොම ලස්සන වෙරළ තීරයකුත් තියෙනවා. ඒ ලස්සන වෙරළ දකිද්දි නම් මේ රට ගැන මගේ හිතේ මුලින්ම ඇඳිල තිබුණ චිත්‍රෙ ටික ටික වෙනස් වෙන්න ගත්තා.

පහලින් තියෙන්නෙ මම උඩදි ගත්තු පින්තූර ටිකක්.

වලාකුළු වලට උඩින්.. ඈතින් තව ප්ලේන් එකක දුම් වලාවත් පේනවා.

මෙක්සිකෝවට ඇතුළු වුණ වෙලාව

වෙරළ තීරය සහ කළපුවක්


ගොඩබිමයි මුහුදයි අහසයි
කොහොමින් කොහොම හරි හවස 3ට විතර මෙක්සිකෝවෙ අගනුවර වන 'මෙක්සිකෝ සිටි' හි ප්‍රධාන ගුවන් තො‍ටුපල වන බෙනිටෝ හුවාරෙස් (Benito Juárez) ගුවන් තො‍ටුපලට ගොඩබහින්න මට පුළුවන් වුණා.  මෙක්සිකෝ ගුවන් තො‍ටුපල වල තියෙන අරුම පුදුම මගී පරීක්ෂක ක්‍රියාවලිය ගැනත් කියන්නම ඕනෙ. ගුවන් යානයෙන් බැස්සට පස්සෙ ආගමන විගමන නිලධාරීන් ලඟට යන්න කලින් අපට මගී ආරක්ෂණ පද්ධතිය හරහා යන්න වෙනවා. හැබැයි ඊට කලින් රතුයි කොලයි බල්බ් දෙකක් හයි කරල තියෙන පොඩි ගැජට් එකක් ළඟට ගිහින් ඒකෙ තියෙන බොත්තමක් ඔබන්න ඕනෙ. ඒ බොත්තම එබුවහම අර බල්බ් දෙකෙන් එකක් අහඹු ලෙස පත්තු වෙනව. රතු බල්බ් එක පත්තු වුණොත් ඉතින් කෙස් ගහේ ඉඳන් ඔක්කොම චෙක් කරනවා. බැරි වෙලාවත් කොල එක පත්තු වුණොත් කිසි අවුලක් නැහැ. කිසිම පරීක්ෂාවක් නැතුව කෙලින්ම ආගමන විගමන නිලධාරියා ළඟට ගිහින් පාස්පෝර්ට් එකේ සීල් එක ගහගෙන එලියට යන්න පුළුවන්. බල්බ් පත්තු වෙන්නෙ අහඹු විදිහට නිසා මේ ක්‍රමේ කොච්චර සාර්ථක ද කියන එක ඇත්තටම මට නම් ප්‍රශ්නයක්. මං දන්න තරමින් මේ වගේ අරුම පුදුම ක්‍රමයක් තියෙන්නෙ මෙක්සිකෝවෙ විතරයි. කොහොමහරි මට පත්තු වුණේ කොල බල්බ් එක. ඉතින් වැඩි කරදරයක් නැතුවම එලියට එන්න පුළුවන් වුණා.

මෙතන ඉඳන් ආපහු මෙහෙන් පිටත් වෙනකල්ම මගේ මඟපෙන්වන්නා, උපදේශකයා සහ භාෂා පරිවර්තකයා වෙන්නෙ අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන මෙක්සිකානු ජාතික Francisco Barrios මහත්තයා. බොහොම හොඳ පුද්ගලයෙක් වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හසුරුවන්න පුලුවන්. එයා තමයි මාව පිළිගන්න ගුවන් තො‍ටුපළට ඇවිල්ල හිටියෙ.

මෙක්සිකෝව ගැන විස්තර කියන්න පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනෙ දෙයක් තමයි මේ මෙක්සිකානු ජාතිකයින්ගෙන් අති බහුතරයකටම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් කතා කරන්න බැරි බව. මේ රටේ ප්‍රධාන භාෂාව ස්පාඥ්ඥ භාෂාව වෙනවා වගේම බහුතරයකට කතා කරන්න පුළුවනුත් ඒ භාෂාව විතරයි. 
ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කරන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් වීම. ඒක නිසා කම්කරුවගෙ ඉඳන් ඉංජිනේරුවා, වෛද්‍යවරයා වෙනකල් හැම වෘත්තිකයෙක්ම කතාකරන්නෙත් ස්පාඥ්ඥ වලින් විතරයි.
ඔන්න ඔය කාරණාව නිසාම මගේ මේ ගමනට ෆ්‍රැන්සිස්කෝ මහත්තයගෙන් ලොකු අත්වැලක් ලැබුණා. ඒ වගේම මෙක්සිකෝව ගැනත් විස්තර ගොඩක් දැනගන්න ලැබුණා. සෙල්ලිපියක් කොටන්න තරමටම කරුණු එකතු කරගන්න පුළුවන් වුණෙත් එයා නිසා තමයි.

ඉතින් කොහොමහරි අපි දෙන්නම එලියට ඇවිත් හෝටලේට යන ගමන පටන් ගත්තා. ඒකත් පැය හතරක විතර ගමනක්. ඒ විස්තර ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. බොහොම කාලෙකින් තමයි ආපහු ලියන්න පටන් ගත්තෙ.... අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉතින් ලිවීමේ හැකියාවත් ටිකක් විතර මොට්ට වෙලාද කොහෙදෝ.... කමක් නැහැ, කියවල ඉවර වෙලා හොඳ, නරක, අඩුපාඩු ගැන comment පාරක් එහෙම දාල යන්නකෝ. ආයෙත් හම්බ වෙමු ඉක්මනටම....

Sunday, October 28, 2012

ලංකාවෙන් යැංකි රටට...

මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ සෙල්ලිපිය කොටන්නෙත් එහෙ ඉඳගෙනම තමයි. දැන් ඉතින් තව ටික කාලයක් යනකල් මගෙ නවාතැන වෙන්නෙත් ඇමරිකාවම තමා.

ඔක්තෝබර් මාසෙ විසි වෙනිදා හවස 6.45ට තමයි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඉතින් හවස 4.30 විතර වෙනකොට ක‍ටුනායක ගුවන් තො‍ටුපලට ආවා. අම්මයි තාත්තයි ආච්චියි මාමයි මාමගෙ පොඩි එකයි කට්ටියම ආවා මාව ඇරලවන්න. ඉතින් ඔය කට්ටියගෙන්ම සමු අරගෙන එහෙම ගුවන් තො‍ටුපොල ඇතුලට ගිහින් බෑග් වල බර කිරනකොට තමයි මුල්ම ඇබැද්දිය සිද්ධ වුණේ. මට එක බෑග් එකක කිලෝ 23 ගානෙ බෑග් දෙකක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ගෙදරදි බර කිරනකොටනම් කිලෝ 46කට වඩා පොඩ්ඩක් අඩුවෙනුත් වගේ තිබුණේ. ඒ වුනාට එතනදි බලනකොට එක බෑග් එකක කිලෝ 2ක් වැඩියි. ඒ පාර බර කිරපු අක්ක කිව්වා බර වැඩි එකේ තියෙන ඒවයින් ටිකක් අනිත් බෑග් එකට දාන්න කියලා. ඉතින් හොඳට ඉබ්බො දාල එහෙම තිබුණු තඩි බෑග් දෙකේ ඉබ්බො ගලෝල අර අක්ක කියපු විදිහට කරල ආයෙත් ඉබ්බො දාල එහෙම බර කිරුවහම  මෙන්න අර බර අඩුවෙන් තිබිච්ච බෑග් එකේ බර ඒ පාර ඕනෑවට වඩා වැඩි වෙලා. ඒ පාර අර අක්ක  ආයෙත් පාරක් හොඳ හිනාවක් හෙම දාල එහෙම කියනවා මේ බෑග් එකේ බර වැඩියි ටිකක් අඩු කරන්න කියලා. මොනව කරන්නද ඉතින්, ආයෙත් පාරක් ඉබ්බො ගලවලා ඒ බෑග් එකේ තිබුණු දේවල් ටිකක් දා ගත්ත කරේ එල්ලගෙන හිටපු බෑග් එකට. ඒ බෑග් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තිබුණෙ කිලෝ හතයි. අන්තිමට මං හිතන්නෙ ඒකෙ කිලෝ දහයක විතර බර තිබුණා. කරේ ගෙනියපු බෑග් එකෙත් බර කිරුවනම් එහෙම ෂුවර් එකටම මට මොනවහරි ලංකාවෙ දාල තමයි එන්න වෙන්නෙ. ඒත් හොඳ වෙලාවට ඒකෙ බර කිරුවෙ නැති නිසා ප්‍රශ්නයක් නැතුව ඔක්කොම බඩු අරගෙන එන්න පුලුවන් වුණා. ඇත්තම කියනවනම් ඔය බර ප්‍රශ්නෙ ආවෙත් මගෙ වැ‍රැද්දක් හින්දම තමයි. ගිය මාසෙ BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනෙන් මං ගත්තනෙ ලොරියක් පිරෙන්නම පොත්, රට යන්න තියෙන බව දැන දැනම. ඔන්න ඔය පොත් ටිකම අරගෙන තමයි මම මෙහේ ආවෙ. ඒ ටිකට විතරක් කිලෝ 11ක් වෙන් කරන්න වුණා.
දහ වෙනි ගේට්‍ටුව
කොහොමින් කොහොම හරි ඔය බර ප්‍රශ්නෙත් විසඳගෙන ප්ලේන් එකට නගින්න දහ වෙනි ගේට්‍ටුවට ආවා.
එතනදි ඉතින් අපේ අතේ පයේ තියෙන ඔක්කොම වගේ ගලවල කරල අර ස්කෑන් කරන යන්තරේ හරහ යවන්න ඕනැනේ. සපත්තු දෙකයි කලිසමේ බෙල්ට් එකයි ත් ගලවන්න ඕනෙ. ඔය අල්ල පනල්ලෙ ඔතන හිටපු පලවෙනිම පාරටද කොහෙද රට යන දෙමළ කොල්ලෙකුට බෙල්ට් එක ගලවන්න කියල කියපු එක හරියට තේරිලා නැතුව කලිසම ගලවන්න ගිහින් කට්ටියටම හොඳට හිනා වෙන්නත් අවස්ථාවක් හම්බ වුණා. ඊට පස්සෙ තමයි මට ඊළඟ ඇබැද්දිය සිද්ද වුණේ. ප්ලේන් එකට නගින්න කලින් පාස්පොට් එකයි බෝඩින් පාස් එකයි එතන හිටපු  නිලධාරියට පෙන්නුවට පස්සෙ එයා මට කිව්ව පොඩ්ඩක් අයිනකට වෙන්න කියලා. එහෙම කියල අනිත් අයව ප්ලේන් එකට යවන ගමන් මගෙ පාස්පොට් එක දුන්න තවත් නිලධාරියෙකුට. එය මගෙ වීසා එක පරීක්ෂා කරනවා දශමෙන් දශමෙට. මමත් ඉතින් දැන් ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න ගිහිල්ල මාට්‍ටු වෙච්ච එකෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ අස්සෙ අර මනුස්සයා magnifying glass එකක් ඇහැට හයි කරගෙන ඒකෙනුත් වීසා එක චෙක් කරනවා.ඒ අස්සෙ තවත් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න වැලයි. යන්නෙ කොහෙද? මොකටද යන්නෙ? මොන රටවල් හරහද යන්නෙ? ලංකාවෙ කරපු රස්සාව මොකද්ද?..... ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් අහලා අන්තිමට පාස්පෝට් එක අතට දීලා "හරි සර්, ප්‍රශ්නයක් නැහැ, ඇතුලට යන්න" කියල මාවත් යැව්වා. මතක විදිහට මම ද කොහෙද අන්තිමටම ප්ලේන් එකට නැග්ගෙ.

මෙන්න මං ආපු ප්ලේන් එක (අබුඩාබි වලදි ගත්තු photo එකක්)
ඉතින් හවස 6.30ට විතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති UL 207 යානයේ වම් පැත්තෙ ජනේලයක් අයිනෙම තිබුණු 24A අංකය දරණ සීට් එකේ වාඩි වෙන්න මට පුළුවන් වුණා. හරියටම වෙලාවට ප්ලේන් එක අබුඩාබි ගුවන් තො‍ටුපළ බලා ගුවන්ගත වුණා. රෑ වෙලා නිසා උඩට යනකොට ලංකාව හරිම ලස්සනට පෙනුණා. පැය හතරකුත් විනාඩි හතලිස්පහක ගමනක් නිසා රෑ කෑමට හොඳ රසට ෆ්‍රයිඩ් රයිස් එකකුත් හම්බ වුණා. ප්ලේන් එක ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය උඩින් වගේම ඕමාන් උඩින් යද්දිත් පල්ලෙහ විදුලි ආලෝකය බොහොම ලස්සනට පෙනුණා. ඉතින් රෑ කෑම එහෙම සප්පායම් වුනාට පස්සෙ ටිකක් නිදාගන්න තමයි හිතුවෙ. හැබැයි මට එහා පැත්තෙ සීට් එකේ හිටිය කළු මහත දෙමළ මහත්තයා කලින්ම නිදාගෙන. අපරාදෙ කියන්න බැහැ, වටේටම ඇහෙන්න ගොරවනවා. සැරෙන් සැරේ එයාගෙ සද්දන්ත අතකුත් මගෙ සීට් එක පැත්තට ඇල වෙනවා. කොහොමහරි එයාට පින් සිද්ද වෙන්න මං අබුඩාබි වලට එනකල්ම හොඳට ඇහැරගෙන ආවා.
අබුඩාබි නගරය අහසට පෙනුණු හැටි
අබුඩාබි වල වෙලාවෙන් රෑ 10 ට තමයි මං එහෙට ගොඩ බැස්සෙ. එතන ඉඳන් සිද්ද වෙච්ච දේවල් ටික ඊලඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්....