Monday, October 20, 2014

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3

ගුවන් තො‍ටුපළේ ඉඳලා හෝටලේට යන ගමනෙදි දැකපු දේවල් සහ දැන ගත්තු දේවල් ටිකක් කලින් ලිපියෙන් ලිව්වනේ. ඉතුරු හරිය තමයි මේ ලිපියෙන් ලියන්නේ. පහුගිය ලිපි කියවන්න බැරි වුණා නම් එහෙම මේ පහළ තියෙන සබැඳි වලින් ගිහින් බලන්න පුළුවන්.

ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2

කලින් ලිපියෙන් කියල තිබුණ විදිහට කඳුකර පාරක් දිගේ කාර් එක ධාවනය කරපු අපි ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා. ටිකෙන් ටික පරිසරයේ ස්වභාවය වෙනස් වෙන්නත් පටන් ගත්තා. දැන් පාර දෙපැත්තෙම පේන්නෙ බඩ ඉරිඟු යායවල්. මේ වෙනකොටත් තමුන්ගෙ අස්වැන්න නෙලාගෙන ඉවරවුණු සමහර මිනිස්සු තමුන්ගෙ හේන් වල තියෙන පඳුරු සුද්ධ කරල එක ගොඩකට ගහල ගිනි තියල එහෙම ඊළඟ කන්නෙට ලෑස්ති වෙනවා. මෙච්චර බඩ ඉරිඟු වවන්නෙ මොකටද කියල ඇහුවහම ෆ්‍රැන්සිස්කෝ කිව්වෙ බඩ ඉරිඟු කියන්නෙ මෙක්සිකෝ ජාතිකයින්ගෙ ප්‍රධානම ආහාර වලින් එකක් කියලා. තම්බපු බඩ ඉරිඟු වගේම බඩ ඉරිඟු පිටි වලින් හදන රොටී වලටත් මෙයාල බොහොම කැමතිලු. 
මෙක්සිකෝවෙ තියෙන කෑම ගැන කියනවනම් මේ රටේ එකිනෙකට වෙනස් කෑම ජාති සිය ගාණක් තියෙනවා. ලෝකයේ වැඩිම ආහාර විවිධත්වයක් තියෙන රට සමහරවිට මෙක්සිකෝව වෙන්නත් පුළුවන්. ඒක හින්දම තමයි UNESCO එක මගින් මේ රටේ කෑම '‍රැකගත යුතු  සංස්කෘතික උරුමයක්' ලෙස නම් කරල තියෙන්නෙත්. කොටින්ම දවල් කෑමට කඩේකට ගියොත් එක එක ජාතියේ කෑම වට්ටෝරු බර ගාණක් menu එකේ දකින්න පුළුවන්. මේ කෑමත් බොහොම රසවත්. ඒක නිසාම මෙක්සිකෝවෙ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් චීන අවන්හල් වලට වඩා මෙක්සිකානු අවන්හල් දකින්න පුළුවන්.

චීන අවන්හල් තරම් ජනප්‍රිය නැති වුණාට ලංකාවෙත් මෙක්සිකන් අවන්හල් එකක් හරි දෙකක් හරි මේ වෙනකොට තියෙනවා.
මේ කෑම ගැන මෙහෙම පොඩි විස්තරයක් කරල හරියන්නෙ නැහැ. ඉදිරි ලිපි වලදිත් ඉඩ තියෙන හැටියට එක එක කෑම ජාති ගැන වෙන වෙනම විස්තර ලියන්නම්.

කොහොමහරි පැය තුන හතරක ගමනකින් පස්සෙ අපි හෝටලේ තියෙන ඉසව්වට ළඟා වුණා. පුඑබ්ලා(Puebla) ප්‍රාන්තයට අයිති ඇට්ලික්ස්කෝ(Atlixco) කියන නගරය තමයි අපේ ගමනාන්තය. ප්‍රධාන පාරෙන් වම් පැත්තට තිබුණු තරමක ප‍ටු පාරකට වාහනේ හරවපු අපි හෝටලේට කිට්‍ටු කලා. ඒ හරියෙදි ගත්තු පින්තූර කීපයක් තමයි පල්ලෙහා තියෙන්නෙ. කොච්චර දුරට ලංකාවෙ නාගරික පරිසරයට සමානද කියල ඔයගොල්ලොම හිතල බලන්නකෝ.







මෙක්සිකෝවෙ ඕනෑම නගරයක ප්‍රධාන අංග තුනක් දකින්න ලැබෙනවා. ඒවා තමයි;
1. නගරයේ පරිපාලන ගොඩනැඟිල්ල (Town Center)
2. නගර මැද තියෙන උද්‍යානය (Plaza)
3. ක‍තෝලික පල්ලිය
මේ ගොඩනැඟිලි තුන සාමාන්‍යයෙන් හදන්නෙ එකිනෙකට ඉතාම ළඟින්, උද්‍යානය මැදිනුත් අනෙක් ගොඩනැඟිලි දෙක දෙපැත්තෙනුත් පිහිටන විදිහට. ඇට්ලික්ස්කෝ නගරයේත් මේ කියන අංග තුනම දකින්න පුළුවන්. අපේ හෝටලේ තිබුණෙත් මේ නගර මැද උද්‍යානෙට බොහොම කිට්‍ටුවෙන්. ඉතින් එතන විස්තර ගොඩක් දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. මේ උද්‍යානය තමයි ඕනෑම මෙක්සිකානු නගරයක තියෙන ජනප්‍රියම ස්ථානය. බාල මහලු තරුණ ඕනෑම කෙනෙක් හවස් වරුවෙදි එකතු වෙන්නෙ මෙතනට. තලතුනා කට්ටිය තමුන්ගෙ යාළුවො හම්බ වෙලා සතු‍ටු සාමීචියෙ යෙදෙන්නත් තරුණ ජෝඩු පෙම් කරන්නටත් එකතු වෙන තැන තමයි මේ. කාගෙන්වත් කාටවත් කරදරයක් නැහැ. 

සති අන්තයේදි මේ plaza එකේ තව ලස්සන වැඩක් වෙනවා. ඒ තමයි තනිකඩ කොල්ලො කෙල්ලො පෙම්වතුන් බවට පත් වෙන සාම්ප්‍රදායික චාරිත්‍රය... එහෙම කිව්වට තේරුණේ නැහැ නේද..? මෙන්න මේකයි වැඩේ.
ඉරිද දවසෙ හවසට තනිකඩ කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම plaza එකට එකතු වෙනවා. කොල්ලො නම් එන්නෙ බොහොම ලස්සනට ජැන්ඩි පහට ඇඳගෙන මලකුත් අතේ අරගෙන. කට්ටියම එකතු වුණාට පස්සෙ කෙල්ලො ටික plaza එක වටේට හිට ගන්නවා. කොල්ලො ටික මලුත් අරගෙන plaza එක වටේ රවුමට ඇවිදිනවා. ඔහොම ඇවිදිනකොට තමුන්ගෙ හිතට හරියන කෙල්ලෙක් දැක්කොත් කොල්ල කරන්නෙ අර රවුමෙන් පිට පැනල කෙල්ල ලඟට ගිහින් තමුන්ගෙ අතේ තියෙන මල කෙල්ලට දෙන එක. කෙල්ල මල බාර ගත්තොත් වැඩේ ගොඩ. බැරිවෙලාවත් මල බාරගත්තෙ නැත්නම් එහෙම කොල්ල ආපහු රවුමට එකතු වෙලා වෙන හිතට අල්ලන කෙල්ලෙක් දකිනකල් රවුමෙ යනවා.

මට මේ අපූරු සිද්ධිය විස්තර කරල කිව්වෙ ෆ්‍රැන්සිස්කෝ මහත්තයා. හැබැයි බලන්න යන්න නම් බැරි වුණා, ඉරිදා දවසෙ තව ගමනක් යන්න වුණ නිසා....

නිතරම සෙනඟ ගැවසෙන තැනක් නිසා මේ plaza එකේ වෙළෙන්දොත් ගොඩයි. අයිස්ක්‍රීම්, රටකජු, තම්බපු බඩ ඉරිඟු එහෙම විකුණන අය තමයි වැඩිපුරම දකින්න පුළුවන්. ළඟ තියෙන පල්ලියෙ උත්සවයක් එහෙම තිබුණොත් ඒකට එන පොඩි ළමයින්ව ඉලක්ක කරගෙන එන බැලුම් බෝල වෙළෙන්දොත් ඉඳල හිටල මේ උද්‍යානෙ ඇතුලෙ කැරකෙනවා දකින්න පුළුවන්.

මේ තමයි Atlixco නගරයේ plaza එක

plaza එකේ තවත් පැත්තක්

plaza එකේ තියෙන මල් පැළ වෙළඳ සලක්

බැලුම් බෝල වෙළෙන්දෙක්


මෙහේ අයිස් ක්‍රීම් වෙළෙන්දො නම් ලංකාවෙ කට්ටිය වගේ නලාවක් සද්ද කරන්නෙ නැහැ. හැබැයි ඒකට හරියන්න බඩ ඉරිඟු වෙළෙන්දන්ගෙ නම් එයාලටම විශේෂ වුණු නලාවක් තියෙනවා. ඒ තමයි බඩ ඉරිඟු තම්බන බොයිලේරුව. ඒකෙ දුම් පිට වෙන බටේට පොඩි පියනක් හයි කරල තියෙන්නෙ. බඩ ඉරිඟු තැම්බෙද්දි බොයිලේරුව ඇතුලෙ වාෂ්ප පීඩනය වැඩි වෙනකොට ඒවා අර පියන ඇරගෙන බොහොම ලොකු සද්දෙකුත් දාගෙන එලියට යනවා. හැම විනාඩි දෙක තුනකට පාරක්ම මේ නලාව හැඬවෙනවා, ඒ වගේම බොහොම දුරට ඇහෙනවත් එක්ක. ඉතින් ඔය සද්දෙ ඇහෙනකොට මිනිස්සු පාරට එනව බඩ ඉරිඟු ගන්න.

මේ වෙළෙන්දන්ට අමතරව තව කට්ටියක් මේ උද්‍යානෙ තමුන්ගෙ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ තමයි වීදි සංගීත ශිල්පියෝ. හුඟක් වෙලාවට ඉන්නෙ ගිටාර් වාදකයො තමයි. සාම්ප්‍රදායික මෙක්සිකානු තොප්පිය දාගෙන ගිටාර් ගහන ගමන් සිංදුවක් කියල කීයක් හරි හොයාගන්න එක තමයි මෙයාල කරන්නෙ. තනි තනි වාදකයො වගේම කණ්ඩායම් වශයෙන් වාදනය කරන අයත් දකින්න පුළුවන්.


ගිටාර් වාදකයෙක්
මේ සංගීත ශිල්පීන් අතරින් විශේෂිතම කට්ටිය තමයි 'මරිම්බා' සංගීත ශිල්පියෝ. ඒක ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. 'මරිම්බා' කියල කියන්නෙ මෙක්සිකෝවටම ආවේණික වුණු සයිලොෆෝන් (Xylophone) වර්ගයේ සංගීත භාණ්ඩයක්. සම්පූර්ණයෙන්ම ලී වලින් තමයි හදල තියෙන්නේ. වාදනය කරන්න ශිල්පීන් දෙන්නෙක් ඕනැ කරනවා. එක ශිල්පියෙක් වාදනය කරද්දි අනෙක් ශිල්පියා කරන්නෙ තාලය සපයන එක.


මරිම්බා වාදක ශිල්පීන් යුගලක්
කෙළවර ගෝලාකාර වුණු ලී දඬු දෙකක් උපයෝගී කරගෙන වාද්‍ය භාණ්ඩයට තට්‍ටු කිරීමෙන් තමයි සංගීතය උපදවා ගන්නේ. කිසිම ආකාරයකින් විදුලි බලය පාවිච්චි නොකරන මේ වාද්‍ය භාණ්ඩයෙන් උපදින සංගීතය නම් බොහොම මිහිරියි. මම නතර වෙලා හිටපු හෝටලේ ළඟ තිබුණු plaza එකේදි වාදකයො දෙන්නෙක් මේ භාණ්ඩය වාදනය කරපු හැටි video කරන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ video clip එක.




මම කලින් නොකියපු තවත් විශේෂ දෙයක් මේ පුඑබ්ලා(Puebla) ප්‍රාන්තෙ තියෙනවා. ඒ තමයි මෙහෙ තියෙන අති විශාල ගිනි කන්ද.... මේ ගිනි කන්ද බොහොම ලස්සනට මම නැවතිලා හිටපු තැනට පේනවා. ඒ ගිනි කන්ද හා බැඳුණු ජනප්‍රවාද යි තවත් විස්තරයි මම ඊළඟ සෙල්ලිපියෙ කොටන්නම්.  එහෙනම් අදට මම නවතිනවා. ජය වේවා..!!!!

7 comments:

  1. Replies
    1. තව ලියන්න දේවල් බොහොමයි රාජ්.. මතක තියෙන විදිහට ඔක්කොම ලියන්නම්.

      Delete
  2. සමාවෙන්න...මේ රස කෑම කන්නට එන්න ප්‍රමාද වීම ගැන...අද තමයි මේ ඉසව්වට හා පුරා කියලා පය තිබ්බෙ. පළවෙනි ලිපියෙ ඉඳලම කියවලයි මේ අදහස මම එකතු කරන්නෙ.

    ඔයාගෙ ලිපියෙ මුල්ම කොටස කියවද්දි මට මතක් උනේ සිංගප්පූරුවෙන් මැලේසියාවට එද්දි සිංගප්පූරුවෙ හිටිය ලංකාවෙ මිත්තරයො මට දුන්න අවවාද...ඒ අවවාද වගේම අවවාද තමයි ඔබට මෙක්සිකෝව පිළිබද ලැබී තිබුනෙ....තනියෙන් පාරවල් වල යන්න එපා...ෆෝන් සල්ලි මංකොල්ල කනවා..6 න් පස්සෙ කවදාවත් එළියට යන්න එපා...ගමන් මළු තනිකරලා කොහෙවවත් යන්න එපා...හොරකං කරගෙන දුවනවා...මේ වගේ උපදෙස් තමයි මැලේසියාව ගැන මට ලැබුනෙ...ලංකාවෙ ඉන්න කාලෙත් දියුණු රටක් විදියට යම් පිළිගැනීමක් තියෙන මැලේසියාව ගැනද මේ කියන්නෙ කියලත් මට හිතුන වාර අනන්තයි.

    කොහොම හරි භයෙන් ගැහි ගැහි මැලේසියාවට ඇවිල්ලා මෙහෙ ජන ජීවිතය එක්ක ඉස්සරහට යද්දි තමයි ඒ කියපු හැම දේම පදනමක් නැති විත්තිය දැනුනෙ. මැලේ මිනිස්සු හරිම සාමකාමී ඉතාම මිත්‍රශීලී කොටසක්...කවදාවත් මැලේසියාව පැත්තෙ ඇවිල්ලා නැති අය තමයි මට උපදෙස් දුන්න අය අතර බහුතරයක් හිටියෙ. කවුරු හරි කියන දෙයක් ඒ අය තව කෙනෙකුට තමන්ගෙ අත්දැකීමක් වගේ කිව්වා.

    ඔබේ මේ කථා මාලාව ඉතාම රසවත්ව ඉදිරිපත් වෙනවා...මෙක්සිකෝවට ගියා වගේ හැගීමක් පාඨකයො විදියට අපිට දැනෙනවා. පින්තූර බලද්දි නම් ලංකාවට බොහොම සමානයි කියලා හිතෙනවා...ලෝකයේ වැඩිපුරම කථා කරන්නෙ චීන භාෂාව...ඊට පස්සෙ ස්පාඥ්ඥ භාෂාව, 3 වෙනි තැන තමයි ඉංග්‍රීසිය තියෙන්නෙ. ස්පාඥ්ඥ සංගීත රටාව හරිම අලංකාරයි...විශේෂයෙන්ම ගිටාරයට ඒ සංගිත ක්‍රමය තුල සුවිශේෂී ඉඩක් වෙන් වෙනවා..

    මරිම්බා වාදනය කරන වීඩියෝව බැලුවා...ඒ හඩ ලීයකින් කොහොම උත්පාදනය කරනවාද කියලා හිතාගන්නත් අමාරුයි...ඒ වීඩියෝව අතරතුර ඒ පිළිබද විස්තර කරන්නෙ ඔබේ මඟපෙන්වන්නා විය යුතුයි. ඡායාරූප හා වීඩියෝ දකිනකොට මෙක්සිකෝව පිළිබද ඇමරිකානුවන් ඔබට මවා ඇත්තේ තනිකරම වැරදි චිත්‍රයක් බවයි මගේ හැගීම. මගේ පුද්ගලික අදහස අනුව කොලොම්බියාව තමයි මීට වඩා භයානක රට. මත්ද්‍රව්‍ය කල්ලි අතර සිදුවන ගැටුම් වලින් විශාල පිරිසක් ඒ රටේ වසරකට මිය යනවා.

    කොහොම උනත්...රට රටවල සංචාරය කරන්න මමත් ඉතාම මනාපයි..සාමාන්‍යයෙන් අපට යන්නට නොලැබෙන රටක තතු විත්ති මේ විදියට ඉදිරිපත් කරන එක ගැන ඔබට බොහොම ස්තූතිවන්ත විය යුතුයි. මගේ බ්ලොග් රෝලටත් අද මම මේ ඉසව්ව එල්ල ගත්ත නිසා ඉදිරියට ඔබේ සෙල්ලිපි මට මඟ ඇරෙන එකක් නෑ...නැවත හමුවෙමු...ජය !

    ReplyDelete
    Replies
    1. මරිම්බා වාදනයේදී එක් වාදකයෙක් වාදනය කරන්නෙ බේස් ගිටාරයකින් මෙන් වැයෙන කොටස...හොදින් කන් දීලා බලන්න...එයාගෙ වාදනය බේස් ගිටාරය වාදනය කරනවා වාගේමයි...

      Delete
    2. මොකටද සමාව ඉල්ලන්නේ.... මේ කෑම කවදාවත් නරක් වෙන්නෙ නැහැනෙ. ඕනෙ වෙලාවක කන්න පුළුවන්.

      මෙක්සිකෝව කියන්නෙ අතිශය ආරක්ෂිත තැනක් නොවුණත් මහා ලොකු භයානක රටකුත් නෙවෙයි. සිරා කිව්වත් වගේ කොලොම්බියාව තමයි භයානකම රට. එහේ වැවෙන මරිජුවානා ඇමරිකාවට ප්‍රවාහනය වෙන්නෙ මෙක්සිකෝව හරහා. ඒ නිසා තමයි ඇමරිකන්කාරයො මෙක්සිකෝව දරුණු රටක් විදිහට සලකන්නෙ.

      ඒ අතරෙදි සමහර ඇමරිකන් සංචාරකයින්ට මෙක්සිකෝවෙදි යම් යම් අතවර වෙලත් තියෙනවා. කොහොමත් මෙක්සිකන් කාරයොත් ඇමරිකාව එක්ක ටිකක් තරහයි. ඒ හේතුවත් ඔතනට බලපානවා.

      Delete
  3. උදිත, රහට ලියල තීනව අඩුත් නෑ වැඩිත් නෑ. කෝ දැන් හතර?

    අර විල ගැන ගිය පාර තිබ්බ විස්තරේ ඇහුවම මතක් උනෙ පරන කතාවක්.

    මලක් ඇති විලක් කලක් යනකොට පලක් නැති වලක් වෙනවලු!

    අනික ප්ලාස එකේ වැඩේ හරි සෝක්නෙ. සතියකට එක ගානෙ එහෙම මාරුකරගන්නත් පුලුවන්ද දන්නෑ!

    ReplyDelete
    Replies
    1. හතර මග එනෝ.....
      මේ විල නම් නැති වෙලා ගියාට ඒක උඩ හැදිල තියෙන්නෙ බොහොම ලොකු පලක් තියෙන නගරයක්. :)

      සතියකට පාරක් මාරු කරගන්න ගියානම් plaza එකේදිම හොඳ හොඳ ගුටිකෙළි බලාගන්නත් පුළුවන් වෙන්න තිබුණා.

      Delete