Thursday, September 18, 2014

ඩෙලවෙයාර් ගියෙමු - දෙවන දවස

ඩෙලවෙයාර් සවාරියේ දෙවෙනි දවස අපි පලවෙනි දවසෙම ප්ලෑන් කර ගෙන හිටියේ.වෙරළට යන එක තමා ඉතිං ප්‍රධාන වැඩේ. ඔන්න ඉරිදා දවසේ උදේ අටට විතර වෙරළේ ගත කරන්න ඕනේ කරන බඩුත් අරගෙන අපි පිටත් වුනා. මොන වැඩේ කරන්නත් කලින් බඩ පුරවා ගන්න එපෑ. ඇමෙරිකාවේ කෑම ම තියෙන කඩේකින් තමා උදේට කෑවේ.

වෙරළට යන අතරමගදී ගහෙන් කඩාගෙනම අපිට ගෙනියන්න දෙන පීච් වත්තකට තමා මුලින්ම යන්න හිතුවේ. මේ වතු වල කාලෙන් කාලෙට හැදෙන එක එක පළතුරු ජාති ගෙනියන්න දෙනවලු. ස්ට්‍රොබරි,බ්ලුබෙරි, ඇපල්, පීච් වැවෙන කාලවල් අනුව ඔය වගේ පලතුරු ගෙදර ගෙනියන්න පුළුවන්.  ඒ දවස් වල පීච් වාරේ. පාරේ අයිනෙමයි පීච් වත්ත. තිබ්බ විදිහට මට හිතුනා මේක අත ඇරලා දාපු වත්තක්ද කියලා. තාප්පයක්වත්, වැටක්වත් මුකුත්ම නෑ. ඕනේ කෙනෙකුට වත්ත ඇතුලට ගිය හැකි.ඒත් ගස් වල ඕනෙ තරම් ගෙඩි.
අරුණි අක්කා කියපු විදිහට වතු අයිතිකාරයෝ විකුණන්න ඕනේ ප්‍රමාණය කඩලා විකුනුවට පස්සෙ මේ විදිහට ඕනේ කෙනෙක්ට ඇවිත්, තමුන්ම කඩාගෙන ඒ ගොල්ලන්ට නියමිත ගාන ගෙවලා අරන්  යන්න පුළුවන්.කවුරු වුනත් කැමතිනේ ඉතිං අතින්ම කඩාගෙන පලතුරු කන්න. ඉතිං සෙනඟ එනවා. වතු අයිතිකාරයින්ටත් ලේසියි වැඩේ. කඩන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් අතේ.

වත්ත ඇතුලට ගියාම පොඩි හට් එකක් ගහගෙන තුන් දෙනෙක් ඉන්නවා කාඩ්බෝඩ් පෙට්ටිත් තියාගෙන. කට්ටියට එක ගානේ කාඩ්බෝඩ් පෙට්ටි හම්බ වෙනවා.පෙට්ටිය අතේ තියාගෙන යන්න බැරිනම් පොඩි ඇදගෙන යන කරත්තත් එතැනින්ම ගන්න පුළුවන්. ගස් පේලි හයක් විතර තිබුනා අපිට ගෙඩි කඩන්න අවසර තියෙන. අනික් ගස් වල නම් තාම පළදාව කඩාගෙන ඉවර නෑ.

අපි පෙට්ටියෙන් බාගයක් විතර වෙන්න ගෙඩි කඩාගත්තා. අරුණි අක්කටත් ගෙඩි ටිකක් දීලා ඉතුරු වුන ගෙඩි ටික අපිට සති තුනක් විතර ගියා ඉවර කරගන්න.

ඊළග නැවතුම මුහුදු වෙරළ. කලින් ලිපිය කිව්ව “Ocean City” එකේ මුහුදු වෙරළේ මේ කාලෙට සෑහෙන්න සෙනඟ. ඒ නිසා ටිකක් නිදහස් වෙරළකට යන්න තමයි අරුණි අක්කගේ ප්ලෑන් එක වුනේ. සෑහෙන වෙලාවක් තිස්සේ ඇවිත් අන්තිමට අපි “Rehoboth” කියන වෙරළ කිට්ටුවට ආවා. ඒ වෙරළ කිට්ටුවම  “Cape Henlopen State Park”කියලා පාක් එකකුත් තියෙනවා . මුහුදට බහින්න කලින් පාක් එකේ ටිකක් දුර ඇවිදිමු කියලා අක්කා යෝජනා කරලා තිබ්බේ කලින් දවසේමයි. පාක් කිව්වට මල් වවපු ලස්සනට තියෙන එකක් නෙවෙයි. ස්වභාවික විදිහට තියෙන කැලයක් මැද්දෙන් පාරක් හදලා තිබුනා. සුද්දෝ එහෙම වැඩිහරියක් කරන්නේ මෙහෙ කුලියට බයිසිකල් ගන්න පුළුවන් තැනකින් බයිසිකල් අරගෙන ඒවා පැදගෙන යන එක. අපි ඉතිං ඒ වඩේ කලේ නෑ. පයින්ම පුළුවන් තරම් දුර ගිහින් ආපහු එන්න තමයි හදන්නේ. ඇතුලට යන තැනම බෝඩ් එකක්. ඇවිදින්න තියෙන  පාරේ මිසක් කැලේ ඇතුලට නම් එබෙන්න එපා කියලා. හේතුව තමා කැලේ ඇතුලේ “Poison Ivy “ කියන ගැවුනොත් පලු දාන  ගස් ජාතිය තිබීම සහ මුවන්ගේ ඇගේ ඉන්න රෝග වාහක මැක්කෙක් ඉදීම. ගහකටනම් ඉතිං පාරට එන්න බෑනේ. ඒත් බෝඩ් ගහලා තිබුන පලියට මැක්කෙක් පාරට එන්නේ නැතුව ඉදියි කියලා කියන්න බෑ නෙ. බැලින්නම් පාරේ දෙපැත්තට කෘමි නාශක ඉහිනවලු කාලෙන්  කාලෙට.



කුරුල්ලෝ සෑහෙන දෙනෙක්ගේ කූඩු තැනීමේ භූමියක් විදිහට මේ පාක් එක හදුන්වන නිසා ගොඩක් අය ඇවිත් තිබ්බේ කුරුල්ලෝ බලන්නමයි. දුරදක්න  එහෙම අරගෙන තමයි එහෙම අය ඇවිත් තිබුනේ. අපි නම් ඉතිං එහෙම ගොඩක් කුරුල්ලොනම් දැක්කේ නෑ. වගුරු බිමක් එහෙමත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට හම්බ වුනේ කුරුල්ලෝ බලන්නම හදපු පොඩි මණ්ඩපයක් වගේ එකක්. ලී වලින් තමා හදලා තිබුනේ. මණ්ඩපයේ තැන තැන පොඩි ලී පුවරු වල මේ පාක් එකේදී දකින්න පුළුවන්  කුරුල්ලෝ ගැන පොඩි විස්තර දාලා තිබුනා. මණ්ඩපයේ ඉදන් බලනකොට මුහුද පැත්තට වෙන්න ප්‍රදීපාගාරයක් වගේ ලොකු කුළුණු දෙකක් පේනවා. ඔය යට පින්තූරේ තියෙන්නේ එයින් එකක්.

ඒ තමා දෙවන ලෝකේ යුද්ධේ කාලේ ඔත්තු බලන්න හදලා තිබුන කණු. මේ වගේ කණු තව ඩෙලවෙයා වල මුහුදු වෙරළ අයිනේ තියෙනවා. ඒත් ඔතනට පෙනුනේ දෙකයි. ඒවා කිට්ටුවට ගිහින් බලන්නත් පුළුවන් වුනාට එදා දවසේ ඒක කරන්න වෙලාව තිබුනේ නෑ. පස්සෙ දවසක බැරියෑ ගිහින් බලන්න. මණ්ඩපේ ගාවට විටරක් ගිහින් අපි ආපහු හැරිලා ආවා.  තව ඇවිදින්නනම් ගොඩක් දුර තිබ්බා. මට නම් ඒ වෙනකොට ඇති වගේ. කොහොම හරි ආපහු පාක් එකට ඇතුල් වෙන තැනට එනකොට අපි විනාඩි 45ක් විතර තිස්සේ ඇවිදලා. මදෑ ඉතිං එච්චර ඇවිද්දා නේද?.
වාහන පාක් කරපු හරියෙම තමයි මුහුදු වෙරළ. වැල්ලේ පයින් ඇවිදගෙන යන්නයි තිබුනේ. වාහනේ දාගෙන ආපු වැල්ලේ තියාගන්න පුළුවන් අකුලන පුටු තුනයි, තුවා යි, බීමයි, නාන ඇදුමුයි ඔක්කොම අරන් අපි තුන්දෙනා කයියකුත් දාගෙන මුහුදු වෙරළට ගියා. හීනි වැල්ලේ අඩිය එරෙනවා මදිවට ඒ වෙනකොට දවල් වෙලා නිසා හිනි ගහන්න රත් වෙලා. ocean city එකේ තරම් නොවුනත් තරමක සෙනගක් එතනත් හිටියා. හුගක් අය කුඩ අටෝගෙන, සමහරු හිරු රැස් නානවා, සමහරු පුටු වලට වෙලා හුලන් වැදි වැදි පොත් කියෝනවා.
 ඒ හරියෙම කුඩ රෙන්ට් එකට දෙන තැනකුත් තිබුනා. ඉතිං අරුණි අක්කත් ගිහින් කුඩයක් අරගත්තා. රෙන්ට් කරන කෙනාම අපිට ඕනේ තැනට ඇවිත් කුඩේ හයි කරලා යනවා. ඊළගට ඉතිං පුටු ටිකත් දිග ඇරගෙන පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න තමා ලෑස්තිය. බීමත් බීලා ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා කතා වුනේ දැන් මුහුදට බැස්සානම් හොදයි කියලා. අරුණි අක්කානම් සැනසිල්ලේ පොතක් කියෝනව කිව්වා.
අපි ඉතින් ඔන්න මුහුදටත් බැස්සා කියමුකෝ. වතුරේ බැහැල ඉන්න ආස වුනාට  මුහුදටනම් මං බයයි. අම්මෝ ගහ ගෙනවත් ගියොත් එහෙම. වයසක ආච්චිලා, පොඩි එවුන් පවා හිටියා මට වඩා ගැඹුරට ගිහින්. ඒත් මං නෙවේ කැමති වුනේ. ඒත් ඉතිං උදිත එක්ක බෑනේ. අතින් ඇදගෙන ටිකක් ඈතට ගෙනිච්චා. එක පාරටම හොද  ලොකු රැල්ලක් ආවා. ඒ පාරේ සැරට අල්ලාගෙන හිටපු අතත් අතෑරිලා මාව ගහගෙන ගියා වෙරළට. නහයෙයි,කටෙයි වතුර විතරක් නෙවේ වැලිත් ගිහින්. වැලි වලට අත පයත් හීරුනා. අනේ එහෙම වුනා කියලා ගොඩ හරියට වෙලා නම් ඉන්න හම්බ වුනේ නෑ මට. ආයේ එක්කන් ගියා. දෙතුන් පාරක් ඔය වගේම වුනා. අන්තිමට මගේ කනටත් වතුර ගිහින් වැලිත් එක්කම. කොහොම හරි අන්තිමට දන්නෙම නැතුව  විනාඩි 45ක් වගේ මුහුදෙත් ඉදලා.
ගොඩට ඇවිත් අරුණි අක්කාව හොයාගෙන ගියාම මෙන්න බොලේ පොත කියවනවා කියපු කෙනා නිදි ඔලුවේ දාගෙන හිටපු කැප් ඒකෙන් මූණත් වහගෙන. අපි ලගටම ගිහින් ෆොටෝ එකක් ගන්න යනකොට තමා ඇහැරුනේ. ඇඟේ තියෙන වතුර ටික වේලෙන කල් අපි දෙන්නත් ටිකක් වාඩි වෙලා හිටියා. හම්මේ සනීපෙට මටනම් බාගෙට  නින්ද ගියා. කාර් එක ගාවට ඇවිත් තමා ඇදුම් මාරු කරගත්තේ ආයේ. වැලි බාල්දි බාගෙක විතර වැලි ඇඟේ  :D.
දැන් හොද ගානට බඩගිනියි. අක්කා යන ගමන් කියා කියා ගියේ අපිට අද නියමම ඉතාලි කඩේකින් කන්න දෙනවා කියල. කඩේ නම තමා “Touch of Italy”. ලෙවිස් කියන නගරේ තමා කඩේ තියෙන්නේ. මං කලින් ලිපියේ කිව්වනේ ඩෙලවෙයා තමයි ඇමෙරිකාවේ පළවෙනි ප්‍රාන්තය හැටියට සලකන්නේ කියලා. 'ලෙවිස්' කියන්නේ ප්‍රාන්තේ පලවෙනි නගරය හැටියට සලකන නගරය. ඒ කියන්නේ පලවෙනි ප්‍රාන්තයේ පලවෙනි නගරේ. වාහනේ නතර කරපු තැනම එහා පැත්තේ ඇලක ඔන්න ලස්සන බෝට්ටුවක් නවත්තලා. ඇලක් කීවට මෙහෙතියෙන්නේ පොඩි ඇල වල් නෙවේ හරිද. ආපහු එන ගමන්ම ෆොටෝ එකක් ගහමු කියලා හිතාගෙන කන්න ගියා.
හම්මේ කඩේ ඇතුලට ගියාම එක එක ජාතියේ චීස්. මගෙනම් කටට කෙලත් ඉනුවා ඒවා දැකලා. ඉතාලි කෑම වල‍ට සෑහෙන්න චීස් පාවිච්චි කරනවානෙ. සුදුළුනු පානුයි, බැදපු ඉස්සොයි, පිට්සා යි තමා අපේ දවල් කෑම. කාපු ගමන් යන්නත් බෑනේ. පලවෙනි නගරේ පොඩ්ඩක් බලා කර ගන්නත් එපැයි. නගරේ කිව්වට ලොකු සෙනඟක් එහෙම එහෙම නෑ. හරිම නිස්කලංකයි.වටේ තියෙන කඩවල් ටිකේ පොඩ්ඩක් රවුම් ගැහුවා. ඔන්න බොලේ එක කඩේක සේල්. කඩේ ඇතුලේ එහෙම නෙවේ. එලියේ තමා ඔක්කොම සේල් බඩු. කවුරුවත් ඇත්තෙත් නෑ ළඟ පාතක. එහෙමයි කියලා කවුරුවත් අරන් ගිහිනුත් නෑ.

දැන් ඉතිං ආපහු අරුණි අක්කගේ ගෙදර යන්නයි හදන්නේ. චාරිකාව නිමයි. ආපහු පැය හතරක් වගේ එලවාගෙන යන්නත් එපෑ අපේ ගෙදරට යන්න. අනේ කාර් එක තියෙන තැනට යනකොට අර ලස්සන බෝට්ටුව ගිහින්. වෙලාව තමා. මුහුදු වතුරෙන් නාපු නිසා  හොද වතුරෙන් නාලා එහෙම අපි අරුණි අක්කාගේ ගෙදරින් පිටත් වුනා. ඔන්න ඔහොමයි දවස් දෙකක ඩෙලවෙයා චාරිකාව අවසන් වුනේ. ගූගල් වලින් ගත්ත ෆොටෝ ඇරුනාම අනික් හැම ෆොටෝ එකකම අයිතිය අරුණි අක්කගේ. ඒ වගේම දවස් දෙකේම අපේ කෑම බීම ඇතුළු අනිකුත් වියදම් ඔක්කොමත් අරුණි අක්කා ගානේ. බොහොම ස්තුතියි අරුණි අක්කේ......

Friday, September 5, 2014

ඩෙලවෙයාර් ගියෙමු

මෑතකදී මං ලියපු ලිපියක් නිසා සමහර දෙනෙක් මං බ්ලොග් ලියන්නේ නැති එක ගැන ප්‍රශ්න කරන්න ගත්තා. ගොඩක් යාලුවෝ කිව්වා තාම හැකියාව නැති වෙලා නෑ ලියපිය කියලා. අන්තිමට මගේ මහත්තයා…. හෝව්…… ප්‍රශ්නයක්ද කට්ටියට? මේ කොල්ලෙක්ගේ බ්ලොග් එකේ මහත්තයෙක් ගැන කියන්නේ මූ මොන ජාතියක එකෙක්ද කියලා හිතුවද? ඇත්තම කිව්වොත් මේ බ්ලොගේ හදපු එකා නෙවේ මේ ලියන්නේ. උදිත හෙවත් මේ බ්ලොගේ අයිතිකාරයාගේ බිරින්දෑ හෙවත් නිසුපා තමා මේ ලියන්නේ. :D සමහරුන්ටනම් මාව මතකත් ඇති. දැන් කාලෙකට කලින් ලියපු නිසූගේ කතා කියෙව්වනම්. ඇත්තම කිව්වොත් මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉදන් පාලුවට ගිහින් නෙ තිබුනේ. ඉතිං අපි දෙන්නා හිතුවා දෙන්නට දෙකක් ලියන්න බැරිනම් හවුලේ ලියමු කියලා ( වැඩිපුර උනන්දුව ඉතිං උදිතට තමයි. මටනම් තාම කම්මැලියි කම්මැලියි වගේ :D).ඉතිං රස්සවකටත් නොයා වැඩිපුර නිදහසේ ඉන්නේ මං නිසා ඔන්න මංම පටන් ගන්නවා.

මං ඇමෙරිකාවට ආපු ගමන්ම වගේ බ්ලොග් ලෝකේ කට්ටිය හොදට දන්න කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවා එයාලාව ඇවිත් හම්බ වෙන්න කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉතිං කාලයක් තිස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ අරුණි ශපිරෝ අක්කා. උදිත නම් කලිනුත් අරුණි අක්කාව හම්බ වෙලා තියෙනවා. අරුණි අක්කා මේ දවස් වල පදිංචි වෙලා ඩෙලවෙයා කියන ප්‍රාන්තේ.ඒ ප්‍රාන්තේ තමයි ඇමෙරිකාවේ පලවෙනි ප්‍රාන්තේ හැටියට සැලකෙන්නේ. ඒ වගේම ඒ ප්‍රාන්තේ බඩු වලට බදු නෑ. ඩෙලවෙයාර් ඇරුනහම ඇලස්කා, නිව් හැම්ෂයර්,මොන්ටානා සහ ඔරිගන් කියන ප්‍රාන්ත වලත් බඩු වලට බදු අය කරන්නේ නැහැ. ඔන්න ඔය බදු නැති කතන්දරේ හින්ද ඩෙලවෙයාර් ප්‍රාන්තේට මායිම් වෙලා තියෙන මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ නිව් ජර්සි කියන ප්‍රාන්ත වල ඉන්න කට්ටියත් හුගක් වෙලාවට ඩෙලවෙයාර් ගිහින් තමයි බඩු අරගන්නේ. හෝව්...හෝව්… මෙන්න කතාව වෙන පැත්තකට යන්නයි හදන්නෙ. එහෙනම් ආයෙත් හරි පාරට එමු. 

 ඔන්න ඉතිං සෙනසුරාදා දවසක උදේ අපි අරුණි අක්කාව බලන්න යන්න පිටත් වුනා. පැය තුනක විතර ගමනක්. අපි ගෙදරින් 11 වගේ පිටත් වුනා.තෑග්ගකුත් අරගෙන හවස 2 වගේ වෙනකොට ගමන ඉවර කරන්න බලාගෙන ගියාට මොකද ට්‍රැෆික් වලට පිං සිද්ද වෙන්න හවස 5 ටත් කිට්ටුයි යනකොට. අරුණි අක්කා හිතලා තියෙන්නේ අපි දෙන්න තව කොහේ හරි ගිහින් එනවා කියලා. දැන් ඉතිං මොකෝ කරන්නේ ප්ලෑන් කරපු වේලාවෙන් පැය තුනක්ම අපිට නැති වුනා. අරුණි අක්කා අපිට යන්න පුළුවන් තැන් එහෙම හොදට හොයලා බලලා තිබුන නිසා වැඩිය කාලේ කන්නේ නැතුව අක්කලාගේ ගෙවල් කිට්ටුව වෙරළකට ඒ දවස් වල ඇවිත් තිබුන රුවල් නැවක් බලන්න යන්න පිටත් වුනා. 

ටිකට් එකක් අරගෙන ඇතුල බලන්න යන්න පුළුවන් කියලා තමා කිව්වේ. අරුණි අක්කගේ ගෙදර තියෙන්නේ ඩෙලවෙයා සහ මේරිලන්ඩ් කියන ප්‍රාන්ත දෙක වෙන් වෙන සීමාව කිට්ටුව.ඉතිං මේරිලන්ඩ් වල තියෙන සංචාරක ආකර්ෂණයක් වුන “Ocean City” කියන නගරයත් අක්කලට හොදටම ලගයි.ඉතිං “El Galeon Andalucia” කියන මේ රුවල් නැව ඇවිත් තිබුනේ ගිම්හාන කාලෙට මේ නගරයට ඇදෙන සෙනග ඉලක්ක කරගෙනමයි. ඒ කාලෙට කොච්චර සෙනග එනවද කිව්වොත් අපිට අක්කාගේ කාර් එක නවත්තන්න තැනක් හොයාගන්න වටේ කැරකෙන්න වුනා. නැව කිට්ටුව කොහෙවත් නතර කරන්න විදිහක් නෑ, නතර කරන්න පුළුවන් හැම තැනම පිරිලා වාහන. ඉතිං මොනවා කරන්නද ටිකක් දුර මුහුදුු වෙරළ කිට්ටුවම පාක් එකක නතර කරලා පයින්ම නැව බලන්න එන්න පිටත් වුනා වටපිට බල බල හෙමින් හෙමින් අපි නැව කිට්ටුවටම ආවා.නැව නවත්තලා තිබ්බේ කළපුවක. ඈත තියා පේන විදිහටනම් ටිකට් දෙන ඇන්ටිලා ටික වැඩ ඉවර කරන පාටක් පෙනුනේ. ලගට ගිහින් අහලා බැලුවාම අරුණි අක්කට ලැබුන උත්තරේ තමා ඇද දවසට ටිකට් දීලා අහවර බව. අපි හිතාගෙන හිටියේ පස්වරු 7 වෙනකල් නැව ඇතුල බලන්න යන්න පුළුවන් කියලා. අනේ බැලින්නම් 6.30 වෙද්දි ප්‍රදර්ශන කාලේ ඉවරලු. දැන් මක් කරන්නද? කාර් නවත්තලා එන්න ගියාම වෙලාව ටිකක් ගියානේ.ඉතිං ඇතුල නැතුවට කමක් නෑ එලියෙන් හරි බලමු කියලා බලලා ආවා. ආයේ පහුවදා උදේට යන්නයෑ ඕක බලන්නම. 


10453062_10152574737110851_686817892224843153_o.jpg
El Galeon Andalucia කියන රුවල් නැව තමයි මේ 

 කාර් එකට ආපහු ඇවිදගෙන එන ගමන් කලපුවට මුණ දාලා හදලා තිබ්බ පොඩි කඩයකට ආවා මහන්සි ඇරගන්නත් එක්ක මොනවා හරි බොන්න කියලා. De Lazy Lizard Bar and Grill තමා කඩේ නම.මෙන්න බොලේ යන තැනම දොරටු පාලකයෙක්, අයිඩෙන්ටිය ඉල්ලනවා. අරුණි අක්කගේ එකනම් ඕනේ නෑ කිව්වා. :D. උදිතත් අයිඩෙන්ටිය පෙන්නුවා.මට ඉතිං තියෙන්නේ පාස්පෝර්ට් එකනේ.මං ඒක පෙන්නුවා. මේ මනුස්සයා දෙ පාරක්ම පාස්පෝර්ට් එකේ ෆොටෝ එක දිහා බලලා මං දිහා බැලුවානේ. හරියට ඒකේ ඉන්නේ මං නෙවේ වගේ. කොහොම හරි ඇතුලට ගිහින් බීම එකක් එහෙම බීලා, කලපුව පැත්තට මුණ දාපු ඇඳි පුටු තුනක ඉදගෙන හොද කයියක් දාගෙන ඉදලා තමා වෙරළ බලන්න යන්න පිටත් වුනේ. 


10454446_10152574737280851_1674711345102769367_n.jpg
අරුණි අක්කයි මායි chat එකක් දාන අතරෙදි

 මෙහේ වෙරළට සමාන්තරව ඇවිදගෙන යන්න වෙනමම පාරක් හදලා තියෙනවා. ලෑලි වලින් හදලා තියෙන ඒ පාරට කියන්නේ “Boardwalk” කියලා. ඇමරිකාවේ ගොඩක් මුහුදු වෙරළවල් වල මේ ලෑලි වලින් හදපු boardwalks දකින්න පුළුවන්. මේ පාර අයිනේ එක එක දේවල් විකුණන කඩ, ඊටත් අමතරව පොඩි පොඩි ඒක පුද්ගල ව්‍යාපාරත් තියෙනවා. මෙහෙන්දි ඩිසයින් දාන අය, ස්ප්‍රේ බෝතල් වලින් චිත්‍ර අදින අය, ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයින්ට ඇද ගත්ත අය, වයලින් වාදකයෝ, මැජික් ශිල්පියෝ වගේ කට්ටිය තමයි තනි තනි පුද්ගලයෝ විදිහට අපට වින්දනයක් ලබාදීල පොඩි ආදායමක් හොයාගන්නේ. හැබැයි ගිම්හාන කාලේදී මේ වෙරළට එන සෙනග කන්දරාව දිහා බලපුවහම ඒ කට්ටිය හොයන ආදායම එච්චරම පොඩි නෑ කියලත් හිතෙනවා. මේ boardwalk එකේ දිග කොච්චරක් විතර ඇති කියලද හිතන්නේ..? කිලෝමිටර් 4 ක් විතර දිගයි. ඒ නිසාම ව්‍යායාමයක් විදිහට boardwalk එකේ එහාට මෙහාට දුවන කට්ටියත් ඕනතරම් බලාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දෙන්නයි අරුණි අක්කයි නම් ඔය කිලෝමිටර් 4 ම ඇවිද්දේ නැහැ. මොකද එහෙම කලානම් එහෙම රෑට කන්න වෙන්නේ නැහැනේ :D 


10003716_10152574737130851_2784279134807695912_o.jpg
Boardwalk එකට ඇතුළු වෙන තැන

 මුහුදු නගරයක් කිව්වාම ඉතිං කන්න බොන්න වැඩියෙන් තියෙන්න පුළුවන් මොනවද ඉතිං සී ෆුඩ් ම තමා :D. අරුණි අක්කා ඉතිං එහේ තියෙන කෑම කඩ වල හොදට ඇවිදින කෙනෙක්නෙ. ඔන්න එයා කිව්වා හොද කකුළුවෝ කන්න පුළුවන් තැනක් තියෙනවා යමුද කියලා. ඩොලර් ගානක් ගෙවලා තමන්ට ඇති තරම් කකුළුවෝ කන්න පුලුවන් තැනුත් තියෙනවාලු. මං නම් ජීවිතේට කකුළුවෝ කාලා නෑ. ඒ මදිවට මං කන්නෙත් ස්වල්ප ප්‍රමාණ වලින්නේ :D. ඔන්න ඉතිං අපි අරුණි අක්කා කියපු කඩේටත් ආවා. එක කඩයක් කීවට කඩ රාජයෙක්. ඔය පහලින් තියෙන්නේ ගුගල් දෙයියාගෙන් උස්සපු ෆොටෝවක්. “Phillips Crab House” තමා නම. කකුළුවෙක් තමා වහලේ උඩ අන්ඩකුත් දික් කර කර ඉන්නේ.අරුණි අක්කා හබිට කෝල් එකක් දීලා එනකල් අපිට ඇතුලට ගිහින් මේසයක් ඉල්ලගන්න පොරොත්තු ලේඛනයට නම දෙන්න කිව්වා.


CrabHouse.jpg
Phillips Crab House

සාමාන්‍යයෙන් මෙහෙ කෑම කඩ වලදී ලංකාවේ අපි කරනවා වගේ කඩේට ගිය ගමන් අපිට හිතෙන මේසෙක ඉදගන්න බෑ.හුගක් කෑම කඩ වල බෝඩ් ගහලා තියෙනවා වේටර් කෙනෙක් ඇවිත් ඉදගන්න තැනක් පෙන්නන කල් ඉන්න කියලා. එහෙම බෝඩ් එකක් නැතත් මෙසේ මිනිස්සු හුගක් වෙලාවට කවුන්ටර් එක ලගට වෙලා ඉන්නවා කවුරු හරි ඇවිත් මේසයක් ගාවට එක්කන් යනකල්. මේ කඩේ ඊටත් වඩා වෙනස් කියලා තමා අරුණි අක්කා කිව්වේ. මේ කඩේට තියෙන ප්‍රසිද්ධ බව නිසා ගිම්හාන කාලෙට Ocean City එන අයගෙන් බහුතරයක් මෙතනට එනවලු. ඒ නිසා මෙතන මේසෙකට ගිහින් ඉඩගන්නත් පොරොත්තු ලේඛනයක ඉන්න වෙනවලු. හැබැයි අපේ වාසනාවටද මන්දා එදා වැඩිය සෙනඟ හිටියේ නෑ. අපි දෙන්න ඇතුලට ගිහින් තුන්දෙනෙක්ට ඉදගන්න මේසයක් ඉල්ලුවා.කෝ තුන් දෙනා කියලා අහපි. අනික් කෙනාත් එනකල් මේසෙකට එක්ක යන්න බෑ කිව්වා. වෙලාවට අරුණි අක්කත් ඒ වෙලේම ඇතුලට ආවා. 

කකුළුවෝ කිව්වට ඉතිං තව එක එක කෑම ජාති,බීම ජාති ගොඩක් මෙනු එකේ තිබ්බා.කකුළුවෝ කන්නමනේ ආවේ කියලා. මුලින් තුන්දෙනාට කකුළුවෝ තුන්දෙනෙක් ගේන්න කිව්වා. බැරි වෙලාවත් එක්කෙනෙක්ට දෙකක් කන්න බැරි වුනොත් එහෙම. ඉතිං කකුළුවෝ තුන් දෙනා එනකල් අපි තුන් දෙනා වේටර් කෙල්ලට වද දිදී එක එක කෑම තේරුවා.. ඒ අස්සෙම උදිතට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දේකුත් අර වේටර් කෙල්ලගෙන්ම විසද ගත්තා. හා කියමු බලන්න අපේ රටේ ගෑනු කසාද මුද්ද දාන්නේ මොන අතේද, පිරිමි දාන්නේ මොන අතේද? ඔය සමහරුන්ට ඕක මතක නැති බව මං දන්නවා ;) . ඔන්න ඉතිං අපි අර ළමයාගෙන් ඇහුවා මෙහෙ අය කොයි ඇගිල්ලේද දාන්නේ කියලා. බැලින්නම් මේ රටේ දෙගොල්ලොම මුද්ද දාන්නේ වම් අතේ වෙදගිල්ලට. එහෙම දාන්නේ වම් වෙදගිල්ලේ ඉදන් හදවතට යන නහරයක් තියෙනවා කියල ඒගොල්ලෝ විශ්වාස කරන හින්ද ලු. 

 ඔන්න ඉතිං කකුළුවොත් ආවා. කකුළුවෝ කන එකත් වෙනමම කෝස් එකක්. ආම්පන්න තුනකුත් එක්ක තමා කකුළුවා මේසෙට එවන්නේ. චූටි ගෑරුප්පුවකුයි දිග මිටක් තියෙන පොඩි මිටියකුයි, අඬුවක් වගේ එකකුයි.අඬුවක් කිව්වට ගිරයක් වගේ. මුලින්ම කකුළුවාගේ ඉස්සරහ ලොකු අඬු තමා කන්න පටන් ගන්නේ. අර ගිරේ මැද්දට අන්ඩ තියලා පුවක් කපනවා වගේ තද කරන්න ඕනේ. ඔන්න එතකොට අර හයිය කට්ට පුපුරලා මස් ටික එලියට එනවා. දැන් ඉතිං අර චූටි ගෑරුප්පුවෙන් කන්න තියෙන්නේ. මස් ටික කන්න ඔලිව් තෙල් හම්බ වුනත් මං නම් ඒවා නැතුව නිකන්ම කෑවා. අඬු ටික ඉවර වුනාම මැද්ද. ඒ හරියට තමා මිටිය ඕනේ වෙන්නෙ. කකුළුවාගේ පිටිපස්සේ කට්ටේ පිපිරුමක් එන තරමට හයියෙන් පාරක් දෙකක් ගහන්න ඕනේ. කොහොමද බැරි වෙලාවත් පාර වැරදිලා පිඟානට වැදුනොත් :D. පුපුරපු තැන ඉදන් කට්ට සුද්ද සුද්ද කර කර මස් ටික වෙන් කරගන්න ඕනේ. මටනම් චූටි පැණි රසක් එක්ක තමා රස දැනුනේ. 


10609725_10152574737335851_7203463788093796303_n.jpg
රෑ කෑම

හොද ලොකු රෑ කෑමකින් පස්සෙ අපි දැන් ආයේ අරුණි අක්කගේ ගෙදර රෑ ගත කරන්න යන්නයි හදන්නේ. ඊළග දවසට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ටික ඊළග සෙල්ලිපි සටහනේ කොටන්නම්.

Tuesday, December 4, 2012

ලංකාවෙන් යැංකි රටට - අන්තිම ටික


ලංකාවෙ ඉඳන් නෙදර්ලන්තෙට එනකල් ගමන් විස්තරේ කට්ටිය කියවල ඉවර ඇතිනෙ. අද එතන ඉඳන් ඇමරිකාවට එනකල් විස්තරේ කොටන්න තමයි හදන්නෙ.

ඉතින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තො‍ටුපලට මං ගොඩබැස්සා. එදා හොඳටම වැස්ස. ඒ මදිවට හීතලයි. මං ඉතින් හීතල ඇඳගන්න කියල ජර්සියක් වත් අතේ අරගෙන ආපු බෑග් එකට දාගත්තෙ නැහැනෙ. අර මට කරදර කරපු සද්දන්තයත් ප්ලේන් එකෙන් බහින්න කලින් winter jacket එකක් ඇඳගත්තා. මොනව කරන්නද ඉතින්.... අත් දෙකත් අතුල්ල අතුල්ල මුලින්ම ගියේ ගුවන් ගමන් විස්තර පෙන්වන screen එක ලඟට, මට යන්න තියෙන ඊළඟ ප්ලේන් එක පිටත් වෙන වෙලාවයි යන්න ඕනෙ දොර‍ටුවයි බලාගන්න. ඒ ප්ලේන් එක පිටත් වෙන්නෙ දවල් 12.30 ට. තව පැය 6ක් විතර තියෙනවා. කලින් ගුවන් ගමන් දෙකේදිම හරි හමන් නින්දකුත් තිබුණෙ නැති නිසා නිදිමතකුත් තියෙනවා. බඩගින්නකුත් තියෙනවා. පොඩි නින්දක් දාන්න කලින් මොනවහරි බඩට දාගන්න කියල හිතාගෙන ගියා එයාර්පෝර්ට් එක ඇතුලෙ තිබුණු කැෆේ එකකට. එතකොට තමයි දැක්කෙ ඒ කඩේ ගනුදෙනු කරන්නෙ යුරෝ වලින් විතරයි කියලා. බලනකොට එතන විතරක් නෙවෙයි, එයාර්පොර්ට් එක ඇතුලෙ හැමතැනකම ගනුදෙනු කරන්නෙ යුරෝ වලින්. මගෙ අතේ තියෙන්නෙ ඩොලර් විතරයි. ඒ පාර බැලුවා ඩොලර් යුරෝ වලට මාරුකරගන්න පුළුවන්ද කියලා. සල්ලි මාරු කරගන්න තැනකුත් ළඟම තිබුණා. එතනට ගියහම තමයි දැක්කෙ අඩුම ගානෙ ඩොලර් 100 ක් වත් මාරුකරගන්න ඕනෙ කියල ගහල තිබුණ බෝඩ් ලෑල්ල. ඇයි දෙයියනේ මේ පැය කීපෙකට මොකටද ඩොලර් 100 ක් නිකන් වියදම් කරන්නෙ, තිබිච්ච බඩගින්නත් නැති වුණා.... කමක් නැහැ, ප්ලේන් එකට නැග්ගහම කන්න හම්බ වෙනවනෙ කියල හිත හදාගෙන විවේකාගාරෙට ගිහින් මූණ හෝදගෙන වතුර ටිකක් බීල ෂේප් වුණා. ඊට පස්සෙ මං බැලුවා WIFI එහෙම තියෙනවද කියලා, ගෙදරට skype call එකක් ගන්න... ම්ම්හ්, WIFI තියෙන බවක් කොහෙවත් කියල නම් නැහැ. ඒත් ඉතින් මෙච්චර ලොකු එයාර්පෝර්ට් එකක WIFI නොතිබෙන්න විදිහකුත් නැහැ නෙ. ප්ලේන් එකෙන් බැහැල ඇතුලට ආපු තැනම තිබුණ information center එකක්. මං ඉතින් එතනට ගිහිල්ල ඇහුව 'මෙහෙ free WIFI තියෙනවද ' කියල. එතන හිටපු තරුණ නෝනත් හොඳ හිනාවක් එහෙම දාල මගෙ අතට දුන්න පොඩි කඩදාසි කෑල්ලක්. ඒක මොකක්හරි විස්තරයක් photo copy කරල තිබුණු කොලයක්. මං ඇහුව මේ මොකද්ද කියල.. ඔන්න ඒ පාර මේ ගෑණි මට දේසනාවක් කරන්න පටන් ගත්තා මෙහෙ WIFI කොන්දේසි ගැන. Free WIFI හම්බ වෙන්නෙ පැය බාගයයි ලු. ඊට පස්සෙ හැම පැයකටම සල්ලි ගෙවන්න ඕනෙලු. අපිට credit card එකෙන් ගෙවන්න විදිහක් නැත්නම් සල්ලි ගෙවල ඇතුලෙ තියෙන internet cafe එක පාවිච්චි කරන්න පුලුවන් ලු. අර චුට්ටං කඩදාසියෙ තියෙන්නෙ මුල් පැය බාගෙ free පාවිච්චි කරන්න පුලුවන් වෙන විදිහට settings හදාගන්න හැටිලු.... ඇයි යකෝ, ලංකාවෙත් unlimited free internet තිබුනනම් අබුඩාබි වලත් unlimited free internet තිබුනනම් මුන්ට මොකෝ මේ free internet දෙන්න බැරි... කමක් නැහැ පැය බාගයක් හරි තියෙනවනෙ කියල හිතාගෙන පැත්තක තිබුණු පු‍ටුවකින් වාඩි වෙලා අර කඩදාසියෙ පේන නොපෙනෙන තරමට වැදිල තිබුණු විස්තරෙත් කියවගෙන settings හදාගත්ත කියමුකෝ. හැබැයි internet යන්න බැහැ. විනාඩි 15 විතර ට්‍රයි කලා, හරියන්නෙම නැහැ. මට එහාපැත්තෙ පු‍ටුවෙ වාඩි වෙලා හිටපු බුවා ත් මිනිහගෙ ලැප්ටොප් එක දිහා බලාගෙන මොනවදෝ කරනවා. මං හිතුව මිනිහ කොහොමහරි හරියට settings හදාගෙන කියලා. මාත් මෑන් ට පොඩ්ඩක් කිට්‍ටු කරල ඇහුවා කොහොමද settings හදාගත්තෙ කියල. මිනිහ කියනව මිනිහටත් තාම settings හදාගන්න බැරුවලු ඉන්නෙ කියල. අන්තිමට මිනිහට හොඳටම තද වෙලා හයියෙන් ලැප් එකත් වහල බෑග් එකට දාගෙන බැන බැන යන්න ගියා. මාත් මෙහේ වැඩකරන හැම එකාගෙම අම්ම මුත්තවත් හිතෙන් මතක් කර කර ආපහු අර information center එකට ගිහින් කිව්වා internet සම්බන්ධ වෙන්න විදිහක් නැහැ කියලා. ඒ පාර එතන හිටපු ගෑනි කියනවා internet cafe එකට ගිහින් එතන ඉන්න operator ට කියල වැඩේ හරියට කරගන්න කියලා. ඉතින් internet cafe එකටත් ගියා කියල කියමුකෝ. ඒක ඇතුලෙ බලු බල්ලෙක් නැහැ. ඔපරේටර් කෙනෙක් තියා සල්ලි ගෙවල internet යන මනුස්සයෙක්වත් නැහැ. මේ වැඩේ හරියන්නෙ නැහැනෙ. Internet යන්න තිබ්බ අදහස අල්ලල දැම්මා. පැය 6 ක් යනකල් මොනවහරි කරන්නත් එපැයි. ඒක නිසා එයාර්පෝර්ට් එක ඇතුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද ෆොටෝ ගන්න එක තමයි කලේ. ඔය පල්ලෙහයින් තියෙන්නෙ එහෙම ගත්තු ෆොටෝ ටිකක්.




ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉන්නකොට ආයෙත් නිදිමත හැදීගෙන ආවා. ඉන්ටනෙට් නැති වුණාට මොකද හොඳට වාඩිවෙලා නිදාගන්න පුලුවන් කුෂන් කරපු පු‍ටු තියෙන ලොකු resting area එකක් නම් එයාර්පෝර්ට් එකේ තියෙනවා. පු‍ටුවටම අල්ලල හයි කරපු iPad එකකුත් තියෙනව. ඕනෙනම් ඒකෙන් online library එකට log වෙලා පොත් කියවන්නත් පුලුවන්. කැමතිනම් සින්දුවක් අහන්නත් පුලුවන්. ඕව බල බල ඉන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ, මට හිටගෙන ඉන්නකොටත් ඇහැ පියවෙන තරමට නිදිමතයි. ඒක නිසා අර පු‍ටුවකින් වාඩි වෙලා සපත්තු දෙකත් ගලවල දාල ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන පැය 3 ක් විතර හොඳට නිදාගත්තා. 10.30 ට විතර නැගිටලා ආයෙත් වටේ ඇවිදින්න ගත්තා. ඔහොම ඇවිදිනකොට ප්ලේන් නග්ගන බස්සන එක හොඳට පේන තැනක් හම්බ වුණා. බරට බරේ තඩි බෑග් එකයි ලැප්ටොප් එකයි එල්ලගෙන වටේ ඇවිදලම මහන්සිය නිසා ලඟ තිබිච්ච පු‍ටුවකින් වාඩි වෙලා ප්ලේන් උඩ යන හැටි බාන හැටි බල බලා හිටියා. එතනදි ගත්තු පින්තූරයක් තමයි මේ පහලින් තියෙන්නෙ.

දිගටම ප්ලේන් දිහා බලාගෙන ඉන්නත් කම්මලියි. හොඳ වෙලාවට BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනේ දි ගත්තු පොත් වලින් එකක් මං බෑග් එකේ දාගෙන ආවා. ඉතින් 11.30 විතර වෙනකල් ඔන්න ඔය පොතත් කියවලා ආපහු හෙමින් හෙමින් ඊලඟ ප්ලේන් එකට නගින්න තිබුණු gate එක පැත්තට ඇවිදගෙන ගියා.
සුපුරුදු විදිහට සපත්තු, බෙල්ට් එහෙම ගලවල පරීක්ෂා කරල බෑග් වල තිබිච්ච දේවලුත් එලියට අරගෙන බැලුවට පස්සෙ 12.15 ට විතර KL651 අංකය දරණ යානයේ වම් පැත්තෙ ජනේලයක් අයිනේ තිබුණු 32A සීට් එකේ වාඩි වුණා.
32A සීට් එක

හැබැයි තාම අල්ලපු සීට් එකේ ඉන්න එක්කෙනා ඇවිල්ල නැහැ. මේ පාරත් කරදරකාරයෙක් සෙට් වෙයිද දන්නෙ නැහැ කියල බයෙන් හිටියේ. පැය අටහමාරක ගමනක් යන්න තියෙනවා ඇමරිකාවට. කරදරකාරයෙක් සෙට් වුනොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. කොහොමින් කොහොමහරි අන්තිමට මගෙ අසල්මගියා වුණේ ලස්සන ගෑනු ලමයෙක්. ඒක නිසා කිසි කරදරයක් නැතුව ගමන යන්න නම් පුළුවන් වුණා. අතරමගදි කරදරයක් නැතුව නින්දක් දාන්නත් පුලුවන් වුණා. ඔය අතරෙදි ලැබිච්ච මුල්ම කෑම වේල නම් කියල වැඩක් නැහැ. හොඳටම බඩගින්නෙ හිටපු මට නිකන් දිව්‍ය භෝජනයක් ලැබුණ වගේ.

මේ ගමනෙදි නම් කියන්න තරම් ලොකු ඇබැද්දි සිද්ධ වුණේ නැහැ. ගමන අතරමගදි ගත්තු ෆොටෝ ටිකකුත් ඔන්න තියෙනවා.
පිටත් වෙන්න චුට්ටකට කලින්

ගඟක් මුහුදට වැටෙන තැනක් (ඩෙල්ටාවක්)





පැය ගාණක් මුහුද උඩින් ආවට පස්සෙ මුලින්ම පෙනුණු ගොඩබිම තමයි මේ.

මේ සමහරවිට ඇමරිකාවට අයිති භූමියක් වෙන්න පුළුවන්.
ඇමරිකන් ගුවන් සීමාවට ඇතුළු වුණාට පස්සෙ තමයි දැක්කෙ ඇමරිකන් අහස කොච්චර කාර්යබහුලද කියලා. මං ඉන්න ප්ලේන් එකට උඩිනුයි පහලිනුයි දෙපැත්තෙන්ම ප්ලේන් යනවා. මං එහෙම දෙයක් දැක්කෙ පලමුවෙනි පාරට. ඒවයෙ ෆොටෝ ගන්න නම් බැරි වුණා.
මේ පහලින් තියෙන්නෙ ඇමරිකාව අහසට පේන හැටි......


මං හිතන්නේ මේ wastewater treatment plant එකක්



වොෂින්ටන් ඩලස් airport එකේ ප්ලේන් එක නතර කරපු ගමන්


කොහොමහරි බොහොම දීර්ඝ ගමනකට පස්සෙ 2012 ඔක් ‍තෝබර්  21 වෙනිදා හවස 3.00 ට වොෂින්ටන් ඩලස් ගුවන් තො‍ටුපළට ගොඩබහින්න මට පුළුවන්කම ලැබුණා. ඊටපස්සෙත් මහා කරදරයකට මූණ දෙන්න වුනා. ඒ තමයි පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න පැය දෙකක් විතර පොළිමේ හිටගෙන ඉන්න වුණ එක. 
පැය දෙකක් විතර හිටගෙන හිටපු පෝළිම (සෙනග පිරෙන්න කලින්)

ග්‍රීන් කාඩ් එක අරගෙන මෙහෙට ආපු නිසා මට ඒ සම්බන්ධ ලියකියවිලි වල වැඩ ටික කරගන්න තව කවුන්ටරේකට යන්න වුණා. ඒ කවුන්ටරේ හිටියෙ බොහොම මිත්‍රශීලී කළු ජාතික නිලධාරියෙක්. එතන වැඩ ටික ඉවර වෙලා එන්න හදනකොට එයා මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි, "ඔච්චර ලස්සන දිය ඇලි තියෙන ඔච්චර ලස්සන කෙල්ලො ඉන්න රටක ඉඳන් මෙහාට ආවෙ ඇයි?" කියන එක. මං ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී පොඩි හිනාවක් දාලා අවා. ඒකට උත්තර දෙන්න ගියා නම් දිග විස්තරයක් කියන්න වෙනවනෙ......

ඔය වැඩකටයුතු ටික ඉවර වුණාට පස්සෙ මං හිතුවා දැන්වත් කරදර ටික ඉවර ඇති කියලා. මොන... තව ඇබැද්දියක් වුණානෙ. ඒක වුණේ එලියට එන්න කලින් ගමන් මළු scan කරපු වෙලාවෙ. ඇමරිකාවට මස් වර්ග ගේන්න තහනම් ලු. Scan කරද්දි මුන්ට අහු වුණා බෑග් එකේ හොඳට පැක් කරල තිබුණු පොලොස් මාලුව. මුන් දැන් ඕක එලියට අරගෙන එහාට හරවනවා මෙහාට හරවනවා. උන් හිතන්නෙ ඒක මස් වර්ගයක් කියලා. අන්තිමට මං බොහොම අමාරුවෙන් පැහැදිලි කරල දුන්නා ඒක හදන්නෙ 'කොස් ගහේ හැදෙන ගෙඩි' වලින් කියලා. එහෙම තමයි අන්තිමට පොලොස් මාලුවත් බේරගෙන එලියට ආවෙ. හවස 3.15ට ගොඩ බැහැපු මට එයාර්පෝර්ට් එකෙන් එලියට එන්න පුළුවන් වුණේ හවස 5.15ට විතර.
මං එයාර්පෝර්ට් එකෙන් එලියට ආපු ගමන්

ඇමරිකාවෙ දැන් මං නතරවෙලා ඉන්න ගෙදර අංකලුයි ආන්ටියි ගොඩක් වෙලා එයාර්පෝර්ට් එකට වෙලා බලාගෙන ඉඳල තියෙනවා මගෙ ප්‍රමාදය නිසා. කොහොමහරි අත්දැකීම් පිරුණු පැය 30ක විතර ගුවන් ගමනකට පස්සෙ ඇමරිකාවට පයගහන්න මට පුළුවන් වුණා. එහෙනම් ඉතින් ලංකාවෙන් යැංකි රටට ආපු ගමන් විස්තරේ කොටල ඉවර කරන්නයි මේ හදන්නෙ. ඊ ලඟට අලුත්ම සෙල්ලිපි සටහනකින් හම්බ වෙමු. එතකල් ආයුබෝවන්...!!!!!!

Monday, November 12, 2012

ලංකාවෙන් යැංකි රටට - ඊලඟ ටික


ඇමරිකා ගමනෙ ඊලඟ ටික තමයි අද කොටන්න හදන්නෙ. ගිය පාර කතාව නතර කලේ අබුඩාබි ගුවන් තො‍ටුපලෙන් ප්ලේන් එකට නැගල හයේ හතරෙ සද්දන්ත මනුස්සයෙක් ලඟින් වාඩිවෙච්ච තැනින් නේ.
අද එතැන ඉඳන් කතන්දරේ....

අබුඩාබි වලින් පිටත් වෙන්න මොහොතකට කලින්...

මට වෙන් කරපු ආසනේ වාඩි වෙලා අසල්වැසි සද්දන්තයා එක්කත් සුහද වචනයක් දෙකක් හුවමාරු කරගත්තට පස්සෙ මම කලේ මගෙ අසල්වැසියා මොන වගේ එකෙක්ද කියල නිරීක්ෂණය කරපු එක. වයස අවුරුදු 50ක් විතර ඇති. පෙනුම නම් පරණ රෙස්ලින් කාරයෙක් ගේ වගේ. ඇඟ පුරාම පච්ච කොටලා. ඔන්න හිටපු ගමන් මේ යෝධයා එහා පැත්තට බෙල්ල හරෝගෙන මහා සද්දෙන් මොනවද කියවන්න ගත්තා. මිනිහ ප්ලේන් එකේ එහා කෙලවරේ ඉන්න තවත් කෙනෙක් එක්ක කතාව. මුලු ප්ලේන් එකටම ඇහෙනව සද්දෙ. වටේ පිටේ ඉන්න අනිත් මිනිස්සුත් බලනවා. ඒත් මූ නෙවේ ගානකටවත් ගත්තේ. බලද්දි මෙයත් එක්ක තව කට්ටිය කීප දෙනෙක්ම ඇවිල්ලා. මිනිහා ඒ හැම එකෙක් එක්කම මහා සද්දෙන් කතාව. හැබැයි මට නම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ. උන් කතා කළේ නිකන් ජර්මන් වගේ බාසාවකින්. මගේ සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියෙත් මගෙ අසල්වැසියගෙ යාලුවෙක්. ඒ යාලුවා ප්ලේන් ඒකෙ යන ගමන් කියවන්න පත්තරයක් අරගෙන ඇවිත්. මෙන්න ඒකා එකපාරටම ඒ පත්තර පි‍ටු වලින් අර සද්දන්තයට ගහන්න පටන් ගත්තා. සද්දන්තයත් තමන්ගෙ පැත්තට එන පත්තර පි‍ටු ටික එකතුකරගෙන අර යාලුවට ගහනවා. පොඩි උන් දෙන්නෙක් වගේ. වටේ ඉන්න අයත් බලාගෙන ඉන්නවා මුන්ගෙ කෝලම් දිහා. කොහොමහරි පත්තර පි‍ටු වලියත් ටිකකින් ඉවර වුණා. ඔය අතරෙදි අරාබි පෙනුමක් තියෙන තරුණ නෝන කෙනෙකුත් ආවා තරමක ලොකු බෑග් එකකුත් එල්ලගෙන. එයා මං හිටපු සීට් පේළිය පහු කලා විතරයි මට එහා පැත්තෙ හිටපු සද්දන්තයා එක පාරටම කැගැහුවා. මාත් බැලුවා ඒ පාර මොකෝ කියලා. බලද්දි අර නෝන එල්ලගෙන හිටපු බෑග් එක අර සද්දන්තයගේ අතේ තිබුණ පරණ තුවාලෙක වැදිලා ඒක පෑරිලා. මිනිහා තුවාලෙත් අල්ලගෙන පොඩි එකෙක් වගේ කෙඳිරි ගානවා. ඒ අස්සෙ අර නෝනා දිහාත් බලනවා. අනේ ඒ වුණාට ඒ නෝනා සිද්ද වෙච්ච කිසිම දෙයක් දන්නෙ නැහැ. එයා ගිහින් මට පිටිපස්සෙන් තිබුණු සීට් එකේ වාඩි වුණා. පව් අර අහිංසක සද්දන්තයත් ටික වෙලාවක් කෙඳිරි ගගා ඉඳලා හෙමින්ම සීට් එකේ ටිකක් ඇලවුණා.

ඔන්න ඔය සිද්ධි අතරේ හරියටම පාන්දර 1.00 ට මං හිටපු KL455 අංකය දරණ ප්ලේන් එක අබුඩාබි ගුවන් තො‍ටුපලෙන් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර බලා පිටත් වුණා. ප්ලේන් එක උඩට නග්ගල ටික වෙලාවක් යද්දි මට හිතුණා පොඩි නින්දක් දැම්මොත් හොඳයි කියලා. මොකද පැය හතක්ම යන්න තියෙනවනේ. ඉතින් මං සීට් එකත් පොඩ්ඩක් ඇල කරගෙන එහෙම චුට්ටක් නිදා ගන්න ලෑස්ති වුණා. මෙන්න එක පාරටම හීනියට ගඳක් එනවා.... මීයෙක් කුණු වුනහම එන ගඳ වගේ. එහා පැත්තෙ ඉන්න එකත් ෂුවර් නැති පොරක් නෙ. මං ෂේප් එකේ උගෙ දිහාත් බැලුවා. ඌටත් ගඳ ඇවිත් වගේ නහයත් පොඩි කරගෙන වටපිට බලනවා. කොහොමහරි අපි දෙන්නටම හිතගන්න බැහැ කොහෙන්ද ගඳ එන්නෙ කියලා. ඒ මදිවට ටික ටික ගඳ වැඩි වෙනවා. දැන්නම් නහය ඇරගෙන ඉන්න ටිකක් අමාරුයිත් වගේ. කොහොමහරි අමාරුවෙන් බෙල්ල හරෝල බැලුවා පිටිපස්සෙ සීට් එක දිහාත්. අහු වුණා වැඩේ..... අර අහිංසක සද්දන්තයගෙ අතේ බෑග් එකත් වද්දගෙන ගිහින් මට පිටිපස්සෙ සීට් එකේ වාඩි වුණු නෝන නෙ මේ මුලු ප්ලේන් එකම ගඳ ගස්සවන්නේ. ඒ ගෑනු මනුස්සයා සපත්තු දෙක ගලෝගෙන මේස් දෙක පිටින් හොඳට කකුල් දෙකත් දිගෑරගෙන සැපට නිදි. මං හිතන්නෙ එයා ඒ මේස් දෙක ගත්තු දවසෙ ඉඳන්ම හෝදල නැද්ද කොහෙද.. දැන් ඉතින් වටේ ඉන්න අනිත් කට්ටිය නිදාගෙන ඉවරයි. කට්ටිය නාස් අකුලගෙන එක එක්කෙනාගෙ මූනු දිහා බලාගන්නවා. ඔන්න ඔය අතරේ ප්ලේන් එකේ A/C එක පොඩ්ඩක් වැඩි වුණා. අර ගන්දස්සාරෙ අස්සෙම කට්ටිය තමන් ළඟ තිබිච්ච බ්ලැන්කට් පොරවගන්නත් පටන් ගත්තා. ඔන්න එක පාරටම අර ගඳ අඩු වේගන ගිහින් නැති වෙලාම ගියා. මං හැරිල බලද්දි හීතල වැඩිකමටද මන්දා අර නෝනා සපත්තු දෙක ආපහු දාගෙන.

'හම්මේ... ඇති යන්තම් දැන්වත් ටිකක් නිදාගන්න පුලුවන්' කියල හිතාගෙන මාත් හරි බරි ගැහිලා නිදාගන්න ලෑස්ති වුණා. ඔන්න එතකොටම ගුවන් සේවිකාවක් එනවා බොන්න ජාති ගොඩක් තියෙන ට්‍රොලියකුත් තල්ලු කරගෙන. මං අරගත්තා orange juice එකක්. අර සද්දන්තයා අර ගත්තා beer එකක්. මං orange juice එක ඉක්මනට බීල පොඩ්ඩක් ඇහැ පියාගත්ත විතරයි මහා සද්දයක් ඇහිලා උඩගිහින් ඇහැරුණා. බලනකොට beer වලට සෙම ඇවිස්සිලද කොහෙද අර මනුස්සයා මහා සද්දෙන් කහිනවා. මං හිතුව ටික වෙලාවකින් හරියයි කියලා, ඒත් නවතින්නෙම නැහැ. මට නිදාගන්නත් නැහැ. මේ යකා කහින ගමනුත් beer එක බොනවා. අන්තිමට ගුවන් සේවිකාවක් ඇවිත් මෙයාට මොකද්ද පොඩි tablet එකක් දුන්නා බොන්න කියලා. ඒක බිව්වට පස්සෙ තමයි එයාගෙ කැස්ස නතර වුණේ. කොහොමහරි මේ වෙනකොට මගෙ නිදිමත ගිහින්. මගෙ විතරක් නෙවෙයි වටේ නිදාගෙන හිටපු ගොඩක් කට්ටියගෙත් නිදිමත ගිහින් අරයගෙ කැස්සෙ සද්දෙට. නිදිමතත් ඇරිල නිසා මං Personal Entertainment System එක දාගත්තා චිත්‍රපටියක්වත් බලන්න හිතාගෙන. චිත්‍රපටි නම් ලිස්ට් එක බැලුවහම Men in Black 3 තියෙනවා. ඉතින් ඒ film එකත් දාගෙන සීට් එකට හේත්තුවකුත් දාගෙන හිටියා. ඔය අතරෙ ප්ලේන් එකේ ලයිට් ඔක්කොම ඩිම් කලා කට්ටියට නිදාගන්න. කොහෙ නිදා ගන්නද.. අර සද්දන්තයා අපි කට්ටියගෙම නිදිමත නැති කලානෙ. හැබැයි දැන් ඌට නිදිමත හැදිලා. මිනිහා සීට් එකත් හොඳටම ඇල කරගෙන බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න ලෑස්තිය. හැබැයි මිනිහට පොඩි ප්‍රශ්නයක්, ඌට කකුල් දෙක දිගෑරගන්න ඉඩ නැහැ. දැන් මේ මිනිහට මල පැනලා උගෙ බාසාවෙන් බැනගෙන බැනගෙන යනවා. මට නම් මෙලෝහසරක් තෙරෙන්නෙ නැහැ. මං හිතන්නෙ ප්ලේන් එක හදපු එකාගෙ අම්මව එහෙමත් හොඳට මතක් කරන්න ඇති. ඌ මගෙ මූණ දිහා බලාගෙනත් බනිනවා, හරියට ප්ලේන් එකේ සීට් හයි කරල තියෙන්නෙ මං වගේ. මට ඌ කියන එක ඇහෙන්නෙ නිකන් "ශක්ෂ් පුෂ් බක්ස් ඉෂ්ටෝර්...." කියනව වගේ. ඌ දෙතුන් පාරක් ම මා දිහා බලාගෙන ඒ හරුපෙ කිව්වා. ඌ ඒක කියවන හැටි අහගෙන ඉන්න එකත් හෙන ආතල්. මාත් ඉතින් මොකක් හරි කියන්න එපැයි. ඒ පාර මං හොඳ හිනාවක් එහෙම දාල බොහෝම හෙමින් පැහැදිලි සිංහලෙන්ම කිව්ව "අනේ උඹ මොන මගුලක් කියවනවද කියල මට තේරෙන්නෙ නැහැ බං.." කියල. ඔන්න ඔය සිංහලේ ඇහුණ විතරයි අපරාදෙ කියන්න බැහැ මිනිහ නිකං මඤ්ඤං වෙලා ගියා විතරක් නෙවෙයි අර අම්ම මෝ නැතුව කියවන එකත් නතර කලා. ඊට පස්සෙ මිනිහ කළේ උගෙ අර තඩි කකුල් දෙක එලියට දාපු එක. දැන් ප්ලේන් එක ඇතුලෙ ඇවිදින්න තියෙන පාර එහෙම්පිටින්ම බ්ලොක් වෙලා මුගෙ කකුල් දෙක හින්දා. එතකොට ගුවන් සේවිකාවකුත් ආවා ප්ලේන් එකේ පිටිපස්සට යන්න. දැන් එයාටත් යන්න විදිහක් නැහැ පාර බ්ලොක් වෙලානේ. ඉතින් එයා අර මනුස්සයට කිව්වා කකුල් දෙක ඇතුලට ගන්න කියලා. අම්මට සිරි... සුද්ද ආයෙත් පරල වුණා. මිනිහ ආයෙත් කියෝගෙන කියෝගෙන යන්න පටන් ගත්තා. අන්තිමට ඔය කියවිල්ල නතර වුණේ අර අසරණ ගුවන් සේවිකාව අර මනුස්සයගෙ කකුල් දෙක උඩින් පැනල යන්න ගියාට පස්සෙයි.
ගුවන් ගමන් මාර්ගය

යානයේ වේගය, ගමනාන්තයට දුර, භූමියේ සිට උස සහ පිටත උෂ්ණත්වය

ඔහොම පැයක් විතර ගියාට පස්සෙ මිනිහ ආපහු කකුල් දෙක ඇතුලට ගත්තා. එතකොට තමයි මිනිහ දැක්කෙ මං Personal Entertainment System එක දාගෙන ඉන්නවා. ඒ පාර මිනිහටත් ඕනෙ වුණා එයාගෙ system එක දාගන්න. ඉතින් එයා remote controller එක එහෙම අතට අරගෙන ලෑස්ති වෙනවත් මං බලාගෙන. මේ ප්ලේන් එකේ තිබුණෙ ටිකක් පරණ Entertainment System එකක්. ඉතින් ටිකක් හෙමින් වැඩ කරන්නෙ. button එකක් එබුවහම ටික වෙලාවක් යනවා ඒ අදාල වැඩේ වෙන්න. හැබැයි අර සද්දන්තයටනම් කිසිම ඉවසිල්ලක් නැහැ. මිනිහ කරන්නේ එක button එකක් ඔබල ඒ එක්කම තව එකක් ඔබන එක. ඉතින් ඔන්න ඔය වැඩේ හින්ද මිනිහගෙ system එක වැඩ කරන්නෙ නැහැ. මිනිහ නිකන් key board එකේ type කරනවා වාගෙ තියෙන ඔක්කොම ඔබාගෙන ඔබාගෙන යනවා. ඔය remote controller එකේ button එකක් තියෙනවා තමන්ගෙ සීට් එකට ඉහලින් තියෙන ලයිට් එක on කරන්න. කොහොමහරි අර තියෙන buttons ඔක්කොම ඔබාගෙන ගිහින් අර මනුස්සය කරගත්තෙ system එක දාගත්තු එක නෙවෙයි. අර ලයිට් එක පත්තු කරගත්තු එක. දැන් මිනිහට ඒක නිවාගන්න බැහැ. තියෙන buttons ඔක්කොම ඔබගෙන ගියා ආපහු පාරක්, හරියන්නෙ නැහැ. මිනිහට ආයෙත් පාරක් මල පැන්නා. ඩෝං ගාල ගැහුවා remote controller එක සීට් එකේ ඇන්දෙ... තව දෙපාරක් ඔය විදිහට ගැහුවනම් අනිවා remote controller එක කුඩු වෙනවා. ඊට කලින් මං මිනිහගෙන් ඒක අරගෙන ලයිට් එක off කරල දුන්නා. මිනිහ මට thank you කියල එහෙම අනිත් පැත්ත හැරිල ආයෙත් නිදාගත්තා. මාත් ආපහු film එක බලන්න පටන් ගත්තා. film එක බලන අතරෙදි ගමන් මහන්සිය හින්දම පොඩ්ඩක් ඇහැ පියවේගන එනකොටම ඔන්න ආයෙත් අර මනුස්සය beer එක බීල කහින්න පටන් ගත්තා. ඉතින් අන්තිමට නෙදර්ලන්තෙට එනකල්ම මට නිදාගන්න බැරි වුනානෙ මේ සද්දන්තයගෙ කැස්ස නිසා. මොනව කරන්නද... මාත් ප්ලේන් එකේදි දෙන තරමක් කෑම බීම කකා බිබී ඇහැරගෙනම ආවා. කොහොමගරි නෙදර්ලන්තෙට එනකලුත් මට හරිහමන් නින්දක් නැහැ.
ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තො‍ටුපල

ඔන්න ඔහොම පැය 7ක් තිස්සෙ ගිහින් ගිහින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් නුවර ෂිපොල් ගුවන් තො‍ටුපලට ගොඩබැස්සා. මෙතනින් තමයි ඇමරිකාවට යන ප්ලේන් එකට නගින්නෙ. ඉතින් මේ ගමන් විස්තරේ අන්තිම ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්.....!!!

Saturday, November 3, 2012

ලංකාවෙන් යැංකි රටට - ඉතුරු ටික


මගේ ඇමරිකන් ගමනෙ මුල් කොටස ඔයාල මේ වෙනකොට කියවල ඉවර ඇතිනේ. අද කොටන්නේ අබුඩාබි වල ඉඳන් ගමනේ ඉතුරු කොටසෙ විස්තර. කලින් සෙල්ලිපිය කියවන්න මෙතනින්.
ගියපාර මම කතාව ඉවර කලේ රෑ 10 ට අබුඩාබි වලින් ගොඩ බැහැපු තැනින් නේ. ප්ලේන් එකෙන් එලියට බහිනකොට එලියෙ බස් එකක් නතර කරලා තිබුණා අපිව හුවන් තො‍ටුපොළ ඇතුලට එක්කගෙන යන්න. ඔය බස් එකට නැගපු වෙලේ ඉඳන්ම මම කළේ බෙල්ලෙ එල්ලගෙන හිටපු කැමරාවෙන් වටේම පින්තූර ගහපු එක. කොච්චර ෆොටෝ ගැහුවත් මං ආපු ප්ලේන් එකෙ ෆොටෝ එකක් ගත්තෙ නැත්නම් ඉතින් වැඩක් නැහැනෙ. ඉතින් බස් එකත් තාම පිටත් වුණේ නැති නිසා ප්ලේන් එකේ ෆොටෝ එකකුත් ගැහුවා (ඒ පින්තූරෙ කලින් සෙල්ලිපි සටහනේ දාල තියෙනවා). මෙන්න යකෝ එක පාරටම කොහෙන්ද මන්දා ඉඳල ආපු එකෙක් මගෙ කැමරාව අල්ල ගත්තා. මාත් බැලුවා මොකාද මේ මගෙ කැමරාව අදින්නෙ කියලා. බලද්දි මෙහෙ ආරක්ෂක නිලධාරියෙක්. මිනිහ මගෙ කැමරාවත් අතින් අල්ලගෙන කියනවා ෆොටෝ ගන්න එක තහනම් කියලා. තවත් මොනවදෝ හෑල්ලක් කියෝගෙන ගියා. මම හිතුව ෂුවර් එකටම මේ යකා ෆොටෝ ටික මකන්න කියල කියයි කියල. ඒ වුණාට එයාපෝර්ට් එක ඇතුලට යනකල්ම කැමරාව switch off කරල තියාගන්න පොරොන්දුව පිට යන්තම් කැමරාවයි ෆොටෝ ටිකයි බේරගෙන එන්න පුළුවන් වුණා. ඔන්න ඔහොම තමයි අබුඩාබි එයාපෝර්ට් එක ඇතුලට ආවේ.
අබුඩාබි වලින් මම තවත් ප්ලේන් එකකට මාරු වෙන්න ඕනෑ. ඒ තමයි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් බලා යන KLM ගුවන් සේවයට අයිති KL455 අංකය දරණ යානය. ප්ලේන් එක පිටත් වෙන්නේ පාන්දර 1.00 ට. ඒ වෙනකල් පැය 3ක් තියෙනවා. ඒ අතරෙදි boarding pass එක අරගන්න transfer counter එකට යන්නත් ඕනෙ. මුලින්ම ඒ වැඩේ කරගන්න හිතාගෙන, මං එයාපෝර්ට් එකට ඇතුළු වුණ තැනම හිටපු නිලධාරියෙක්ගෙන් ඇහුවා transfer counter එක තියෙන තැන. බැලුවහම ඒක තියෙන්නෙ හෙන ඩොටේ. පස්සෙ ඒ නිලධාරියා කියපු මග සලකුණුත් බලාගෙනම ගියා එක කවුන්ටරයක් ළඟට. එතනට ගිහින් පාස්පෝර්ට් එකයි ටිකට් එකයි දුන්න ඒකෙ හිටිය ලස්සන ගෑනු ළමයට. එයා මගෙ ටිකට් එක බලල කියනවා මම ඇවිල්ල තියෙන්නෙ වැරදි කවුන්ටරේට. එහා පැත්තෙ එකට යන්න කියලා. මං ඉතින් එයාට පොඩි හිනාවකිනුත් සංග්‍රහ කරල එහෙම ගියා ඊලඟ කවුන්ටරේට. එතන හිටියෙ බොහොම මිත්‍රශීලී ඉන්දියන් ජාතිකයෙක්. එයා බොහොම සුහදව අවශ්‍ය කටයුතු ටික එහෙම කරලා මට කිව්වා තව පැයකින් ඇවිත් boarding pass එක අරගන්න කියලා.
අබුඩාබි ගුවන් තො‍ටුපළ ඇතුලෙ තියෙනවා බොහොම ලස්සන යෝධ බිම්මලක් වගේ නිර්මාණයක්. ඒකෙ ෆොටෝ එකක් ගන්න හිතුණත් එක පාරටම මතක් වුණේ අර ප්ලේන් එකේ ෆොටෝ එක ගන්න ගිහින් වෙච්ච කරදරේ. ඒක නිසා කෝකටත් කියල මං ළඟ හිටපු ආරක්ෂක නිලධාරියෙක්ගෙන් ඇහුවා ඇතුළේ ෆොටෝ ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියල. අපරාදෙ කියන්න බැහැ එයා කිව්වා කැමති තරමක් ගහගන්න කියලා. ඒ පාර ඉතින් මං කලේ වටේම ෆොටෝ ගහපු එක. ඔය අතරෙදි Facebook ගිහින් ගෙදර අයත් එක්ක චැට් එකකුත් දැම්මා. මේ එයාපෝර්ට් එකේ computers තියල තියෙනවා ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න . ඒක නම් හරිම පහසුවක්. ආ... කියන්න ඕනෙ, අපේ ලංකාවෙ එයාපෝර්ට් එකෙත් මේ පහසුකම තියෙනවා.
යෝධ බිම්මල

අන්තර්ජාල පහසුකම සහිත පරිගණක
ගුවන් තො‍ටුපල තුල

ඉතින් වටේ කැරකි කැරකි ෆොටෝ ගහල ඉවර වුණාට පස්සෙ ළඟ තිබුණ පු‍ටුවකින් වාඩි වුණා මහන්සිය අඩු වෙන්නත් එක්ක. පු‍ටුවෙ වාඩි වුණා විතරයි ආවනෙ පොඩි නිදිමතක්. මට ප්ලේන් එකේ එන අතරමගදි නිදාගන්න ලැබුනෙත් නැහැනෙ. ඒ පාර පැයකින් වදින විදිහට එලාම් එකත් තියාගෙන පොඩි නින්දක් දැම්මා.
ඔහොම නිදාගෙන ඉන්නකොට වටේ පිටේ සද්ද වලටම ද මන්දා පොඩ්ඩක් අතරමගදි ඇහැරුණා. නිදි මරගාතෙම බැලුවා වෙලාව, අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවෙන්. "අම්මට සිරි, මර සීන් එක. දැන් මොකද කරන්නෙ..???" ඕක තමයි වෙලාව දැක්කහම මට මුලින්ම හිතිච්ච දේ. වෙලාව 12.40 යි. ෆ්ලයි එක පාන්දර 1.00ට තාම boarding pass එක අරගෙනත් නැහැ. නිදිමත කොහෙන් ගියාද නෑ. දඩිබිඩි ගාල නැගිටල ගලවල පැත්තකින් තියල තිබුණු බෑග් එකත් කරේ එල්ල ගත්තා. ඉස්සරහ පැත්තෙ පු‍ටුවෙ හිටපු එකත් නිකන් පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නව, මූට මොකෝ එක පාරටම වුණේ කියලා. ටිකකින් තමයි මීටරේ වැඩ කරන්න ගත්තෙ. හපොයි, අත් ඔරලෝසුවෙ තියෙන්නෙ ලංකාවෙ වෙලාවනෙ. ෆෝන් එකේ වෙලාව බැලුවා. තාම 11.10 යි. අම්මේ... ඒ වෙලාවෙ හිතට දැනුණු සනීපෙ. ඉතින් ආයෙත් පාරක් බෑග් එක ගලවල පැත්තකින් තියල ෂේප් එකේ පු‍ටුවෙන් වාඩි වෙලා හිටියා 11.30 විතර වෙනකල්. ඉස්සරහ පු‍ටුවෙ ඉන්න එකාත් දැන් සැරෙන් සැරේ මගෙ දිහා පුදුමෙන් වගේ බලනවා. ඌට තේරෙන්නෙ නැති වෙන්න මං උගෙ ෆොටෝ එකකුත් ගත්තා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක.


 11.30ට විතර මං ගියා boarding pass එක අරගන්න. ඔන්න ඉතින් මට කලින් ගිය කවුන්ටරේ මතක නැහැ. කවුන්ටර වල ඉන්නෙත් අලුත් අය. ටිකක් වෙලා බලන් ඉඳල ගිය එක කවුන්ටරයක් ලඟට. ගිහින් දික් කලා පාස්පොර්ට් එකයි ටිකට් එකයි. කවුන්ටරේ හිටපු ගෑනු ලමයා ඒවා අරගෙන ටිකක් එහායින් හිටපු කෙනෙකුට දුන්නා. බලද්දි ඒ තමයි අර මට මුලින් 'කවුන්ටරේ වැරදියි' කියල කියපු ගෑනු ලමයා. අයියෝ, මං ආයෙත් ඇවිත් තියෙන්නෙ වැරදි කවුන්ටරේට නෙ. දැන් මොනව කරන්නද.., අර ගෑණු ළමය හෙන නෝණ්ඩි හිනාවක් එහෙම දාගෙන මගෙ ළඟට ඇවිල්ල කිව්වා "සර්, ඔයා ඉන්නෙ වැරදි කවුන්ටරේ, එහා එකට යන්න" කියලා. පැයක් ඇතුළත දෙපාරක්ම කවුන්ටරේ වරද්ද ගත්තු නිසා ඒ ළමය හිතන්න ඇති මට තදබල අමතක වීමේ ලෙඩක් තියෙනව ඇති කියල. මාත් ඉතින් ආයෙත් පාරක් ඒ ලමයට පොඩි හිනාවක් එහෙම දාල එහා පැත්තෙ කවුන්ටරේට ගිහින් boarding pass එක අරගත්තා.
ඊට පස්සෙ ප්ලේන් එකට නගිනකම් කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නැහැ. 12.30ට විතර ප්ලේන් එකට නැග්ගා. මට හම්බ වුණේ දකුණු පැත්තෙ ජනේලයක් අයිනෙ තිබුණු 31J අංකය දරණ සීට් එක. මේ ප්ලේන් එකේ හිටපු ගුවන් සේවිකාවො ගැනත් කියන්න ඕනෙ. කට්ටියව දැක්කහම මට හිතුනෙ KLM එකේ ගුවන් සේවිකාවක් වෙන්න තියෙන්න ඕනෙ අවම සුදුසුකම වයස අවුරුදු 45 ට වඩා වැඩි වෙන එක කියලා. ප්‍රධාන ගුවන් සේවිකාව විදිහට වැඩ කරපු නෝනට නම් 60ක් වත් වෙන්න ඇති.
ගුවන් සේවිකාවක් 
යානය තුල

ඔය වයසක නෝනලාගෙ පිළිගැනීම මැද්දෙන් මං මගේ සීට් එකට යනකොට මගෙ අසල්වැසියා ඒ වෙනකොටත් වාඩි වෙලා. මිනිහ හයේ හතරෙ හෙන සද්දන්ත පොරක්. මිනිහ වාඩි වෙලා ඉන්නකොට මට මගෙ සීට් එකට යන්න ඉඩ නැති නිසා, මං එනකොටම පොර නැගිටල මට වාඩි වෙන්න ඉඩ දුන්නා. මේ සද්දන්තය ගැනත් විස්තර ටිකක් කියන්න තියෙනවා. ඒ විස්තර ටිකත් එක්කම ගමනෙ ඉතුරු ටික ඊලඟ සෙල්ලිපියෙ කොටන්නම්. එහෙනම් ඉතින් එතකල් ආයුබෝවන්.... ගිහින් එන්නම්.

Sunday, October 28, 2012

ලංකාවෙන් යැංකි රටට...

මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ සෙල්ලිපිය කොටන්නෙත් එහෙ ඉඳගෙනම තමයි. දැන් ඉතින් තව ටික කාලයක් යනකල් මගෙ නවාතැන වෙන්නෙත් ඇමරිකාවම තමා.

ඔක්තෝබර් මාසෙ විසි වෙනිදා හවස 6.45ට තමයි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඉතින් හවස 4.30 විතර වෙනකොට ක‍ටුනායක ගුවන් තො‍ටුපලට ආවා. අම්මයි තාත්තයි ආච්චියි මාමයි මාමගෙ පොඩි එකයි කට්ටියම ආවා මාව ඇරලවන්න. ඉතින් ඔය කට්ටියගෙන්ම සමු අරගෙන එහෙම ගුවන් තො‍ටුපොල ඇතුලට ගිහින් බෑග් වල බර කිරනකොට තමයි මුල්ම ඇබැද්දිය සිද්ධ වුණේ. මට එක බෑග් එකක කිලෝ 23 ගානෙ බෑග් දෙකක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ගෙදරදි බර කිරනකොටනම් කිලෝ 46කට වඩා පොඩ්ඩක් අඩුවෙනුත් වගේ තිබුණේ. ඒ වුනාට එතනදි බලනකොට එක බෑග් එකක කිලෝ 2ක් වැඩියි. ඒ පාර බර කිරපු අක්ක කිව්වා බර වැඩි එකේ තියෙන ඒවයින් ටිකක් අනිත් බෑග් එකට දාන්න කියලා. ඉතින් හොඳට ඉබ්බො දාල එහෙම තිබුණු තඩි බෑග් දෙකේ ඉබ්බො ගලෝල අර අක්ක කියපු විදිහට කරල ආයෙත් ඉබ්බො දාල එහෙම බර කිරුවහම  මෙන්න අර බර අඩුවෙන් තිබිච්ච බෑග් එකේ බර ඒ පාර ඕනෑවට වඩා වැඩි වෙලා. ඒ පාර අර අක්ක  ආයෙත් පාරක් හොඳ හිනාවක් හෙම දාල එහෙම කියනවා මේ බෑග් එකේ බර වැඩියි ටිකක් අඩු කරන්න කියලා. මොනව කරන්නද ඉතින්, ආයෙත් පාරක් ඉබ්බො ගලවලා ඒ බෑග් එකේ තිබුණු දේවල් ටිකක් දා ගත්ත කරේ එල්ලගෙන හිටපු බෑග් එකට. ඒ බෑග් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තිබුණෙ කිලෝ හතයි. අන්තිමට මං හිතන්නෙ ඒකෙ කිලෝ දහයක විතර බර තිබුණා. කරේ ගෙනියපු බෑග් එකෙත් බර කිරුවනම් එහෙම ෂුවර් එකටම මට මොනවහරි ලංකාවෙ දාල තමයි එන්න වෙන්නෙ. ඒත් හොඳ වෙලාවට ඒකෙ බර කිරුවෙ නැති නිසා ප්‍රශ්නයක් නැතුව ඔක්කොම බඩු අරගෙන එන්න පුලුවන් වුණා. ඇත්තම කියනවනම් ඔය බර ප්‍රශ්නෙ ආවෙත් මගෙ වැ‍රැද්දක් හින්දම තමයි. ගිය මාසෙ BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනෙන් මං ගත්තනෙ ලොරියක් පිරෙන්නම පොත්, රට යන්න තියෙන බව දැන දැනම. ඔන්න ඔය පොත් ටිකම අරගෙන තමයි මම මෙහේ ආවෙ. ඒ ටිකට විතරක් කිලෝ 11ක් වෙන් කරන්න වුණා.
දහ වෙනි ගේට්‍ටුව
කොහොමින් කොහොම හරි ඔය බර ප්‍රශ්නෙත් විසඳගෙන ප්ලේන් එකට නගින්න දහ වෙනි ගේට්‍ටුවට ආවා.
එතනදි ඉතින් අපේ අතේ පයේ තියෙන ඔක්කොම වගේ ගලවල කරල අර ස්කෑන් කරන යන්තරේ හරහ යවන්න ඕනැනේ. සපත්තු දෙකයි කලිසමේ බෙල්ට් එකයි ත් ගලවන්න ඕනෙ. ඔය අල්ල පනල්ලෙ ඔතන හිටපු පලවෙනිම පාරටද කොහෙද රට යන දෙමළ කොල්ලෙකුට බෙල්ට් එක ගලවන්න කියල කියපු එක හරියට තේරිලා නැතුව කලිසම ගලවන්න ගිහින් කට්ටියටම හොඳට හිනා වෙන්නත් අවස්ථාවක් හම්බ වුණා. ඊට පස්සෙ තමයි මට ඊළඟ ඇබැද්දිය සිද්ද වුණේ. ප්ලේන් එකට නගින්න කලින් පාස්පොට් එකයි බෝඩින් පාස් එකයි එතන හිටපු  නිලධාරියට පෙන්නුවට පස්සෙ එයා මට කිව්ව පොඩ්ඩක් අයිනකට වෙන්න කියලා. එහෙම කියල අනිත් අයව ප්ලේන් එකට යවන ගමන් මගෙ පාස්පොට් එක දුන්න තවත් නිලධාරියෙකුට. එය මගෙ වීසා එක පරීක්ෂා කරනවා දශමෙන් දශමෙට. මමත් ඉතින් දැන් ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න ගිහිල්ල මාට්‍ටු වෙච්ච එකෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ අස්සෙ අර මනුස්සයා magnifying glass එකක් ඇහැට හයි කරගෙන ඒකෙනුත් වීසා එක චෙක් කරනවා.ඒ අස්සෙ තවත් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න වැලයි. යන්නෙ කොහෙද? මොකටද යන්නෙ? මොන රටවල් හරහද යන්නෙ? ලංකාවෙ කරපු රස්සාව මොකද්ද?..... ඔන්න ඔයවගේ ප්‍රශ්න ගොඩක් අහලා අන්තිමට පාස්පෝට් එක අතට දීලා "හරි සර්, ප්‍රශ්නයක් නැහැ, ඇතුලට යන්න" කියල මාවත් යැව්වා. මතක විදිහට මම ද කොහෙද අන්තිමටම ප්ලේන් එකට නැග්ගෙ.

මෙන්න මං ආපු ප්ලේන් එක (අබුඩාබි වලදි ගත්තු photo එකක්)
ඉතින් හවස 6.30ට විතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති UL 207 යානයේ වම් පැත්තෙ ජනේලයක් අයිනෙම තිබුණු 24A අංකය දරණ සීට් එකේ වාඩි වෙන්න මට පුළුවන් වුණා. හරියටම වෙලාවට ප්ලේන් එක අබුඩාබි ගුවන් තො‍ටුපළ බලා ගුවන්ගත වුණා. රෑ වෙලා නිසා උඩට යනකොට ලංකාව හරිම ලස්සනට පෙනුණා. පැය හතරකුත් විනාඩි හතලිස්පහක ගමනක් නිසා රෑ කෑමට හොඳ රසට ෆ්‍රයිඩ් රයිස් එකකුත් හම්බ වුණා. ප්ලේන් එක ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය උඩින් වගේම ඕමාන් උඩින් යද්දිත් පල්ලෙහ විදුලි ආලෝකය බොහොම ලස්සනට පෙනුණා. ඉතින් රෑ කෑම එහෙම සප්පායම් වුනාට පස්සෙ ටිකක් නිදාගන්න තමයි හිතුවෙ. හැබැයි මට එහා පැත්තෙ සීට් එකේ හිටිය කළු මහත දෙමළ මහත්තයා කලින්ම නිදාගෙන. අපරාදෙ කියන්න බැහැ, වටේටම ඇහෙන්න ගොරවනවා. සැරෙන් සැරේ එයාගෙ සද්දන්ත අතකුත් මගෙ සීට් එක පැත්තට ඇල වෙනවා. කොහොමහරි එයාට පින් සිද්ද වෙන්න මං අබුඩාබි වලට එනකල්ම හොඳට ඇහැරගෙන ආවා.
අබුඩාබි නගරය අහසට පෙනුණු හැටි
අබුඩාබි වල වෙලාවෙන් රෑ 10 ට තමයි මං එහෙට ගොඩ බැස්සෙ. එතන ඉඳන් සිද්ද වෙච්ච දේවල් ටික ඊලඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්....

Saturday, September 15, 2012

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ විහිලුවක්


ඔන්න දූවිලි එහෙම පිහදාල ආයෙත් සෙල්ලිපිය කොටන්න පටන් ගන්නයි හදන්නෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙන් පස්සෙ අද තමයි වෙලාවක් හම්බ වුණේ මේ වැඩේට. කොටනව කොටනව කියල හිතාගෙන හිටියට රස්සාවෙ තියෙන කාර්යබහුලත්වයත් එක්ක බ්ලොගේ පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නැතුව තමයි හිටියෙ. කමක් නැහැ එහෙනම් ආයෙත් ජනකතාවකින්ම සෙල්ලිපිය කොටන වැඩේ පටන් ගම්මුකෝ. මේ කතාවත් කුංකුණාවෙ හාමුදුරුවන්ගෙම කතාවක් තමයි.

ඔන්න ඉස්සර සත්කෝරලේ තිබුණු පිටිසර ගම්බද පන්සලක වැඩවාසය කරපු භික්ෂූන් වහන්සේ නමකට මහානායක හිමියන්ව බැහැදකින්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ හාමුදුරුවෝ වයසින් වැඩිමහලු වුණත් ඒ වෙනකොටත් උපසම්පදා වෙලා ඉඳල නැහැ, ඒ කියන්නෙ තාමත් සාමණේර නමක්. ඒ වගේම ටිකක් විතර මෝඩ පහේ හාමුදුරු නමක් ලු. කුංකුණාවෙ හාමුදුරුවොත් සත්කෝරලේ හාමුදුරු කෙනෙක් වෙච්චි නිසා අර සාමණේර නම හිතුවලු කුංකුණාවෙ හාමුදුරුවන්ට කිව්වොත් මහානායක හිමියන්ව බැහැ දකින කාරණේ ඉෂ්ට සිද්ධ කරගන්න පුලුවන් වේ කියලා. ඉතින් මෙහෙම හිතලා මේ සාමණේර නම තෑගිභෝහ එහෙමත් අරගෙන කුංකුණාවෙ හාමුදුරුවො ලඟට ඇවිත් කාරණේ කිව්වලු. කුංකුණාවෙ හාමුදුරුවන්ටත් තේරිලා තියෙනවා මේ සාමණේර නම ටිකක් විතර මෝඩ පහේ කෙනෙක් කියලා. ඉතින් කුංකුණාවෙ හාමුදුරුවො හිතුවලු පොඩි ව්කවට කමක් කරන්න. ඊට පස්සෙ මේ දෙනම අතරෙ කතන්දරේ යන්නෙ මෙන්න මේ විදිහට...

කුංකුණාවෙ හාමුදුරුවෝ: සාමණේර තැන මීට කලින් මහානායක උන්නාන්සෙව බැහැදැකල නැහැ නොවෙද? 

සාමණේර නම: එහෙමයි හාමුදුරුවනේ... 


කුංකුණාවෙ හාමුදුරුවෝ: එහෙනම් තැනේ, මහානායක උන්නාන්සෙව බැහැදකින්න කලින් පිළිපදින්න ඕනෙ කාරණා කටයුතු ගොඩක් තියෙනවා. අවශ්‍ය කරන උපකරණ එහෙමත් හොයගන්න වෙයි. 


සාමණේර නම: අනේ හාමුදුරුවනේ! අවශ්‍ය කරන උපකරණ මං හොයගන්නම්. කියන විදිහකට පිළිපදින්නම්. මට කොහොමහරි මහානායක උන්නාන්සෙව බැහැදකින්න සලස්වල දෙන්න... 


කුංකුණාවෙ හාමුදුරුවෝ: හොඳයි එහෙනම් සාමණේර තැන අඳනකඩ හතකුයි වටාපත් තුනකුයි පට ලේන්සු තුනකුයි තව ලොකු දැහැත් වට්ටි දෙකකුයි සපයගෙන මගේ ආවස ගේ පැත්තට පැමිණෙනව හොඳයි... 


සාමණේර නම: එහෙමයි අපේ හාමුදුරුවනේ..!


ඉතින් මහානායක හාමුදුරුවන්ව බැහැදකින්න ආසාවෙන් හිටපු සාමණේර හාමුදුරුවොත් අර කියපු කළමණා සේරමත් තමුන්ගෙ දායකයොන්ට කියල සපයගෙන කුංකුණාවෙ හාමුදුරුවෝ වැඩ හිටපු ආවස ගෙට පැමිණුනා.

කුංකුණාවෙ හාමුදුරුවෝ: හොඳට මතක තියාගෙන මා කියන විදිහටම කටයුතු කරනව හොඳයි! නැත්නම් මහානායක උන්නාන්සෙටත් කාරක මහා සංඝසභාවටත් අගෞරව වෙයි. සාමණේර තැනට පැහැදිලිද? 

සාමණේර නම: එහෙමයි අපේ හාමදුරුවනේ....!


දැන් තමයි හොඳම හරිය වෙන්නෙ.

මුලින්ම අඳනකඩ හත අතට ගත්තු කුංකුණාවෙ හාමුදුරුවෝ ඒවා තට්‍ටු හතකට හිටින විදිහට අර සාමණේර නමට අන්දවනවා. සිවුර අරගෙන උරහිස් දෙක අතරින් යවලා පපුව මැද කතිරයක් හිටින විදිහටත් සිවුරු කොන් දෙක ඉන දෙපැත්තෙන් විහිදෙන විදිහටත් බඳිනවා. ඊටපස්සෙ අර වටාපත් තුනෙන් දෙකක් හිස දෙපැත්තෙනුත් අනිත් එක හිස ඉස්සරහිනුත් තියෙන විදිහට පට ලේන්සුවකින් හොඳට බඳිනවා. ඊලඟට කරල තියෙන්නෙ ගෙනත් තියෙන දැහැත් වට්ටි දෙක ඉතුරු පට ලේන්සු දෙකෙන් වහල සාමණේර නමගේ අතට දෙන එක.

මේ ඔක්කොම කරල ඉවර වුණාට පස්සෙ කුංකුණාවෙ හාමුදුරුවෝ අර සාමණේර නමත් එක්ක පොහොයගෙයි දොර‍ටුව ළඟට ගිහින් මෙන්න මෙහෙම කියල තියෙනවා.
"තැනේ! අර දකුණු පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ මහානායක හාමුදුරුවො. වම් පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ අනුනායක හාමුදුරුවෝ. ඊට පස්සෙ දෙපැත්තෙ පිළිවෙලින් වැඩ හිඳින්නෙ කාරක සංඝ සභාව. තැනේ දැන් මේ දැහැත් වට්ටි දෙක දෑතට අරගෙන කරකැවි කරකැවි ගිහින් දකුණු අතේ තියෙන දැහැත් වට්ටිය මහානායක හාමුදුරුවො දිහාවටත් වම් අතේ තියෙන දැහැත් වට්ටිය අනුනායක හාමුදුරුවො දිහාවටත් අල්ලගෙන කකුල් දෙක දෙපැත්තට විහිදුවල ඉස්සරහින් තියෙන බුදු පිළිමෙ දිහාව බලාගෙන කෙලින් ඉන්න ඕනෑ..."


මහානායක හිමියන් ප්‍රථම වරට බැහැදකින චිරාගත සම්ප්‍රදාය මේක තමයි කියල හිතපු සාමණේර හාමුදුරුවොත් නැට්‍ටුවෙක් වගේ කරකැවි කරකැවි ගිහින් දැහැත් වට්ටි දෙක දෙපැත්තට කරල අල්ලගෙන කකුල් දෙකත් දෙපැත්තට විහිදුවාගෙන හිටගත්තලු. එකපාරටම සිද්ද වෙච්ච මේ රංගනය දැකපු නායක හාමුදුරුවරු දෙපළටත් අනෙක් හාමුදුරුවරුන්ටත් පහල වෙච්චි සිනහව නතර කරගන්න සෑහෙන වෙලාවක් ගිහින් තියෙනවා..

කොහොමහරි අන්තිමේදි මේ වැඩේ කළේ කවුද කියල එළි වුණාට පස්සෙ කුංකුණාවෙ හාමුදුරුවන්ට සංඝ සභාවෙන් සමාව ඉල්ලන්නත් සිද්ධ වුණා කියලයි කියන්නෙ.