ඔක්තෝබර් මාසෙ විසි වෙනිදා හවස 6.45ට තමයි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඉතින් හවස 4.30 විතර වෙනකොට කටුනායක ගුවන් තොටුපලට ආවා. අම්මයි තාත්තයි ආච්චියි මාමයි මාමගෙ පොඩි එකයි කට්ටියම ආවා මාව ඇරලවන්න. ඉතින් ඔය කට්ටියගෙන්ම සමු අරගෙන එහෙම ගුවන් තොටුපොල ඇතුලට ගිහින් බෑග් වල බර කිරනකොට තමයි මුල්ම ඇබැද්දිය සිද්ධ වුණේ. මට එක බෑග් එකක කිලෝ 23 ගානෙ බෑග් දෙකක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ගෙදරදි බර කිරනකොටනම් කිලෝ 46කට වඩා පොඩ්ඩක් අඩුවෙනුත් වගේ තිබුණේ. ඒ වුනාට එතනදි බලනකොට එක බෑග් එකක කිලෝ 2ක් වැඩියි. ඒ පාර බර කිරපු අක්ක කිව්වා බර වැඩි එකේ තියෙන ඒවයින් ටිකක් අනිත් බෑග් එකට දාන්න කියලා. ඉතින් හොඳට ඉබ්බො දාල එහෙම තිබුණු තඩි බෑග් දෙකේ ඉබ්බො ගලෝල අර අක්ක කියපු විදිහට කරල ආයෙත් ඉබ්බො දාල එහෙම බර කිරුවහම මෙන්න අර බර අඩුවෙන් තිබිච්ච බෑග් එකේ බර ඒ පාර ඕනෑවට වඩා වැඩි වෙලා. ඒ පාර අර අක්ක ආයෙත් පාරක් හොඳ හිනාවක් හෙම දාල එහෙම කියනවා මේ බෑග් එකේ බර වැඩියි ටිකක් අඩු කරන්න කියලා. මොනව කරන්නද ඉතින්, ආයෙත් පාරක් ඉබ්බො ගලවලා ඒ බෑග් එකේ තිබුණු දේවල් ටිකක් දා ගත්ත කරේ එල්ලගෙන හිටපු බෑග් එකට. ඒ බෑග් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තිබුණෙ කිලෝ හතයි. අන්තිමට මං හිතන්නෙ ඒකෙ කිලෝ දහයක විතර බර තිබුණා. කරේ ගෙනියපු බෑග් එකෙත් බර කිරුවනම් එහෙම ෂුවර් එකටම මට මොනවහරි ලංකාවෙ දාල තමයි එන්න වෙන්නෙ. ඒත් හොඳ වෙලාවට ඒකෙ බර කිරුවෙ නැති නිසා ප්‍රශ්නයක් නැතුව ඔක්කොම බඩු අරගෙන එන්න පුලුවන් වුණා. ඇත්තම කියනවනම් ඔය බර ප්‍රශ්නෙ ආවෙත් මගෙ වැරැද්දක් හින්දම තමයි. ගිය මාසෙ BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනෙන් මං ගත්තනෙ ලොරියක් පිරෙන්නම පොත්, රට යන්න තියෙන බව දැන දැනම. ඔන්න ඔය පොත් ටිකම අරගෙන තමයි මම මෙහේ ආවෙ. ඒ ටිකට විතරක් කිලෝ 11ක් වෙන් කරන්න වුණා.
දහ වෙනි ගේට්‍ටුව |
මෙන්න මං ආපු ප්ලේන් එක (අබුඩාබි වලදි ගත්තු photo එකක්) |
අබුඩාබි නගරය අහසට පෙනුණු හැටි |