Monday, July 26, 2010
ගුරුතුමනි, ඔබට කෙසේ නම් සමු දෙන්නද...?
'තම තම නැණ පමණින්' බ්ලොගයේ කතෘ වන කුමුදු ලාල් පින්තු මහතා අප අතරින් වියෝ වී ඇති බව මීට සුළු මොහොතකට පෙර 'දුමී ගේ කට කහන කතා' බ්ලොගයෙන් දැන ගතිමි.
කුමුදු මහතාණෙනි... මා කිසි දිනෙක ඔබව සියැසින් දැක නැත. නමුත් ඔබතුමන් ගේ ලිපි හරහා මනසින් ඔබව දුටුවෙමි. ඔබතුමන් මාගේ ගුරුවරයෙකු බවට පත් වූයේ නිතැතිනි. ඔබගේ ලිපි හරහා මා ලද ගුරුහරු කම් අපමණය. ඔබ සෙවණේ සිප් සතර හැදෑරීමට මා වරම් නොලැබුවත් මේ මොහොතේ මසිත දුකින් බරව ඇත්තේ ඔබෙන් ඒ ලද දැනුම් සයුර ඉදිරියටත් ලබා ගැනීමට තරම් අප පින් කර නැති බව වැටහෙන නිසාවෙනි.
සදාදරණීය ගුරු පියාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා... !!!!
Saturday, July 3, 2010
හෙළයේ සටන් හරඹ - 3
මීට කලින් අංගම්පොර ගැන කොටපු සෙල්ලිපි සටහන් දෙකටම හොඳින් ප්‍රතිචාර හම්බ වෙලා තිබුණා. හැබැයි ඒ අතරේ නරක විදිහට බැනලා තිබුණ ප්‍රතිචාරත් තිබුණා. මොනවා වුනත් සෙල්ලිපියේ තියෙන හරවත් බවයි ගුණාත්මක බවයි රැකගන්න අවශ්‍ය නිසාම මම ඒ ප්‍රතිචාර අයින් කළා. ඒ කොහොම වුනත් බහුතරයක් දෙනා සෙල්ලිපියට ආදරය කරන බව පෙනෙන නිසාම හෙළයේ සටන් හරඹ ගැන තවත් සෙල්ලිපි සටහනක් කොටන්න ඕනෑ කියලා මං හිතුවා.
අංගම්පොර කලාවත් සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම, හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්‍රව්‍ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා.
මම හිතන හැටියට අංගම්පොර සමග සබැදුණු මේ භාවනාමය ක්‍රමයන් පිළිබඳව අපේ රටේ ජනතාව තුල කිසියම් අවධානයක් ඇති වුනේ ජයන්ත චන්ද්‍රසිරි මහතා ගේ 'අකාල සන්ධ්‍යා' ටෙලි නාට්‍යයත් සමග යි. ඒ නාට්‍යය ගෙතී තිබුණේ කුණ්ඩලිනි යෝගය වැඩූ අංගම් ශිල්පියෙකුගේ චරිතය වටා බව ඔයාලට මතක ඇති. මේ නාට්‍යයත් සමගම කුණ්ඩලිනි යෝගය පිළිබඳව යම් තරමක උනන්දුව ජනතාව තුල ඇති වුණු නිසා ඒ සමකාලීනවම කුණ්ඩලිනි යෝගය පිළිබඳව ලියැවුණු පොත් කිහිපයක් ම එළි දැක්වුණු බවත් මට මතකයි. කුණ්ඩලිනි කියලා කියන්නේ හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්‍රමයක් නේ. ඉතින් අපේ පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්‍රමයම ද කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලත් මම ඉල්ලා සිටිනවා. කොහොම වුනත් මේ සෙල්ලිපි සටහනෙන් කුණ්ඩලිනි යෝගය ගැන ටිකක් කතා කරන්න තමයි මගේ අදහස.
යෝග ශාස්ත්‍රයේ පියා ලෙස හැඳින්වෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ පතංජලී නම් සෘෂිවරයා යි. යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කල එතුමාණෝ 'යෝග සූත්‍ර' නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එම ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්‍රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්‍යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්‍ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්‍ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්‍ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.
- මූලාධාර
- ස්වාධිෂ්ඨාන
- මනිපූර
- අනාහත
- විශුද්ධ
- ආඥා
- අනිමා - ඉතා කුඩා බවට පත් වීම
- මහිමා - අති විශාල බවට පත් වීම
- ලඝිමා - පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
- ගරිමා - ශරීරය ඉතා බර කිරීම
- ප්‍රාප්ති - ග්‍රහ වස්තූන් කරා ගමන් කිරීම
- ප්‍රාකම්‍ය - සිතන පතන දේ ලැබීම
- ඊසත්ව - යම් යම් දේ මවා පෙන්වීම
- වශිත්ව - විශ්ව ශක්තිය පාලන කිරීම
කුණ්ඩලිනි යෝගය ගැන වැඩිදුර කතා කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් එහෙම 'හෙළයේ සටන් හරඹ' කියන මාතෘකාවෙන් පිට පනින්න සිද්ධ වෙනවා නේ. මට ඕනෑ වුණේ කුණ්ඩලිනි යෝගය ගැන පොඩි හැඳින්වීමක් කරන්න විතරයි. පුළුවන් වුණොත් පස්සේ වෙලාවක කුණ්ඩලිනි ගැන වෙනම සෙල්ලිපි සටහන් පෙළක් කොටන්නම්. එහෙනම් ඉතින් 'හෙළයේ සටන් හරඹ' ගැන කියැවෙන තවත් සෙල්ලිපි සටහනකින් ආයෙත් දවසක හම්බ වෙමු. මේක කියවලා යන ගමන් තමන් ගේ අදහසත් කාට කාටත් කියවන්න පුළුවන් විදිහට පහළින් කොටලම යනවනම් තමයි හොඳ. අඩුපාඩු, වැරදි එහෙම තියෙනවනම් ඒවත් පෙන්නලා දෙන්න.
Saturday, June 12, 2010
හෙළයේ සටන් හරඹ - 2
අංගම් සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්‍රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්‍රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්‍ර මන්ත්‍ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්‍රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්‍රතිවාදියා වෙතට එල්ල කරන ප්‍රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්‍රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්‍රතිවාදියා ග්‍රහණයට ගෙන සිර කර ගැනීමේ ක්‍රමවේදය යි.
නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්‍රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්‍රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්‍රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්‍රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ පුද්ගලයෙකුට,
*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම
ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්‍රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.
නිල ශාස්ත්‍රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්‍යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්‍ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්‍රබල නිල යි.
Thursday, June 10, 2010
හෙළයේ සටන් හරඹ
මේ දවස් වල කැම්පස් එකත් වහල නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ මට හිතුණා ලංකාවේ පුරාණ සටන් ශිල්ප ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න. ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්‍රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්‍යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්‍යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්‍යා', 'අන්තස්සරයෝ' සහ 'චක්‍රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්‍රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.
ශ්‍රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,
හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ
මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්‍රී ලංකාවේ ජනක්‍රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්‍රම ආශ්‍රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්‍රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.
පුරාණ රජ කාලයේ දී, රාජ්‍ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්‍රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්‍රමවේදයන් සඳහා අනන්‍ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.
අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්‍රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්‍රම 8 ට අමතරව තවත් ශිල්ප ක්‍රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.
අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්‍රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්. දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්‍රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්‍රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර
( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )
අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්‍රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්‍රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්‍රදේශ යි.
එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.
Friday, May 28, 2010
මොරටුව සරසවියේ ExMO 2010 ප්‍රදර්ශනය
ExMO 2010 කියලා කියන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තියෙන අලුත්ම ප්‍රදර්ශනයයි. මේක සංවිධානය කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය විසින්. සෑම වසරකම පාහේ විශ්ව විද්‍යාලය තුල විවිධ ප්‍රදර්ශන පැවැත්වුණත්, ඉංජිනේරු පීඨයට අයිති සියලුම ඉංජිනේරු අංශ එකට එක්වී මෙවර මෙම ප්‍රදර්ශනය ඉතාමත්ම ඉහළින් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබෙන නිසා ExMO 2010 යනු කලකට පසුව මොරටුව විශ්ව විද්‍යාලය තුල පැවැත්වෙන දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය බවට පත් වී තිබෙනවා.
මොරටුව ඉංජිනේරු පීඨය ඉංජිනේරු අංශ 9 කින් සමන්විතයි. ඒවා නම් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශය, පරිඝණක විද්‍යා සහ ඉංජිනේරු අංශය, විදුලි ඉංජිනේරු අංශය, යාන්ත්‍රික ඉංජිනේරු අංශය, සිවිල් ඉංජිනේරු අංශය, රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශය, ද්‍රව්‍ය ඉංජිනේරු අංශය, භූ සම්පත් ඉංජිනේරු අංශය සහ පේෂකර්ම ඉංජිනේරු අංශයයි. වර්තමානයේ ඉතා දියුණු තලයක පවතින මෙම ඉංජිනේරු අංශ මගින් රටට සිදු වන්නේ කෙබඳු සේවයක් ද යන්න දැන ගැනීමටත් ඉංජිනේරු සිසුන්ගේ කුසලතා සියැසින් දැක ගැනීමටත් මේ ප්‍රදර්ශනය හරහා ඔබට පුළුවන් වෙනවා. මීට අමතරව තොරතුරු තාක්ෂණ පීඨයත්, වාස්තු විද්‍යා පීඨයත් මේ ප්‍රදර්ශනයට තම සක්‍රීය දායකත්වය දක්වනවා. නිදහස් අධ්‍යාපනය හරහා ඉගෙනුම ලබන ඉංජිනේරු සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල්. එනිසා එම මුදල් වල වටිනාකමට සරිලන අයුරින් රටේ ජනතාවට ඉංජිනේරුවන්ගෙන් ලැබෙන සේවය කුමක්දැයි පෙන්වීමත් මෙම ප්‍රදර්ශනයේ එක් ප්‍රධාන අරමුණක්.
ප්‍රදර්ශනය මහ ජනතාව සඳහා විවෘත වන්නේ 2010 ජුනි මස 11,12 සහ 13 යන දිනයන් වල යි. ජුනි 10 වන දා ත් ප්‍රදර්ශනය පැවැත්වෙන නමුත් එදින ප්‍රදර්ශනය විවෘත වන්නේ පාසල් සිසුන් ට සහ කර්මාන්ත හා තාක්ෂණික අංශයේ නියෝජිතයින්ට පමණයි.
මෙම ExMO 2010 ප්‍රදර්ශනය පාසල් සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එකසේ වැදගත් වන අතර මෙහිදී වත්මන් ලෝකයේ ඇති දියුණු තාක්ෂණික නිර්මාණයන් සහ සංකල්පයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද ඔබට පුළුවන් වෙනවා. විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය තුල පැවැත්වෙන දැවැන්තම විද්‍යා සහ තාක්ෂණික ප්‍රදර්ශනයක් වන මෙය ඔබගේ දැනුම් නිම් වළලු පුළුල් කරන්නක් වනු නොඅනුමානයි.
Wednesday, April 28, 2010
නව්‍යතා සිද්ධාන්තය හෙවත් Novelty Theory
කාලෙකට පස්සේ තමයි සෙල්ලිපියක් කොටන්න වෙලාව හම්බ වුණේ. සිංහල අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ කොටන මුල්ම සෙල්ලිපිය තමයි මේක. ටිකක් පරක්කු වෙලා වුනත් කමක් නැහැ, හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල සුබ පතලම වැඩේ පටන් ගන්නම්කෝ.
වෙලාව මදි වීම ඇරුණහම අලුත් සෙල්ලිපියක් කොටන්න පරක්කු වෙන්න හේතු වුණු එක කාරණයක් තමයි කොටන්න තරම් වටිනාකමක් තියෙන විස්තරයක් හොයා ගන්න ලැබුණේ නැති එක. ඉතින් අන්තිමට මට හිතුණා මේ දවස් වල කවුරුත් කතා කරන 2012 සංසිද්ධිය ගැන මොනවා හරි ලියන්න ඕනෑ කියලා.
අපි මුලින්ම බලමු 2012 සංසිද්ධිය කියන්නේ මොකද්ද කියලා. කෙටියෙන්ම කියනවනම් වසර 2012 දී ලෝකෙ විනාශ වෙනවා කියල කියන එකයි මේ සංසිද්ධියෙන් කියවෙන්නේ කියලා නොදන්න කෙනෙක් මේ දවස් වල හොයා ගන්නත් අමාරුයි නේ. ඒ වගේම මේ මතවාදය ගොඩ නැගෙන්න මූලික වශයෙන්ම හේතු පාදක වුණේ මායා ගෝත්‍රිකයන්ගේ දින දර්ශනය වසර 2012 න් අවසන් වීමේ කාරණයයි කියන එකත් ඔයාල මේ වෙනකොට දන්නවා ඇතිනේ.
වසර 2012 දෙසැම්බර් 21 වන දාට වසර 5125 දිගැති මායා කැලැන්ඩරය අවසන් වන නිසා එදාට කිසියම් ස්වභාවික ව්‍යසනයක් මගින් ලෝක විනාශයක් සිදු වන බව සමහරුන් කියා සිටිනවා. තවත් කණ්ඩායමක් කියා සිටින්නේ එදාට පෘථිවිය වෙනත් ග්‍රහලෝකයක් සමග ගැටීම හෝ කළු කුහරයකට හසු වීම නිසා විනාශ වී යන බවයි. පෘථිවිය සමග ගැටෙන ග්‍රහලෝකය 'නිබිරු' නමින් හැඳින්වෙන බවත් කියැවෙනවා. නමුත් මේ මතවාද කිසිවක් විද්‍යාත්මක නොවන අතරම විද්වතුන් විසින් ප්‍රතික්ෂේප කිරීම ද සිදු කර තිබෙනවා. නාසා ආයතනය කියන්නේ මේ 2012 සංසිද්ධිය හරියට වසර 2000 දී සිදු වූ Y2K Bug සංසිද්ධියට සමාන බවයි. වසර 2000 දී ලොව පුරා පරිඝනක අඩපණ වේ යයි බියක් පැතිරී තිබුණු බව ඔයාලට අමතක වෙලා නැතුව ඇති. කොහොම නමුත් මේ 2012 සංසිද්ධියට යම්තාක් දුරකට විද්‍යාත්මක පසුබිමක් එකතු කරපු කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි ටෙරන්ස් මැකේනා (TerenceMcKenna). නව්‍යතා සිද්ධාන්තය හෙවත් Novelty Theory යේ නිර්මාපකයා ඔහුයි. මේ සිද්ධාන්තය මුලින්ම එලි දක්වලා තියෙන්නේ 1970 ගණන් වලදී. ඒත් දැන් තමයි වැඩිපුරම ඒක ගැන කතා කරන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ සිද්ධාන්තයෙන් කියැවෙන්නේ මොකද්ද කියලා.
මේකෙදි සිද්ධ වෙන්නේ 'කාලයේ අනන්‍ය ගුණයක් ලෙස සලකමින් විශ්වයේ නව්‍යතාවයේ ගලා යාම' ගණනය කිරීමයි. මෙහි නව්‍යතාවය කියල කියන්නේ 'නව වෙනස් වීම්' කියලා සලකන්න පුළුවන්. මේ නව වෙනස් වීම් කාලයට ආවේණික වූ ගුණයක් ලෙස සලකලා යම් ගණනය කිරීමක් සිදු කිරීම තමයි ටෙරන්ස් මැකේනා විසින් සිදු කරලා තියෙන්නේ. මේ සිද්ධාන්තය ගොඩනැගීමට ඔහු විසින් රූපජනන විද්‍යවේ මූලධර්ම මෙන්ම ජීවීන් ගේ පැවැත්ම පිළිබඳ කල්පිතයන්ගේ මූලධර්ම ද උපයෝගී කරගෙන තියෙනවා. මැකේනා කියන විදිහට මේ ගණනය කිරීම් මගින් ලැබෙන ප්‍රතිපල අනුව ලෝක ඉතිහාසය වෙනස් කළ සිදුවීම් සිදු වූ කාල පරාසයන් ආසන්න වශයෙන් කියන්න පුලුවන්.
ඉතා ඈත අතීතයේ දී සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් මේ සිද්ධාන්තය හරහා ගණනය කිරීම් කරන විට නියම සිදුවීම සිදු වූ කාලය සහ ගණනය කිරීමෙන් ලැබෙන කාලය අතර තරමක් විශාල වෙනසක් දකින්නට ලැබුණත් වර්තමානය දක්වා පැමිණෙන විට මෑත ඉතිහාසය තුල සිදු වූ සිදුවීම් වල කාල පරාසය ගනණය කරද්දී ආසන්න වශයෙන් නිවැරදි උත්තර ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ ආකාරයට මැකේනා ගේ ගණනය කිරීම් අනුව වසර 2012 නොවැම්බර් මාසයේදීත් කිසියම් වෙනස්කමක් වෙන්නට නියමිතව තියෙනවා. මේ කාරණය නිසා බොහෝ පිරිස් මේ ප්‍රතිපලය මායා කැලැන්ඩරය සමග සමපාත කරන්නට උත්සහ දරනවා. මේ සිද්ධාන්තය පැහැදිලි කිරීම සඳහා පරිඝනක මෘදුකාංග පවා නිර්මාණය කරලා තියෙනවා. මේ මෘදුකාංග මගින් මෙම සිද්ධාන්තය ප්‍රස්ථාරිකව නිරූපණය කරලා පෙන්වනවා. මෙහිදී ගොඩනගනු ලබන ප්‍රස්තාරයේ වක්‍රය හඳුවන්නේ 'කාල තරංගය' කියලා. එවැනි කාල තරංගයක රූපයක් පහතින් දැක්වෙනවා.
කොහොම වුණත් කිසිම කෙනෙකුට කියන්න බැහැ 2012 දී ලෝක විනාශයක් වෙනවා කියලා. මැකේනා ගේ නව්‍යතා සිද්ධාන්තයෙන් කියවෙන්නේත් මොකක් හරි වෙනසක් වෙනවා කියලා විතරයි. ඒ වෙනස්කම යහපත් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මායා ශිෂ්ටාචාරය ගැන හදාරන විද්වතුන් කියා සිටින්නේත් පෞරාණික මායා ඉතිහාසයේ කිසිම තැනක 2012 ලෝක විනාශයක් ගැන සඳහන් වෙලා නැහැ කියලයි. මගේ පෞද්ගලික මතයත් 2012 දී කිසිම දෙයක් වෙන එකක් නැහැ කියලයි. ඒත් මොනවහරි වෙනසක් වෙනවනම් ඒ වෙනස යහපත් ආකාරයේ වෙනසක් වෙයි කියලත් මම හිතනවා. ටෙරන්ස් මැකේනා වසර 2000 දී මිය ගියා. ඒක නිසා ඔහුට නම් 2012 දී තමන්ගේ සිද්ධාන්තයේ ඇත්ත නැත්ත බලාගන්න වෙන්නේ නැහැ.