Saturday, June 12, 2010

හෙළයේ සටන් හරඹ - 2

අංගම්පොර ගැන මීට කලින් කොටපු සෙල්ලිපියට හොඳ ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධයෙන් දෙවෙනි සෙල්ලිපියකුත් කොටන්න ඕනෑ කියලා. අංගම්පොර ගැන හොයාගෙන යනකොට පැහැදිලි වෙන ප්‍රධානම කාරණයක් තමයි බොහෝදෙනා චීනඩි හෝ වෙනත් ඉන්දියානු සටන් ක්‍රම සමග අංගම්පොර පටලවාගෙන සිටින බව. එමෙන්ම සමහර ගුරුවරු අංගම්පොර ලෙස හඳුන්වා දෙමින් චීනඩි උගන්වන අවස්ථාත් තියෙනවා. මීට කලකට පෙර අංගම් ගුරුවරයකු ලෙස තමුන්ව හඳුන්වා ගත් එක් පුද්ගලයෙක් වරක් මුද්‍රිත මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තිබුණා චීනඩි කියල කියන්නේ අංගම්පොර වලටමයි කියලා. මේ වගේ ප්‍රකාශ නිසා ජනතාව නොමග යනවා වගේම නියම අංගම්පොර කලාව අභාවයට යාමත් සිදු වෙනවා.


අංගම් සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්‍රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්‍රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්‍ර මන්ත්‍ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්‍රතිවාදියා වෙතට එල්ල කරන ප්‍රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්‍රතිවාදියා ග්‍රහණයට ගෙන සිර කර ගැනීමේ ක්‍රමවේදය යි.


නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්‍රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්‍රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්‍රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්‍රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ පුද්ගලයෙකුට,

*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම


ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්‍රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.



නිල ශාස්ත්‍රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්‍යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්‍ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්‍රබල නිල යි.


z_jur-p-10-11-Taming-2.jpg

8 comments:

  1. ලිපි 2කම බැලුවා . හුඟාක් වටින ලිපි 2ක්.. ඔය සටන් ක්‍රමත් එක්කම හිත දියුනු කරල ඒ මගින් යම් යම් දේවල් කරන විදිත් තියෙනවා කියල මම අහල තියෙනවා... ඒ වයෙ සත්යතාවයක් තියෙද ???

    ReplyDelete
  2. අයියෙ හොඳ බ්ලොග් එකක්.

    feedburner වත් සෙට් කරල දාන්නකො. නැත්නම් අළුතෙන් ලියන ඒව අපිට බලන්න මගඇරෙන්න පුළුවන්.

    ReplyDelete
  3. අපිට මොකටද බන් අලින්ගෙ නිල. :D දාපන්කො මිනිස්සුන්ගෙ නිල. (හැබැයි කොල්ලො මරු නිල අයින් කරල දාපන්, නැත්තම් අපේ උන් උඹව අල්ලල හිරේ දායි, මිනීමැරුම් වලට උපදෙස් දුන්න කියල.)
    එල ලිපි පෙළක් වෙයි, ගුඩ් ලක් කිව්ව.

    ReplyDelete
  4. @ පිස්සා
    පෙරදිග සටන් කලාවන් බොහොමයකම සිත දියුණු කිරීමේ ක්‍රමවේද දකින්න ලැබෙනවා. ඉතින් අංගම්පොර වලත් ඒ ලක්ෂණය දකින්න පුළුවන්. මානසික ශක්තිය දියුණු කිරීම මගින් පෙරදිග සටන් ශිල්පීන් දක්වන විවිධ දස්කම් ඇතුලත් වීඩියෝ දර්ශන යූටියුබ් අඩවියෙනුත් බලාගන්න පුළුවන්.

    @මාධව
    මිනිස්සුන් ගේ නිල ත් දාන්න පුළුවන් සහෝදරයා. හැබැයි අර ඔයා කිව්වා වගේ අන්තිමට මට හිරේ යන්න වෙයිද දන්නේ නැහැ. :) දන්නවද, මිනිස් සිරුරේ නිල 1000 කට වඩා තියෙනවලු.

    ReplyDelete
  5. ආයේ මේ ලිපි පෙල ලියන්න ගත්තු එක හොඳයි . . .මේකත් ගොඩක් හොඳ ලිපියක් . . දිගටම ලියන්න මල්ලී

    ReplyDelete
  6. ඔබගේ සෙල්ලිපිය එක හුස්මට කියෙව්වා..මටත් තියෙනවා ඔබට වගේ ම එක් එක් කාරණා ගැන සියුම් ව සෙවීමේ දරුණු පිස්සුවක්..ඒක මේ දවස්වල ටිකක් අඩු වෙනත් වැඩ නිසා කාලය මඳ වීමයි.ඔබ සඳ ගැන ලියූ සෙල් සටහන් මීට පෙරත් මම කියවලා තියෙනවා. අංගම් පොර ගැනත් ඒ වගේමයි..නමුත් ඒ දෙක ම මේ දැන් අහන්න හම්බ​ වෙච්ච දෙයක් වගේ එක හුස්මට කියෙව්වේ ඔබේ රචනා ​ශෛලියේ ඈති අපූරුව නිසයි..මම නිරන්තරයෙන් ම ඔබේ පස්සෙන් ඉන්නවා..ජය වේවා..!!

    ReplyDelete
  7. @ Indranatha Thenuwara
    බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. ඔබතුමා මගේ සෙල්ලිපියත් සමග නිරතුරුව සිටීම මට ඉතාමත්ම ඉහළ ශක්තියක්.

    ReplyDelete