Sunday, October 2, 2011

අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:1

මේ දවස් ටිකේම මං කල්පනා කර කර හිටියේ සෙල්ලිපියේ මොනවද කොටන්නෙ කියලා. හරි හමන් මාතෘකාවක් නැතුව හිටිය නොවැ. ඉතින් ඔන්න ඔය අතරෙ මට හිතුණා ලංකාවෙ තියෙන පැරණි ජනකතා ටිකක් කොටල දැම්මොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අද ඉඳන් එක කතාව ගානෙ කොටන්න පටන් ගන්නම්කෝ....


බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා මූකලානක් ලු. ඉතින් දවසක් ඔය පැත්තෙ හිටපු කොලු ගැටයෙක් කැත්තකුත් අරගෙන මහ කැලේට රිංගුවලු කූඩයක් වියන්න ඕනෙ කරන වේවැල් ටිකක් කපා ගන්න. හැබැයි වැඩි දුරක් යන්න කලින් මේ කොලුවට මුණ ගැහිල තියෙනව කුලප්පු වෙච්ච වල් අලියෙක්. ඔය කාලෙ ඉතින් කැලේට රිංගන ඕනැම මනුස්සයෙක් අලි මන්තරයක් දෙකක් කටපාඩම් කරගෙන තමයි ඉන්නෙ තමුන්ගෙ ආරක්ෂාවට. හැබැයි මේ කුලප්පු වෙච්ච අලිය ආපු වේගෙට කොලුවට අලි මන්තරත් අමතක වෙලා.


කොලුවත් ඉතින් අලි මන්තරේ මතක් කිරිල්ල පැත්තකට දාල කකුල් දෙකට වැඳ වැඳ දුවන්න පටන් ගත්තා. අලියත් කැලේ පෙරලගෙන කොල්ලගෙ පස්සෙන් පන්නනවා. ඔහොම දුවගෙන යනකොට කොල්ල දැක්ක තරමක ලොකු ගල් පර්වතයක්. අලියගෙන් බේරෙන්න ඔන්න ඔය ගල උඩටවත් නගින්න ඕනැ කියල හිතපු කොලුවා ගලට අත තිබ්බ විතරයි මෙන්න අර වල් අලිය ආපහු හැරිල දුවන්න පටන් ගත්තා.


අලිය ගියාට මොකද හිතේ බයටම කොල්ල ගල මුදුනටම නැගල පොඩ්ඩක් වාඩි වෙලා ගිමන් අරිනකොට මෙයා දකිනවා කොටියෙක් මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්‍ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර හිටපු කොල්ලා වෙවැල කැපිල්ල පැත්තකට දාල ආපහු ගමට යන්න පිටත් වුණා. ඔහොම එනකොට මෙයාට හම්බ වුණා මේ ගල අසල ජීවත් වෙන තාපසයෙක්. කොල්ලත් ඉතින් සිද්ධ වුණු හැමදෙයක්ම මේ තාපසතුමාට කිව්වා. තාපසයත් කිව්වා "ඔව් ඔව් පැංචෝ මේ ගලේ ඔහොම බලයක් තියෙනවා... මේක ජය භූමියක්" කියලා.


ඔන්න ඔය දවස් වල තමයි ගම්පොල වික්‍රමබාහු රජ්ජුරුවෝ අලුත් නුවරක් හදන්න ජය භූමියක් හොය හොය ඉඳල තියෙන්නෙ. ඔය ආරංචිය කනට වැ‍ටුණු අර කොලුවා එයා දැකපු ජය භූමිය ගැන රජ්ජුරුවන්ට කියල තියෙනවා. ඉතින් රජ්ජුරුවො ඔය කියන තැනට ගිහිල්ල බලනකොට දැක්කලු එතන තිබුණු පොකුණක කිරි ඉබ්බෙකුත් ඉන්නවා. ඒකත් බොහොම සුබ ලකුණක් විදිහට තමයි ඒ කාලෙ සලකලා තියෙන්නේ. ඉතින් රජ්ජුරුවො අන්තිමේදි මේ ජය භූමියෙ අලුත් නුවර ගොඩනගල තියෙනවා.


මේ ගල ආශ්‍රිතව ජීවත් වුණු අර තාපසතුමාගෙ නම තමයි සෙංඛණ්ඩ කියල කියන්නෙ. ඉතින් එතුමට ගෞරවයක් පිණිස මේ නුවර සෙංඛණ්ඩගල නුවර විදිහට නම් කරලා පසුකාලීනව සෙංකඩගල නුවර බවට පරිවර්තනය වුණා කියල තමයි කියන්නෙ.


සෙංකඩගල නුවරට නම හැදුනු හැටි ගැන තවත් කතාවක් තියෙනවා. ඒ කතාව ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්.

9 comments:

  1. ඒ කියන්නේ නුවර කියලා කියන්නේ ජය භූමියක්.
    බොහොම ස්තුතියි මේ කතා ටික පෝස්ට් කලාට. සෙංඛණ්ඩ කියන භාහ්මනයා හන්දා නම හැදුනා කියලා විතරයි දන්නේ. මේ කතාව දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
  2. නියමයි... අනිත් කතාවත් දාන්න....

    ReplyDelete
  3. ඔව ඔව අපේ ගම බොලව්.. තව ලස්සන කතාවක් තියෙනෙව ඇහැලේපොල කුමාරි හාමි ගැන.. වඩුවෝ උබ පුලුවන්නම් එඅකත් හොයා ගනින්...

    ජය..

    ReplyDelete
  4. ලොකු දෙයක් මේ වගේ අතීත සිද්ධි පළකරලා දැනුවත් කරන එක ....තව තවත් ලියන්න .....

    ReplyDelete
  5. අතීතය මතක් කර දුන්නට ස්තුතියි !!!

    ReplyDelete
  6. හොදයි හොදයි..ඇති යන්තම ඔයාට ලියන්න මාතෘකාවක් මතක් වුනා...:))))

    ReplyDelete
  7. මම ඔය කතාව අහල තියෙනව, නමුත් බමුණගෙ කතාව මතකයක් නෑ.

    ඒක නෙමෙයි, ඇයි බන් අර මට ඒ දවස් වල කිව්වෙ ලියනව ක්ඉයල දේවල් ටිකක්. මගෙ ලඟ තියෙන පොත් එහෙමත් මම දෙන්නම් කීවෙ. ඒව ලියන්නෙ නැතෙයි??

    ReplyDelete
  8. හොඳ එකතුවක් වේවි... අන්තර්ජාලයෙන් අපේ කථා කියවන්න පටන් ගන්න ඊලඟ පරපුරට... ජය මල්ලී..!!

    ReplyDelete
  9. බොහොම ස්තුතියි හැමෝගෙම දිරිගැන්වීම් වලට සහ අදහස් වලට. ඉතුරු ටිකත් ඉක්මනටම කොටන්නම්.

    @මාධව
    ඒවා ගැනත් ලියමුකො ඉස්සරහට

    ReplyDelete