Sunday, November 16, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5

මෙක්සිකෝ චාරිකාවෙ පස් වෙනි කොටස කොටන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා මේ කොටස කොටල ඉවර කරන්න ටිකක් විතර පරක්කු වුණා.

මෙක්සිකෝවෙ නතර වෙලා හිටපු කාලෙ මට දකින්න ලැබුණු එක උත්සවයක් තමයි මලවුන් සැමරීමේ උත්සවය.මේ උත්සවය හැබැයි නොවැම්බර් 1 වෙනිදට පවත්වන ප්‍රධාන උත්සවය නෙවෙයි. මම හිතන්නෙ මේක ප්‍රාදේශීයව පැවැත්වෙන පොඩි සැමරීමක්. එදාට කට්ටියම එකතු වෙලා නගරෙ වටේ පෙරහැරක් ගිහින් අන්තිමට පෙරහැරින්ම පල්ලිය ඇතුලට යනවා. ඒ එක්කම පිළිමයකුත් වඩම්මවනවා. ජේසුස් වහන්සෙගෙ හරි මරිය මව්තුමියගෙ හරි පිළිමයක්. හරියටම මතක නැහැ දැන්. පිටිපස්සෙන් මිනිස්සු මල් එහෙමත් අරගෙන එනවා. ඒ විතරක් නෙවෙයි පපරෙ බෑන්ඩ් එකකුත් පෙරහැරත් එක්කම ගමන් කරනවා. ලංකාවෙ පෙරහැරවල් වල වගේ කස කාරයො නැති වුණත් පෙරහැර එන බව දැනුම් දෙන්න ඉස්සරහින් යන කෙනෙක් අහස් කූරු පත්තු කරනවා. මේ අහස් කූරු හැබැයි ගොඩක් උඩ යන්නෙ නැහැ. පොළොවෙ ඉඳන් අඩි 15ක් 20ක් උඩට ගිහින් මහ සද්දෙන් පුපුරල යනවා.
මේ පෙරහැරේ ගමන් කරන ඊළඟ කණ්ඩායම තමයි මලවුන් විදිහට ඇඳගත්තු කට්ටිය. හුඟක් වෙලාවට කලු සහ සුදු වර්ණ වලින් මූණ පින්තාරු කරගෙන වර්ණවත් ඇඳුම් ඇඳගෙන අර කලින් කියපු පපරෙ බෑන්ඩ් එකේ තාලෙට නටන ගමන් තමයි මේ අය පෙරහැරේ ගමන් කරන්නෙ. පෙරහැර පටන් ගන්න කලින් මෙහෙම වෙස් මාරු කරගත්තු කාන්තවක් එක්ක එකට ෆොටෝ එකක් අරගන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක. 



මම නතර වෙලා හිටපු මේ 'ඇට්ලික්ස්කෝ' කියන නගරය දේශීය සංචාරකයින්ගෙ ආකර්ශනයක් බවට පත් වෙලා තිබුණු බවක් තමයි පේන්න තිබුණෙ. ඒ හේතුව නිසාම පාර දෙපැත්තෙ පොඩි පොඩි කඩ වල අත්කම් සහ විසිතුරු භාණ්ඩ ගොඩක් විකුණන්න තියල තිබුණා. ඒවා නම් බොහොම ලස්සන නිර්මාණ. මෙක්සිකානු ජාතිකයො ස්වභාවයෙන්ම වර්ණ වලට බොහොම කැමති ජාතියක්. නිතරම වර්ණවත් ඇඳුම් අඳින්න එහෙමත් හරි කැමතියි. කඩයක් ඇතුලට ගියත් එකකට එකක් වෙනස් පාට වලින් තමයි පු‍ටු මේස පාට කරල තියෙන්නෙ. බිත්ති හතරත් සමහර වෙලාවට පාට හතරක්. ඔය විදිහටම අර කුඩා විසිතුරු භාණ්ඩත් බොහොම ලස්සනට වර්ණ ගන්වලයි තියෙන්නෙ.




මේ නගරය සංචාරක ආකර්ශනයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළමුවෙනි එක ගිනිකන්ද. දෙවෙනි එක සැන් මිගෙල්(San Miguel) කියන කන්ද. තුන් වෙනි එක තමයි මල්. ඔය හේතු තුනෙන් මුල් හේතුව වෙච්චි ගිනිකන්ද ගැන නම් දැන් කට්ටිය විස්තර දන්නවනෙ. ඒක නිසා ඉතුරු හේතු දෙක ගැන විස්තර කියන්නම්.

එහෙනම් සැන් මිගෙල් කන්දෙන් පටන් ගමුකෝ. සැන් මිගෙල් කියල කියන්නෙ තනිව පිහිටල තියෙන තරමක උස කඳු ගැටයක්. මේ කන්ද පාමුල කන්ද මැදි කරගෙන තමයි ඇට්ලික්ස්කෝ නගරය පිහිටල තියෙන්නෙ. සංචාරකයෝ වැඩිපුරම එන්නෙ මේ කන්ද තරණය කරන්න විතරක්ම නෙවෙයි කන්ද මුදුනෙම පිහිටල තියෙන පැරණි පූජකාරාමය නරඹන්නත් එක්කයි. ඒක 16 වෙනි සියවසේදි ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ගොඩනඟපු ආරාමයක්. දැන් නම් ආරාමය සංචාරක ආකර්ශනයක් විදිහට පවත්වගෙන යනවා. මේ කඳු මුදුනට නැග්ගහම ඇට්ලික්ස්කෝ සහ අවට ප්‍රදේශය බොහොම ලස්සනට නරඹන්න පුළුවන්. අවට සිරි නරඹන්න පහසු වෙන විදිහට හදල තියෙන පුංචි නැරඹුම් ස්ථානයකුත් ආරාමෙට ටිකක් පහළින් තියෙනවා. ඒ වගේම කන්ද මුදුනටම නැග්ගහම ගිනිකඳු දෙකම හරිම ලස්සනට බලාගන්නත් පුළුවන්.

ගිනිකඳු දෙක මැද්දෙන් තියෙන්නෙ සැන් මිගෙල් කන්ද
කන්ද නගින පාර පටන් ගන්නෙ මෙතනින්
කන්ද බාගයක් විතර නගිද්දි ඇට්ලික්ස්කෝ නගරය පේන හැටි
නැරඹුම් ස්ථානය
නැරඹුම් ස්ථානයට ආරාමය පේන හැටි
කඳු මුදුනට නගින අතරමඟදි දකින්න ලැබුණු තරමක තැනිතලා ඉඩමක අඩි 50 ක් 60 ක් විතර උස කණුවක් හිටවලා තියෙනව මට දකින්න ලැබුණා. ඒක කොටස් පුරුද්දල හදපු කණුවකුත් නෙවෙයි, තනි ගහක කඳකින් හදපු එකක්. මේ කණුවෙ යම්කිසි විශේෂත්වයක් පේන්න තිබුණ නිසා මං ෆ්‍රැන්සිස්කෝගෙන් ඇහුවා ඒ මොකද්ද කියල. ඔන්න එතකොට එයා මට ඒ කණුව ගැන විස්තර කියල දෙන්න පටන් ගත්තා.
බොහොම ඉස්සර ඉඳන් තාමත් පවත්වගෙන යන පැරණි මෙක්සිකානු චාරිත්‍රයකට එහෙමත් නැත්නම් පූජා කර්මයකට අයිති අංගයක් තමයි ඒ කණුව. ඒ පූජා කර්මය හඳුන්වන්නෙ Danza de los Voladores කියන නමින්. ඒකෙ තේරුම 'පියාඹන නර්තනය' කියන එකයි. මේ චාරිත්‍රය ඇත්තටම ඉෂ්ට කරන්නෙ නර්තනයක් ආකාරයට නිසයි ඒ නම ලැබිල තියෙන්නෙ. ඔය කණුව උඩ බොහොම පොඩි චතුරස්‍රාකාර අට්ටාලයක් හදල තියෙනවා. අට්ටලෙ පැති හතරට දිග කඹ හතරකුත් ගැට ගහල තියෙනවා.
නර්තනය ඉදිරිපත් කරන්න ශිල්පියෝ පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාම මුලින්ම කරන්නෙ අර පොඩි අට්ටලෙ උඩට නගින එක. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ කට්ටිය කණුව මුදුනට නගින්නෙ කිසිම ආරක්ෂක පටියක්වත් පාවිච්චි කරන්නෙ නැතුව. කට්ටියම උඩට ගියාට පස්සෙ හතර දෙනෙක් අර අට්ටලෙ පැති හතරෙ බැඳල තියෙන කඹ තමුන්ගෙ ඇඟේ බැඳගෙන අට්ටලෙන් පහළට පැනලා අහසෙ පැද්දි පැද්දි නටන්න පටන් ගන්නවා. පස් වෙනියා අට්ටාලෙ මුදුනෙ ඉඳගෙන නටන්න පටන් ගන්නවා.
දැඩි නියං කාලයකදි දෙවියන්ව සතු‍ටු කරලා වැස්ස ඉල්ලා හිටින චාරිත්‍රයක් විදිහට තමයි මේ නැ‍ටුම ඉස්සර පවත්වලා තියෙන්නෙ.

ඔය නැ‍ටුම ඇස් දෙකෙන් දැක්කෙ නැති වුණත් අර උසම උස කණුව දිහා බලාගෙන ෆ්‍රැන්සිස්කෝ ගෙ විස්තරේට කන් දීගෙන ඉන්නකොට ඇඟ හිරි වැටිල වගේ ගියා. 
මට ඔය කණුවෙ ෆොටෝ එකක් නම් අරගන්න බැරිවුණා. ඒත් පහළ තියෙන අන්තර්ජාලයෙන් උපුටගත්තු පින්තූර දිහා බැලුවහම ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයි මේක කොච්චර භයානක නර්තනයක්ද කියලා.

නැ‍ටුම පටන්ගන්න මොහොතකට කලින්
නැ‍ටුම අතරමඟදී
කන්ද නගින පාරෙ තැනින් තැන පොඩි ළමයි ඉන්නවා පොඩි පොඩි කෑම ජාතියි වතුර බෝතලුයි විකුණන්න බලාගෙන. බැලූ බැල්මටම කියන්න පුළුවන් බොහොම දුප්පත් අය කියලා. මං හිතන්නෙ ඉස්කෝලෙ යන්නෙත් නැතුව ඇති සමහරවිට. තෙල් නිෂ්පාදනය කරන රටක් වුණත් මෙක්සිකෝවෙ හරියට දුප්පත් මිනිස්සු ඉන්නවා. තෙල් වලින් හම්බ කරන සල්ලි වලින් වැඩි හරියක් බෙදිල යන්නෙ ඉහළ නිලධාරීන් අතරෙ විතරයි කියල ෆ්‍රැන්සිස්කෝත් කිව්වා. මෙහෙ මිනිස්සු සල්ලි හොයන්න කරන තවත් වැඩක් මේ විස්තර කොටන අතරෙ මට මතක් වුණා. ඒකත් මෙහෙමම කොටල දාන්නම්. 
පාරෙ ඇඳල තියෙන කහ ඉරි, සුදු ඉරි වගේ ඒවා මැකිල යනකොට ආපහු ආණ්ඩුවෙන් ඒව ඇඳල දෙනකල් මිනිස්සු බලාගෙන ඉන්නෙ නැහැ. එයාල කරන්නෙ කොහෙන් හරි තීන්ත ටිකක් හොයාගෙන මැකිල ගිහින් තියෙන සළකුණු ස්වේච්ඡාවෙන්ම අඳින එක. එක්කෙනෙක් ඔහොම අඳින අතරෙ තවත් කෙනෙක් පාරට තොප්පියක් දික් කරගෙන ඉන්නවා වාහන වලින් සල්ලි එකතු කරන්න. සමහර කට්ටිය ඉතින් සල්ලි දීල යනවා. මෙයාලට සල්ලි විතරක් නෙවෙයි, වතුර බෝතල්, කෑම ජාති වගේ දේවලුත් සමහර අය දීගෙන යනවා. කොහොමහරි මෙක්සිකෝව කියන්නෙත් කොච්චර සම්පත් තිබුණත් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙන දූෂණය සහ වංචාව නිසා දුප්පත් කමෙන් පෙළෙන මිනිස්සු ජීවත් වෙන රටක්. ඒ ගැන විස්තර කරන්න ගියොත් ඉතින් ප්‍රධාන මාතෘකාවෙන් පිට යන්න වෙනවා. ඒක නිසා ඒව ගැන වැඩිය කතා නොකර ඉමු. 

එහෙනම් ආපහු කන්දට එමු. මම කලින්ම කිව්වනෙ කන්ද මුදුනට හරි ලස්සනට අවට පේනව කියලා. පහළින් තියෙන්නෙ කන්ද මුදුනෙදි ගත්තු ෆොටෝ ටිකක්.

කඳු මුදුනේ ආරාමය
ගිනිකඳු දෙක හරිම ලස්සනට පේනවා
 මුදුනෙ ඉඳන් පහළ බැලුවහම
එහෙනම් අදට සෙල්ලිපිය කොටන එක මෙතනින් නතර කරන්නම්. තුන් වෙනි හේතුව වෙන 'මල්' ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ගිහින් එන්නම්!!!


Thursday, October 30, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4

මෙක්සිකෝ චාරිකාවෙ හතර වෙනි කොටස කොටන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නෙ
මුල් කොටස් තුන කියවන්න බැරි වුණා නම් පහළ තියෙන සබැඳි වලින් යන්න පුළුවන්.
තුන් වෙනි ලිපියෙන් පොරොන්දු වුණානෙ ගිනි කන්ද ගැන විස්තර ලියනවා කියල මේ ලිපියෙ. ඔන්න එහෙනම් ඉතින් කතන්දරේ ගිනි කන්දෙන් ම පටන් ගන්නම්කෝ. විස්තර කියන්න කලින් ෆොටෝ එකක් පෙන්නල ඉන්නම්. ඔය පහළ පින්තූර වල තියෙන්නෙ ගිනි කන්ද මං නතර වෙලා හිටපු හෝටලේට පේන හැටි.

උදේ 7.00 ට විතර ගත්තු ෆොටෝ එකක්

zoom කරල ගත්තෙ
මේ ගිනි කන්ද හඳුන්වන්නෙ 'පොපොකැතෙපෙත්ල්' (Popocatépetl) කියලා. කියවන්න ගියහම පොඩ්ඩක් විතර දිවත් පැටලෙනවා. ඉස්සර මෙක්සිකෝවෙ ජීවත් වුණු ඇස්ටෙක් ගෝත්‍රිකයො කතා කරපු 'නහ්වාත්ල්' (Nahuatl) කියන භාෂාවෙන් තමයි ඔය නම දාල තියෙන්නෙ. මේක මළ භාෂාවක් වුණත් මෙක්සිකෝවෙ ගොඩක් ස්ථාන තාමත් හඳුවන්නෙ ඒ භාෂාවෙන් යොදපු නම් වලින්. පොපොකැතෙපෙත්ල් කියන එකේ තේරුම 'දුම් දමන කන්ද' කියන එකයි. මේ කන්ද එක්ක බැඳුණු ලස්සන පුරාවෘත්තයකුත් ෆ්‍රැන්සිස්කෝ මහත්තයා මට කියල දුන්නා. ඒ කතාවත් තව ටිකකින් කියන්නම්. ඊට කලින් කන්දෙ විස්තර ටිකක් කියන්නම්කෝ.
පුඑබ්ලා, මෙක්සිකෝ, මොරේලොස් කියන ප්‍රාන්ත තුනටම මැදි වෙලා තමයි මේ ගිනි කන්ද පිහිටලා තියෙන්නෙ. මෙක්සිකෝවෙ තියෙන දෙවෙනියට උසම කන්දත් මේකයි. කොහොමද සයිස් එක..? අන්තර්ජාලෙ තියෙන විදිහට මීටර 5400 ක් විතර උසයි. පොලොවෙ ඉඳන් කිලෝමීටර පහමාරක් විතර උසට තියෙන කන්දක් ගැන හිතල බලන්නකෝ... මෙක්සිකෝව කියන්නෙ ගිනිකඳු බහුල රටක්. මේ රටේ තියෙන ගිනිකඳු වලින් මේ වෙනකොට සක්‍රීයම ගිනි කන්දත් මේකයි. ඉහළ තියෙන පින්තූර බැලුවොත් කඳු මුදුනෙන් දුම් පිට වෙන විදිහ බලා ගන්නත් ඔයාලට පුළුවන් වෙයි.
ස්පාඤ්ඤ ජාතිකයින් මෙක්සිකෝව අල්ලගත්තට පස්සෙ ඉඳන් මේ වෙනකල් මේ ගිනි කන්ද පහළොස් පාරක් පුපුරලා තියෙනවා. අන්තිමටම පුපුරල තියෙන්නෙ 2013 අවුරුද්දෙ. සක්‍රීයතාවයෙන් අඩු කාල වලට සංචාරකයින්ට ගිනි කන්ද තරණය කරන්න අවසර දීල තිබුණත් මේ වෙනකොට නම් ආපහු තහනම් කරල තියෙන්නෙ. ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ කන්දෙ සක්‍රීයතාවය ආපහු ටිකක් විතර වැඩි වෙලා කියල.
මේ ගිනි කන්ද ළඟම තවත් ගිනි කන්දක් තියෙනවා. හැබැයි ඒක නම් අවුරුදු දහස් ගණනකට කලින් පුපුරල ඉවර වුණු මළ ගිනි කන්දක්. ඒකෙ නම 'ඉස්තසිහ්වාත්ල්' (Iztaccíhuatl). නම කියවනකොටම හිතාගන්න පුළුවන්නෙ මොන භාෂාවෙන්ද නම දාල තියෙන්නෙ කියලා. 'සුදු පාට කාන්තාව' කියන එක තමයි නමේ තේරුම. මේ කන්ද මෙක්සිකෝවෙ තුන්වෙනියට උසම කන්ද විදිහටත් සැලකෙනවා. මං අර පස්සෙ කියනව කියල කියපු පුරාවෘත්තයට මේ කන්දත් සම්බන්ධයි. ඒක නිසා තමයි මේ කන්ද ගැන සඳහන් කරනකල් කතාව කියන එක පහු කලේ. එහෙනම් ඔන්න කතාව අහගන්න...

බොහොම ඉස්සර හිටපු ඇස්ටෙක් අධිරාජ්‍යයෙකුගේ එකම දියණිය තමයි 'ඉස්තසිහ්වාත්ල්' කියල කියන්නෙ. මේ කුමරිය බොහොම ලස්සනයි ලු. ඒ වගේම 'පොපොකැතෙපෙත්ල්' කියල කියන්නෙ අර අධිරාජ්‍යයා යටතේ සේවය කරපු දක්ෂම සහ කඩවසම්ම සෙන්පතියා. ඉතින් කාලයක් යද්දි මේ කුමාරිකාවයි සෙන්පතියයි එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔහොම කාලයක් යනකොට අධිරාජ්‍යයා අර සෙන්පතියාව යුද්ධයට පිටත් කරල යවල තියෙනවා. හැබැයි ඒ එක්කම ඔහුට පොරොන්දුවකුත් දීල තියෙනවා යුද්ධෙ දිනලා ආවොත් කුමරියව සරණ පාවා දෙනවා කියලා. ඉතින් සෙන්පතියාත් බොහොම සතුටෙන් යුද්ධ කරන්න පිටත් වුණාලු. මාස ගාණක සටනකින් පස්සෙ කොහොමහරි යුද්ධෙ දිනාගන්නත් පොපොකැතෙපෙත්ල් සෙන්පතියට හැකි වෙලා තියෙනවා.
ඒත් මේ වෙනකොට කුමරියට ආරංචි වෙලා තිබුණෙ යුද්ධෙ දිනුවත් සෙන්පතියා මිය ගිහින් කියලා. මේ වැරදි ආරංචිය කුමාරියට ලැබෙන විදිහ දෙයාකාරයකට තමයි ජනකතා දෙකක සඳහන් වෙන්නෙ. එක කතාවක කියන්නෙ තමුන්ගෙ දුවව සෙන්පතියට බන්දල දෙන්න අකමැති වුණු අධිරාජයා දුවට මේ බොරු ආරංචිය කිව්ව කියල. අනෙක් කතාවෙ සඳහන් වෙන්නෙ මේ සෙන්පතියගෙ දක්ෂතා වලට ඉරිසියා කරපු අනෙක් සෙන්පතිවරු බොරු ආරංචියක් රජ වාසලට එව්ව කියල. කොහොමින් කොහොම හරි මේ ආරංචිය නිසා කුමාරිකාව දුකෙන් නොකා නොබී ඉඳලා මිය යනවා. අන්තිමේදි ජයග්‍රාහීව ආපහු එන පොපොකැතෙපෙත්ල් සෙන්පතියට දකින්න ලැබෙන්නෙ කුමරියගෙ මළ සිරුර.
බොහොම ශෝකයට පත් වෙන සෙන්පතියා ඉස්තසිහ්වාත්ල් කුමරියගෙ සිරුරත් ඔසවාගෙන තමුන්ගෙ සෙබළුත් එක්ක බොහොම ඈතට ඇවිදගෙන ගිහින් උස්බිමකට ළඟා වෙනවා. තමුන්ගෙ සෙබළුන් ලවා ඔන්න ඔය උස්බිමේ පීඨිකාවක් හදවන සෙන්පතියා කුමරියගෙ සිරුර ඒ පීඨිකාවෙ තැන්පත් කරනවා. ඊට පස්සෙ ඔහු දල්වපු පන්දමකුත් අතින් දරාගෙන කුමරියට තනි රකිනවා. මේ සිද්ධිය දකින දෙවියෝ කරන්නෙ මේ දෙන්නවම කඳු දෙකක් බවට පරිවර්තනය කරන එක.
තාමත් සැරෙන් සැරේ පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද පුපුරල යන්නෙ නිදාගෙන ඉන්න ඉස්තසිහ්වාත්ල් ගිනිකන්දට ආලෝකය සපයන්නත් තමුන්ගෙ ශෝකය පිට කරන්නත් කියල තමයි කතාවෙ අන්තිමට සඳහන් වෙන්නෙ.
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් අඩු වෙලාවක ගත්තෙ... දකුණෙන් තියෙන්නෙ ඉස්තසිහ්වාත්ල් 
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් වැඩි වෙලාවක ගත්තෙ... ගහ අස්සෙන් ඉස්තසිහ්වාත්ල් පේනවා
කඳු මුදුන් දෙකම වලාකුළු වලින් වැහිලා
පුරාවෘත්තයේ සිතුවමක්.. ඇඳල තිබුණෙ town center එක ඇතුළෙ
ගිනි කන්දෙ කතන්දරෙන් පස්සෙ මම කියන්න යන්නෙ මෙක්සිකෝවෙදි මට මූණ දෙන්න සිද්ධ වුණු මූලිකම ප්‍රශ්නය ගැන. ඒ තමයි භාෂා ප්‍රශ්නය. මම මේ ලිපි පෙළේ පළමුවෙනි ලිපියෙම ලියල තියෙනව මෙක්සිකානුවන්ගෙන් අති මහත් බහුතරයකටම ස්පාඤ්ඤ භාෂාව ඇරෙන්න වෙන කිසිම භාෂාවක් කතා කරන්න බැහැ කියලා. ඒ නිසාම සන්නිවේදන කටයුතු නම් සම්පූර්ණයෙන්ම වාගෙ කෙරුණෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා හරහා. කොච්චර දැන උගත් කෙනෙක් වුණත් 'good morning', 'thank you' වගේ ඉංග්‍රීසි වචනවත් අහල නැති අය ඉන්නවා. ඒකට හේතුව තමයි ඇමරිකා මහාද්වීපයේ භාවිතා වෙන ප්‍රධානම භාෂාව ස්පාඤ්ඤ වීම. මේ මහාද්වීපයේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි කතා කරන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල විතරයි. ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් 14% ක් විතර ජනගහනයක් කතා කරන්නෙ ස්පාඤ්ඤ භාෂාව. කැනඩාවත් සම්පූර්ණ ඉංග්‍රීසි රටක් නෙවෙයි. එහේ මුළු ජනගහනයෙන් 30% ක් විතර කතා කරන්නෙ ප්‍රංශ භාෂාව. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලත් කතා කරන්නෙ ඉංග්‍රීසියි ප්‍රංශයි මිශ්‍ර වෙච්ච ඉංග්‍රීසි වල උප භාෂාවක්. අනෙක් හැම රටකම වගේ කතා කරන්නෙ ස්පාඤ්ඤ. ඔහොම බැලුවහම ඇමරිකා මහාද්වීපෙ ඉංග්‍රීසි කියල කියන්නෙ ස්පාඤ්ඤ වලට සාපේක්ෂව සුළු භාෂාවක්. ආහ්.. භාෂා ගැන කියනකොට සඳහන් කරන්න ඕනෙ තව විශේෂ රටක් තියෙනවා. ඒ තමා බ්‍රසීලය. පෘතුගීසි භාෂාව කතා කරන ඇමරිකා මහාද්වීපයේ තියෙන එකම රට තමයි බ්‍රසීලය.

හරි.. ආපහු මෙක්සිකෝවට එමුකෝ. මෙක්සිකානුවන් ඉංග්‍රීසි නොදන්න නිසාම සමහර වෙලාවට විදේශීය පෙනුමක් තියෙන මිනිස්සු එක්ක කතා කරන්න ටිකක් මැලි කමක් දක්වනවා. හැබැයි වැඩේ කියන්නෙ මේ මිනිස්සු මාත් එක්ක කතා කරන්න කිසිම මැලි කමක් දැක්වුවෙ නෑ. කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතාවට බහිනවා. කොටින්ම මම නතර වුණු හෝටලේ පිළිගැනීමේ නිලධාරිනියත් මුල්ම දවසෙ සට පට සට පට ගාල මොනවද කියල තමයි මාව පිළිගත්තෙ. ඔය වෙලාවට ඉතින් පිහිටට හිටියෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා තමයි. 

කට්ටිය මාත් එක්ක හෝ ගාල කතාකරන්නෙ ඇයි කියල පස්සෙ වෙලාවක එයා මට පැහැදිලි කරල දුන්නා. හේතුව තමයි දකුණු ආසියාතිකයින්ගෙ සහ මෙක්සිකෝවෙ දකුණු ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගෙ පෙනුමෙ තියෙන සමානකම. මෙක්සිකෝවෙ උතුරට වෙන්න ඉන්න අය සාමාන්‍යයෙන් ස්වදේශික ඇමරිකානුවන්ගෙ පෙනුම ගත්තට පහළට වෙන්න ඉන්න අය නම් දකුණු ආසියාතිකයින්ට ගොඩක් දුරට සමානයි. 'පුඑබ්ලා' කියන්නෙ ටිකක් විතර දකුණට වෙන්න තියෙන පැත්තක් නිසා මෙහෙත් අර ආසියාතික පෙනුම තියෙන අය ටිකක් ඉන්නවා. ඒක නිසා තමයි කට්ටිය මාත් එක්ක කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතා කරන්න පටන් අරගෙන තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ පෙනුමම තියෙන මෙක්සිකන් අය කීප දෙනෙකුත් මට මේ ගමනෙදි දකින්න පුළුවන් වුණා.

ෆ්‍රැන්සිස්කෝ මහත්තයා මගේ භාෂා පරිවර්තකයා විදිහට වැඩ කරනකොට මගේ හිතට ආපු මුල්ම ප්‍රශ්නෙ තමයි මෙහේ ඉස්කෝලෙකදිවත් ඉංග්‍රීසි උගන්වපු නැති පරිසරයකදි එයා කොහොමද ඉංග්‍රීසි ඉගෙනගත්තෙ කියන එක. ටික දවසක් යනකල් ඉඳල මම ඔය ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා. බලද්දි එයාට ඉංග්‍රීසි උගන්නල තියෙන්නෙ එයාගෙ තාත්තා. ඉස්සරම තාත්තා ගෙදරදි ඉංග්‍රීසියෙන් කතා කරලත් තියෙනවලු ළමයින්ට උගන්නන්න ඕනෙ හින්දම. ලස්සනම කතාව ෆ්‍රැන්සිස්කෝ ගෙ තාත්තා ඉංග්‍රීසි ඉගෙන ගත්තු විදිහයි.

තාත්තා තරුණ කාලෙදි මෙක්සිකෝවෙ කිසිම විදිහකින් ඉංග්‍රීසි උගන්නල නැහැ. හැබැයි එයාට තේරිලා තියෙනවා ඉස්සරහට කවදහරි කාලෙකදි ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙයි කියලා. හරිහමන් ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක්වත් හොයාගන්න තිබිල නැති ඒ කාලෙදි එයා කරල තියෙන්නෙ පුළුවන් හැම වෙලාවකදිම ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. ගොඩක් ම බලල තියෙන්නෙ ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච 'ටාසන්' චිත්‍රපටි. මුලින්ම ස්පාඤ්ඤ උපසි‍රැසිත් එක්ක බලල ඊළඟට උපසි‍රැසි නැතුව බලනවලු. ඒ කාලෙ තිබිල තියෙන්නෙ VHS කැසට් නිසා දෙතුන් පාර රිවයින්ඩ් කර කර බලල තියෙනවලු සමහර වචන උච්ඡාරණය කරන හැටි හරියටම අල්ල ගන්න. VHS කැසට් වල තියෙන උපසි‍රැසි  on & off කරන්න බැරි හින්ද උපසි‍රැසි නැතුව බලන්න ඕනෙ වෙලාවට එයා TV එකේ උපසි‍රැසි පේන හරියට කලු පාට පටියක් අලවනවලු. ඔන්න ඔහොම තමයි තාත්තා ඉංග්‍රීසි ඉගෙනගෙන ෆ්‍රැන්සිස්කෝටත් උගන්නල තියෙන්නෙ. ඒ කතාව ඇහුවහම මට නම් ඒ තාත්තා ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. කොහොමහරි දැන් නම් මෙහේ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන්න පටන් අරගෙනලු තියෙන්නෙ.

ඔහොම භාෂාව ගැන සාකච්ඡාව කෙරීගෙන යන අතරෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා ලංකාවෙ මිනිස්සු තාමත් සිංහල කතා කරන එක ගැන බොහොම ඉහළින් වර්ණනා කළා. ජාතීන් තුනකට යටත් වෙලා ඉඳලත් අපි අපේ සංස්කෘතියයි, ආගමයි, භාෂාවයි ආරක්ෂා කරගෙන ඉඳිද්දී මෙක්සිකෝවෙ සංස්කෘතිය, ආගම, භාෂාව ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච එක ගැන එතුමා කතා කළේ තරමක හිතේ අමාරුවෙන්දෝ කියලත් මට හිතුණා.
ඇත්තටම ස්පාඤ්ඤ ජාතිකයින්  මෙක්සිකෝව යටත් කරගන්නකල්ම මේ රටේ මිනිස්සු කතා කරපු භාෂාව සහ අදහපු ආගම අවුරුදු 300 ක් යනකොට සම්පූර්ණයෙන්ම ස්පාඤ්ඤ භාෂාව සහ ක‍තෝලික දහමට මාරු වුණා. 
ස්පාඤ්ඤ භාෂාවෙ සමහර වචන තියෙනවා සිංහල වචන වලට සමාන. 'කමිස, සපත්තු, පාන්, තේ' වගේ වචන භාෂා දෙකටම පොදුයි. ඇත්තටම පෘතුගීසි සහ ඕලන්ද භාෂා වලින් සිංහලයට සහ ස්පාඤ්ඤ බසට වුණු බලපෑම නිසා තමයි මෙහෙම පොදු වචන දකින්න පුළුවන් වෙන්නෙ.
මෙක්සිකෝවෙ ටික දවසක් ඉන්නකොට මටත් හිතුණා ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තොත් හොඳයි කියලා. ඒකට මූලික අඩිතාලම දැම්මෙ ෆ්‍රැන්සිස්කෝයි අපිත් එක්ක වැඩ කරපු තවත් සගයෙක් වුණු ඔමර් ඔර්ටේගා මහත්තයයි. ඔමර් තමයි මට හෝඩිය කියල දුන්නෙ. 
වමේ ඉඳන්- ෆ්‍රැන්සිස්කෝ, මම, ඔමර්
මෙක්සිකෝවෙ වැඩ ඉවර වෙලා ඇමරිකාවට ආවට පස්සෙත් මම ඉගෙනගන්න එක නතර කළේ නැහැ. තාමත් පුළුවන් විදිහට තනියම ඉගෙනගන්නවා. යන්තම් වාක්‍යයක් දෙකක් ගැටගහගන්න පුළුවන් මේ වෙනකොට... කොහොමත් ඇමරිකාව ඇතුළෙ වුණත් projects වලට ගියහම අපේ යටතෙ වැඩකරන්න සෙට් වෙන සාමාන්‍ය කම්කරුවො බහුතරයක්ම මෙක්සිකෝවෙන් ආපු අය. බොහොම අහිංසක මිනිස්සු. ඉංග්‍රීසි කතා කරන්න බැහැ ගොඩක් දෙනෙකුට. ස්පාඤ්ඤ විතරයි පුළුවන්. එහෙම බැලුවහම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන තියෙන එක අපේ ‍රැකියාව පැත්තෙනුත් බොහොම වැදගත්.

තව කියන්න විස්තර නම් බොහොමයක් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත් පෝස්ට් එක ඕනෑවට වඩා දිග වෙනවා. එහෙනම් අදට මෙතනින් සෙල්ලිපිය කොටන එක නතර කරන්නම්. ඊළඟ ලිපියෙන් ඉක්මනටම හම්බ වෙමු..!!!

Monday, October 20, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3

ගුවන් තො‍ටුපළේ ඉඳලා හෝටලේට යන ගමනෙදි දැකපු දේවල් සහ දැන ගත්තු දේවල් ටිකක් කලින් ලිපියෙන් ලිව්වනේ. ඉතුරු හරිය තමයි මේ ලිපියෙන් ලියන්නේ. පහුගිය ලිපි කියවන්න බැරි වුණා නම් එහෙම මේ පහළ තියෙන සබැඳි වලින් ගිහින් බලන්න පුළුවන්.

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

කලින් ලිපියෙන් කියල තිබුණ විදිහට කඳුකර පාරක් දිගේ කාර් එක ධාවනය කරපු අපි ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා. ටිකෙන් ටික පරිසරයේ ස්වභාවය වෙනස් වෙන්නත් පටන් ගත්තා. දැන් පාර දෙපැත්තෙම පේන්නෙ බඩ ඉරිඟු යායවල්. මේ වෙනකොටත් තමුන්ගෙ අස්වැන්න නෙලාගෙන ඉවරවුණු සමහර මිනිස්සු තමුන්ගෙ හේන් වල තියෙන පඳුරු සුද්ධ කරල එක ගොඩකට ගහල ගිනි තියල එහෙම ඊළඟ කන්නෙට ලෑස්ති වෙනවා. මෙච්චර බඩ ඉරිඟු වවන්නෙ මොකටද කියල ඇහුවහම ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ බඩ ඉරිඟු කියන්නෙ මෙක්සිකෝ ජාතිකයින්ගෙ ප්‍රධානම ආහාර වලින් එකක් කියලා. තම්බපු බඩ ඉරිඟු වගේම බඩ ඉරිඟු පිටි වලින් හදන රොටී වලටත් මෙයාල බොහොම කැමතිලු. 
මෙක්සිකෝවෙ තියෙන කෑම ගැන කියනවනම් මේ රටේ එකිනෙකට වෙනස් කෑම ජාති සිය ගාණක් තියෙනවා. ලෝකයේ වැඩිම ආහාර විවිධත්වයක් තියෙන රට සමහරවිට මෙක්සිකෝව වෙන්නත් පුළුවන්. ඒක හින්දම තමයි UNESCO එක මගින් මේ රටේ කෑම '‍රැකගත යුතු  සංස්කෘතික උරුමයක්' ලෙස නම් කරල තියෙන්නෙත්. කොටින්ම දවල් කෑමට කඩේකට ගියොත් එක එක ජාතියේ කෑම වට්ටෝරු බර ගාණක් menu එකේ දකින්න පුළුවන්. මේ කෑමත් බොහොම රසවත්. ඒක නිසාම මෙක්සිකෝවෙ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් චීන අවන්හල් වලට වඩා මෙක්සිකානු අවන්හල් දකින්න පුළුවන්.

චීන අවන්හල් තරම් ජනප්‍රිය නැති වුණාට ලංකාවෙත් මෙක්සිකන් අවන්හල් එකක් හරි දෙකක් හරි මේ වෙනකොට තියෙනවා.
මේ කෑම ගැන මෙහෙම පොඩි විස්තරයක් කරල හරියන්නෙ නැහැ. ඉදිරි ලිපි වලදිත් ඉඩ තියෙන හැටියට එක එක කෑම ජාති ගැන වෙන වෙනම විස්තර ලියන්නම්.

කොහොමහරි පැය තුන හතරක ගමනකින් පස්සෙ අපි හෝටලේ තියෙන ඉසව්වට ළඟා වුණා. පුඑබ්ලා(Puebla) ප්‍රාන්තයට අයිති ඇට්ලික්ස්කෝ(Atlixco) කියන නගරය තමයි අපේ ගමනාන්තය. ප්‍රධාන පාරෙන් වම් පැත්තට තිබුණු තරමක ප‍ටු පාරකට වාහනේ හරවපු අපි හෝටලේට කිට්‍ටු කලා. ඒ හරියෙදි ගත්තු පින්තූර කීපයක් තමයි පල්ලෙහා තියෙන්නෙ. කොච්චර දුරට ලංකාවෙ නාගරික පරිසරයට සමානද කියල ඔයගොල්ලොම හිතල බලන්නකෝ.







මෙක්සිකෝවෙ ඕනෑම නගරයක ප්‍රධාන අංග තුනක් දකින්න ලැබෙනවා. ඒවා තමයි;
1. නගරයේ පරිපාලන ගොඩනැඟිල්ල (Town Center)
2. නගර මැද තියෙන උද්‍යානය (Plaza)
3. ක‍තෝලික පල්ලිය
මේ ගොඩනැඟිලි තුන සාමාන්‍යයෙන් හදන්නෙ එකිනෙකට ඉතාම ළඟින්, උද්‍යානය මැදිනුත් අනෙක් ගොඩනැඟිලි දෙක දෙපැත්තෙනුත් පිහිටන විදිහට. ඇට්ලික්ස්කෝ නගරයේත් මේ කියන අංග තුනම දකින්න පුළුවන්. අපේ හෝටලේ තිබුණෙත් මේ නගර මැද උද්‍යානෙට බොහොම කිට්‍ටුවෙන්. ඉතින් එතන විස්තර ගොඩක් දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. මේ උද්‍යානය තමයි ඕනෑම මෙක්සිකානු නගරයක තියෙන ජනප්‍රියම ස්ථානය. බාල මහලු තරුණ ඕනෑම කෙනෙක් හවස් වරුවෙදි එකතු වෙන්නෙ මෙතනට. තලතුනා කට්ටිය තමුන්ගෙ යාළුවො හම්බ වෙලා සතු‍ටු සාමීචියෙ යෙදෙන්නත් තරුණ ජෝඩු පෙම් කරන්නටත් එකතු වෙන තැන තමයි මේ. කාගෙන්වත් කාටවත් කරදරයක් නැහැ. 

සති අන්තයේදි මේ plaza එකේ තව ලස්සන වැඩක් වෙනවා. ඒ තමයි තනිකඩ කොල්ලො කෙල්ලො පෙම්වතුන් බවට පත් වෙන සාම්ප්‍රදායික චාරිත්‍රය... එහෙම කිව්වට තේරුණේ නැහැ නේද..? මෙන්න මේකයි වැඩේ.
ඉරිද දවසෙ හවසට තනිකඩ කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම plaza එකට එකතු වෙනවා. කොල්ලො නම් එන්නෙ බොහොම ලස්සනට ජැන්ඩි පහට ඇඳගෙන මලකුත් අතේ අරගෙන. කට්ටියම එකතු වුණාට පස්සෙ කෙල්ලො ටික plaza එක වටේට හිට ගන්නවා. කොල්ලො ටික මලුත් අරගෙන plaza එක වටේ රවුමට ඇවිදිනවා. ඔහොම ඇවිදිනකොට තමුන්ගෙ හිතට හරියන කෙල්ලෙක් දැක්කොත් කොල්ල කරන්නෙ අර රවුමෙන් පිට පැනල කෙල්ල ලඟට ගිහින් තමුන්ගෙ අතේ තියෙන මල කෙල්ලට දෙන එක. කෙල්ල මල බාර ගත්තොත් වැඩේ ගොඩ. බැරිවෙලාවත් මල බාරගත්තෙ නැත්නම් එහෙම කොල්ල ආපහු රවුමට එකතු වෙලා වෙන හිතට අල්ලන කෙල්ලෙක් දකිනකල් රවුමෙ යනවා.

මට මේ අපූරු සිද්ධිය විස්තර කරල කිව්වෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා. හැබැයි බලන්න යන්න නම් බැරි වුණා, ඉරිදා දවසෙ තව ගමනක් යන්න වුණ නිසා....

නිතරම සෙනඟ ගැවසෙන තැනක් නිසා මේ plaza එකේ වෙළෙන්දොත් ගොඩයි. අයිස්ක්‍රීම්, රටකජු, තම්බපු බඩ ඉරිඟු එහෙම විකුණන අය තමයි වැඩිපුරම දකින්න පුළුවන්. ළඟ තියෙන පල්ලියෙ උත්සවයක් එහෙම තිබුණොත් ඒකට එන පොඩි ළමයින්ව ඉලක්ක කරගෙන එන බැලුම් බෝල වෙළෙන්දොත් ඉඳල හිටල මේ උද්‍යානෙ ඇතුලෙ කැරකෙනවා දකින්න පුළුවන්.

මේ තමයි Atlixco නගරයේ plaza එක

plaza එකේ තවත් පැත්තක්

plaza එකේ තියෙන මල් පැළ වෙළඳ සලක්

බැලුම් බෝල වෙළෙන්දෙක්


මෙහේ අයිස් ක්‍රීම් වෙළෙන්දො නම් ලංකාවෙ කට්ටිය වගේ නලාවක් සද්ද කරන්නෙ නැහැ. හැබැයි ඒකට හරියන්න බඩ ඉරිඟු වෙළෙන්දන්ගෙ නම් එයාලටම විශේෂ වුණු නලාවක් තියෙනවා. ඒ තමයි බඩ ඉරිඟු තම්බන බොයිලේරුව. ඒකෙ දුම් පිට වෙන බටේට පොඩි පියනක් හයි කරල තියෙන්නෙ. බඩ ඉරිඟු තැම්බෙද්දි බොයිලේරුව ඇතුලෙ වාෂ්ප පීඩනය වැඩි වෙනකොට ඒවා අර පියන ඇරගෙන බොහොම ලොකු සද්දෙකුත් දාගෙන එලියට යනවා. හැම විනාඩි දෙක තුනකට පාරක්ම මේ නලාව හැඬවෙනවා, ඒ වගේම බොහොම දුරට ඇහෙනවත් එක්ක. ඉතින් ඔය සද්දෙ ඇහෙනකොට මිනිස්සු පාරට එනව බඩ ඉරිඟු ගන්න.

මේ වෙළෙන්දන්ට අමතරව තව කට්ටියක් මේ උද්‍යානෙ තමුන්ගෙ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ තමයි වීදි සංගීත ශිල්පියෝ. හුඟක් වෙලාවට ඉන්නෙ ගිටාර් වාදකයො තමයි. සාම්ප්‍රදායික මෙක්සිකානු තොප්පිය දාගෙන ගිටාර් ගහන ගමන් සිංදුවක් කියල කීයක් හරි හොයාගන්න එක තමයි මෙයාල කරන්නෙ. තනි තනි වාදකයො වගේම කණ්ඩායම් වශයෙන් වාදනය කරන අයත් දකින්න පුළුවන්.


ගිටාර් වාදකයෙක්
මේ සංගීත ශිල්පීන් අතරින් විශේෂිතම කට්ටිය තමයි 'මරිම්බා' සංගීත ශිල්පියෝ. ඒක ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. 'මරිම්බා' කියල කියන්නෙ මෙක්සිකෝවටම ආවේණික වුණු සයිලොෆෝන් (Xylophone) වර්ගයේ සංගීත භාණ්ඩයක්. සම්පූර්ණයෙන්ම ලී වලින් තමයි හදල තියෙන්නේ. වාදනය කරන්න ශිල්පීන් දෙන්නෙක් ඕනැ කරනවා. එක ශිල්පියෙක් වාදනය කරද්දි අනෙක් ශිල්පියා කරන්නෙ තාලය සපයන එක.


මරිම්බා වාදක ශිල්පීන් යුගලක්
කෙළවර ගෝලාකාර වුණු ලී දඬු දෙකක් උපයෝගී කරගෙන වාද්‍ය භාණ්ඩයට තට්‍ටු කිරීමෙන් තමයි සංගීතය උපදවා ගන්නේ. කිසිම ආකාරයකින් විදුලි බලය පාවිච්චි නොකරන මේ වාද්‍ය භාණ්ඩයෙන් උපදින සංගීතය නම් බොහොම මිහිරියි. මම නතර වෙලා හිටපු හෝටලේ ළඟ තිබුණු plaza එකේදි වාදකයො දෙන්නෙක් මේ භාණ්ඩය වාදනය කරපු හැටි video කරන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ video clip එක.




මම කලින් නොකියපු තවත් විශේෂ දෙයක් මේ පුඑබ්ලා(Puebla) ප්‍රාන්තෙ තියෙනවා. ඒ තමයි මෙහෙ තියෙන අති විශාල ගිනි කන්ද.... මේ ගිනි කන්ද බොහොම ලස්සනට මම නැවතිලා හිටපු තැනට පේනවා. ඒ ගිනි කන්ද හා බැඳුණු ජනප්‍රවාද යි තවත් විස්තරයි මම ඊළඟ සෙල්ලිපියෙ කොටන්නම්.  එහෙනම් අදට මම නවතිනවා. ජය වේවා..!!!!

Monday, October 13, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

ඇමරිකාවෙන් පිටත් වෙලා මෙක්සිකෝ සිටි ගුවන් තො‍ටුපළෙන් ගොඩ බහිනකල් විස්තර ටික කලින් ලිපියෙ විස්තර කලා නෙ. 
 
කලින් ලිපියට යන්න මෙතනින්.
 
ඔන්න එහෙනම් එතන ඉඳන් ගමනෙ ඉතුරු විස්තර ටික තමයි දැන් කියන්න හදන්නේ. ගුවන් තො‍ටුපළට ප්ලේන් එක ගොඩබස්සන විදිහයි 'මෙක්සිකෝ සිටි' උඩ ඉඳන් බලනකොට පේන හැටියි මම video කලත් ගිය පාර ලිපියට ඒක ඇතුලත් කරන්න බැරි වුණා. ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන්නෙ ඒ video clip එක.


කොල බල්බ් එක පත්තු වුණ නිසා වැඩි කරදරයක් නැතුව එලියට ආපු මං ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක එයාගෙ කාර් එකේ අපි නවාතැන් ගන්න ඉන්න හෝටලේ බලා යන ගමන පටන් ගත්තා. 

  "අප්පට සිරි... ලංකාව වගේමයි නෙ.." ගුවන් තො‍ටුපළේ ඉඳන් ප්‍රධාන පාරට වාහනේ හරවපු මොහොතෙම හිතට ආපු මුල්ම දේ තමයි ඒ...

  ඒ වෙනකොට අවුරුද්දක් විතර ඇමරිකාවෙ ගත කරල හිටපු මට මෙක්සිකෝව හරහා ආයෙත් පාරක් සුපුරුදු ලාංකික අත්දැකීම් ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකාවෙදි නිකමටවත් වාහනයක නලා ශබ්දයක් ඇහුනෙ නැති වුණාට මොකද මෙක්සිකෝ සිටි වලදි නම් ඒකෙ අනෙක් පැත්ත. හරියට පිටකො‍ටුව වගේ. ඒ විතරක් නෙවෙයි පොඩි ඉඩක් අහු වෙච්ච ගමන් අස්සෙන් අස්සෙන් රිංගල යන මෝටර් බයික් රියදුරොත් ඕනෙ තරම්. 
පාර දෙපැත්තෙම පදික වේදිකා වල පොඩි පොඩි කඩ අටව ගත්තු වෙලෙන්දො ගොඩයි. තම්බපු බඩ ඉරිඟු, රටකජු, කඩල, අයිස් ක්‍රීම් වගේ දේවල් තමයි මේ කඩ වල විකුණන්නෙ. ඒ අතරෙ සෙල්ෆෝන් විකුණන වෙළෙන්දොත් හිටියා. මේ අතරෙ තැනින් තැන සිඟමන් ඉල්ලන කට්ටියත් හිටියා. ඒ වගේම තදබදය නිසා හරි මාර්ග සංඥා වලට හරි වාහනය නතර කරපු ගමන් කෑම ජාති පුරවගත්තු ලෑලි තට්‍ටුවකුත් එක්ක ළඟට දුවගෙන එන වෙළෙන්දොත් මදි නොකියන්න ඉන්නවා. මේ අතරෙම ඉන්නවා ලංකාවේ නගරබද පාරවල් වලදි දකින්න නැති කණ්ඩායමකුත්. ඒ තමයි වීදි සර්කස් කරුවෝ...
  මේ ගොල්ලො වැඩිපුරම ඉන්නෙ traffic lights ළඟ. රතු එලියට වාහන නතර කරපු ගමන්ම  මෙයාල කරන්නෙ පාර මැදට ඇවිත් ගින්දර පන්දම් තුනක් උඩ දම දමා කරකවන ගමන් සෙල්ලම් පෙන්නන එක.  සාමාන්‍යයෙන් මේ එක සර්කස් කණ්ඩායමක සාමාජිකයින් හතර දෙනෙක් විතර ඉන්නවා. දෙන්නෙක් සෙල්ලම් පෙන්නනකොට අනිත් දෙන්නා වාහනයක් වාහනයක් ගානෙ ගිහින් සල්ලි එකතු කරනවා. මේ සර්කස් පෙන්නිල්ලත් සල්ලි එකතු කිරිල්ලත් බොහොම ඉක්මනට ඉවර වෙනවා, මොකද කොල එලිය වැ‍ටුණ ගමන් වාහන වලට යන්න ඉඩ දෙන්න ඕනෙ නිසා.
 
වාහනේ පාරට දාල ටික වෙලාවකින් මගේ මිත්‍රයා, ෆ්‍රැන්සිස්කෝ මගෙන් අහපු මුල්ම ප්‍රශ්නෙ තමයි "කොහොමද මෙක්සිකෝව... හිතට ඇල්ලුව ද?" කියන එක. දෙපාරක් හිතන්නෙ නැතුවම මම කිව්ව "හොඳටම හිතට අල්ලල තියෙන්නෙ, හරියට ලංකාව වගේමයි..." කියල. මිනිහටත් හෙන සතු‍ටුයි. ඊටපස්සෙ මිනිහ කියනව සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ඉඳන් මෙක්සිකෝවට එන ගොඩක් දෙනාට මෙහෙ රටාව අල්ලන්නෙ නැහැලු, හැබැයි මම මෙහෙට කැමති වෙච්ච එක එයා ගොඩක් අගය කරනවලු කියලා. ඇත්තටම කිව්වොත් වටපිටේ තියෙන ගොඩනැඟිලි වල ස්වරූපය වගේම තද අවු රශ්මියත් නිසා මෙක්සිකෝව ලංකාව වගේ කියන හැඟීම තවත් වැඩි වුණා. මේ වෙනකොට නම් අපේ ඔ‍ෆිස් එකේ කට්ටිය මේ රට ගැන මගේ හිතේ කලින් මවල තිබුණු බියකරු චිත්‍රෙ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලයි තිබුණෙ.
 
'මෙක්සිකෝ සිටි' ගැන පොඩි විස්තරයක් කරනවනම් මේක මෙක්සිකෝවෙ අගනුවර වගේම ලෝකයේ තියෙන ජනාකීර්ණම නගර වලින් එකක්. මිලියන 20 ක විතර ජනතාවක් මේ අති විශාල නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම මේ නගරය තමයි රටේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. හැබැයි අවාසනාවකට වගේ මේ නගරයේ වායු දූෂණය නම් ඉතාම ඉහලයි. නිතරම තුනී මීදුම් පටලයක් වගේ දුම් වලාවකින් නගරය වැහිලා තමයි තියෙන්නෙ. මේ නිසාම වායු දූෂණයේ බරපතල බව මිනිස්සුන්ට දැනුම් දෙන්න මේ නගරය වර්ණ සංඥා ක්‍රමයක් පාවිච්චි කරනවා. නගරයේ පාලනාධිකරය දිනපතාම වාතය පරීක්ෂාවට ලක් කරලා මේ වර්ණ සංඥාව නිකුත් කරනවා. කොල පාට සංඥාව නිකුත් වුණොත් විතරයි නගරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ. කහ පාට සංඥාව නිකුත් වුණොත් එහෙම එදාට ඉස්කෝල අනිවාර්යයෙන්ම නිවාඩු. අත්‍යාවශ්‍ය නොවන සේවා සපයන රාජ්‍ය ආයතනත් වහනව ලු. මිනිස්සුන්ටත් කියනවලු පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියලා. බැරි වෙලාවත් සංඥාව රතු පාට වුණොත් නම් තත්වෙ හොඳටම භයානකයි. ඒ වෙලාවට රෝහල්, ආරක්ෂක අංශ වගේ අත්‍යාවශ්‍ය ආයතන ඇරෙන්න මුළු නගරෙම ඔක්කොම කටයුතු නතර කරනව කියලයි ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ. වාතය විතරක් නෙවෙයි භූගත ජලයත් මේ වෙනකොට හොඳටම දූෂණය වෙලාලු තියෙන්නෙ. ඒක නිසා නගරෙ ජීවත් වෙන අය බොන්නෙ බෝතල් කරපු වතුර විතරලු. ඇමරිකාවෙන් පිටත් වෙනකොට මට හම්බ වෙච්ච උපදේශෙකුත් මේ වෙලාවෙ මතක් වුණා. ඒ තමයි මෙක්සිකෝවෙදි කිසිම වෙලාවක බෝතල් කරපු වතුර ඇරෙන්න වෙන කිසිම විදිහක වතුර බොන්න එපා කියන එක.

'මෙක්සිකෝ සිටි' නගරයේ පාරක්

වාහනේ යන ගමන් ගත්තෙ...

නගරයෙන් එලියට යන අතරමගදි...

'මෙක්සිකෝ සිටි' වලින් ටිකක් එලියට යනකොට මට පෙණුනු දෙයක් තමයි නගරය පිහිටල තියෙන්නේ පහත් බිමක බව. වටේම කඳු වලින් වට වෙලා. මේ පිහිටීම නිසා මට හිතුණෙ වැහි කාලෙට නගරය ගංවතුරට යට වෙන්න පුළුවන් කියලයි. ෆ්‍රැන්සිස්කෝ ජීවත් වෙන්නෙත් මෙක්සිකෝ සිටි වලම නිසා මම මේ ගැන එයාගෙන් ඇහුවා. අන්න එතකොට තමයි එයා මට මේ නගරෙ 'උප්පත්ති කතාව' කියන්න පටන් ගත්තෙ. මෙන්න මේකයි කතාව...
 
මායා (Mayan) සහ ඇස්ටෙක් (Aztec) කියල කියන්නෙ බොහොම ඉස්සර කාලෙ මෙක්සිකෝවෙ තිබුණ ඉතා දියුණු ශිෂ්ටාචාර දෙකක්. මේ ශිෂ්ටාචාර දෙකෙන් ඇස්ටෙක් ගෝත්‍රිකයො තමයි 'මෙක්සිකෝ සිටි' කියල අද හඳුන්වන නගරය ගොඩනඟන්න මුල් වෙලා තියෙන්නෙ. බොහොම ඉස්සර කාලෙ මේ ගෝත්‍රිකයො තමුන්ගෙ ප්‍රධාන නගරය ගොඩනඟන්න තැනක් හොය හොය තැනින් තැනට සංක්‍රමණය වෙලා තියෙනවා. මෙන්න මේ අතරෙදි දවසක මේ ගෝත්‍රිකයො අදහපු එයාලගෙ ප්‍රධාන දෙවියො මෙයාලට කියල තියෙනවා ' සර්පයෙක්ව ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලියෙක්ව දකිනකල් ගමන් කරන්න. එහෙම දෙයක් දැක්කහම අන්න ඒ තැන ප්‍රධාන නගරෙ ගොඩනඟන්න' කියලා. ඉතින් ඔහොම යනකොට මේ ඇස්ටෙක් වරු දැකල තියෙනවා ලොකු විලක් මැද්දෙ තියෙන පොඩි දූපතක වැවිල තිබුණු පතොක් ගහක් උඩ සර්පයෙක් ඩැහැගත්තු රාජාලියෙක් වහල ඉන්නවා. දෙවියො කියපු විදිහට එතන තමයි දැන් නගරෙ ගොඩනඟන්න වෙන්නෙ.  ඉතින් ඇස්ටෙක් වරු මේ පුංචි දූපත මූලික කරගෙන අර විල උඩ තමුන්ගෙ නගරෙ ගොඩනඟල තියෙනවා. 
ඉස්සරම මේ නගරෙ තිබිල තියෙන්නෙ හරියටම අද 'වැනීසිය' තියෙනව වගේ වතුරෙන් වට වෙලා. ගමනාගමනයට හුඟක් වෙලාවට ඔරු තමයි භාවිතා කරල තියෙන්නෙත්. පසුකාලීනව ටික ටික මේ විල ගොඩ වෙලා අද තියෙන 'මෙක්සිකෝ සිටි' බවට පත් වෙලා තියෙනවා. දැන් නම් විලක් තියා පොඩි වතුර වලක් වත් පේන්න නැහැ. හැබැයි තෙත් බිමක ගොඩනඟපු නිසා තාමත් මේ නගරයේ පොළව එච්චර ශක්තිමත් නැහැල්ලු. සමහර ගොඩනැඟිලි තාමත් හිටපු ගමන් ගිලාබහින්න පටන් ගන්නවලු.


නගරය වටා පිහිටි කඳු වලල්ලෙන් කොටසක්... 

මං ඔය උඩින් කියපු කතාව පදනම් කරගෙන තමයි අද මෙක්සිකෝවෙ රාජ්‍ය ලාංඡනය නිර්මාණය වෙලා තියෙන්නෙත්. මෙහේ ජාතික කොඩියෙ මැද්දෙත් රාජ්‍ය ලාංඡනය දකින්න පුලුවන්. සර්පයෙක් ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලි රූපයක් තමයි මෙහේ රාජ්‍ය ලාංඡනය.


මෙක්සිකෝ ජාතික කොඩිය (උපුටා ගැනීම Wikipedia)

කාලෙත් එක්කම බොහොම දියුණුවට පත්වුණු මේ 'මෙක්සිකෝ සිටි' නගරෙ 1968 දි ඔලිම්පික් ක්‍රීඩා උත්සවයත් පවත්වලා තියෙනවා. ඊට අමතරව 1985 දි දරුණු භූමිකම්පාවකින් මේ නගරෙට බොහොම දැඩි හානි සිද්ධ වුණත් ඉතාම ඉක්මනට නගරය ආපහු පිළිසකර කරලා 1986 දි  FIFA පාපන්දු තරඟාවලියත් පවත්වලා තියෙනවා. භූමිකම්පා ගැන කිව්වොත් මෙක්සිකෝව කියන්නෙ නිතරම භූමිකම්පා සිද්ධ වෙන රටක්. අවුරුද්දකට සාමාන්‍යයෙන් භූමිකම්පා 2ක් 3ක් වෙනවමයි කියල ෆ්‍රැන්සිස්කෝ කිව්වා. මම එන්න ටික දවසකට කලිනුත් තරමක චලනයක් සිද්ධ වුණා ලු.
 
ෆ්‍රැන්සිස්කෝ කියන මේ කතා අහගෙන ඉන්න අතරෙ අපි නගරෙන් එලියටත් ආවා. මෙහේ මාර්ග පද්ධතිය සෑහෙන්න දියුණුයි. අධිවේගී මාර්ග එහෙමත් තියෙනවා. ලංකාවෙදි වගේම මේ අධිවේගී මාර්ග වලට ඇතුළු වෙනකොට යම් මුදලකුත් ගෙවන්න ඕනෙ. අපිත් මේ අධිවේගී මාර්ගෙකින් තමයි නගරෙන් එලියට ආවෙ. මෙක්සිකෝ සිටි වල ඉඳන් දකුණු පැත්තට වෙන්න තිබුණු කඳු වැටියක් හරහා වැ‍ටුණු පාරක් තමයි අපේ ගමන් මාර්ගය. ටිකෙන් ටික කන්ද දිගේ ඉහලට යනකොට මට මතක් වුනේ අපේ උඩරට ප්‍රදේශය. පරිසරයේ බොහොම ලොකු සමානකමක් තිබුණේ.


කඳුකරය හරහා දකුණු දෙසට...




හෝටලයට යන්න ගතවුණු පැය හතරක විතර කාලයෙදි තව ගොඩක් දේවල් ෆ්‍රැන්සිස්කෝ මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඒ විස්තරයි තවත් දැකපු කරපු දේවලුයි ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. 

ඔයාලගෙ අදහස් උදහස් සහ මේ රට ගැන ඔයාල තව දන්න දේවල් පහළින් comment කරලම යන්න. ඊළඟ සෙල්ලිපියෙන් හමු වෙමු....!!!

Saturday, October 11, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1

ඩෙලවෙයාර් ගමනෙ විස්තරේ ලිව්වට පස්සෙ දැන් හදන්නෙ තවත් චාරිකාවක් ගැන විස්තරයක් ලියන්නයි. මේ පාර යන්නෙ මෙක්සිකෝවට. මේ ගමන ගියේ නම් මීට අවුරුද්දකට විතර කලින්. ඒක හින්ද අමතක වෙලා තියෙන දේවලුත් මතක් කරගෙන ටිකක් කල් වේලා අරගෙන එහෙම තමයි මේ ලියන්නේ.

2013 අවුරුද්දෙ අගෝස්තු මාසෙදි තමයි මට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් මෙක්සිකෝවට යන්න සිද්ධ වුණේ. හරියටම කිව්වොත් මෙක්සිකෝ බකාඩි සමාගමේ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තමයි මට තිබුණ රාජකාරිය.

මෙක්සිකෝ කියල කිව්වහම ඉතින් ඇමරිකන් කාරයො හිතන්නෙ මහා එපා කරපු රටක් කියල. විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා ඇමරිකාවට එන මරිජුවානා සහ නීති විරෝධි සංක්‍රමණිකයො නිසා කොහොමත් මෙහෙ මිනිස්සු ටිකක් වප‍රැහින් තමයි මෙක්සිකෝව දිහා බලන්නෙ. ඔන්න ඔය කාරණා නිසා මේ ගමන යන්න ලෑස්ති වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මට අපේ ඔ‍ෆිස් එකේ අයගෙන් අවවාද අනුශාසනා කෝටියයි. මීට කලින් කීප වතාවක් මෙක්සිකෝ ගිහින් තියෙන අය නම් කිව්වෙම බොහොම පරෙස්සමෙන් ඉන්න කියල. කොටින්ම කිව්වොත් එහෙ ගිහින් නතර වෙන හෝටලේ ආරක්ෂිත කැමරා තියෙන, පිටතින් අරින්න බැරි දොරවල් තියෙන එකක් වෙන්නම ඕනෙ කියලයි අපේ ඔ‍ෆිස් එකෙන් කිව්වෙ. ඒක නිසා අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවට සිද්ධ වුණා මම වෙනුවෙන්ම ඒ වගේ හෝටලයක් හොයන්නත්. අන්තිමට ඉතින් එහෙම හෝටලයක් හොයා ගත්තයි කියලත් කියමුකො. ඊට පස්සෙ ඔන්න මට ඔ‍ෆිස් එකෙන් කියපි travel security course එකකුත් කරන්න ඕනැය කියලා. මොකටද එහෙම එකක් කරන්නෙ කියල ඇහුවහම  කියනවා හදිසි අවස්ථාවකදි කරන්න ඕනෙ දේවල් ඉගෙන ගන්න ඕනෙ නිසා කියල. අන්තිමට ඉතින් ඔන්න ඒ course එකත් යන්න දවස් දෙකකට කලින් කරල ඉවර කලා. ඔන්න ඊට පස්සෙ කියනවා password එකක් හදා ගන්නලු මගේ ආරක්ෂාවට. මෙක්සිකෝ එයාර්පෝර්ට් එකේදි මාව අරගන්න එන එක්කෙනාට ඒ password එක කලින්ම කියල පහුවදා එයාර්පෝර්ට් එකේදි එයා ළඟට ගියහම එයා හරියටම password එක කිව්වොත් විතරක් එයත් එක්ක යන්නලු. මේ වෙනකොට නම් මේ ආරක්ෂක වැඩපිළිවෙළවල් ඕනැවටත් වඩා වැඩියි කියල මට හිතිල තිබුණෙ. ඒක නිසාම password එකක් හදාගන්නෙ නැතුව ඉන්න මම තීරණය කලා. හැබැයි අපේ ඔ‍ෆිස් එකේ අයගෙ අනුශාසනා වලට පිං සිද්ධ වෙන්න ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ වගෙ රටකට යනව වගේ හැඟීමක් තමයි මේ වෙනකොට මගෙ හිතේ ඇති වෙලා තිබුණෙ. ගමන පටන් ගන්න තව එක දවසයි තියෙන්නෙ. දැන් ඉතින් මොනව කරන්නද.. වැඩේ බාරගත්තු එකේ ඔන්න ඔහේ යනව කියල පිටත් වෙන්න සූදානම් වුණා.

ගමන පටන් ගත්තෙ ‍ෆිලඩෙල්‍ෆියා ගුවන් තො‍ටුපලෙන්. සම්පූර්ණ ගමනටම පැය අටක් විතර ගත වෙනවා. ඒකට ඇට්ලන්ටා ගුවන් තො‍ටුපලේ ගතකරන පැය දෙකක විතර කාලයත් ඇතුළත්. ඇට්ලන්ටා වලින් තමයි මෙක්සිකෝ යන ප්ලේන් එකට නගින්නේ.  ආ.... ඇට්ලන්ටා ගුවන් තො‍ටුපල ගැනත් කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේක තමයි ලෝකෙ තියෙන කාර්ය බහුලම ගුවන් තො‍ටුපල. 2000 අවුරුද්දෙ ඉඳන් මේ වෙනකල් අවුරුදු 14ක් ම ඒ වාර්තාවට හිමිකම් කියන්නෙ මේ ගුවන් තො‍ටුපල තමයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් ගුවන් මෙහෙයුම් ලක්ෂ නවයත් නවයහමාරත් අතර ප්‍රමාණයක් මෙතන සිද්ධ වෙනවලු. ඒ කියන්නෙ පැයකට 100 ත් 110 ත් අතර ප්‍රමාණයක්....
ඇට්ලන්ටා වල ඉඳන් පැය තුනහමාරකින් විතර මෙක්සිකෝවට යන්න පුළුවන්. ඒ ගමන් කාලය නම් බොහොම සුන්දරයි. මෙක්සිකෝව කියන්නේ තෙල් නිෂ්පාදනය කරන රටක් නෙ. ඉතින් මුහුද උඩින් යද්දි බොහොම පොඩියට මුහුද මැද තියෙන තෙල් ලිං දකින්න පුලුවන්. ඊට අමතරව මෙක්සිකෝව සතුව බොහොම ලස්සන වෙරළ තීරයකුත් තියෙනවා. ඒ ලස්සන වෙරළ දකිද්දි නම් මේ රට ගැන මගේ හිතේ මුලින්ම ඇඳිල තිබුණ චිත්‍රෙ ටික ටික වෙනස් වෙන්න ගත්තා.

පහලින් තියෙන්නෙ මම උඩදි ගත්තු පින්තූර ටිකක්.

වලාකුළු වලට උඩින්.. ඈතින් තව ප්ලේන් එකක දුම් වලාවත් පේනවා.

මෙක්සිකෝවට ඇතුළු වුණ වෙලාව

වෙරළ තීරය සහ කළපුවක්


ගොඩබිමයි මුහුදයි අහසයි
කොහොමින් කොහොම හරි හවස 3ට විතර මෙක්සිකෝවෙ අගනුවර වන 'මෙක්සිකෝ සිටි' හි ප්‍රධාන ගුවන් තො‍ටුපල වන බෙනිටෝ හුවාරෙස් (Benito Juárez) ගුවන් තො‍ටුපලට ගොඩබහින්න මට පුළුවන් වුණා.  මෙක්සිකෝ ගුවන් තො‍ටුපල වල තියෙන අරුම පුදුම මගී පරීක්ෂක ක්‍රියාවලිය ගැනත් කියන්නම ඕනෙ. ගුවන් යානයෙන් බැස්සට පස්සෙ ආගමන විගමන නිලධාරීන් ලඟට යන්න කලින් අපට මගී ආරක්ෂණ පද්ධතිය හරහා යන්න වෙනවා. හැබැයි ඊට කලින් රතුයි කොලයි බල්බ් දෙකක් හයි කරල තියෙන පොඩි ගැජට් එකක් ළඟට ගිහින් ඒකෙ තියෙන බොත්තමක් ඔබන්න ඕනෙ. ඒ බොත්තම එබුවහම අර බල්බ් දෙකෙන් එකක් අහඹු ලෙස පත්තු වෙනව. රතු බල්බ් එක පත්තු වුණොත් ඉතින් කෙස් ගහේ ඉඳන් ඔක්කොම චෙක් කරනවා. බැරි වෙලාවත් කොල එක පත්තු වුණොත් කිසි අවුලක් නැහැ. කිසිම පරීක්ෂාවක් නැතුව කෙලින්ම ආගමන විගමන නිලධාරියා ළඟට ගිහින් පාස්පෝර්ට් එකේ සීල් එක ගහගෙන එලියට යන්න පුළුවන්. බල්බ් පත්තු වෙන්නෙ අහඹු විදිහට නිසා මේ ක්‍රමේ කොච්චර සාර්ථක ද කියන එක ඇත්තටම මට නම් ප්‍රශ්නයක්. මං දන්න තරමින් මේ වගේ අරුම පුදුම ක්‍රමයක් තියෙන්නෙ මෙක්සිකෝවෙ විතරයි. කොහොමහරි මට පත්තු වුණේ කොල බල්බ් එක. ඉතින් වැඩි කරදරයක් නැතුවම එලියට එන්න පුළුවන් වුණා.

මෙතන ඉඳන් ආපහු මෙහෙන් පිටත් වෙනකල්ම මගේ මඟපෙන්වන්නා, උපදේශකයා සහ භාෂා පරිවර්තකයා වෙන්නෙ අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන මෙක්සිකානු ජාතික Francisco Barrios මහත්තයා. බොහොම හොඳ පුද්ගලයෙක් වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හසුරුවන්න පුලුවන්. එයා තමයි මාව පිළිගන්න ගුවන් තො‍ටුපළට ඇවිල්ල හිටියෙ.

මෙක්සිකෝව ගැන විස්තර කියන්න පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනෙ දෙයක් තමයි මේ මෙක්සිකානු ජාතිකයින්ගෙන් අති බහුතරයකටම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් කතා කරන්න බැරි බව. මේ රටේ ප්‍රධාන භාෂාව ස්පාඥ්ඥ භාෂාව වෙනවා වගේම බහුතරයකට කතා කරන්න පුළුවනුත් ඒ භාෂාව විතරයි. 
ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කරන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් වීම. ඒක නිසා කම්කරුවගෙ ඉඳන් ඉංජිනේරුවා, වෛද්‍යවරයා වෙනකල් හැම වෘත්තිකයෙක්ම කතාකරන්නෙත් ස්පාඥ්ඥ වලින් විතරයි.
ඔන්න ඔය කාරණාව නිසාම මගේ මේ ගමනට ෆ්‍රැන්සිස්කෝ මහත්තයගෙන් ලොකු අත්වැලක් ලැබුණා. ඒ වගේම මෙක්සිකෝව ගැනත් විස්තර ගොඩක් දැනගන්න ලැබුණා. සෙල්ලිපියක් කොටන්න තරමටම කරුණු එකතු කරගන්න පුළුවන් වුණෙත් එයා නිසා තමයි.

ඉතින් කොහොමහරි අපි දෙන්නම එලියට ඇවිත් හෝටලේට යන ගමන පටන් ගත්තා. ඒකත් පැය හතරක විතර ගමනක්. ඒ විස්තර ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. බොහොම කාලෙකින් තමයි ආපහු ලියන්න පටන් ගත්තෙ.... අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉතින් ලිවීමේ හැකියාවත් ටිකක් විතර මොට්ට වෙලාද කොහෙදෝ.... කමක් නැහැ, කියවල ඉවර වෙලා හොඳ, නරක, අඩුපාඩු ගැන comment පාරක් එහෙම දාල යන්නකෝ. ආයෙත් හම්බ වෙමු ඉක්මනටම....

Thursday, September 18, 2014

ඩෙලවෙයාර් ගියෙමු - දෙවන දවස

ඩෙලවෙයාර් සවාරියේ දෙවෙනි දවස අපි පලවෙනි දවසෙම ප්ලෑන් කර ගෙන හිටියේ.වෙරළට යන එක තමා ඉතිං ප්‍රධාන වැඩේ. ඔන්න ඉරිදා දවසේ උදේ අටට විතර වෙරළේ ගත කරන්න ඕනේ කරන බඩුත් අරගෙන අපි පිටත් වුනා. මොන වැඩේ කරන්නත් කලින් බඩ පුරවා ගන්න එපෑ. ඇමෙරිකාවේ කෑම ම තියෙන කඩේකින් තමා උදේට කෑවේ.

වෙරළට යන අතරමගදී ගහෙන් කඩාගෙනම අපිට ගෙනියන්න දෙන පීච් වත්තකට තමා මුලින්ම යන්න හිතුවේ. මේ වතු වල කාලෙන් කාලෙට හැදෙන එක එක පළතුරු ජාති ගෙනියන්න දෙනවලු. ස්ට්‍රොබරි,බ්ලුබෙරි, ඇපල්, පීච් වැවෙන කාලවල් අනුව ඔය වගේ පලතුරු ගෙදර ගෙනියන්න පුළුවන්.  ඒ දවස් වල පීච් වාරේ. පාරේ අයිනෙමයි පීච් වත්ත. තිබ්බ විදිහට මට හිතුනා මේක අත ඇරලා දාපු වත්තක්ද කියලා. තාප්පයක්වත්, වැටක්වත් මුකුත්ම නෑ. ඕනේ කෙනෙකුට වත්ත ඇතුලට ගිය හැකි.ඒත් ගස් වල ඕනෙ තරම් ගෙඩි.
අරුණි අක්කා කියපු විදිහට වතු අයිතිකාරයෝ විකුණන්න ඕනේ ප්‍රමාණය කඩලා විකුනුවට පස්සෙ මේ විදිහට ඕනේ කෙනෙක්ට ඇවිත්, තමුන්ම කඩාගෙන ඒ ගොල්ලන්ට නියමිත ගාන ගෙවලා අරන්  යන්න පුළුවන්.කවුරු වුනත් කැමතිනේ ඉතිං අතින්ම කඩාගෙන පලතුරු කන්න. ඉතිං සෙනඟ එනවා. වතු අයිතිකාරයින්ටත් ලේසියි වැඩේ. කඩන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් අතේ.

වත්ත ඇතුලට ගියාම පොඩි හට් එකක් ගහගෙන තුන් දෙනෙක් ඉන්නවා කාඩ්බෝඩ් පෙට්ටිත් තියාගෙන. කට්ටියට එක ගානේ කාඩ්බෝඩ් පෙට්ටි හම්බ වෙනවා.පෙට්ටිය අතේ තියාගෙන යන්න බැරිනම් පොඩි ඇදගෙන යන කරත්තත් එතැනින්ම ගන්න පුළුවන්. ගස් පේලි හයක් විතර තිබුනා අපිට ගෙඩි කඩන්න අවසර තියෙන. අනික් ගස් වල නම් තාම පළදාව කඩාගෙන ඉවර නෑ.

අපි පෙට්ටියෙන් බාගයක් විතර වෙන්න ගෙඩි කඩාගත්තා. අරුණි අක්කටත් ගෙඩි ටිකක් දීලා ඉතුරු වුන ගෙඩි ටික අපිට සති තුනක් විතර ගියා ඉවර කරගන්න.

ඊළග නැවතුම මුහුදු වෙරළ. කලින් ලිපිය කිව්ව “Ocean City” එකේ මුහුදු වෙරළේ මේ කාලෙට සෑහෙන්න සෙනඟ. ඒ නිසා ටිකක් නිදහස් වෙරළකට යන්න තමයි අරුණි අක්කගේ ප්ලෑන් එක වුනේ. සෑහෙන වෙලාවක් තිස්සේ ඇවිත් අන්තිමට අපි “Rehoboth” කියන වෙරළ කිට්ටුවට ආවා. ඒ වෙරළ කිට්ටුවම  “Cape Henlopen State Park”කියලා පාක් එකකුත් තියෙනවා . මුහුදට බහින්න කලින් පාක් එකේ ටිකක් දුර ඇවිදිමු කියලා අක්කා යෝජනා කරලා තිබ්බේ කලින් දවසේමයි. පාක් කිව්වට මල් වවපු ලස්සනට තියෙන එකක් නෙවෙයි. ස්වභාවික විදිහට තියෙන කැලයක් මැද්දෙන් පාරක් හදලා තිබුනා. සුද්දෝ එහෙම වැඩිහරියක් කරන්නේ මෙහෙ කුලියට බයිසිකල් ගන්න පුළුවන් තැනකින් බයිසිකල් අරගෙන ඒවා පැදගෙන යන එක. අපි ඉතිං ඒ වඩේ කලේ නෑ. පයින්ම පුළුවන් තරම් දුර ගිහින් ආපහු එන්න තමයි හදන්නේ. ඇතුලට යන තැනම බෝඩ් එකක්. ඇවිදින්න තියෙන  පාරේ මිසක් කැලේ ඇතුලට නම් එබෙන්න එපා කියලා. හේතුව තමා කැලේ ඇතුලේ “Poison Ivy “ කියන ගැවුනොත් පලු දාන  ගස් ජාතිය තිබීම සහ මුවන්ගේ ඇගේ ඉන්න රෝග වාහක මැක්කෙක් ඉදීම. ගහකටනම් ඉතිං පාරට එන්න බෑනේ. ඒත් බෝඩ් ගහලා තිබුන පලියට මැක්කෙක් පාරට එන්නේ නැතුව ඉදියි කියලා කියන්න බෑ නෙ. බැලින්නම් පාරේ දෙපැත්තට කෘමි නාශක ඉහිනවලු කාලෙන්  කාලෙට.



කුරුල්ලෝ සෑහෙන දෙනෙක්ගේ කූඩු තැනීමේ භූමියක් විදිහට මේ පාක් එක හදුන්වන නිසා ගොඩක් අය ඇවිත් තිබ්බේ කුරුල්ලෝ බලන්නමයි. දුරදක්න  එහෙම අරගෙන තමයි එහෙම අය ඇවිත් තිබුනේ. අපි නම් ඉතිං එහෙම ගොඩක් කුරුල්ලොනම් දැක්කේ නෑ. වගුරු බිමක් එහෙමත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට හම්බ වුනේ කුරුල්ලෝ බලන්නම හදපු පොඩි මණ්ඩපයක් වගේ එකක්. ලී වලින් තමා හදලා තිබුනේ. මණ්ඩපයේ තැන තැන පොඩි ලී පුවරු වල මේ පාක් එකේදී දකින්න පුළුවන්  කුරුල්ලෝ ගැන පොඩි විස්තර දාලා තිබුනා. මණ්ඩපයේ ඉදන් බලනකොට මුහුද පැත්තට වෙන්න ප්‍රදීපාගාරයක් වගේ ලොකු කුළුණු දෙකක් පේනවා. ඔය යට පින්තූරේ තියෙන්නේ එයින් එකක්.

ඒ තමා දෙවන ලෝකේ යුද්ධේ කාලේ ඔත්තු බලන්න හදලා තිබුන කණු. මේ වගේ කණු තව ඩෙලවෙයා වල මුහුදු වෙරළ අයිනේ තියෙනවා. ඒත් ඔතනට පෙනුනේ දෙකයි. ඒවා කිට්ටුවට ගිහින් බලන්නත් පුළුවන් වුනාට එදා දවසේ ඒක කරන්න වෙලාව තිබුනේ නෑ. පස්සෙ දවසක බැරියෑ ගිහින් බලන්න. මණ්ඩපේ ගාවට විටරක් ගිහින් අපි ආපහු හැරිලා ආවා.  තව ඇවිදින්නනම් ගොඩක් දුර තිබ්බා. මට නම් ඒ වෙනකොට ඇති වගේ. කොහොම හරි ආපහු පාක් එකට ඇතුල් වෙන තැනට එනකොට අපි විනාඩි 45ක් විතර තිස්සේ ඇවිදලා. මදෑ ඉතිං එච්චර ඇවිද්දා නේද?.
වාහන පාක් කරපු හරියෙම තමයි මුහුදු වෙරළ. වැල්ලේ පයින් ඇවිදගෙන යන්නයි තිබුනේ. වාහනේ දාගෙන ආපු වැල්ලේ තියාගන්න පුළුවන් අකුලන පුටු තුනයි, තුවා යි, බීමයි, නාන ඇදුමුයි ඔක්කොම අරන් අපි තුන්දෙනා කයියකුත් දාගෙන මුහුදු වෙරළට ගියා. හීනි වැල්ලේ අඩිය එරෙනවා මදිවට ඒ වෙනකොට දවල් වෙලා නිසා හිනි ගහන්න රත් වෙලා. ocean city එකේ තරම් නොවුනත් තරමක සෙනගක් එතනත් හිටියා. හුගක් අය කුඩ අටෝගෙන, සමහරු හිරු රැස් නානවා, සමහරු පුටු වලට වෙලා හුලන් වැදි වැදි පොත් කියෝනවා.
 ඒ හරියෙම කුඩ රෙන්ට් එකට දෙන තැනකුත් තිබුනා. ඉතිං අරුණි අක්කත් ගිහින් කුඩයක් අරගත්තා. රෙන්ට් කරන කෙනාම අපිට ඕනේ තැනට ඇවිත් කුඩේ හයි කරලා යනවා. ඊළගට ඉතිං පුටු ටිකත් දිග ඇරගෙන පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න තමා ලෑස්තිය. බීමත් බීලා ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා කතා වුනේ දැන් මුහුදට බැස්සානම් හොදයි කියලා. අරුණි අක්කානම් සැනසිල්ලේ පොතක් කියෝනව කිව්වා.
අපි ඉතින් ඔන්න මුහුදටත් බැස්සා කියමුකෝ. වතුරේ බැහැල ඉන්න ආස වුනාට  මුහුදටනම් මං බයයි. අම්මෝ ගහ ගෙනවත් ගියොත් එහෙම. වයසක ආච්චිලා, පොඩි එවුන් පවා හිටියා මට වඩා ගැඹුරට ගිහින්. ඒත් මං නෙවේ කැමති වුනේ. ඒත් ඉතිං උදිත එක්ක බෑනේ. අතින් ඇදගෙන ටිකක් ඈතට ගෙනිච්චා. එක පාරටම හොද  ලොකු රැල්ලක් ආවා. ඒ පාරේ සැරට අල්ලාගෙන හිටපු අතත් අතෑරිලා මාව ගහගෙන ගියා වෙරළට. නහයෙයි,කටෙයි වතුර විතරක් නෙවේ වැලිත් ගිහින්. වැලි වලට අත පයත් හීරුනා. අනේ එහෙම වුනා කියලා ගොඩ හරියට වෙලා නම් ඉන්න හම්බ වුනේ නෑ මට. ආයේ එක්කන් ගියා. දෙතුන් පාරක් ඔය වගේම වුනා. අන්තිමට මගේ කනටත් වතුර ගිහින් වැලිත් එක්කම. කොහොම හරි අන්තිමට දන්නෙම නැතුව  විනාඩි 45ක් වගේ මුහුදෙත් ඉදලා.
ගොඩට ඇවිත් අරුණි අක්කාව හොයාගෙන ගියාම මෙන්න බොලේ පොත කියවනවා කියපු කෙනා නිදි ඔලුවේ දාගෙන හිටපු කැප් ඒකෙන් මූණත් වහගෙන. අපි ලගටම ගිහින් ෆොටෝ එකක් ගන්න යනකොට තමා ඇහැරුනේ. ඇඟේ තියෙන වතුර ටික වේලෙන කල් අපි දෙන්නත් ටිකක් වාඩි වෙලා හිටියා. හම්මේ සනීපෙට මටනම් බාගෙට  නින්ද ගියා. කාර් එක ගාවට ඇවිත් තමා ඇදුම් මාරු කරගත්තේ ආයේ. වැලි බාල්දි බාගෙක විතර වැලි ඇඟේ  :D.
දැන් හොද ගානට බඩගිනියි. අක්කා යන ගමන් කියා කියා ගියේ අපිට අද නියමම ඉතාලි කඩේකින් කන්න දෙනවා කියල. කඩේ නම තමා “Touch of Italy”. ලෙවිස් කියන නගරේ තමා කඩේ තියෙන්නේ. මං කලින් ලිපියේ කිව්වනේ ඩෙලවෙයා තමයි ඇමෙරිකාවේ පළවෙනි ප්‍රාන්තය හැටියට සලකන්නේ කියලා. 'ලෙවිස්' කියන්නේ ප්‍රාන්තේ පලවෙනි නගරය හැටියට සලකන නගරය. ඒ කියන්නේ පලවෙනි ප්‍රාන්තයේ පලවෙනි නගරේ. වාහනේ නතර කරපු තැනම එහා පැත්තේ ඇලක ඔන්න ලස්සන බෝට්ටුවක් නවත්තලා. ඇලක් කීවට මෙහෙතියෙන්නේ පොඩි ඇල වල් නෙවේ හරිද. ආපහු එන ගමන්ම ෆොටෝ එකක් ගහමු කියලා හිතාගෙන කන්න ගියා.
හම්මේ කඩේ ඇතුලට ගියාම එක එක ජාතියේ චීස්. මගෙනම් කටට කෙලත් ඉනුවා ඒවා දැකලා. ඉතාලි කෑම වල‍ට සෑහෙන්න චීස් පාවිච්චි කරනවානෙ. සුදුළුනු පානුයි, බැදපු ඉස්සොයි, පිට්සා යි තමා අපේ දවල් කෑම. කාපු ගමන් යන්නත් බෑනේ. පලවෙනි නගරේ පොඩ්ඩක් බලා කර ගන්නත් එපැයි. නගරේ කිව්වට ලොකු සෙනඟක් එහෙම එහෙම නෑ. හරිම නිස්කලංකයි.වටේ තියෙන කඩවල් ටිකේ පොඩ්ඩක් රවුම් ගැහුවා. ඔන්න බොලේ එක කඩේක සේල්. කඩේ ඇතුලේ එහෙම නෙවේ. එලියේ තමා ඔක්කොම සේල් බඩු. කවුරුවත් ඇත්තෙත් නෑ ළඟ පාතක. එහෙමයි කියලා කවුරුවත් අරන් ගිහිනුත් නෑ.

දැන් ඉතිං ආපහු අරුණි අක්කගේ ගෙදර යන්නයි හදන්නේ. චාරිකාව නිමයි. ආපහු පැය හතරක් වගේ එලවාගෙන යන්නත් එපෑ අපේ ගෙදරට යන්න. අනේ කාර් එක තියෙන තැනට යනකොට අර ලස්සන බෝට්ටුව ගිහින්. වෙලාව තමා. මුහුදු වතුරෙන් නාපු නිසා  හොද වතුරෙන් නාලා එහෙම අපි අරුණි අක්කාගේ ගෙදරින් පිටත් වුනා. ඔන්න ඔහොමයි දවස් දෙකක ඩෙලවෙයා චාරිකාව අවසන් වුනේ. ගූගල් වලින් ගත්ත ෆොටෝ ඇරුනාම අනික් හැම ෆොටෝ එකකම අයිතිය අරුණි අක්කගේ. ඒ වගේම දවස් දෙකේම අපේ කෑම බීම ඇතුළු අනිකුත් වියදම් ඔක්කොමත් අරුණි අක්කා ගානේ. බොහොම ස්තුතියි අරුණි අක්කේ......

Friday, September 5, 2014

ඩෙලවෙයාර් ගියෙමු

මෑතකදී මං ලියපු ලිපියක් නිසා සමහර දෙනෙක් මං බ්ලොග් ලියන්නේ නැති එක ගැන ප්‍රශ්න කරන්න ගත්තා. ගොඩක් යාලුවෝ කිව්වා තාම හැකියාව නැති වෙලා නෑ ලියපිය කියලා. අන්තිමට මගේ මහත්තයා…. හෝව්…… ප්‍රශ්නයක්ද කට්ටියට? මේ කොල්ලෙක්ගේ බ්ලොග් එකේ මහත්තයෙක් ගැන කියන්නේ මූ මොන ජාතියක එකෙක්ද කියලා හිතුවද? ඇත්තම කිව්වොත් මේ බ්ලොගේ හදපු එකා නෙවේ මේ ලියන්නේ. උදිත හෙවත් මේ බ්ලොගේ අයිතිකාරයාගේ බිරින්දෑ හෙවත් නිසුපා තමා මේ ලියන්නේ. :D සමහරුන්ටනම් මාව මතකත් ඇති. දැන් කාලෙකට කලින් ලියපු නිසූගේ කතා කියෙව්වනම්. ඇත්තම කිව්වොත් මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉදන් පාලුවට ගිහින් නෙ තිබුනේ. ඉතිං අපි දෙන්නා හිතුවා දෙන්නට දෙකක් ලියන්න බැරිනම් හවුලේ ලියමු කියලා ( වැඩිපුර උනන්දුව ඉතිං උදිතට තමයි. මටනම් තාම කම්මැලියි කම්මැලියි වගේ :D).ඉතිං රස්සවකටත් නොයා වැඩිපුර නිදහසේ ඉන්නේ මං නිසා ඔන්න මංම පටන් ගන්නවා.

මං ඇමෙරිකාවට ආපු ගමන්ම වගේ බ්ලොග් ලෝකේ කට්ටිය හොදට දන්න කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවා එයාලාව ඇවිත් හම්බ වෙන්න කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉතිං කාලයක් තිස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ අරුණි ශපිරෝ අක්කා. උදිත නම් කලිනුත් අරුණි අක්කාව හම්බ වෙලා තියෙනවා. අරුණි අක්කා මේ දවස් වල පදිංචි වෙලා ඩෙලවෙයා කියන ප්‍රාන්තේ.ඒ ප්‍රාන්තේ තමයි ඇමෙරිකාවේ පලවෙනි ප්‍රාන්තේ හැටියට සැලකෙන්නේ. ඒ වගේම ඒ ප්‍රාන්තේ බඩු වලට බදු නෑ. ඩෙලවෙයාර් ඇරුනහම ඇලස්කා, නිව් හැම්ෂයර්,මොන්ටානා සහ ඔරිගන් කියන ප්‍රාන්ත වලත් බඩු වලට බදු අය කරන්නේ නැහැ. ඔන්න ඔය බදු නැති කතන්දරේ හින්ද ඩෙලවෙයාර් ප්‍රාන්තේට මායිම් වෙලා තියෙන මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ නිව් ජර්සි කියන ප්‍රාන්ත වල ඉන්න කට්ටියත් හුගක් වෙලාවට ඩෙලවෙයාර් ගිහින් තමයි බඩු අරගන්නේ. හෝව්...හෝව්… මෙන්න කතාව වෙන පැත්තකට යන්නයි හදන්නෙ. එහෙනම් ආයෙත් හරි පාරට එමු. 

 ඔන්න ඉතිං සෙනසුරාදා දවසක උදේ අපි අරුණි අක්කාව බලන්න යන්න පිටත් වුනා. පැය තුනක විතර ගමනක්. අපි ගෙදරින් 11 වගේ පිටත් වුනා.තෑග්ගකුත් අරගෙන හවස 2 වගේ වෙනකොට ගමන ඉවර කරන්න බලාගෙන ගියාට මොකද ට්‍රැෆික් වලට පිං සිද්ද වෙන්න හවස 5 ටත් කිට්ටුයි යනකොට. අරුණි අක්කා හිතලා තියෙන්නේ අපි දෙන්න තව කොහේ හරි ගිහින් එනවා කියලා. දැන් ඉතිං මොකෝ කරන්නේ ප්ලෑන් කරපු වේලාවෙන් පැය තුනක්ම අපිට නැති වුනා. අරුණි අක්කා අපිට යන්න පුළුවන් තැන් එහෙම හොදට හොයලා බලලා තිබුන නිසා වැඩිය කාලේ කන්නේ නැතුව අක්කලාගේ ගෙවල් කිට්ටුව වෙරළකට ඒ දවස් වල ඇවිත් තිබුන රුවල් නැවක් බලන්න යන්න පිටත් වුනා. 

ටිකට් එකක් අරගෙන ඇතුල බලන්න යන්න පුළුවන් කියලා තමා කිව්වේ. අරුණි අක්කගේ ගෙදර තියෙන්නේ ඩෙලවෙයා සහ මේරිලන්ඩ් කියන ප්‍රාන්ත දෙක වෙන් වෙන සීමාව කිට්ටුව.ඉතිං මේරිලන්ඩ් වල තියෙන සංචාරක ආකර්ෂණයක් වුන “Ocean City” කියන නගරයත් අක්කලට හොදටම ලගයි.ඉතිං “El Galeon Andalucia” කියන මේ රුවල් නැව ඇවිත් තිබුනේ ගිම්හාන කාලෙට මේ නගරයට ඇදෙන සෙනග ඉලක්ක කරගෙනමයි. ඒ කාලෙට කොච්චර සෙනග එනවද කිව්වොත් අපිට අක්කාගේ කාර් එක නවත්තන්න තැනක් හොයාගන්න වටේ කැරකෙන්න වුනා. නැව කිට්ටුව කොහෙවත් නතර කරන්න විදිහක් නෑ, නතර කරන්න පුළුවන් හැම තැනම පිරිලා වාහන. ඉතිං මොනවා කරන්නද ටිකක් දුර මුහුදුු වෙරළ කිට්ටුවම පාක් එකක නතර කරලා පයින්ම නැව බලන්න එන්න පිටත් වුනා වටපිට බල බල හෙමින් හෙමින් අපි නැව කිට්ටුවටම ආවා.නැව නවත්තලා තිබ්බේ කළපුවක. ඈත තියා පේන විදිහටනම් ටිකට් දෙන ඇන්ටිලා ටික වැඩ ඉවර කරන පාටක් පෙනුනේ. ලගට ගිහින් අහලා බැලුවාම අරුණි අක්කට ලැබුන උත්තරේ තමා ඇද දවසට ටිකට් දීලා අහවර බව. අපි හිතාගෙන හිටියේ පස්වරු 7 වෙනකල් නැව ඇතුල බලන්න යන්න පුළුවන් කියලා. අනේ බැලින්නම් 6.30 වෙද්දි ප්‍රදර්ශන කාලේ ඉවරලු. දැන් මක් කරන්නද? කාර් නවත්තලා එන්න ගියාම වෙලාව ටිකක් ගියානේ.ඉතිං ඇතුල නැතුවට කමක් නෑ එලියෙන් හරි බලමු කියලා බලලා ආවා. ආයේ පහුවදා උදේට යන්නයෑ ඕක බලන්නම. 


10453062_10152574737110851_686817892224843153_o.jpg
El Galeon Andalucia කියන රුවල් නැව තමයි මේ 

 කාර් එකට ආපහු ඇවිදගෙන එන ගමන් කලපුවට මුණ දාලා හදලා තිබ්බ පොඩි කඩයකට ආවා මහන්සි ඇරගන්නත් එක්ක මොනවා හරි බොන්න කියලා. De Lazy Lizard Bar and Grill තමා කඩේ නම.මෙන්න බොලේ යන තැනම දොරටු පාලකයෙක්, අයිඩෙන්ටිය ඉල්ලනවා. අරුණි අක්කගේ එකනම් ඕනේ නෑ කිව්වා. :D. උදිතත් අයිඩෙන්ටිය පෙන්නුවා.මට ඉතිං තියෙන්නේ පාස්පෝර්ට් එකනේ.මං ඒක පෙන්නුවා. මේ මනුස්සයා දෙ පාරක්ම පාස්පෝර්ට් එකේ ෆොටෝ එක දිහා බලලා මං දිහා බැලුවානේ. හරියට ඒකේ ඉන්නේ මං නෙවේ වගේ. කොහොම හරි ඇතුලට ගිහින් බීම එකක් එහෙම බීලා, කලපුව පැත්තට මුණ දාපු ඇඳි පුටු තුනක ඉදගෙන හොද කයියක් දාගෙන ඉදලා තමා වෙරළ බලන්න යන්න පිටත් වුනේ. 


10454446_10152574737280851_1674711345102769367_n.jpg
අරුණි අක්කයි මායි chat එකක් දාන අතරෙදි

 මෙහේ වෙරළට සමාන්තරව ඇවිදගෙන යන්න වෙනමම පාරක් හදලා තියෙනවා. ලෑලි වලින් හදලා තියෙන ඒ පාරට කියන්නේ “Boardwalk” කියලා. ඇමරිකාවේ ගොඩක් මුහුදු වෙරළවල් වල මේ ලෑලි වලින් හදපු boardwalks දකින්න පුළුවන්. මේ පාර අයිනේ එක එක දේවල් විකුණන කඩ, ඊටත් අමතරව පොඩි පොඩි ඒක පුද්ගල ව්‍යාපාරත් තියෙනවා. මෙහෙන්දි ඩිසයින් දාන අය, ස්ප්‍රේ බෝතල් වලින් චිත්‍ර අදින අය, ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයින්ට ඇද ගත්ත අය, වයලින් වාදකයෝ, මැජික් ශිල්පියෝ වගේ කට්ටිය තමයි තනි තනි පුද්ගලයෝ විදිහට අපට වින්දනයක් ලබාදීල පොඩි ආදායමක් හොයාගන්නේ. හැබැයි ගිම්හාන කාලේදී මේ වෙරළට එන සෙනග කන්දරාව දිහා බලපුවහම ඒ කට්ටිය හොයන ආදායම එච්චරම පොඩි නෑ කියලත් හිතෙනවා. මේ boardwalk එකේ දිග කොච්චරක් විතර ඇති කියලද හිතන්නේ..? කිලෝමිටර් 4 ක් විතර දිගයි. ඒ නිසාම ව්‍යායාමයක් විදිහට boardwalk එකේ එහාට මෙහාට දුවන කට්ටියත් ඕනතරම් බලාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දෙන්නයි අරුණි අක්කයි නම් ඔය කිලෝමිටර් 4 ම ඇවිද්දේ නැහැ. මොකද එහෙම කලානම් එහෙම රෑට කන්න වෙන්නේ නැහැනේ :D 


10003716_10152574737130851_2784279134807695912_o.jpg
Boardwalk එකට ඇතුළු වෙන තැන

 මුහුදු නගරයක් කිව්වාම ඉතිං කන්න බොන්න වැඩියෙන් තියෙන්න පුළුවන් මොනවද ඉතිං සී ෆුඩ් ම තමා :D. අරුණි අක්කා ඉතිං එහේ තියෙන කෑම කඩ වල හොදට ඇවිදින කෙනෙක්නෙ. ඔන්න එයා කිව්වා හොද කකුළුවෝ කන්න පුළුවන් තැනක් තියෙනවා යමුද කියලා. ඩොලර් ගානක් ගෙවලා තමන්ට ඇති තරම් කකුළුවෝ කන්න පුලුවන් තැනුත් තියෙනවාලු. මං නම් ජීවිතේට කකුළුවෝ කාලා නෑ. ඒ මදිවට මං කන්නෙත් ස්වල්ප ප්‍රමාණ වලින්නේ :D. ඔන්න ඉතිං අපි අරුණි අක්කා කියපු කඩේටත් ආවා. එක කඩයක් කීවට කඩ රාජයෙක්. ඔය පහලින් තියෙන්නේ ගුගල් දෙයියාගෙන් උස්සපු ෆොටෝවක්. “Phillips Crab House” තමා නම. කකුළුවෙක් තමා වහලේ උඩ අන්ඩකුත් දික් කර කර ඉන්නේ.අරුණි අක්කා හබිට කෝල් එකක් දීලා එනකල් අපිට ඇතුලට ගිහින් මේසයක් ඉල්ලගන්න පොරොත්තු ලේඛනයට නම දෙන්න කිව්වා.


CrabHouse.jpg
Phillips Crab House

සාමාන්‍යයෙන් මෙහෙ කෑම කඩ වලදී ලංකාවේ අපි කරනවා වගේ කඩේට ගිය ගමන් අපිට හිතෙන මේසෙක ඉදගන්න බෑ.හුගක් කෑම කඩ වල බෝඩ් ගහලා තියෙනවා වේටර් කෙනෙක් ඇවිත් ඉදගන්න තැනක් පෙන්නන කල් ඉන්න කියලා. එහෙම බෝඩ් එකක් නැතත් මෙසේ මිනිස්සු හුගක් වෙලාවට කවුන්ටර් එක ලගට වෙලා ඉන්නවා කවුරු හරි ඇවිත් මේසයක් ගාවට එක්කන් යනකල්. මේ කඩේ ඊටත් වඩා වෙනස් කියලා තමා අරුණි අක්කා කිව්වේ. මේ කඩේට තියෙන ප්‍රසිද්ධ බව නිසා ගිම්හාන කාලෙට Ocean City එන අයගෙන් බහුතරයක් මෙතනට එනවලු. ඒ නිසා මෙතන මේසෙකට ගිහින් ඉඩගන්නත් පොරොත්තු ලේඛනයක ඉන්න වෙනවලු. හැබැයි අපේ වාසනාවටද මන්දා එදා වැඩිය සෙනඟ හිටියේ නෑ. අපි දෙන්න ඇතුලට ගිහින් තුන්දෙනෙක්ට ඉදගන්න මේසයක් ඉල්ලුවා.කෝ තුන් දෙනා කියලා අහපි. අනික් කෙනාත් එනකල් මේසෙකට එක්ක යන්න බෑ කිව්වා. වෙලාවට අරුණි අක්කත් ඒ වෙලේම ඇතුලට ආවා. 

කකුළුවෝ කිව්වට ඉතිං තව එක එක කෑම ජාති,බීම ජාති ගොඩක් මෙනු එකේ තිබ්බා.කකුළුවෝ කන්නමනේ ආවේ කියලා. මුලින් තුන්දෙනාට කකුළුවෝ තුන්දෙනෙක් ගේන්න කිව්වා. බැරි වෙලාවත් එක්කෙනෙක්ට දෙකක් කන්න බැරි වුනොත් එහෙම. ඉතිං කකුළුවෝ තුන් දෙනා එනකල් අපි තුන් දෙනා වේටර් කෙල්ලට වද දිදී එක එක කෑම තේරුවා.. ඒ අස්සෙම උදිතට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දේකුත් අර වේටර් කෙල්ලගෙන්ම විසද ගත්තා. හා කියමු බලන්න අපේ රටේ ගෑනු කසාද මුද්ද දාන්නේ මොන අතේද, පිරිමි දාන්නේ මොන අතේද? ඔය සමහරුන්ට ඕක මතක නැති බව මං දන්නවා ;) . ඔන්න ඉතිං අපි අර ළමයාගෙන් ඇහුවා මෙහෙ අය කොයි ඇගිල්ලේද දාන්නේ කියලා. බැලින්නම් මේ රටේ දෙගොල්ලොම මුද්ද දාන්නේ වම් අතේ වෙදගිල්ලට. එහෙම දාන්නේ වම් වෙදගිල්ලේ ඉදන් හදවතට යන නහරයක් තියෙනවා කියල ඒගොල්ලෝ විශ්වාස කරන හින්ද ලු. 

 ඔන්න ඉතිං කකුළුවොත් ආවා. කකුළුවෝ කන එකත් වෙනමම කෝස් එකක්. ආම්පන්න තුනකුත් එක්ක තමා කකුළුවා මේසෙට එවන්නේ. චූටි ගෑරුප්පුවකුයි දිග මිටක් තියෙන පොඩි මිටියකුයි, අඬුවක් වගේ එකකුයි.අඬුවක් කිව්වට ගිරයක් වගේ. මුලින්ම කකුළුවාගේ ඉස්සරහ ලොකු අඬු තමා කන්න පටන් ගන්නේ. අර ගිරේ මැද්දට අන්ඩ තියලා පුවක් කපනවා වගේ තද කරන්න ඕනේ. ඔන්න එතකොට අර හයිය කට්ට පුපුරලා මස් ටික එලියට එනවා. දැන් ඉතිං අර චූටි ගෑරුප්පුවෙන් කන්න තියෙන්නේ. මස් ටික කන්න ඔලිව් තෙල් හම්බ වුනත් මං නම් ඒවා නැතුව නිකන්ම කෑවා. අඬු ටික ඉවර වුනාම මැද්ද. ඒ හරියට තමා මිටිය ඕනේ වෙන්නෙ. කකුළුවාගේ පිටිපස්සේ කට්ටේ පිපිරුමක් එන තරමට හයියෙන් පාරක් දෙකක් ගහන්න ඕනේ. කොහොමද බැරි වෙලාවත් පාර වැරදිලා පිඟානට වැදුනොත් :D. පුපුරපු තැන ඉදන් කට්ට සුද්ද සුද්ද කර කර මස් ටික වෙන් කරගන්න ඕනේ. මටනම් චූටි පැණි රසක් එක්ක තමා රස දැනුනේ. 


10609725_10152574737335851_7203463788093796303_n.jpg
රෑ කෑම

හොද ලොකු රෑ කෑමකින් පස්සෙ අපි දැන් ආයේ අරුණි අක්කගේ ගෙදර රෑ ගත කරන්න යන්නයි හදන්නේ. ඊළග දවසට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ටික ඊළග සෙල්ලිපි සටහනේ කොටන්නම්.