Saturday, March 13, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි - 2

     කලින් සෙල්ලිපි සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. කට්ටියටම ඒකට බොහොම ස්තූතියි. ඇත්තටම ඒ ලැබුණු ප්‍රතිචාර නිසා තමයි ඉඩක් ලැබුණු ගමන්ම මේ සෙල්ලිපි සටහන ලියන්න පටන් ගත්තේ. ප්‍රතිචාර වැඩිවෙන තරමට අලුත් ලිපියක් ලියන්න තියෙන ආසාව වැඩිවෙන බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එහෙනම් ඉතින් දැන් මාතෘකාවට බහිමු.
     කලින් සෙල්ලිපි සටහනේ මම ලියලා තිබුණා නේද ආචාර්ය පර්සි විල්කින්ස් විසින් නිරීක්ෂණය කරලා තිබුණු සඳේ ආවාටයක බිත්ති අතර තනා තිබූ පාලම ගැන. ඒ පාලම ගැන තවත් විස්තර කියනවානම් ඒක කිලෝමීටර් 30ක් පමණ දිග බවයි ආචාර්යතුමා කියන්නේ. ඒ වාගේම ඒ පාලම ආවාටය පතුලේ සිට මීටර් 1700ක් පමණ ඉහලින් තනා තිබූ බවත් පැවසෙනවා. වර්ණාවලි දර්ශකයකින් නිරීක්ෂණය කිරීමෙන් පසුව සොයාගෙන තියෙන්නේ එය ලෝහ වලින් නිර්මාණය කර ඇති බවයි. ආචාර්ය විල්කින්ස් විසින් මේ කරුණු සියල්ලම බී.බී.සී ගුවන්විදුලි සේවයේ වැඩසටහනකදී තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, 1974 දී ඇපලෝ 16 යානයේ ගමන් ගත් ගගනගාමීන් විසිනුත් මේ පාලමේ ඡායාරූප අරගෙන තියෙනවා.
     ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධානතම යානය වූ ඇපලෝ 11 යානයේ සිටි නීල් අම්ස්ට්‍රෝන්ග් ඇතුළු ගගනගාමීන් ද චන්ද්‍රයා ආසන්නයේදී හඳුනා නොගත් යානා නිරීක්ෂණය කර තියෙනවා. වරින් වර මෙම යානා ඇපලෝ 11 යානය ආසන්නයෙන් ද ගමන් කර තියෙනවා. මේ හේතුව නිසාම හූස්ටන් හි පිහිටි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් නීල් අම්ස්ට්‍රෝන්ග් ට දන්වා ඇත්තේ සඳ මතට ගොඩනොබසින ලෙසයි. ඒත් අන්තිමේ දී ඔහුට සඳ මතට බැසීමට අවසර ලැබී ඇත්තේ මෙම යානා වලින් කරදරයක් නොවන බව පෙනී ගිය නිසයි.
     මෙම හඳුනා නොගත් යානා සහ ගොඩනැගිලි නිසා මේ වනවිට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කිසියම් දියුණු ජීවීන් කොට්ඨාශයක් තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා යොදා ගන්නා බවයි. ඔවුන් සඳ මතුපිට වගා කටයුතු කරන බවත් පැවසෙනවා. සඳ මතුපිට තියෙන අතිවිශාල වගා බිමක චන්ද්‍රිකා ඡායාරූපයක් ආචාර්ය අභය කුමාර කොල්ලුරේ මහතා විසින් ලියා තිබෙන "විශ්වයෙහි ප්‍රවර්තනය සහ එහි සුපිරි සභ්‍යත්ව" කියන පොතේ පළ වෙලා තියෙනවා. මේ සෙල්ලිපි සටහන ලියන්න මම යොදා ගන්න ප්‍රධාන මූලාශ්‍රය තමයි ඒ පොත.
     පෘථිවිය ට කවදාවත් පේන්නේ නැති අඳුරු ප්‍රදේශයක් සඳේ පිහිටලා තියෙන බව සමහර විට ඔයාලා දන්නවා ඇති. පිටසක්වල ජීවීන් තමන්ගේ කටයුතු බොහොමයක් කරන්නේ මේ අඳුරු කළාපයේ ඉඳගෙනයි. පහළින් තියෙන්නේ ඒ අඳුරු කළාපයේ එක ප්‍රදේශයක චන්ද්‍රිකා ඡායාරූපයක්. ඒ රූපයේ තියෙන ජ්‍යාමිතික හැඩ සහිත නිර්මාණ ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්.
    
     1967 දී ගුවන්ගත කරපු ලුනාර් ඔ'බිටර් යානය මගින් ගත් සඳේ ඡායාරූපයක සටහන් වෙලා තියෙනවා කිසියම් විශාල වාහනයක් ගමන් කිරීමෙන් පසු සෑදෙන රෝද සලකුණු ආකාරයේ සටහනක්. පහළින් තියෙන්නේ ඒ ඡායාරූපයයි.


     මෙම ඡායාරූප වලට අමතරව තවත් අතිවිශාල ඡායාරූප ප්‍රමාණයක් නාසා ආයතනය සතුව තියෙන බව පැවසුනත් ඒවා කිසිවිටෙකත් සාමාන්‍ය ජනතාව වෙත නිකුත් නොකරන්නට ඔවුන් වග බලාගෙන තියෙනවා. එසේ කරන්නට පැහැදිලි හේතුවක් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන් සිටින්නේ කිසිවක් නොදන්නා ආකාරයටයි. මම ඔයාලට කියන විස්තර වලිනුත් බොහොමයක් ම අපි අතරට ඇවිල්ලා තියෙන්නේ විශ්‍රාම ගිය විද්‍යාඥයින් විසින් සමහර කරුණු හෙලි කරලා තියෙන නිසයි.
     සමහරවිට පිටසක්වල ජීවීන් සඳේ ඉඳගෙන මොනවහරි විශාල පරීක්ෂණයක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපිත් නොදැනුවත්වම ඒ අයගේ පර්යේෂණ වලට ලක් වෙලා තියෙන්න පුළුවන්. අපි නොදන්නවා වුනාට මේ පෘථිවියේ ජීවීන් බිහි කලෙත් ඔවුන් වෙන්න පුලුවන්. ඒ නිසා සමහරවිට මේ දවස් වල ඔවුන් කරන්නේ තමන්ගේ ඒ නිර්මාණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන එක වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපි සටහන ඉවර කරන්න කලින් තවත් එක ඡායාරූපයක් ඔයාලට පෙන්වන්නම්. මේ රූපයේ සටහන් වෙලා තියෙන්නේ චන්ද්‍ර නගරයක්. හොඳට බැලුවොත් ඔයාලට ගොඩනගිලි වල ඡායාවන් බලාගන්න පුළුවන් වෙයි.

     සඳ ගැන තව එක සෙල්ලිපි සටහනක් කොටන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් ඉක්මනටම ඒකත් කොටන්නම්. එහෙනම් මේ සෙල්ලිපි සටහන ගැනත් ඔයාලගේ අදහස් සටහන් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ comments හරි වටිනවා.

Sunday, March 7, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි

     අලුතෙන් සෙල්ලිපියක් කොටන්න අදහසක් නැතුව ඉන්නකොට තමයි මේ ඉරිදා රිවිර පත්තරේ "සඳ මත තැනූ මාළිගා හමු වෙයි" යන මාතෘකාව යටතේ පළ වුණු ලිපියක් දැක්කේ. ඒ ලිපිය කියෙව්වහම ඒ සම්බන්ධව තවත් මොනවා හරි ලියන්න ඕනෑ කියලා හිතුනා, මොකද මම මීට ටික කාලෙකට කලින් සඳ මත තනා ඇති ගොඩනැගිලි ගැන ලිපි සහ පොත් කීපයක් කියවලා තිබුණ නිසා. ඇත්තටම එකපාරටම පිළිගන්න අපහසු සහ තරමක් අද්භූතජනක කරුණු කාරණා ගණනාවක්ම ඒ පොත්පත් වල සඳහන් වෙලා තිබුණා. ඉතින් මම මේ හදන්නේ ඒ කරුණු කීපයක් මට මතක තියෙන විදිහට ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි.
     මීට වසර ගණනාවකට කලින් ඉඳන්ම, චන්ද්‍ර පෘෂ්ඨය මත ඉදි කරලා තියෙන ගොඩනැගිලි ගැන ඇමෙරිකානු සහ රුසියානු විද්‍යාඥයින් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ මොකද පිටසක්වල ජීවීන් ඉන්නවා යයි තහවුරු කරන්න පුළුවන් ප්‍රබලම සාක්ෂියක් බවට මේ ගොඩනැගිලි පත්වෙන නිසා. මුලින්ම මේ ගොඩනැගිලි ගැන ලෝකයාට හෙළි වෙලා තියෙන්නේ රුසියානු විද්‍යාඥයින් හරහායි. ඊට පසුව ඇමෙරිකානු විද්‍යාඥයිනුත් යම් යම් අදහස් දක්වලා තියෙනවා. ඒ කොහොම වුනත් තාමත් මේ බොහෝ කරුණු පවතින්නේ රහසිගතවයි. ඒත් ඉන්දියාවත් ජපානයත් චන්ද්‍ර ගවේෂණය සඳහා යොමු වීමත් සමගම මේ කරුණු ඉදිරියේදී හෙලිදරව් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.
     චන්ද්‍රයා පිළිබඳව මුලින්ම පර්යේෂණ කරන්නට පටන් අරගෙන තියෙන්නේ 1928 දීයි. ඒ සඳ වෙතින් වෙනස් ආකාරයක රේඩියෝ සංඥා නිකුත් වීමත් සමගයි. මේ රේඩියෝ සංඥා ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා නෙදර්ලන්තය යන රට වලින් ද ග්‍රහණය කරගෙන තියෙනවා. මේ සිද්ධිය ගැන ලොවට හෙලිකරලා තියෙන්නේ මොරිස් ශතලේන් කියන විද්‍යාඥයා යි. ඔහු ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධාන නිලධාරියෙක්ව සිට ඇති අතර එම යානා වල සන්නිවේදන උපකරන පිළිබඳව වගකිවයුතු නිලධාරියා වෙලා තියෙන්නෙත් ඔහුයි. ඔහු ප්‍රකාශ කරන අන්දමට සියලුම ජෙමිණි සහ ඇපලෝ යානා වෙනත් යානා මගින් පිරිවරාගෙන ගමන් කර ඇති අතර එම වෙනත් යානා පෘථිවි යානා නොවේ. (ජෙමිණි ව්‍යාපෘතිය යනු ඇපලෝ ව්‍යාපෘතියට පෙර ගගනගාමීන්ට අජටාකාශය හරහා සඳ වෙත යාමට හැකිදැයි අත්හදා බැලීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලයි. ජෙමිණි යානා සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණ ඇත.) ජෙමිනි සහ ඇපලෝ යානා වල ගමන් කරපු ගගනගාමීන් මේ පිටසක්වල යානා වල ඡායාරූපත් අරගෙන තියෙනවා. ඒත් ඒවා බොහොමයක් රහසිගතව තබාගැනීමට නාසා හි බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඒ ඡායාරූප රහසිගතව තබාගත්තත් නාසා ප්‍රචාරක සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ඩොනල්ඩ් සිස්ට්‍රා මහතා කියාසිටින්නේ ඇපලෝ යානා හි ගගනගාමීන් තමන්ට විස්තර කළ නොහැකි අන්දමේ දර්ශනයන් අත්දැක තිබූ බවයි.


     චන්ද්‍රයා හා සම්බන්ධ පිටසක්වල ජීවීන් පිළිබඳව ගොඩක් පර්යේෂණ කරපු පුද්ගලයෙක් තමයි ජොර්ජ් ඇඩම්ස්කි. ඔහු 1948 ඉඳන් 1955 වෙනකල් බොහෝ පරීක්ෂණ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ සඳ මත ජලය සහ වෘක්ෂලතාදිය ද පවතින බවයි. එමෙන්ම  පිටසක්වල ජීවීන් විසින් සඳ තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බවයි. ඒ කාලයේදී ජනතාව මේ කාරණා දෙස තරමක් උපහාසයෙන් යුතුව බැලුවත් අද වනවිට ඒ කාරණා සනාථ කිරීමට අවශ්‍ය වන සාක්ෂි ඕනෑතරම් හම්බ වෙලා තියෙනවා.
1953 දී ජෝන් ඔ'නිල් නම් තාරකා විද්‍යාඥයා ප්‍රකාශ කරලා තියෙනවා චන්ද්‍රයාගේ 'මරේ ක්‍රිසියුම්' නම් ආවාටයේ බිත්ති අතර ගොඩනගා තිබූ සුවිශාල පාලමක් තමන්ට තමන්ට දුරේක්ෂය හරහා දකින්නට ලැබුණු බව. ඊට මාස කීපයකට පසුව තවත් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙක් වන ආචාර්ය පර්සි විල්කින්ස් සහ ආචාර්ය පැට්‍රික් මුවර් විසිනුත් මේ පාලම දැකපු බවට ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා.




මේ තියෙන්නේ සඳ මත ඉදිකර තියෙන විශාල මාලිගයක් වැනි ගොඩනැගිල්ලක්. මේ ගැන තමයි මේ සතියේ රිවිර පත්තරෙත් සඳහන් වෙලා තියෙන්නේ. මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇපලෝ-10 යානය මගින්. මෙය දිගින් සැතපුමක් විතර වෙන බව සඳහන් වෙනවා. එය චන්ද්‍ර පෘෂ්ඨයෙන් කිලෝමීටර් 14 විතර උස තැනක පිහිටුවා තිබෙන බවයි කියැවෙන්නේ. එකිනෙකට සම්බන්ධ සිලින්ඩරාකාර කොටස් වලින් තමයි මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ. මෙහි සමහර තැන් විනිවිද පේන බවත් විශේෂඥයෝ ප්‍රකාශ කරනවා. මේකේ හැඩය ටිකක් විතර ප්‍රංශයේ අයිෆල් කුළුණට සමානයි.


මේ පහළින් තියෙන්නේ සඳේ ආවාටයක පතුලේ හදලා තියෙන තවත් ගොඩනැගිල්ලක ඡයාරූපයක්.


  
     සඳ මත තියෙන ගොඩනැගිලි සම්බන්ධව තවත් කරුණු ටිකක් මා ළඟ තියෙනවා. ඉතින් මේ කරුණු ගැන තවදුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් comment එකක් විදිහට ඒ බව ලියන්න. මොකද comments මදි වුනහම දිගටම ලියන්න හිතෙන්නේ නැහැ කියලා ඔයාලත් දන්නවනේ. කට්ටියගේ කැමැත්තක් තියෙන බව පෙනුනොත් ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්නම්. එහෙනම් පස්සේ සෙට් වෙමු.

Saturday, February 27, 2010

ඊලඟට මොනවද ලියන්නේ.....?????

මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහන තමයි හෙළ අසුර අධිරාජ්‍යය ගැන ලියපු අවසාන සටහන. එතනින් ඒ ලිපි පෙළ ඉවරයි. අසුර අධිරාජ්‍යය බිඳ වැටුණට පස්සෙ බිහි වෙන්නේ සිංහල රාජ වංශය නේ. ඔයාලා ඒ ගැන හොඳට දන්න නිසා සිංහල රාජවංශය ගැන ලියන්න නම් මගේ අදහසක් නැහැ.
ඉතින් දැන් ඊලඟට මොනවා ගැනද ලියන්නේ කියලා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. තාක්ෂණික දේවල් ගැන නම් ලියන්න පුළුවන්. ඒත් ගොඩක් අය දැනටමත් තාක්ෂණික දේවල් ගැන ලියන නිසා මමත් ලියන ඒකේ තේරුමක් නැති වෙයි කියලා හිතෙනවා. කොහොමත් කට්ටියට කියවන්න ආසා හිතෙන වැඩිය කවුරුත් දන්නේ නැති දෙයක් ගැන ලියන්න තමයි හිතේ තියෙන්නේ.
අදහසක් ආපු ගමන් ආයෙත් ලියන්න පටන් ගන්නවා. ඔයාලත් පුළුවන් නම් අදහසක් දෙන්න.


පහුගිය ලිපි පෙළේ මූලාශ්‍ර ගැන කීපදෙනෙක්ම අහලා තිබුණා. මම ඒවායේ මූලාශ්‍ර ගැන මීට කලින් දෙපාරක්ම කියලා තියෙනවා. ඒත් ආයෙත් කියන්නම්කෝ.
ආචාර්ය සූරිය ගුණසේකර, ජයරත්න පතිරආරච්චි යන විද්වතුන් විසින් ලියා තියෙන පොත් සහ රාමායනය තමයි මගේ මූලාශ්‍ර.

Saturday, February 13, 2010

හෙළ අසුර අධිරාජ්‍යයේ රාවණ යුගය

කලින් සෙල්ලිපියෙන් අපි කතා කළේ හෙළ අසුර අධිරාජ්‍යය යුදමය වශයෙන් ව්‍යාප්ත වූ ආකාරය බව ඔයාලට මතක ඇති. එසේනම් ඊට පසුව සිදු වූ දේවල් පිළිබඳව අද සෙල්ලිපියෙන් සාකච්ඡා කරමු.

මම කලින් ලිපියේ අන්තිමට සඳහන් කරලා තිබුණානේ තාරක, සුරපද්ම සහ සිංහමුඛ යන කුමාරවරු තුන්දෙනා රාජධානි තුනක් ගොඩනගාගෙන තම පාලන කටයුතු කරගෙන ගිය බව. මෙම කුමරුවන් අතරින් සුරපද්ම කුමරු යුද්ධයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට පත් වූ අතර ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නට පටන් ගෙන තිබේ. මෙහිදී නැවතත් ඉන්දියාව තුලින් විරුද්ධවාදියෙකු බිහිවන අතර ඉන්දු දේශයේ රජකම් කළ සිව රජුගේ පුත් කදිර කුමරු මෙම විරුද්ධවාදියා වේ. කදිර කුමරු ලක්දිවට පැමිණ සුරපද්ම කුමරු ව මරා දැමීය. මෙසේ සුරපද්ම ව පරාජය කර මරාදැමීමට හේතුව ලෙස සඳහන් වන්නේ ඔහු විසින් සිව රජුගේ තවත් පුත්‍රයෙකු වන ජයන්ත කුමරු ව බලෙන් පැහැරගෙන ඒමයි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන අන්දමට සිව රජු යනු ඉන්දියානු රජෙක් නොව ඉන්දු දේශයේ රජකම් කළ තවත් හෙළ රජෙක්.
සුරපද්ම කුමරුන් ව මරා දැමීමෙන් පසු කදිර කුමරු ලංකාවේ නතර වී "කදිරගම රාජධානිය" ඇරඹීය. වත්මන් කතරගම යනු මෙම රාජධානිය යි. මේ අතර කදිර කුමරු විසින් තමාටත් පහර දේ යයි සක සිතූ සිංහමුඛ කුමරු ලංකාපුරය හැරදමා පලාගියේය. මේ අනුව ලංකාපුරය අරාජික විය.
අරාජික වූ ලංකාපුරය නැවතත් අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රාවාස් මුනිවරයාගේ පුත්‍රයා වූ කුවේර විසිනි. කුවේර සතුව විශේෂ දඬුමොණර යන්ත්‍රයක් ද වූ අතර එය 'පුෂ්පක රථය' ලෙස හැඳින්විණි. මේ කාලය වන විට හෙළ අධිරජ්‍යයේ පාලන තන්ත්‍රය විවිධ හැලහැප්පීම් වලට බඳුන් වූ බව දක්නට ලැබේ. විවිධාකාරයේ විදේශ ආක්‍රමණ, අරාජික වීම් ආදිය බහුලව දක්නට ලැබිණි. මේ සියල්ලම සිදු වීමට මූලික හේතුව වූයේ ඉවක් බවක් නැතිව යුද්ධ කිරීම සඳහා හෙළ රජවරු පෙළඹීමයි. රාජ්‍යතවය සඳහා රාජකීයයන් අතර ද ගටුම් ඇති විය. ඒ අනුව කුවේර ගේ සහෝදරයෙකු වන රාවණ විසින් කුවේර ව පලවා හැර ලංකාපුරය අත්පත් කරගන්නා ලදී. රාවණ රජුගේ ආගමනයත් සමඟ හෙළ අධිරාජ්‍යය නැවතත් යම් ස්ථාවරත්වයකට පත් විය. මෙහිදී රාවණ රජු විසින් කුවේර හට නැවතත් තනතුරු ප්‍රදානය කරන ලදී. ඒ අනුව කාශ්මීර ප්‍රදේශයේ පාලකයා වශයෙන් කුවේර පත්විය. කෛලාසකූටය යනු කුවේර ගේ මාලිගය වූ අතර අලකාපුරය අගනුවර විණි.

රාවණ රජු නැවතත් ප්‍රබල හෙළ අසුර අධිරාජ්‍යයක් ගොඩනැංවූ අතර එහි කේන්ද්‍රස්ථානය බවට ලංකාපුරය පත්විය. මේ අනුව රාවණ රජු නිතැතින්ම මහා අධිරාජ්‍යයකු බවට පත් විය. හෙතෙම රණකාමියෙකු වුවත් දහැමි රජෙක් වූ අතර සත්ව ඝාතනයට දැඩි ලෙස විරුද්ධ විය. මේ නිසා ඉන්දියානු ඍෂිවරුන්ගේ බිලි පූජා සහිත යාගහෝම කඩාකප්පල් කිරීමට හේ උනන්දු විය. මේ නිසා ඍෂිවරුන් හා රාවණ රජු අතර ප්‍රබල මතගැටුමක් තිබූ බව පෙනේ. 'දණ්ඩකාරණ්‍යය' යනු ඍෂිවරුන් වාසය කළ වනාන්තරයක් වූ අතර එහි සිදුකල යාග හෝම කඩාකප්පල් කිරීම 'ශුර්පනඛා' නම් රාක්ෂස කුමරිය යටතේ සිදුවිය. ශුර්පනඛා යනු රාවණ රජුගේ නැගණිය යි.

කෙසේ වුවත් මෙම යාගහෝම කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය නිසා හෙළ අධිරාජ්‍යයේ බිඳ වැටීම ආරම්භ විය. මෙම ක්‍රියාව නිසා ඍෂිවරුන්ගේ උපදෙස් අනුව පාලන කටයුතු කළ ඉන්දියානු රජවරු රාවණ රජුට එරෙහිව අවි එසවීය. දශරථ රජු විසින් තම පුත්‍ර රාමචන්ද්‍ර ව දණ්ඩකාරණ්‍යයට එවන්නේත් රාවණ රජුගේ බලය බිඳලීම සඳහායි. මෙහිදී රාමචන්ද්‍ර විසින් ශුර්පනඛා ප්‍රමුඛ රාක්ෂස සේනාවට ප්‍රහාර එල්ල කල අතර ඊට ප්‍රතිඋත්තර සැපයීමක් ලෙස රාවණ රජු විසින් රාමචන්ද්‍රගේ බිරිඳ වන සීතාව පැහැරගෙන එනු ලැබීය. ඉන්පසු රාමචන්ද්‍ර විසින් ලංකාපුරයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර අනපේක්ෂිත ලෙස රාවණ රජු එම යුද්ධය පරාජය විය.
රාම විසින් ලංකාපුරය ආක්‍රමණය කිරීමට පෙර රාවණ රජු තවත් එක යුදමය පරාජයක් ලබා තිබුණේ ය. ඒ දකුණු ඇමෙරිකාව ප්‍රදේශයේ පිහිටි පාතාල දේශය ආක්‍රමණය කිරීමට ගොස් ලැබූ පරාජයයි. පාතාල දේශය ද කලක් හෙළ අධිරාජ්‍යයේ කොටසක් ව තිබූ නමුත් පාලන තන්ත්‍රයේ පැවති අර්බුදකාරී වාතාවරණය නිසා එය හෙළ පාලනයෙන් මිදී ස්වාධීනව කටයුතු කරන තත්වයකට පත්ව තිබිණි. පාතාලය යලිත් හෙළයට ඈඳා ගැනීම සඳහා රාවණ රජු විසින් සටනක් දියත් කලද එය පරාජය වී ඇත. මෙහිදී රාවණ රජු වෙනුවෙන් සටන් මෙහෙයවා ඇත්තේ ශුර්පනඛා කුමරිය ගේ සැමියා වන විද්‍යුත් කුමරු විසිනි. 
කෙසේ වුවත් පාතාල දේශය සමඟ කළ සටනින් ලැබූ පරාජය හෙළ අසුර අධිරාජ්‍යයේ පැවැත්මට බලපෑමක් එල්ල නොකලත් රාමචන්ද්‍ර සමඟ තිබූ සටනින් ලැබූ පරාජය හෙළ අධිරාජ්‍යය බිඳවැටීමටත් හෙළ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් හේතු විය. මෙම සටනින් රාවණ රජු පරාජය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විභීෂණ කුමරු විසින් රාජ්‍යලෝභයෙන් යුතුව සිදු කළ මහා පාවාදීමයි. එම පාවාදීම නොවන්නට රාම ට කිසිදිනෙක ජයගන්නට නොහැකි වන අතර ලංකා ඉතිහාසය ද මීට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගනු ඇත.

රාවණ රජුගෙන් පසුව ද හෙළ රජවරුන් රාජ්‍යත්වයට පත් වුවත් එම රජවරු ප්‍රබල තත්වයකට පත් වී නැති බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. මෙයට හේතුව වශයෙන් මට පෙනී යන්නේ විභීෂණ ගේ පාවාදීමෙන් පසුව ඉන්දියානු පාලකයින් ලංකාව කෙරෙහි වඩා අවධානයක් යොමු කර එහි ප්‍රබල රාජ්‍ය පාලනයක් ගොඩනැගීමට තිබූ ඉඩකඩ අවුරා තිබීමයි. රාවණ රජුගේ මරණින් පසුව ලංකාපුරය මුහුදේ ගිලී ගිය බව ද ඉතිහාසයේ සඳහන් වේ. මහා පාවාදීමකින් පසුව මේ ආකාරයෙන් හෙළ අසුර අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානියට පත් විය.

Sunday, February 7, 2010

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය - 2

ඇති යන්තම්.. විභාගේ ඉවරයි. දැන් ඉතින් ටික කාලයක් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කාලෙකින් අලුත් සෙල්ලිපි සටහනක් ලියන්නත් බැරි වුණානේ. ඉතින් ඒ අඩුව පුරවන්නත් එක්කම මම අන්තිමට ලියල තිබුණු 'හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය' සටහනේ ඉතුරු කොටස ලියන්න තමයි මේ හදන්නේ. එහෙනම් ඉතින් කෙලින්ම මාතෘකාවට බහිමුකෝ.

කලින් ලිපියෙන් මම විස්තර කරල තිබුණේ 'විරචන' රජතුමාගේ කාලයට එනකම් විතරයි නේ. එහෙනම් දැන් ඊට පසුව එන ඉතිහාසය ගන ටිකක් කරුණු හොයල බලමු. විරචන රජතුමාගෙන් පස්සෙ ඓතිහාසික සාධක වැඩිපුරම හම්බ වෙන්නේ 'බලි' රජතුමා පිලිබඳවයි. අපේ රටේ පැවති පාලන ක්‍රමයේ තිබුණු අඩුපාඩු සකසා එය වඩාත් පරිපූර්ණ පාලන ක්‍රමයක් බවට පත් කිරීම බලි රජු විසින් කරන ලද ප්‍රධානතම කාර්යයක්. 'වාමන පුරාණය'නමැති ග්‍රන්ථයේ සඳහන් වන්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දීමට මූලික වූයේත් බලි රජතුමා බවයි (නමුත් මහාවංශය කියා සිටින්නේ ගම්සභා ක්‍රමය හඳුන්වා දුන්නේ පණ්ඩුකාභය රජතුමා බවයි). ප්‍රකට බලි ඇඳුරෙකු වූ අභාවප්‍රාප්ත ජේ. ඊ. සේදරමන් මහතා ප්‍රකාශ කරන අන්දමට 'බලි යාගය' නමැති ශාන්තිකර්මය හඳුන්වා දී තිබෙන්නේ මෙම රජතුමා විසින්. මීට අමතරව අරිසෙන් අහුබුදු ශූරින් පවසන්නේ 'මහා බලි' සහ 'කනිටු බලි' යනුවෙන් රජවරු දෙදෙනෙක් සිට ඇති බවයි. බලි රජුගේ ප්‍රබලත්වය ක්‍රමයෙන් වැඩිවන විට එතුමාටත් සිදුවන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට සිදුවූ ඉරණමට ම මුහුණ දීමටයි. මෙතුමාටත් ඉන්දියාව තුලින් සතුරෙකු බිහි වෙනවා. 'වාමන' නමැති මෙම සතුරා හින්දු ධර්මය තුළ විෂ්ණු ගේ දසාවතාර වලින් එකක් ලෙස සැලකෙනවා. කෙසේ වුවත් හෙළ අසුර ඉතිහාසය දෙස බලන විට අපට පෙනී යන වැදගත් කරුණක් වන්නේ හෙළ අධිරාජ්‍යයේ බලය බිඳ දැමීමට සෑමවිටම ඉන්දියාව ක්‍රියා කර ඇති බවයි. එමෙන්ම එම සෑම අවස්ථාවකදීම පාහේ ඉන්දියාවට ජය ලැබීමටද හැකි වී තිබෙනවා. ඉතිහාසඥයින් කියාසිටින පරිදි මෙයට හේතුව වී ඇත්තේ හෙළ රජවරු යුදමය ශක්තිය වර්ධනය කිරීමට නොව සාමකාමීව තම අධිරාජ්‍යය වර්ධනය කරගනීම සඳහා වැඩි අවධානය යොමු කිරීමයි. කෙසේ වුවත් බලි රජුගෙන් පසුව මෙම තත්වය තරමක් වෙනස් වී ඇති අතර ඊට පසුව සිටි රජවරු තම යුදමය ශක්තිය වර්ධනය කරගැනීම කෙරෙහි ද තම අවධානය යොමු කර තිබෙනවා. ආචාර්ය සූරිය ගුණසේකරයන් ප්‍රකාශ කරන අන්දමට බලි රජුට පසුව හෙළ රාජවංශය තුල යුදමය ශක්තිය වර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ශක්‍ර ගේ දියණිය වන දේවයානි ය. 'ශක්‍ර' යනු හෙළ අසුර අධිරාජ්‍යයේ පැවති අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානියා හැඳින්වීමට භාවිතා කල තනතුරු නාමයයි.
දේවයානි ට තාරක, සුරපද්ම, සිංහමුඛ නම් පුතුන් තිදෙනෙක් සහ අජමුඛි නම් දියණියක් සිට ඇති අතර කුඩාකල සිටම ඔවුන්ට යුද පුහුණුව ලබා දීමට දේවයානි කටයුතු කර තිබෙනවා. මෙම දරුවන් වැඩිවියට පැමිණීමත් සමග අවට රාජ්‍යයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති අතර ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඉරානය, තුර්කිය හරහා ග්‍රීසිය තෙක්ම යුදමය වශයෙන් තම අණසක පැතිරවීමට මෙම දරුවන්ට හැකි වී තිබෙනවා. මෙම ක්‍රියාවලියත් සමගම එතෙක් සංස්කෘතික අධිරාජ්‍යයක් වශයෙන් පැවති හෙළ අසුර අධිරාජ්‍යය දේශපාලනික අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා.
මේ ආකාරයෙන් හෙළ අධිරාජ්‍යය ප්‍රබලත්වයට පත් වූ පසු ඉහත කී කුමාරවරු තිදෙනා හෙළදිව කොටස් තුනකට බෙදාගෙන පාලනය කර තිබෙනවා. තාරක කළුතර ආසන්නයේ පිහිටා ඇති වෙලාපුරයේත් සුරපද්ම මහේන්ද්‍රගිරි ප්‍රදේශයේත් පාලනය බාර ගන්නා අතර සිංහමුඛ විසින් ලංකාපුරය අගනුවර බවට පත් කරගෙන තිබෙනවා. 

මෙම දේශපාලනික ව්‍යාප්තවාදය නිසාම පසුකාලීනව හෙළ අසුර අධිරාජ්‍යය බිඳවැටීමට ලක් වෙනවා. ඒ පිළිබඳ කරණු ඊළඟ සෙල්ලිපි සටහනෙන් සාකච්ඡා කරමු.

Monday, January 11, 2010

කාලෙකට පස්සෙ SBU එකට ආවා....

මාස දෙකකින් විතර සෙල්ලිපියෙ මුකුත් ලියන්න බැරි උනා. ඒ ඉතින් ඉහටත් උඩින් වැඩ තිබුණු නිසා. මෙ දවස් වල අපිට exam. මේ වැඩ ටික ඉවර වෙච්ච ගමන්ම "හෙළ අසුර ඉතිහාසයේ" ඉතුරු කොටස ලියන්නම්.

Saturday, November 7, 2009

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය

අද බ්ලොග් ලිපියෙන් මම කතා කරන්න යන්නේ හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පිළිබඳවයි. ඒ නිසා මුලින්ම අපි හෙළ අධිරාජ්‍යයේ සිටි රජවරු ගැන ටිකක් දැනගනිමු.
ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හෙළයන් විසින් මුලින්ම තමන්ගේ රජු හැටියට පත් කරගෙන තියෙන්නේ 'මහා සම්මත මනු' රජතුමායි. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+නා+අරම). හැබැයි ඒ බව සනාථ කරන්නට පුළුවන් ශක්තිමත් සාධක නම් තාමත් හම්බ වෙලා නැතිලු. ඒත් වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ නිසා මන්නාරම කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' පිහිටලා තියෙන්නෙත් මන්නාරමට ආසන්නවයි.
රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. ඒ රාජවංශය මෙසේයි.
  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ 
  6. උපෝසථ
  7. මහා මන්දාතු 
  8. වරමන්දාතු
  9. චේතිය 
  10. චේතියගේ පලමු පුත්‍රයා 
  11. චේතියගේ දෙවන පුත්‍රයා 
  12. චේතියගේ තෙවන පුත්‍රයා 
  13. චේතියගේ සිව්වන පුත්‍රයා 
  14. චේතියගේ පස්වන පුත්‍රයා 
  15. මහා මුචලින්ද 
  16. මුචලින්ද 
  17. පළමුවන සාගර 
  18. දෙවන සාගර 
  19. භරත 
  20. රුචි 
  21. සුරුචි 
  22. පතාප 
  23. මහා පතාප 
  24. පහද 
  25. සුදස්සි 
  26. නෙරුප 
  27. මහා නෙරුප 
  28. අසිරිමත්
මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වශයෙන් බෞද්ධ සාහිත්‍ය තුළද දකින්නට පුළුවන්. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබිලා තියෙනවා. ඒ වාගේම පුරාණ ඉන්දියාවත් තිබිලා තියෙන්නේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් විදිහට. මෙම රජවරුන්ට පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. සමහර ඉතිහාසඥයන් කියන විදිහට හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු කියලා කියන්නේ එකම රජ කෙනෙකුට ලු. ඒත් ඒ සම්බන්ධයෙන් නම් තරමක ගැටළුවක් පවතිනවා. රාජාවලියේ සඳහන් වෙන විදිහට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමා. ඒත් සමහර ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවයි. ප්‍රාලද කියලා කියන්නේ වරමන්දාතු රජුටම නම් මේ ගැටළුව විසඳෙනවා. එය විසඳීම ඉතිහාසඥයින්ට බාරයි.

කොහොම වුනත් හිරණ්‍ය කාශ්‍යප කියලා කියන්නෙත් මුළු ලෝකයම පාලනය කල අති ප්‍රබල රජෙක්. යුරෝපයේ පිහිටි මහා අයිස් තට්ටුව දියවෙලා ගිහින් භූමිය පෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ රජුගේ කාලයේදියි. හිරණ්‍ය කාශ්‍යප රජුගේ තේජස කොතරම්ද කියනවා නම් එකල විසූ සාමාන්‍ය ජනයා විශ්වාස කරලා තියෙන්නේ තම රජුගේ ඇස් වලින් පිටවූ තේජස් රශ්මිය නිසා මේ හිම දිය වීම සිද්ධ වුනා කියලයි. ඉන්දියානු ග්‍රන්ථයක් වන 'විෂ්ණු පුරාණය' මේ හිම දියවීම සම්බන්ධයෙන් හිරණ්‍ය කාශ්‍යප රජුට දොස් පවරන්නේත් ඉහත සඳහන් කල වැරදි විශ්වාසය නිසායි.
හිරණ්‍ය කාශ්‍යප රජු විසින් කරන ලද විශිෂ්ට නිර්මාණයක් වන්නේ 'කැස්පියන් මුහුද' යි. මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි. මෙය නිර්මාණය කර ඇති ප්‍රදේශයට භූමි මාර්ගයකින් ගමන් කිරීම එකල ඉතා අපහසු වන්නට ඇති අතර ඒ නිසා බොහෝදුරට රජතුමා මේ ප්‍රදේශයට යන්නට ඇත්තේ ගුවන් මාර්ගයෙනුයි. මේ මහා ජලාශය ඉදිකිරීමෙන් පසුව කොකේසස් කඳු වැටිය ජනාවාස කිරීමද මේ රජතුමා විසින් සිදුකර තිබෙනවා. අධිරාජ්‍යයෙකු ලෙස ප්‍රබල තත්වයකට පත් වෙනවිට ඊට විරුද්ධව ප්‍රබල සතුරන් ද ඇතිවීම සාමාන්‍ය දෙයක්.ඒ අනුව හිරණ්‍ය කාශ්‍යප රජුටත් සතුරන් ඇතිවෙනවා. අවසානයේදී නරසිංහ නම් ඉන්දියානුවෙකුගේ ප්‍රහාරයකින් හිරණ්‍ය කාශ්‍යප රජු මරුමුවට පත් වෙනවා. හින්දු සාහිත්‍ය තළ මේ නරසිංහ නමැත්තා සඳහන් වෙන්නේ විෂ්ණුගේ නරසිංහාවතාරය ලෙසින්. කෙසේ වුවත් හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරනයෙන් පසුව හෙළ අධිරාජ්‍යය බිඳවැටෙන්නට නොදී ආරක්ෂා කරගන්නේ ඔහුගේ පුත් 'ප්‍රාලද' විසින්. හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ප්‍රාලද කියන්නේ විෂ්ණු භක්තිකයෙක් කියලා. සමහරවිට ප්‍රාලද කුමාරයා නරසිංහ සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සමගි සන්ධානයකට එලඹෙන්නට ඇති. ඒ නිසා හින්දු පුරාණය ඔහුව විෂ්ණු භක්තිකයෙක් ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්.

ප්‍රාලදගෙන් පසුව රජවන්නේ ඔහුගේ පුත්‍රයා වන 'විරචන' කුමරුයි. මොහුත් අති ප්‍රබල සහ දක්ෂ පාලකයෙක්. දකුණු අමෙරිකානු කලාපය ජනාවාස කරවන්නේ මේ රජතුමා විසින්. මෙම කලාපය ලෝක ගෝලයේ අනෙක් පසින් හෙවත් හෙළ අධිරාජ්‍යයේ ජනයාගේ පාද වලට යටින් පිහිටා තිබුණු හෙයින් පාද තල යට ලෝකය හෙවත් පාතාල ලෝකය ලෙස හඳුන්වලා තිබෙනවා. අද 'ඉන්කා අධිරාජ්‍යය' කියලා හඳුන්වන්නේ විරචන රජු විසින් ජනාවාස කරපු ප්‍රදේශයයි. හෙළයින්ගේ වැව් සංස්කෘතිය ආශ්‍රිත ශිෂ්ටාචාරයේ ලක්ෂණ මේ ජනාවාස වලත් දකින්න පුළුවන්. හිරණ්‍ය කාශ්‍යප රජු කැස්පියන් මුහුද ඉදිකර ඒ ආසන්නයේ පිහිටි කොකේසස් කඳුවැටිය ජනාවාස කළා. විරචන රජු ටිටිකාකා විල අසල පිහිටි ඇන්ඩීස් කඳුවැටිය ජනාවාස කළා. ඉන්කා අධිරාජ්‍යය තුල පිහිටි ඉන්කා දෙවොල හෙවත් විරචන දෙවොල ඉතා විශිෂ්ට නිර්මාණයක වන අතර ඒ තුළ නිර්මාණය කර තිබෙන විරචන රජුගේ ශෛලමය පිළිරුවක් අදත් අපට බලා ගන්න පුළුවන්. ඉන්කා අධිරාජ්‍යය තුල විරචන රජුව හඳුන්වා තියෙන්නේ වීරකෝච නමින්. ඉන්කා අධිරාජ්‍යය සතුව ඉතා දක්ෂ ඉංජිනේරුවන් සිට ඇති අතර 'විශ්වකර්ම' ලෙස හැඳින්වෙන අති දක්ෂ ඉංජිනේරුවා ද සිට ඇත්තේ හෙළ අධිරාජ්‍යයේ කොටසක් වූ ඉන්කා අධිරාජ්‍යයේ යි.

එහෙනම් අදට මේ ඇති. හෙළ අධිරාජ්‍යයේ ඉතුරු තොරතුරු ඊළඟ ලිපි වලින් කතා කරමු.